ධාතුසේන රජුගෙන් පසු වසර 450ක් පමණ ගතවන තුරු විවිධ බාධා මධ්‍යයේ වුව ද රටෙහි එක්සත් භාවය ආරක්ෂා වී තිබුණත් අනුරාධපුර රාජධානියේ අවසාන භාගයේ පාලකයන් වූ කලී දුර්වල, තෙද නැති පාලකයන් බැවින් රටෙහි පාලන තන්ත්‍රය අවුල් වියවුල් වී ගියේ ය. අනුරාධපුර රාජධානියේ අවසන් රජු ලෙස තම නම ඉතිහාසයට එක්කරමින් ව්‍ය. ව. 912 දී 5 වන මහින්ද රජු අතිශයින් ම ව්‍යාකූල වී ගිය පාලන තන්ත්‍රයකින් සමන්විත වූ අනුරාධපුරයෙහි රජකමට පත් විය. මේ වන විට රාජ්‍ය පාලනය කෙතරම් දුර්වල වී ද යත් ජනපදවාසීහු රජුට ගෙවිය යුතු බදු ආදිය නොගෙවා පැහැර හැරියේ ය. මේ නිසා අතිශයින් ම දිළිඳු භාවයට පත් රජුට තම බල සේනාවන්ට මාස කිහිපයක් ම වැටුප් ගෙවා ගත නොහැකි විය. මෙයින් කෝපයට පත් රජුගේ හේවායන් රජුට පැන ගත නොහැකි වන ආකාරයෙන් රජ ගෙය වටකොට ආයුධ අතැතිව සිටියහ. උපක්‍රමශීලී වූ රජු තමා සතුව තිබූ වස්තුව රැගෙන උමන් මාර්ගයකින් නික්ම රුහුණට පළා ගියේ ය. රට අරාජික තත්ත්වයකට පත් විය.

5 වන වරටත් සොළී ආක්‍රමණයක් ලක්බිමට එල්ල වේ.

දඹදිව සිට මෙහි පැමිණ සිටි අශ්ව වෙළෙන්දෙක් නැවත දකුණු ඉන්දියාවට ගොස් එහි සිටි සොළී රජු හට ලංකාද්වීපයේ පවතින රාජ්‍ය පාලනයේ අස්ථාවරත්වය ගැන යථා පරිදි දන්වන ලද්දෙන් වහා ක්‍රියාත්මක වූ රජු ලක්දිව අල්ලා ගැනීම පිණිස මහා සේනාවක් පිටත් කොට එවන ලද්දේ ය. එම සේනාව රජරට ප්‍රදේශය හා රුහුණේ කොටස් කිහිපයක් ඇතුළු ලක්දිව විශාල ප්‍රදේශයක බලය තහවුරු කොට 5 වන මිහිඳු රජු හා බිසවත්, රජුගේ සියලු වස්තුවත් අත්පත් කරගෙන සොළී රජු වෙත යවන ලද්දාහ. අවසන සිංහලයන් හට ඉතිරි වූයේ මොනරාගල ප්‍රදේශයත්, හම්බන්තොට ප්‍රදේශයත්, රක්වාන් ගඟෙන් වට වූ ප්‍රදේශයත් පමණි.

සොළීහු වසර 1400ක පමණ කාලයක් මුළුල්ලේ ලංකාද්වීපයෙහි අගනුවර ලෙසින් තේජාන්විත ව බැබළෙමින් තිබූ අනුරාධපුරය අතහැර පොළොන්නරුව අගනගරය කොට රාජ්‍ය පාලනය කළහ. රුහුණේ වාසය කළ සිංහල ජනයා 5 වන මිහිඳු රජුගේ පුත් 12 හැවිරිදි කාශ්‍යප කුමරු ව සොළීන්ගෙන් ආරක්ෂා කරගෙන ඇති දැඩි කළේ ය. මේ ගැන දැනගත් සොළී රජු කුමරු ව අල්ලා ගැනීම පිණිස මහ ඇමතියන් සහිතව 95,000ක සේනාවක් රුහුණු දේශයට එවන ලද්දේ ය. එහෙත් ප්‍රමාණයෙන් කුඩා වුවත් අධිෂ්ඨානයෙන් බලවත් වූ අප සිංහලයෝ මක්ඛකුද්‍රෑවාසී කීර්ති නම් ඇමතිතුමාත්, මාරගල්ලවාසී බුද්ධ නම් ඇමතිතුමා සමඟත් මනා කොට සංවිධානගතව පලුට්ඨගිරි දුර්ගයෙහි කඳවුරු බැඳ (සිතුල්පව්ව පාරේ මඟුල් මහා විහාර පෙදෙස ලෙස සැලකේ.) සය මසක් පුරාවට අප්‍රතිහත ධෛර්යෙන් යුක්ත ව සොළීන් හා යුද කොට බොහෝ දෙමළුන්ට පරලොව උරුම කොට දී පොළොන්නරුව දක්වා ම පසුබස්සවන ලද්දාහ. (පටු සීමාවක වාසය කළ ප්‍රමාණයෙන් ද සුළු පිරිසක් වූ රුහුණුවාසී සිංහලයෝ 95,000ක මහා දෙමළ සේනාවකට මුහුණ දී ඔවුන් ව පරාජය කොට තිබීමෙන් පෙනී යන්නේ සිංහලයන් කෙබඳු ආකාරයක අභිමානයකින් හා ධෛර්ය සම්පන්න සිතකින් දේශයේ ස්වාධීනත්වය උදෙසා ඔවුන් සමඟ යුද වදින්නට ඇත්දැයි කියා ය.)

මෙයින් පසු සිංහලයෝ කාශ්‍යප කුමරුට වික්‍රමබාහු යන නම තබා තමාගේ එක ම රජු ලෙස සැලකූහ. මෙයත් සමඟ අතිශයින් ම උද්‍යෝගීමත් වූ සිංහලයෝ චෝළයන්ගෙන් රජරට ප්‍රදේශය නිදහස් කර ගැනීම පිණිස රජු හා එක් විය. මේ ආකාරයෙන් වික්‍රමබාහු රජුට ලක්ෂයක පමණ සේනාවක් සුදානම් කොටගෙන යුද්ධය ආරම්භ කිරීමට සූදානම් වන අවස්ථාවේ දී මේ යුද කිරීමට කාලය නොවේ යැයි සලකන්නාක් මෙන් වාත රෝගයක් වැළඳීමෙන් සියලු සිංහලයන් ව සෝ සුසුම් සයුරෙහි ගිල්වමින් හේ පරලෝකප්‍රාප්ත විය.

රුහුණු දේශයේ ද බල අරගලයක් ඇති වේ.

රජුගේ වියෝවෙන් පසු රුහුණු දේශයට ඉතාමත් නරක කලදසාවක් ලැබුවේ ය. රුහුණු දේශය රැකුමට සිටි නායකයන් අතර මහා බල අරගලයක් ඇති විය. වික්‍රමබාහු රජුට පසු කීර්ති නම් ඇමති රජකමට පත් වූ නමුදු රුහුණු දේශයට ඔහුගේ අණසක පැතිරවීමට ඔහුට ලැබුණු අවස්ථාව දින අටකට සීමා විය. මහලාන කිත්ති නම් අයෙක් කීර්ති ඇමතිව ඝාතනය කොට රුහුණු රාජ්‍යයේ පාලනය සියතට ගත් අතර රජකමට පත්ව තුන් වසරකින් සොළීන් හා යුධ කොට රජකම පමණක් නොව ජීවිතය ද අහිමි කර ගත්තේ ය. (රාජාධිරාජ නම් සොළී රජුගේ සෙල් ලිපියක ඔවුන් අතින් මරණයට පත් වූ මහාභරණ නම් අයෙකු ගැන සඳහන් වන අතර හෙතෙමේ වූ කලී මහලාන කිත්ති ලෙසට හඳුනාගැනේ.) ඉන් පසු වික්‍රමපාණ්ඩ්‍ය නම් කුමරෙක් රජකමට පත් වූ අතර රාම ගෝත්‍රයෙහි උපන් ජගත්පාල නම් රාජ පුත්‍රයෙක් අයෝධ්‍යා පුරයෙහි සිට මෙරටට පැමිණ වික්‍රමපාණ්ඩ්‍ය රජු මරා ව්‍ය. ව. 976 දී රජකමට පත් විය. එහෙත් වැඩි කල් රාජ්‍යශ්‍රීය භුක්ති විඳීමේ වාසනාවක් ඔහුට නො වී ය. ව්‍ය. ව. 980 දී සොළීන් සමඟ ඇතිවූ යුද්ධයක දී රණබිම තුළ දී රජකමත්, තම ජීවිතයත් අත් හැරීමට ඔහුට සිදු විය. සොළීහු රජුගේ බිසවත්, දියණියත්, සියලු වස්තුවත් හස්තකප්‍රාප්ත කොට ගෙන සියල්ල සොළී රටට යවන ලද්දාහ. ඉන් පසු ජගත්පාල රජුට පූර්වයෙහි රජ කළ වික්‍රමපාණ්ඩ්‍ය රජුගේ පුත් කුමරු රජකමට පත්ව වසර දෙකක් පුරාවට රුහුණු දේශය පාලනය කොට සොළීන් සමඟ ඇති වූ යුද්ධයක දී රණබිම මත තම නිසල දේහය ඉතිරි කළේ ය. ඉන් පසු ලෝකේෂ්වර නම් සෙන්පතියෙක් රජකමට පත් විය. මේ වන විට පිරිසිදු රාජ වංශයට අයත් මහා පින්වත් කීර්ති නම් කුමරෙකු රුහුණු දේශය තුළ අප්‍රකට ව වාසය කළ අතර මේ කුමරු ගැන දැනගත් ලෝකේෂ්වර සෙන්පති සමඟ උරණ ව සිටි බුද්ධරාජ නම් සෙනවියෙක් කුමරු ව සොයාගෙන ඔහුව ආරක්ෂා කරමින් කුමරුට බොහෝ උපකාර කළේ ය. එසේ කරන ලද උපකාරය කීර්ති කුමරුගේ (විජයබාහු රජුගේ) වචනයෙන් ම මෙසේ ය. “පූ පළ තෙද යස බන්ඳා දසත් මෙරජ වැළලකුළු රුණු දඩනායක සිත්තරු බිම් බුදල්නාවන් අප සොළී දෙමළුන්ගේ විබලයෙන් සිය රජින් පිරිහී ගල්වලැ වළහි වන අවදියැ……..”

4;5;6; සොළී දෙමළුන්ගෙන් පැමිණි උවදුරු නිසා අප සතු රජය අපට අහිමිව අප වනගත කඳුකරයේ සැඟව සිටිය දී රුහුණේ දණ්ඩනායක සිත්තරුබිම් බුදල්නාවන් සිය පිරිවර සෙන් ආධාර කොට ගෙන අප පිය මහා සාමි මුගලන් වහන්සේ ඇතුළු රජ පවුලේ අප හැම දෙනා ආරක්ෂා කළේ ය. අප බාල කාලයේ දී ඇතිදැඩි කළේ ය. මහ වනයෙන් සොයාගත් අල මුල් පළා වර්ගයන්ගෙන් අප පෝෂ්‍ය කළේ ය. යන යන තැන අප සොයමින් සැරිසරන සතුරන්ගෙන් අප රැක ගත්තේ ය.

(පනාකඩුව තඹ සන්නස )

කීර්ති කුමරු රුහුණ එක්සේසත් කරයි.

කීර්ති කුමරු වයස අවුරුදු දහතුන වන විට දක්ෂ ධනු ශිල්පියෙක් බවට පත් වූ අතර ලක්දිව සොළීන්ගෙන් බේරා ගැනීමේ අධිෂ්ඨානයෙන් ද දැඩි වන්නට පටන් ගත්තේ ය. එහෙත් ඒ සඳහා ප්‍රථමයෙන් රුහුණු දේශය තමාට අවනත කර ගැනීම අනිවාර්යෙන් ම කර ගත යුතු විය. ඒ සඳහා සේනා රැස් කර ගත් කීර්ති කුමරු තමාට විරුද්ධ පිරිස් සිටි බෝධිවාල නම් ගම ජය ගත්තේ ය. මෙය දැනගත් ලෝකේෂ්වර සෙනවි කුමරු අල්ලා ගැනීමට සේනාවක් එවූ නමුත් සූර්ය රෂ්මි ප්‍රභාවය හමුවේ කදෝපැණියන්ගේ ප්‍රභාෂ්වර භාවය වියැකී යන්නාක් මෙන් කීර්ති කුමරුගේ තේජස් භාවය අභිමුඛයෙහි සතුරු සේනාව පරාජයට පත් විය. ඉන් පසු ද අහංකාර පර්වශ වූ ලෝකේෂ්වර සෙනෙවි නොයෙක් වර කුමරුට එරෙහිව සේනාවන් එවූ නමුත් ඒ සියලු අවස්ථාවන්හි ඔහුට පරාජිත භාවයේ සෝ සුසුම් පමණක් හිමි විය. අවසන කීර්ති කුමරු හා යුද කිරීමේ ආශාව අත්හැර රාජ්‍යත්වයෙන් සය වන වසරේ දී පරලෝක පරායණ වූවේ ය.

ඉන් පසු කේෂධාතුනායක නම් අයෙක් රජකමට පත් වූ අතර මේ බව දැන ගත් සොළීහු පෙර යුදවලින් ලැබූ ජයග්‍රහණයන් සිහිපත් කරමින් මානය නමැති කොඩි ඔසවාගෙන රජු හා යුදයට පැමිණියත් මෙවර සිංහලයන් විසින් සොළීන්ගේ මානය නමැති කොඩි බිම හෙළා සිංහල ජාතිය වනාහී කෙතරම් අභිමානවත් ජාතියක් ද යන බව මනා කොට පෙන්වා දෙමින් සොළීන් ව පරාජය කොට දැමූහ. මේ සිදුවීමත් සමඟ කීර්ති කුමරු කේෂධාතුනායක ව පරාජය කිරීම පිණිස බලසෙන් සන්නද්ධ කළ අතර මේ බව දැනගත් කේෂධාතුනායක තෙමේ කීර්ති කුමරු හා යුද කිරීමට පැමිණිය ද බොහෝ දෙනෙක් තමා හැර ගිය නිසා යුද නොකොට පළා ගොස් සේනා සංවිධානය කරගෙන නැවත වරක් කීර්ති කුමරු සමඟ යුද කිරීමට පැමිණියේ ය. ඒ වන විට 17 වියැති කීර්ති කුමරු අතින් යුද පිටියේ දී කේෂධාතුනායක මරණය වැළඳ ගත්තේ ය. මෙයත් සමඟ කීර්ති කුමරුට රුහුණේ සොළීන්ට අයත් කොටස හැර සෙසු ප්‍රදේශ එක්සේසත් කිරීමට හැකි වූ අතර කීර්ති කුමරු විජයබා රජු යනුවෙන් ප්‍රසිද්ධියට පත් විය.

විජයබාහු රජු ගැන අසා සොළීහු රජුව අල්ලා ගැනීම පිණිස සොළී සාමන්තයා ව පෙරටු කර ගෙන මහා බල සෙන් සහිතව කතරගමට යන අතර වාරයේ විජයබා රජු දුර්ගයක සැඟවී සිප්පත්ථල ගමට ගොස් එහි වාසය කළෙන් ඔවුහු නගරය මංකොල්ල කා පොළොන්නරුවට ම ගියහ. මේ අතර රජු රාමඤ්ඤ දේශයේ රජුට දූතයන් යවා බොහෝ සම්පත් ගෙන්වාගෙන එම සම්පත්වලින් සේනාවන්ට සංග්‍රහ කොට තම්බල නම් ගමට පැමිණ වාසය කළේ ය. (මේ ස්ථානය වර්තමානයේ රුහුණේ හිනිදුම් පත්තුවේ තම්බල ගම ලෙස සැලකේ.) නැවත වරක් සොළීහු රුහුණු දේශයට කඩා වැදුණු අතර මේ අවස්ථාවේ දී රජුගේ රවිදේව හා චල යන ඇමතිවරුන් දෙදෙනා සොළීන් හා එක් වූහ. විජයබාහු රජු පළුට්ඨ පබ්බතෙහි දුර්ගයක් කරවා සොළීන් පැමිණෙන තුරු එහි වූ අතර බොහෝ සොළීහු මරු වසඟයට ගියහ. පරාජයට පත් වූ සොළී සාමන්තයා සිංහයන් දුටු විට දිවයන කැණහිළෙකු සේ සිංහලයන්ගෙන් මිදීමට පලා ගියත් ඔහු හඹාගෙන ගිය සිංහල සේනාව ඔහු අල්ලාගෙන ඔහුගේ ශීර්ෂය ද සාරවත් ධනාදිය ද රජු වෙත ගෙනවිත් දුන්හ.

මෙයත් සමඟ පොළොන්නරුව ද ජය ගැනීමේ උදාර අදහස් පෙරදැරිව සේනාවත් සමඟ පොළොන්නරුවට ගිය ද දකුණු ඉන්දියානු සොළී ආධාර ලැබ ශක්තිමත් වූ සොළීහු රජුව පරාජයට පත් කළෙන් වාතගිරි නම් ස්ථානයට පසුබැස එහි වාසය කිරීමට සිදු විය. එසමයෙහි කලින් රජව සිටි කේෂධාතුනායකගේ බාල සොහොයුරා විජයබා රජු සමඟ යුද කිරීමට පැමිණිය ද පරාජයට පත්ව තම දිවි බේරා ගැනීමේ වාසනාව ලදුව රජරට ප්‍රදේශයට පළා ගියේ ය.

විජයබාහු රජු ලංකාද්වීපය එක්සේසත් කරයි.

ඉන් ටික කලකට පසු මනා කොට සේනාවන් සංවිධානය කර ගත් විජයබාහු රජු උපක්‍රමශීලී ව රජරට ජය ගනු වස් සේනාව කොටස් තුනකට වෙන් කොට එක් සේනාවක් දක්ඛිණ දේශය ජය ගැනුමට යැවූ අතර ඔවුහු අනුරාධපුරය ද ජයගෙන මහාතිත්ථය දක්වා තම බලය තහවුරු කළහ. තවත් සේනාංකයක් ඇමතිවරු දෙදෙනෙක් යටතේ නැගෙනහිර මුහුදු වෙරළ හරහා යැවූ අතර ඔවුහු සියලු කඳවුරු ජය ගනිමින් පොළොන්නරුව කරා ළඟා වූහ. අනෙක් සේනාංකය විජයබාහු රජු සමඟ මහියංගණය හරහා පොළොන්නරුවට ළඟා වූ අතර එහි දී කලින් සොළීන් හා එකතුව සිටි රවිදේව හා චල යන ඇමතිවරු දෙදෙනා රජු හා එක් විය. පොළොන්නරුව කරා ළඟා වූ සේනාංක දෙක ම එක්වර පොළොන්නරුවට පහර දුන් අතර අති බිහිසුණු සංග්‍රාමයක් ඇති විය. අවසන සොළී සේනාවන් පරාජය කොට ලක්දිව සොළී පාලනය නම් කටු කොහොල් හරවා පිරිසිදු කොට විජයබාහු රජු ලක්දිව එක්සේසත් කළ හතරවන රජු ලෙස ඔටුණු පැලඳී ය. ඉන් පසු ද රටෙහි යම් යම් අවස්ථාවල කැරලි හට ගැණුන ද ඒවා සියල්ල මැඩ පවත්වන ලද අතර රජකමට පත්ව 40 වසරක් පුරාවට සොළීන් විසින් විනාශ කළ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරමින්, බිඳී ගිය වැව් ආදිය නැවත ගොඩනංවමින්, නැතිව තිබූ උපසම්පදාව නැවත රාමඤ්ඤ දේශයෙන් භික්ෂූන් වඩමවා ඇති කොට සසුන ද ආරක්ෂා කරමින් ස්වර්ග පරායණයට අවැසි පුණ්‍ය කර්මයන් රැස් කොට ව්‍ය. ව. 1110 දී තම ආයුෂ අත්හරින ලද්දේ ය.

එක්සත් වූ ලංකාව කොටස් කිහිපයකට බෙදේ.

විජයබාහු රජුගේ මරණයත් සමඟ රටෙහි එක්සත් භාවය දෙදරා යන ලකුණු පහළ විය. රජරට සිටි බලකාමී කණ්ඩායමකගේ ක්‍රියාකාරීත්වයෙන් රුහුණේ සිටි විජයබාහු රජුගේ පුත් වික්‍රමබාහු කුමරුට පිය රජුගේ මරණය ද නොදන්වා විජයබාහු රජුගේ සොයුරු ජයබාහු කුමරු රජ බවට පත් වූ අතර හිස් වූ උප රජ තනතුරට විජයබාහු රජුගේ සොයුරිය වූ මිත්තා කුමරියගේ මහාභරණ, කිත්සිරිමේඝ, සිරි වල්ලභ යන පුත් කුමාරවරු අතරින් මහාභරණ කුමරු පත් විය. (පෙර සිරිත් අනුව විය යුතුව තිබුණේ උපරජ තනතුර වික්‍රමබාහු කුමරුට උරුම වීම යි. මෙයින් එම පෙර සිරිත කඩ විය.) ඉන් පසු ජයබාහු රජුත්, මහාභරණ කුමරුත්, වික්‍රමබාහු කුමරු ව අල්ලා ගැනීමට රුහුණ ආක්‍රමණය කළ ද වික්‍රමබාහු කුමරු ඔවුන් හා යුද කොට ඔවුන් ව පරාජය කොට රජරට ද ආක්‍රමණය කොට පොළොන්නරුව ජයගෙන රජරට පාලකයා බවට පත් විය. කෙසේ හෝ දක්ඛිණ දේශය හා රුහුණු දේශය සිය අණසකට ගැනීමට මහාභරණ කුමරුත්, ඔහුගේ සොහොයුරනුත් සමත් විය. මින් දක්ඛිණ දේශයේ පාලකයා බවට මහාභරණ කුමරු පත් වූ අතර ඔහු පුංඛගාමය (කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම) එහි අගනුවර කොට ප්‍රදේශය පාලනය කරන ලද්දේ ය. එක්සත් ව තිබූ රුහුණු දේශය ද කොටස් දෙකකට බෙදුණු අතර වලවේ ගඟින් බටහිර ප්‍රදේශය වූ දොළොස් දහස් රට පාලකයා බවට කිත්සිරිමේඝ පත් වූ අතර ඔහු මහානගහුල (වර්තමානයේ හම්බන්තොට රම්බා විහාරය පිහිටා ඇති ප්‍රදේශය) ස්වකීය මූලස්ථානය බවට පත් කර ගත්තේ ය. වලවේ ගඟින් නැගෙනහිර ප්‍රදේශය වූ අටදහස් රටෙහි පාලනය සිරිවල්ලභ කුමරු යටතට පත් වූ අතර ඔහු උදුන් දොර නම් ස්ථානය (වර්තමානයේ මොනරාගල අසල ගලබැද්ද ප්‍රදේශය) තම පාලන මධ්‍යස්ථානය බවට පත් කළේ ය. ජයබාහු රජු මහානාගහුල වාසය කළේ ය. මේ ආකාරයෙන් ලංකාද්වීපය කොටස් හතරකට බෙදී වෙන් විය.

වික්‍රමබාහු රජු රජකමට පත්ව වසරක් ගෙවී ගියේ ය. කිත්සිරිමේඝ, මහාභරණ, සිරිවල්ලභ යන සොයුරු රජවරු තිදෙනා රජරට ආක්‍රමණය කොට වික්‍රමබාහු රජුව පරාජයට පත් කිරීම පිණිස සේනාවන් සංවිධානය කිරීම ආරම්භ කළහ. මේ බව දැනගත් වික්‍රමබාහු රජු තම සේනාවන් ගෙන එහි පැමිණ ඔවුන්ගේ හමුදාවන් පරාජය කළෙන් රජවරු තිදෙනා පස් යොදුන් රටට පළා ගිය අතර ඔවුන් යටත් කර ගැනීමට වික්‍රමබාහු රජු ඔවුන් පසු පස හඹා ගියහ. මේ අතර වාරයේ මාතොටින් ගොඩ බට වීරදේව නම් අයෙක් වික්‍රමබාහු රජුට විරුද්ධව යුද කිරීමට පැමිණියෙන් රජුට තම ප්‍රතිවාදීන් පසුපස හඹා යාම නවතා වීරදේවගේ සේනාව මැඩලීම පිණිස ප්‍රවිෂ්ට වීමට සිදු විය. එහි දී ඇති වූ යුද්ධයෙන් පරාජයට පත් වික්‍රමබාහු රජු වහා කොටසර ප්‍රදේශයට පළා ගියේ ය. රජු හඹා ගිය වීරදේව ඇතුළු සේනාව ද එම ප්‍රදේශයට ළඟා වූ අතර අනපේක්ෂිත අයුරින් එහි දී රජුගේ සේනාව විසින් ඔවුහු වට කොට ගත්හ. ඇති වූ යුද්ධයෙන් වීරදේව මරණයට පත් වූ අතර ඔහුගේ සේනාව ද අන්ත පරාජයකට ලක් විය. ඉන් පසු නැවත වික්‍රමබාහු රජු රජරට ප්‍රදේශයේ පාලකයා බවට පත් වූ අතර පෙර පරිදි අනික් ප්‍රදේශ සහෝදර රජවරු තිදෙනා අතට පත් විය. ඉන් පසු තුන් බෑ රජවරු අතරත්, වික්‍රමබාහු රජු අතරත් යුද්ධයක් ඇති නො වී ය.

මතු සම්බන්ධයි….

ලක්දිව එක්සේසත් කළ රජවරු – 01 කොටස