වප් මස පුර අටවක දිනය ලක්දිව ප්‍රචලිත වූයේ මිහිඳු පුර අටවක නමිනි. මක් නිසා ද යත්, අපගේ දීපප්පසාදක වූ ආදි ගුරුදේවෝත්තම අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූයේ වප් පුර අටවක දින බැවිනි. ඒ මීට වසර 2283 කට පෙරය. (ශ්‍රී බු.ව. 284)

ලංකාදීපප්පසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේ අපගේ පරම පූජනීය කල්‍යාණ මිත්‍රයාණෝ ය. අප කෙරෙහි දැක්වූ කරුණාව නිසාවෙන් උන්වහන්සේ අපට ශාස්තෘන් වහන්සේ සමානයහ. සිය නිකෙලෙස් හද මඬල නමැති දියමන්ති මංජුසාවෙහි පරම පිවිතුරු ශ්‍රී සද්ධර්මය නමැති සිංහතෙල රඳවාගෙන ලක්දිවට වැඩම කළ සේක. උන්වහන්සේගේ නිකෙලෙස් හද මඬලින්දරාගෙන වැඩි උතුම් ශ්‍රී සද්ධර්මය තුළින් ලක්වැසි පුණ්‍යවන්තයෝ මහරහතන් වහන්සේලා බවට පත් වූ සේක. දිවි හිමියෙන් තෙරුවන් සරණ ගිය ලක්වැසියන්ගේ ශාසන මාතෘ උන්වහන්සේ ය. විමුක්ති සිත් පෝෂණය කළ පීතෘ උන්වහන්සේ ය.

අපගේ මිහිඳු මහරහතන් වහන්සේ මෙහි වැඩම නොකරන්නට අප තවමත් දීන මිනිසුන් ය. අණක් ගුණක් නොමැති ම්ලේච්ඡ ජාතියක් වන්නට සිටි සිංහලයා, ලොවෙහි උතුම් ම ආර්ය ජාතිය බවට පත් කළෝ උන්වහන්සේ ම ය. දෙවනපෑතිස් මහරජුන්ගේ මුතුන්මිත්තන්ගේ පරපුර වනාහී යකුන් යකිනියන් සමග කෙළිදෙළෙන් ගත කළ පිරිසකි. ඇත්තෙන්ම ලක්දිව යක්ෂ
ද්වීපයක් කළෝ ඔවුහු ය. එනමුදු අප අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ එකී යක් පුරය දම් සුවඳ හමන ධර්මද්වීපයක් කළෝ ය. ගෞතම බුදුරජුන්ගේ දහම් ගබඩාව කළෝ ය.

ලක්දිව පැවති යක්ෂ විලාපය සාදුනාදයෙන් සෝදාහළ සේක. ගස්, ගල්, පර්වත, යකුන්, යකිනියන් ඇදහීම නමැති මිථ්‍යා දෘෂ්ටික අන්ධකාරය දුරු කළ රිවි මඬල වනාහී අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ම ය.

මේ ලක්දිව සසුන් කෙත වැපිරූ උන්වහන්සේ ලක් බුදු සසුන එකලු කළ පහන් රුක වූ සේක. හෙළ වැසියන්ගේ සැබෑ ම විමුක්තිදායකයාණෝ උන්වහන්සේ ය. බෝපත් ලෙලදී හමා යන සුළං රැලි ලක්වැසියන්ගේ සෝතැවුල් සංසිඳවූහ. අවිද්‍යාවෙන් තෙත්ව දුකින් බර වූ දෙනෙත් මහා ස්ථූප නමැති අඳුනින් සිහිල් කළ සේක. ලක්වැසියන්ගේ දුක් ගිනි නිවූ මිහින්තලාවෙන් ගැලූ සිහිලැල් දහම් නදිය උන්වහන්සේ ම ය. මිහින්තලාවෙන් පෑයූ කෙලෙස් විඩා නිවාලන පොසොන් පුන්සඳ උන්වහන්සේ ය. අපගේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ඉතා අපූර්ව වූ සදහම් නගරයක් සිරිලක් බිමෙහි නිර්මාණය කළ සේක.

ලංකාපසාදනගුණේන වියාකතෝ සෝ
ලංකාහිතාය මුනිනා සයිතේන අන්‌තේ
ලංකාය සත්‌ථුසදිසෝ හිතහේතු තස්‌සා
ලංකාමරූහි මහිතෝ’භිනිසීදි තත්‌ථාති.

ලක්දිව කෙරෙහි හිතානුකම්පී වූ අපගේ ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ විසින් පිරිනිවන් පානා මොහොතෙහි සල් රුක් සෙවණෙහි සැතපී සිට ලංකාදීපප්පසාදක ගුණයෙන් හෙබි මිහිඳු මහරහතන් වහන්සේ ගැන අනාවැකියක් වදාළ සේක. ලංකාවට ශාස්තෘන් වහන්සේනමක් බඳු අප මිහිඳු මහරහතන් වහන්සේ ලක්වැසි දෙවියන්ගෙන් පිදුම් ලබමින් ලංකාවෙහි යහපත උදෙසා වැඩම කළ සේක.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ මේ ලක් දෙරණට කළ යහපත දෙවැනි වූයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු කෘත්‍යයට විනා අන් දෙයකට නොවේ. මිහිඳු මහරහතන් වහන්සේගේ අවසන් කාලය හා ඒ අතර ශාසනික සේවය ගැන මහාවංශයේ සඳහන් ව ඇත්තේ මෙසේ ය.

මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කළ මිස්සක පව්ව මිහිඳු තලාව හෙවත් මිහින්තලේ නමින් ප්‍රසිද්ධ විය. ඒ සෑගිරියෙහි උන්වහන්සේ වැඩසිටි තැන මිහිඳු ගුහාව නම් වේ.

මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට වැඩම කොට මුල් වසරෙහි මහමෙව්නා උයනෙහි කරවන ලද්දේ මහා විහාරය යි. දෙවනුව කරවන ලද්දේ මිහින්තලේ සෑගිරිය යි. තුන්වෙනුව කරවන ලද්දේ ථූපාරාමය යි.

සතරවෙනුව කරවන ලද්දේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටුවාලීම යි. පස්වෙනුව කරවන ලද්දේ රුවන්වැලි මහාසෑයේ විස්තර සඳහන් කොට ගල්ටැඹ පිහිටුවීම යි. එමෙන්ම අප භාග්‍යවතුන් වහන්සේගේ ග්‍රීවා ධාතූන් වහන්සේගේ පිහිටුවීම ද සිදු විය. සයවැනිව කරවන ලද්දේ ඉසුරුමුනි විහාරය යි. සත්වැනිව කරවන ලද්දේ තිසාවැව යි. අටවැනිව කරවන ලද්දේ පඨමක චේතිය යි. නවවැනිව කරවන ලද්දේ වෙස්සගිරි විහාරය යි.

මිහිඳු මහරහතන් වහන්සේ සඟ පිරිස බිහිකොට පර්යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන ත්‍රිවිධ බුද්ධ ශාසනය මනා කොට බැබළවූ සේක. ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරවූ සේක. එහි අරුත් හෙළ බසින් පවසා අටුවා කළ සේක. භාණක පරම්පරා බිහි කළ සේක. අපගේ මිහිඳු මහරහතන් වහන්සේගේ දූරදර්ශී බව ද අසිරිමත් ය. අරිට්ඨ රහතන් වහන්සේ ප්‍රධාන ලක්දිව පහළ වූ භික්ෂූන් වහන්සේලා ලවා ථූපාරාම සෑ මළුවේ විනය සංගායනාවක් කරවූ සේක. අහෝ…! මොනතරම් අසිරිමත් ද…!

මිහිඳු මහරහතන් වහන්සේගේ මග පෙන්වීම හේතුවෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිව්වණක් ශ්‍රාවක පිරිසට ධර්මයේ හැසිරෙන්නට නිසි පතිරූපදේසවාසයක් මෙසිරිලක බිහි විය. ධර්මාශෝක නිරිඳුන් විසින් එවන ලද ශිල්පීන්ගේ උපකාරයෙන් නව විහාර කර්මාන්ත ද සිදු විය.

දෙවනපෑතිස් රජුගේ රාජ්‍ය කාලය සතළිස් වසරකි. මිහිඳු මහරහතන් වහන්සේ ජීවමානව වැඩසිටිය දී ම රජුගේ අභාවය සිදු විය. ගෞතම බුදු සසුන සිරිලක් වාසීන්ට දායාද කිරීම පිණිස දෙවනපෑතිස් රජු විසින් දක්වන ලද අනුග්‍රහය වචනයෙන් වර්ණනා කොට අවසන් නොකළ හැකි තරම් අසිරිමත් ය.

රජුගෙන් පසු රජකම උදෙසා රාජපුත්‍රයෙකු නොසිටි හෙයින් සිය මලණුවන් වන උත්තිය රාජපුත්‍රයා රජ බවට පැමිණියේ ය.

සිරිලක එළිය කළ හිරු මඬල බැස යයි.

එකල්හී උත්තිය රජු රාජාභිෂේකය ලැබ අටවෙනි වසර ය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේට වයස අසූවකි. උපසම්පදාවෙන් සැටවසක් ගත කළ සේක.

එකල්හී මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයේ වැඩහුන් සේක. සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව පසක් කරමින් පහන් සිලක් නිවී යන ලෙසින් අපගේ පරම කල්‍යාණමිත්‍ර වූ සිංහලයාගේ මහා ආධ්‍යාත්ම ගුරුවරයාණන් වහන්සේ වූ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවී ගිය සේක.

ඒ වප් මාසයේ පුර පක්ෂයේ අටවක දවසයි. එනිසා වප් මාසයේ පුර අටවක දවස එකල සිංහලයෝ හැඳින්වූවාහු ‘ශ්‍රී මිහිඳු පුර අටවක’ නමිනි.

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහයට පූජා පවත්වති.

මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ඇසූ උත්තිය රජු සෝකහුලින් පහර කන ලද්දේ ය. මිහින්තලේ සෑගිරියට ගොස් මහරහතන් වහන්සේගේ නිසල ශ්‍රී දේහයට වන්දනා කොට උන්වහන්සේගේ ගුණ ගායනා කරමින් හඬා වැළපුනේ ය.

රන් දෙණක සුවඳ තෙල් පුරවා මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය එහි තැන්පත් කරන ලද්දේ ය. ඒ දෙණ හොඳින් වසා රන් කුළුගෙයක් මත තබවා සාදුනාද පවත්වමින් අනුරාධපුරයට වඩමවාගෙන එන ලද්දේ ය.

අනුරාධපුර නගරය අලංකාරයෙන් සරසන ලද්දේ ය. තොරණ් බන්දවන ලද්දේ ය. ධජ පතාක ඔසොවන ලද්දේ ය. මල් මාලාවන්ගෙන් සරසන ලද්දේ ය. පුන්කළස් තබ්බවන ලද්දේ ය.

අනුබුදු මාහිමියන් වහන්සේගේ ශ්‍රී දේහය බැහැදකින්නට පංච මහා ගංගාවන් ගලන සෙයින් ලක්දිවින් ජන ගංගාව ගලා ආවේ ය. ජනයාගේ නෙතින් ගැලූ කඳුළින් අනුරාධපුර නගරය තෙමී ගියේ ය.

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය පඤ්චම්බ මාලකයෙහි කූටාගාරයක තැන්පත් කරවා සත් දිනක් පූජෝපහාර පවත්වන ලද්දේ ය.

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරති.

අනුරාධපුරයෙන් නැගෙනහිර දිසාවෙහි බද්ධමාලක නම් තැන සඳුන් දරින් චිතකයක් කරවන ලද්දේ ය. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය රැගෙන ථූපාරාම සෑය ද පැදකුණු කරමින් එතැනට වැඩමවාගෙන ඇවිත් ඒ සිත්කලු චිතකයෙහි කූටාගාරය තැන්පත් කරවූයේ ය.

සිංහල රහතන් වහන්සේලා ද සිංහල රහත් භික්ෂුණීන් වහන්සේලා ද ධර්ම සංවේගය සිහි කරමින් අනිත්‍ය ප්‍රතිසංයුත්ත වූ සම්බුද්ධ දේශනාවන් සජ්ඣායනා කළ සේක.

මග ඵල නොලත් භික්ෂූන් වහන්සේලා ද භික්ෂුණීන් වහන්සේලා ද හඬා වැළපෙමින් මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ කියන්ට පටන් ගත්හ. මග ඵලලාභී උපාසක උපාසිකාවෝ ධර්ම සංවේගයෙන් බලා සිටියහ. අවශේෂ උපාසක උපාසිකාවෝ චණ්ඩ මාරුතයෙන් ඇදහැලෙන වෘක්ෂයන් පරිද්දෙන් සෝකහුලින් පහර කන ලදුව හඬා වැළපෙමින් ඇදවැටුණාහ.

අහසින් මල් වරුසා ඇදහැළුණේ ය. ලක්වැසි දෙවියන්ගේ ශෝකී රාවය සියල්ලන්ට ම අසන්ට ලැබුණේ ය. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහයට ගිනි දල්වන ලදුව අනිත්‍ය ධර්මය පසක් කරමින් ගිනි ඇවිළ ගියේ ය.

මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට එතැන චෛත්‍යයක් කරවන ලදී. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ ස්ථානයට ගෞරව කිරීම පිණිස ‘ඉසිභූමංගන’ යන නම තබන ලදී.

අහෝ…! ඒකාන්තයෙන් සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. සියලු සංස්කාරයෝ හටගෙන නැසී යන ස්වභාවයෙන් යුක්තයහ. මෙබඳු ස්වභාවයෙන් යුක්ත වූ සංස්කාර ධර්මයන්ගේ සංසිඳී යෑම සදහටම සිදුවෙමින් යම් රහතන් වහන්සේනමක් පිරිනිවන් පානා සේක් ද ඒ සංසිඳී යෑම සැපයකි.

ඒ අපගේ පරම කල්‍යාණමිත්‍ර වූ ලංකාදීපප්පසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් නමස්කාර කරමි. අපගේ නමස්කාරය වේවා!

පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ.