ලෝකයේ වෙනත් කිසිදු දේශයක් අත්පත් කොට නොගත් අනන්‍යතාවයක් හා උතුම් නිදහස් චින්තනයක් ශ්‍රී ලංකාවාසී අපට ලැබුණේ බුදු දහම නිසා ය. බුදුරජාණන් වහන්සේ ජන්ම ලාභය ලද දඹදිව පවා ඒ නිදහස් චින්තනය පැවතියේ අවුරුදු තුන්සියයක් පමණ කාලයක් ඉකුත් වන තුරු පමණි. ඒ සුදුර්ලභ භාග්‍යය ලක්වැසි ජනකායට උරුම වූයේ රට කුඩා වීමත්, මහ සමුදුරෙන් වටව සෙසු රටවලින් වෙන්ව පැවතීමත්, ස්වභාව ධර්මයේ සමතුලිතතාව විසින් සියලු කල්හිම පෝෂණය කරනු ලැබීමත් නිසා ය. මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහමේ උතුම් පණිවුඩය ලක්දිව ජනකායගේ සිත්සතන් තුළ රෝපණය කිරීමෙන් පසුව ඉතා කෙටි කලෙකින් මුළු දිවයිනේම වැසියෝ ආධ්‍යාත්ම ගුණ දහමින් පෝෂිත සත්පුරුෂ දැහැමි ජනකායක් බවට පත් වූහ.

අනුරාධපුර මහමෙව්නාව උයනේ රැව් පිළිරැව් දුන් දහම් ඝෝෂාව ඒ දිනවලම දකුණුලක රුහුණු පුරවරය දක්වා පැතිර ගිය බවට සෙල්ලිපි සාක්ෂි දරයි. ඒ බව දේවානම්පියතිස්ස රජතුමාගේ සොහොයුරු, එසමයේ රුහුණු රට පාලකයා ව සිටි මහානාග යුවරජතුමා කිරින්දේ ගලෙක කෙටූ පහත දැක්වෙන සෙල්ලිපි පාඨයෙන් හෙළි වෙයි.

‘අපරිමිතෙ ලොකහි බුධ
සමෙ නති අට්ඨාන පරම දුලබෙ
සවඤුත පතෙ අනුතර සථෙ
මහසරණෙ ලොකචත බුධ නම සයභූ’
‘මෙගලෙහි විහරෙ නක උව රජෙ නම
බුධ සරණ ගතෙ මිචදිටික බිඳිය
යහමග පරයන භූතෙ’

එම සෙල්ලිපියෙහි වත්මන් වහර මෙසේය. ‘අටවැදෑරුම් ආර්ය පුද්ගලයන් අතුරෙන් අතිශයින් දුර්ලභ වූ, සර්වඥ බවට පැමිණි අනුත්තර ශාස්තෘ වූ මහා සරණ හෙවත් මහත් පිහිට වූ, ලෝකයට ඡත්‍රයක් බඳු වූ නොහොත් සසර ඉක්ම වූ (පරෝපදේශ රහිතව තමන් වහන්සේම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ බැවින්) ස්වයංභූ බුද්ධ නම් වූ බුදුරජුන් සමාන උතුමෙක් අපරිමිත ලෝකයෙහි නැත.’

‘යහපත් මාර්ගය පිහිටකොට ඇති නාග නම් යුවරජ තෙමේ මේ ගල් විහාරයේ දී මිථ්‍යාදෘෂ්ටිය බිඳ දමා බුදුන් සරණ ගියේ ය.’

කවර නම් ආශ්චර්යයක් ද? බුදුරජාණන් වහන්සේගේ නම ඇසූ පමණින් ප්‍රමුදිත වූ සිත් පහළ කර ගැනීමට එදවස අප රට විසූ රාජකීයයන් ඇතුළු ජනකායට හැකි වීම අප දිවයින ලද මහා භාග්‍යයක් ම ය. එදවස පටන් රජුන්, මැති ඇමතියන්, රටේ සාමාන්‍ය ජනතාව හා එක්ව එක ඇතිරිල්ලක හිඳගෙන බණ අසමින්, වැව් තනමින්, කෙත්වතු අස්වද්දමින් දැහැමි සශ්‍රීක රාජ්‍යයක් ගොඩනගා සිරිලක පෙරදිග ධාන්‍යාගාරය බවට පත් කළ පුවත ඉතිහාසයේ ලියැවී ඇත. එය මහරු අසිරියක් නොවන්නේ ද?

බුදු දහම නිසා අප ලැබූ ඒ නිදහස් සම්ප්‍රදාය හා අපිස් දැහැමි ජීවිත පැවැත්ම බිඳ වැටුණේ අපරදිග මිථ්‍යාදෘෂ්ටික ජාතීන් පැමිණ මුහුදු බඩ ප්‍රදේශ හා කන්ද උඩරට රාජධානිය ඔවුන්ගේ අණසක යටතට ගැනීමෙන් පසුව ය. අප රට සම්පත් කොල්ල කෑ ඔවුහු රටේ ජනතාවගේ යහපැවැත්ම හා සාමකාමී දිවි පෙවෙත උඩුයටිකුරු කළහ. අධිරාජ්‍යවාදීන්ගේ තාන්න මාන්නවලට ගිජු වූ පහතරට ඇතැම්හු අපට හිමි බොදුනු ජීවන සම්ප්‍රදාය අමතක කොට කිතුනු සමය වැළඳගෙන සෙසු සියලුම ආසියාතිකයින් පසුබාමින් බටහිර ජීවන ක්‍රමය හිස්මුදුනින් පිළිගත්හ.

දෙවැනි ලෝක යුද්ධයෙන් හෙම්බත් වී සිටි ඉංග්‍රීසිහූ 1948 දී අපට නිදහස දුන්හ. අධිරාජ්‍යවාදී පාලනයෙන් අප අත්මිදුණ ද අපගේ ශ්‍රේෂ්ඨ අතීතයත්, බසත් අමතක කළ පාලකයෝ අනුකාරක කාණ්ඩවලට බෙදී එකිනෙකා හඹා යන බැටළු රැලක් සේ හැසිරෙන්නට වූහ. නිසි මග පෙන්වීමක් නොලද රටේ ජනයා ද එම ගඩ්ඩරිකා ප්‍රවාහයට එක් වූහ. එහි විපාක දැන් අපි අත්විඳිමින් සිටිමු. මේ විපතින් අත්නොමිදුණහොත් සිංහල ජනකායගේ අනාගතය ඉතා අඳුරු ය. නොයෙකුත් සමයාන්තර මතිමතාන්තර හිසින් ගෙන කරන කුලල්කෑම නවතා සමස්ත ජනකායට, විශේෂයෙන් තරුණ පරපුරට අපගේ දහම් මගත්, අතීත සම්ප්‍රදායත් හඳුන්වා දී ඔවුන් තුළ අනාගතය පිළිබඳ හැඟීමක් ඇති කළ යුතු වෙයි. මෑත කාලයේ මහමෙව්නාව මඟින් වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන ‘යොවුන් දහම් සක්මන’ ඒ උදෙසා අනුගමනය කළ උතුම් වෑයමක් බව සඳහන් කළ යුතු ය.

බුදු සමය විසින් උරුම කොට දෙන ලද නිදහස් සම්ප්‍රදායට පිටුපා ක්‍රියා කිරීම නිසා අප රට ජනකායට අත්වන විපත මීට අවුරුදු හැත්තෑවකට අධික කාලයක සිට වරින් වර පෙන්වා දෙන ලද්දේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා විසිනි. ‘මනුෂ්‍යයාගේ අදීනත්වය අරභයා කරන ලද උදාරතර අනුශාසනය දක්නා ලැබෙන්නේ බුදු සමයෙහි ය.’ යනුවෙන් ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් පඬිතුමා කළ ප්‍රකාශයක් සිය ‘ඇත්ත යුත්ත’ ග්‍රන්ථයෙහි උපුටා දැක්වූ වික්‍රමසිංහ මහතා අනතුරුව මෙසේ සඳහන් කළේ ය.

“බුදු සමය නිසා අප ලත් උතුම් නිදහස අපගේ පෞද්ගලික දියුණුවත්, ලාභයත් උදෙසා ගැනීමෙන් අප කළ වරදට දැන් අප විසින් විශාල වන්දියක් ගෙවිය යුතු ය. එය ගෙවා අවසන් කළ යුත්තේ උගතුන් කාණ්ඩවලට බෙදී කුලල් කෑමෙන් නොවේ. එය අවසන් කළ හැකි උපාය මාර්ගය වනාහි අපගේ තරුණ පරම්පරාවට අතීතයත්, බසත් උගන්වා අනාගතයක් පිළිබඳ හැඟීමෙන් බඳිනු ලැබූ පොදු පරමාර්ථයක් ඇති ජනකායක් කිරීමෙනි.”

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට අනුරාධපුරයේ මහමෙව්නාව උයනේ දී දේවානම් පියතිස්ස රජතුමා ඇතුළු රටවැසියනට හඳුන්වා දුන් බුදු දහම මුල් කොටගත් ජීවන සම්ප්‍රදාය වෙත අප යළිත් නැඹුරු විය යුතු වෙයි. අද අප රට මුහුණ පා ඇති අර්බුදයෙන් මිදීමට අනුගමනය කළ යුතු එක ම මග එයයි. ඒ සඳහා වුවමනා මග පෙන්වීම, වර්තමාන යුගයේ අපගේ වාසනාවට පහළ වූ මහමෙව්නාවේ ම පින්වත් සඟරුවන විසින් සිදු කරනු ලබයි. එම උතුම් මෙහෙවර උදෙසා අනුප්‍රාණයක් ලබා දිය හැකි, අදට අත්‍යන්තයෙන් ම ගැළපෙන ගී පද පොකුරක් ‘මහාමේඝ’ සත්පුරුෂ පාඨක සජ්ජන සමූහයේ ප්‍රසාද සංවේගය උදෙසා පිරිනමනු කැමැත්තෙමි.

මීට අවුරුදු හැටකට පමණ ඉහත දී තිරගත වූ ‘ඉහත ආත්මය’ නම් සිනමා නිර්මාණයේ ඇතුළත් මේ ගීතය රචනා කරන ලද්දේ කරුණාරත්න අබේසේකර සූරීන් විසිනි. සංගීත විසාරද ප්‍රේමසිරි කේමදාසයන් සංගීතය සැපයූ එම ගීතය ගායනා කළේ විසාරද නන්දා මාලිනිය යි.

“අද පමණක් නොවේ අපට හෙටක් තිබෙනවා
අරුණලු කැන් හිනැහී නව දිනක් ලබනවා
අඳුරෙන් බර ආකර තුළ මැණික් දිලෙනවා
දෙස බස රැස අපේ අතින් එළිය වැටෙනවා
උදාසීන ජාතිය නිදි කිරා වැටෙන්නේ
උදාරතර හැඟුම් පැතුම් නැත ලියලන්නේ
උදාගිරෙන් උදාවෙමින් හිරු එනවා සේ
නවෝදයක් බිහිකරලමු අපි ඉතිහාසේ
මුනි සිරිපා පියුම් පිපුණ මේ මහ දෙරණයි
දිගන්තයේ ජය දද නැගු හෙළ දෑ වරුණයි
එම බැතියෙන් අභිමානෙන් මුළු ලොව සුවඳයි
මෙම නිදහන් දිවි හිමියෙන් අප හට උරුමයි”

මෙයින් අඩ සියවසකටත් ඉහත දී නිර්මාණය වූ මේ ගීතයෙන් උත්කර්ෂයට නැංවෙන්නේ අප දේශය වර්තමානයේ පත්ව ඇති දුර්දසාපන්න ඉරණම දෙස යෝනිසෝමනසිකාරයෙන් යුතුව නිරීක්ෂණය කරන්ටත්, ඉන් මිදී යහපත් අනාගතයක් නිර්මාණය කර ගන්ටත් සිත් යොමු කරවන සුගීතවත් සරල පද සිත්තමකි. අනාගතය ගැන නොසිතා කටයුතු කිරීමේ විපාක වශයෙන් වැනසෙමින් පවත්නා රටේ සෞභාග්‍යය යළි නැංවීමට වුවමනා ස්වභාවික හා මානව සම්පත් නිසි පරිදි මෙහෙයවා අපගේ දියුණුව සලසා ගැනීමට අපට තවම අවකාශය තිබේ.

“උදාගිරෙන් උදාවෙමින් හිරු එනවා සේ
නවෝදයක් බිහිකරලමු අපි ඉතිහාසේ”

අප සතු මහා නිධානය කවරේ ද යන්න පෙන්වා දෙමින් ගීතය අවසන් වෙයි. එහිදී කවියා සිය සිතැඟි උත්කර්ෂයට නංවන්නේ මහරු කාව්‍යෝක්තියකිනි.

සිරිලක් බිම බුදුරජාණන් වහන්සේගේ උතුම් සිරිපා පහසින් පූජනීයත්වයට පත් වූවක් බව පළ කිරීම සඳහා යෙදූ ‘මුනි සිරිපා පිපුණ’ යන වදන් පොකුර පුණ්‍යවන්ත දේශයක් උදෙසා පිදූ උත්තම පූජෝපහාරයකි. සමනොළ ගිරි හිසින් පිපී දිවයිනේ සතර දිග් භාගය ම පූජනීයත්වයට පත් කළ සිරිපා පියුම් ලකුණින් හෙබි හෙළ දෑ වරුණ මුළු මිහිතලය සදා සුවඳවත් කරනු ඇත.

සටහන – දයාපාල ජයනෙත්ති.