[image title=”” size=”full” id=”8755″ align=”none” linkto=”none”]

කුල කාන්තාවක් විවාහ දිවියට ඇතුළු වනවා කියන්නේ ජීවිතයේ එක් විශේෂ සන්ධිස්ථානයක්. දෙමව්පියන් විසින් මෙසේ විවාහ දිවියට පා නගන තම දියණියට විවිධාකාර තෑගි භෝග දායාද හැටියට දෙන එක අපේ රටේ වගේ ම බොහෝ රටවල සංස්කෘතීන් තුළ තිබෙන එක් අංගයක්. ඉතින් මේ විදියට දෙන තෑගිවල ස්වභාවය එ් එ් පවුල්වල තියෙන ආර්ථික පසුබිම මත වෙනස් වෙනවා. ගොඩාක් සල්ලි තියෙන කෙනෙක් නම් විශේෂ වූ සුඛෝපභෝගී යාන වාහන ආදිය තෑගි කරන අවස්ථා දකින්නට ලැබෙනවා. එහෙම නැත්නම් ඉතා සුවපහසු, විශාල, මනරම් වූ නිවසක් හදල තෑගි කරනවා. ලෝකයේ අනෙක් රටවල් එක්ක සන්සන්දනය කරද්දි එතරම් පොහොසත් රටක් නොවන අපේ රටේ වුණත් ඇති හැකි උපරිමයෙන් දායාද පවරලා තමයි විවාහ මංගල්‍යයන් පවත්වන්නේ.

මහා වස්තු සම්භාර තිබෙන, විශාල ධන කුවේරයන් ජීවත් වන රටවල් ගැන අපට අසන්නට ලැබෙනවා. එවැනි ධනපතියන්ගේ විවාහ මංගල්‍යයන් අතිශයින් මිල අධිකයි. වත් පොහොසත්කම ඉස්මතු වන ආකාරයට තමයි ඔවුන් එවැනි උත්සව පවත්වන්නේ. ඉතින් එවැනි රටක මෑතක දී විශේෂ විදියේ විවාහ උත්සවයක් සිද්ධ වුණා. එ් විශේෂ මනමාලි තමයි සවුදි අරාබිය කියන රටේ රජතුමාගේ දුව. තම දියණියගේ විවාහය වෙනුවෙන් සවුදි රජුත්, දේවියත් අමුතුම ආකාරයේ ඇඳුමක් සකස් කළා. ඩොලර් 3000000ක් වගේ අති විශාල මුදලක් වියදම් කරල… වටිනා කියන රෙදිවලින් සකස් කරපු මේ මංගල ඇඳුම ඇන්දම මනමාලිය දිස්වෙන්නෙ හරියට ශෝභා සම්පන්න පිරමීඩයක ආකාරයටයි.

ඉතින් මේ විදියට විශාල උත්සවශ‍්‍රීයකින් විවාපත් කර දුන් රජ දියණියට සවුදි රජතුමා විසින් තවත් විශේෂිත වූ තෑග්ගක් සකස් කරල තිබුණා.

එ් තමයි සම්පූර්ණයෙන් ම රනින් නිමවූ වැසිකිළියක්. මේ පුවත ඇසූ ලෝකයේ ජීවත් වන සාමාන්‍ය අය බොහෝ සෙයින් විස්මයට පත් වුණා, මේ සා විශාල ධනස්කන්ධයක් මේ රජතුමාට තියෙනව ද කියල. ඉතින් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරල තිබෙන විදියට මේ සියල්ල පින නිසා උපදින දේවල් කියල. මනුලොව හෝ දෙව්ලොව කෙනෙක් සැප ලබනව නම් එ් සියල්ල පින නිසා ම ලැබෙන දේවල්. මේ ආකාරයෙන් ධනස්කන්ධයක්, බලයක් ලබන්න සවුදි රජු පින් කොට තිබෙනවා.

සාමාන්‍ය ගිහි ජීවිත ගත කරන අය අතර අද වගේ ම බුදුරජාණන් වහන්්සේ වැඩ සිටි කාලයේත් බොහෝ වස්තු සම්පත්තීන්ට උරුමකම් කියපු අය වාසය කළා. එ් කාලයේ හිටිය පින්වත් උපාසක කෙනෙක් තමයි අනාථ පිණ්ඩික සිටුතුමා කියන්නේ. එතුමා බුදුරජාණන් වහන්සේ ප‍්‍රමුඛ සංඝරත්නය උදෙසා ජේතවනාරාමය කරවීමට ජේත කුමාරයාගෙන් ඉඩම ලබාගත්තේ ඉඩම පුරා රන් කහවණු අතුරල. පොඩි ඉඩක් නෙමෙයි, අක්කර පනස් හතරක විශාල භූමි ප‍්‍රදේශයක්…
විශාඛා කියන්නෙත් ඉතාමත් ධනපති පවුලක කෙනෙක්. මග ඵල ලාභී විශාඛා උපාසිකාවත් බොහෝ ධනය විය පැහැදම් කරල උතුම් වූ පින්කම් කළා. පූර්වාරාමය කියල කියන්නේ බොහෝ භික්ෂු පිරිසකට වැඩ සිටින්නට හැකි ආකාරයට විශාඛාව විසින් සාදවා පූජා කළ ආරාමයක්. අපි දන්නව විශාඛාව පෙර කළ පින් නිසාවෙන් පංච කල්‍යාණියට පවා උරුමකම් කියපු රූමත්, ගුණවත්, ප‍්‍රියමනාප කාන්තාවක් බව.

ඉතින් මේ අනාථ පිණ්ඩික සිටුතුමා, විශාඛා සිටු දුව ආදි පින්වත් උදවිය ගිහි ජීවිත තුළ ම හිඳගෙන තිසරණය තුළ පිහිටල නොයෙකුත් ආකාරයෙන් පින් දහම් රැුස්කර ගත්ත. එ් වගේ ම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසා පුරුදු පුහුණු කරල මග ඵල ලැබුව. මරණින් මත්තෙ සුගති දෙව්ලොව උපන්නා. එ් කාලයේ හිටිය ඔවුන් තරම් ම වත්පොහොසත්කම් තිබුණ හැම කෙනා ම මේ ආකාරයට දෙලොව යහපත සලසා ගත්තේ නැහැ. සමහරුන්ට එ් උතුම් ලාභය මග හැරුණා.

අපි අද වුණත් දකින දෙයක් තමයි සමහරු බොහෝ ධනවත් වෙලා උපදිනව. එ් වුණාට එ් අය මේ ජීවිතයේ කිසිම පිනක් රැුස්කර ගන්නට උත්සාහ කරන්නේ නෑ. තමන්ට තියෙන ධනය විදම් කරල නොයෙකුත් දුෂ්චරිතවල යෙදෙනවා. එහෙමත් නැත්නම් තමන් සතු ධනය කිසිම දෙයකට වියදම් නො කර බොහෝ මසුරුමල සහිතව ජීවත් වෙනව. අඩුම තරමේ තමන්වත් හරියට රසවත් කෑමක් බීමක් ගන්නෙ නැහැ. ලස්සන ඇඳුමක් පැලඳුමක් අඳින්නට හිත දෙන්නෙ නැහැ. තමන්ගේ පරිභෝජනය වෙනුවෙන් සිත නැමෙන්නේ නැති නම් අනිත් අයට දීමක්් ගැන කවර කතා ද…. ඉතින් මේ විදියට ධර්මයක් දියුණු නො කර, පිනක් දහමක් කරන්නෙ නැතුව දුකසේ මෙලොව ජීවත් වෙලා මරණින් පස්සෙ බොහෝ දුක් තියෙන නිරයේ හරි තිරිසන් ලෝකෙ හරි උපදිනවා. අපි අහල තියෙනව බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙත් එ් වගේ දුක්ඛිත ජීවිත ගත කරපු අය හිටිය. තෝදෙයිය බමුණ කියන්නෙත්, අපුන්තක සිටුතුමා කියන්නෙත් එ් වගේ කීප දෙනෙක්. ඔවුනට පරලොව යහපත දකින්නට හැකි වුණේ නැහැ.

බලන්න, පරලොව සුගතිය කියන කාරණයට වැදගත් වෙලා තියෙන්නේ මෙලොව හිමි වස්තු සම්භාරය කොපමණ ද කියන කාරණය නෙමෙයි; එ් වස්තු තමන් විසින් යොදා ගත්තේ කොහොමද කියන කාරණයයි. මේ විදියට බැලූවම කෙනෙක් ධනය ඇතුව ඉපදිල මරණින් මතු සුගතියේ සැප විඳීමටත්, තවත් කෙනෙක් මරණින් මතු නිරයේ, තිරිසන් ලෝකයේ ගොස් දුක් විඳීමටත් හේතු වන්නේ තම ජීවිතය තුළ ගුණධර්ම දියුණු කිරීම හෝ නො කිරීමයි.

මේ කිසි කෙනෙක් පිළිගන්නව නම් මේ පින් දහම් කිරීමෙහි විපාක තියෙනව කියලා එ්ක එයාගෙ ලෞකික සම්මා දිට්ඨියයි. සමහර විට මේ ජීවිතය ගැන විතරක් හිතන කෙනෙකුට මෙහෙම හිතෙන්න පුළුවන්. ‘මම මෙච්චර පින් දහම් කරනව එ්ත් මට කිසිම දෙයක් ලැබෙන්නෙ නෑනෙ. මම කරන කිසිම දෙයක් හරියන්නෙ නෑනෙ…. එ්ත් ඔය දුෂ්චරිතයේ යෙදෙන අය යස අගේට හම්බ කරගෙන සාර්ථකව ඉන්නෙ’ කියලා… එහෙම කෙනෙකුට හිතෙන්නෙ පින ගැන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නොදන්නාකමින්. භාග්‍යවතුන් වහන්්සේ දේශනා කළා ”පින් පව් කියල කියන්නෙ කිරි මිදෙනවා තරම් ඉක්මනට විපාක දෙන එකක් නො වෙයි” කියල සමහර දේවල් මේ ජීවිතයේ දී ම විපාක දෙනව. තවත් සමහරක් පරලොව දී හෝ නිවන් දක්නා තුරු කිසියම් ජීවිතයක දී විපාක දෙන්නට හැකියාව තියෙනවා. එ් කිසිවක් විපාක නො දී බොල් වන්නේ නැහැ. එ් නිසා හැම වෙලාවෙ ම පින් කිරීම ම යි වටින්නේ.

අපට ලැබෙන ධනය උපයෝගී කරගෙන අප නොයෙකුත් දේවල් කරනවා. එ් දේවල් අතරින් අපි ලෝකෝත්තර වූ දෙයක් කරනවා නම් එ්කට අපට ලෝකෝතර වූ ධනයක් අවශ්‍ය වෙනවා. එ් උදෙසා මේ ලෝකයේ තිබෙන උතුම් ම ධනය තමයි තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ සත්තිස් බෝධි පාක්ෂික ධර්මය නැමැති ශ‍්‍රී සද්ධර්මය. බුදුරජාණන් වහන්සේ විසින් මේ උතුම් ධනය සොයා ගැනීම උදෙසා ම අන් සියලූ ලෞකික ධනයන් අත්හැරියා. රන් පාත‍්‍ර, රන් මිරිවැඩි සඟළ, රන් සළු, රාජකීය ආසන ආදිය අතහැරල මැටි පාත‍්‍රයක් අතට ගත්තා, පාංශුකූල සිවුරත් පොරව ගත්ත. රජ සැපය ඉවත දමා අමා සැපය සාක්ෂාත් කර ගත්තා. එ් වගේ ම තමයි රජකමට උරුමකම් කිවූ කුමාරවරු හා බොහෝ සිටු පුත‍්‍රයන් පවා එ් සියලූ ලෞකික සැප අත්හැරල නිරාමිස සැපය වන නිවන නැමැති උතුම් වූ ධනයට උරුමකම් කීවා. රට්ඨපාල රහතන් වහන්සේ, යස රහතන් වහන්සේ කියන්නෙ එවැනි උතුමන් වහන්සේලායි. රනින් සැනසෙන්න උත්සාහ කරන ලෝකයේ, රනින් නිර්මාණය වූ සැප සම්පත් උන් වහන්සේලා අත් හැර දැම්මේ අලූයම ඉවතලන කෙළ පිඬක් වගේ. කාමයන්ගේ ආදීනව අවබෝධ කර ගත්ත එ් උතුමාණන් වහන්සේලා කාමයන්ට ඇලෙමින් සසරේ ප‍්‍රමාද වුණේ නැහැ.

බලන්න, මේ සෑම යුගයක ම ලෝකයේ බොහෝ ධනවතුන් පහළ වී තිබෙනවා. එ්ත් එ් අතරින් කිහිප දෙනෙක් පමණයි ආර්ය වූ ධනයෙන් සැනසීම ලැබුවේ. වස්තුව බොහෝ තිබුණත් ධර්මය නැති නම් ආර්ය වූ ධනවත් බව ලැබෙන්නේ නැහැ. වස්තුව නැතත් ධර්මය තිබෙනවා නම් ආර්ය වූ ධනවත් භාවය ඇති කර ගන්නට පුළුවන්. එ් උත්තම ලාභය හිමි වන්නේ මේ ලෝකයේ ඉතාමත් අල්ප වූ පිරිසකට පමණයි. ඔවුන් ම යි ලෝකයේ සියලූ කාම ගිනිවලින් නිදහස් වෙලා නිවී සැනසී කෙලෙස් පරතෙර දකින්නේ…

ඉතින් අප ජීවත් වෙන අපේ මේ මව්බිම රනින් පිරී ඉතිරී නො ගියට ඉතා ම වාසනාවන්ත රටක්. එ් වාසනාව අපට ලැබී තිබෙන්නේ, එ් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නිර්මල දහම පිරිසිදුව කතා කරන්නේත් පුරුදු කරන්නෙත් ශ‍්‍රී ලංකා ධරණීතලය මත වීම නිසයි.

ඉතින් මෙතරම් ම ධර්මය විවෘතව කතාබස් කරන කාල පරිච්ඡේදයක බෞද්ධ වෙලා ඉපදෙන්නට තරම් අපි වාසනාවන්ත වුණා. එ් නිසා ම අපි බොහෝ ධනවත්… කලාතුරකින් අපට ලැබෙන මේ ධර්මය නැමැති උතුම් ම ධනය උපයෝගී කරගෙන නිවන තුළ නිවී සැනසෙන්නට අපිත් අප‍්‍රමාදී වෙමු!

සටහන
කලණ ගංගානාථ