මහා ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන අප මාතෘ භූමිය බොහෝ කාලයක් මුළුල්ලේ පාලනය කරන ලද්දේ රජ දරුවන් විසිනි. ඉන් ඇතැම් රජවරුනට බෙදී ගිය රටක් පාලනය කිරීම සිදු වූ අතර තවත් සමහර රජවරුන්ට එක්සත් වූ රටක රජකම් කිරීමේ වාසනාව උදා විය. එමෙන් ම තවත් රජවරුන්ට ඉතා වෙහෙස මහන්සි වී රට එක්සේසත් කොට පාලනය කිරීමට සිදු විය.

ව්‍ය. ව. පූ. 543 දී විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට ගොඩබැසීමත් සමඟ ලංකාවේ රජ පරම්පරාව බිහි වූ අතර කලින් කලට විවිධ ආර්ය ජන කණ්ඩායම් මෙරටට පැමිණ ලක්දිව විවිධ ප්‍රදේශයන්හි කුඩා කුඩා රාජ්‍යයන් ආරම්භ කොට ඒවා පාලනය කළහ. දේවානම්පියතිස්ස රජ දවස වන විට සේරු නුවර, ලෝණ නුවර, චන්දනගාමය, කතරගම, කැලණිය වැනි ප්‍රාදේශීය රාජ්‍යය රැසක් ලක්දිව තිබුණු අතර රජුගේ සොයුරු මහානාග යුවරජු රජුගේ බිසව විසින් තමා මරණයට පත් කිරීමට ගත් උපක්‍රමය හෙළි වීමෙන් අනුරාධපුරයෙන් පලා ගොස් රුහුණු රාජධානිය ආරම්භ කොට මාගම එහි අගනුවර කොට ගෙන රුහුණු රට පාලනය කළේ ය. (එදා එම රජු විසින් ආරම්භ කළ රුහුණු රාජධානිය අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔයත්, කරද ඔයත් අතර භූමිය වූ අතර හැඩ ඔයත්, කරද ඔයත් ඇසුරුකර ගත් භූමියෙහි මාගම රාජධානිය පිහිටා තිබුණි. එමෙන් ම මේ රජුගේ ශිලා ලේඛණ හමුවන්නේ ද මේ ප්‍රදේශයන්ට අනුරූප ව ය.) මහානාග යුවරජුගේ මුණුබුරෙක් වන ගෝඨාභය රජු විසින් එවක කතරගම පාලනය කළ දස බෑ රජවරුන් මරවා කතරගම රාජධානිය ද රුහුණු රාජ්‍යයට ඈඳා ගන්නා ලදී. (බෝවත්තේගල, කොටාදැමු හෙළ වැනි ස්ථානයන්ගෙන් ලැබුණු සෙල්ලිපිවලින් මෙම දසබෑ රජවරුන්ගේ විස්තර හෙළි වේ.) එම රජුගේ පුත් කුමරු වන කාවන්තිස්ස රජු විසින් (සෙල්ලිපිවල මෙම රජුව කකවණ තිස ලෙස හඳුන්වා තිබේ) කොටස්වලට බෙදී තිබූ රෝහණ රාජ්‍යය එක්සේසත් කරන ලද්දේ ය.

ප්‍රථම වරට ලක්දිව එක්සේසත් වෙයි

කාවන්තිස්ස රජුට දාව විහාර මහා දේවියගේ කුසින් ඉතා පින්වත් කුමරෙක් මනුලොවට බිහි වූ අතර එම කුමරුට ගාමිණී අභය යන නාමය තබන ලද්දේ ය. මෙම කුමරු උපදින කල ලක්දිව විශාලතම ප්‍රදේශය වූ පිහිටි රට පාලනය කරන ලද්දේ එළාර නම් සොළී රජු විසිනි. වැඩිවියට පත් ගාමිණී අභය කුමරු සොළීන්ගෙන් ලක්දිව බේරාගෙන ගෞතම බුදු සසුන බැබළවීමේ පරම පවිත්‍ර අදහසින් සේනා සංවිධානය කිරීමට පටන් ගත්තේ ය. කුමරු විසින් රැස් කළ සේනාව තුළ එම සේනාව ම ශෝභමාන කරවන නන්දිමිත්‍ර, සුරනිමල මහාසෝණ, ගෝඨයිම්බර, ථේරපුත්තාභය, මනාභරණ වේළුසුමන, ඛඤ්ඡදේව, ඵුස්සදේව ලභිය වසභ කියා මහා බලසම්පන්න මහා යෝධයෝ දස දෙනෙක් ද සිටියහ. (ඇතැමුන් මෙම දසමහා යෝධ කථාව මිථ්‍යාවක් යැයි පැවසුව ද නන්දිමිත්‍ර යෝධයා ගැන කුඩුම්බිගල, ඇළගමුව, මදයාකන්ද වැනි ස්ථානවලින් හමු වන සෙල්ලිපිවලින් ද නයින්දනාව විහාර ලිපිය, මඟුල් මහා විහාර ලිපිය වැනි සෙල්ලිපිවලින් ගෝඨයිම්බර යෝධයා ගැන ද ගෝනගල පුදබිමේ ඇති ලෙන් ලිපියකින් ථේරපුත්තාභය යෝධයා පිළිබඳ ව ද සිතුල්පව්ව දෙකුන්දර වැව ශිලා ලිපියකින් වේළුසුමන යෝධයා ගැන ද. මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්එල්ලුගොඩ කන්ද, විහාර ගල් කන්ද ආදී ස්ථානවලින් හමු වන ශිලා ලේඛණයන්හි ඵුස්සදේව යෝධයා ගැන ද සඳහන් වන හෙයින් දසමහා යෝධයන්ගේ කථාව බොරුවක් ය යන මිථ්‍යා මතය ප්‍රතික්ෂේප කෙරෙන අතර දසමහා යෝධයින්ගේ ඓතිහාසිකත්වය මනා කොට තහවුරු වේ.

(මීට අමතර ව දාඨාසේන යන නමින් ද මහාතේල යන නමින් ද යෝධයන් දෙදෙනෙක් රජුට සිටි බව සද්ධර්මාලංකාරය සඳහන් කරයි.)

මේ ආකාරයේ මහා බලසම්පන්න සේනාවකින් සන්නද්ධ වූ රජු සුදුසු අවස්ථාව පැමිණි කළ එළාර රජු සමඟ යුධ කිරීම ආරම්භ කළේ ය. ප්‍රථම යුද්ධය මහියංගණයෙන් ආරම්භ වූ අතර දුටුගැමුණු රජුගේ සේනාව එම යුද්ධය ජය ගෙන පිළිවෙළින් දෙමළ බලකොටු බිඳ හෙළමින් අභීතව පෙරට පැමිණ විජිතපුර බලකොටුව අසල කඳවුරු බැඳ ගන්නා ලදී. විජිතපුර බලකොටුව වූ කලී ජය ගැනීමට ඉතාමත් අපහසු, ඉතාමත් ශක්තිමත් ප්‍රාකාරවලින් ද ගෝපුර අට්ටාලවලින් ද අයෝමය ද්වාරයන්ගෙන් ද ගැඹුරු දිය අගල්වලින් ද සමන්විත බලකොටුවක් වූ නමුදු රජුගේත්, සිංහල සේනාවන්ගේත් දෘඪතර අධිෂ්ඨානය හා කැපවීම අබියස ඒ මහා බලකොටුව බිඳ වැටුණි. (ඇතැමුන් විසින් කලා වැව අසල ඇති විජිතපුර විහාරය විජිතපුර බලකොටුව ලෙස හැඳින්වුවත් නියම විජිතපුර බලකොටුව පොළොන්නරු ප්‍රදේශයට අනුරූප ව තිබී ඇති බව බොහෝ ඉතිහාසඥයින්ගේ මතය යි.) ඉන් පසු ගැමුණු රජු ගිරිලක ආදී බලකොටු ද යටත් කරගෙන එළාර රජු සමඟ ද්වන්ධ යුද්ධයක යෙදී එළාර රජු ව පරාජයට පත් කොට මුළු ලංකාද්වීපයේ ම අග රජු බවට පත් විය. මේ ආකාරයෙන් ප්‍රථම වරට මේ ලංකාද්වීපය ඒකඡත්‍ර කළ රජු වශයෙන් දුට්ඨ ගාමිණී අභය මහ රජු ඉතිහාසයට එක් විය. (සෙල්ලිපිවල මේ රජුව දෙවන පිය ගාමිණී අභය ලෙස හඳුන්වා තිබේ.)

දුටුගැමුණු රජුට පසුව පහළ වූ සද්ධාතිස්ස රජු, ථුල්ලත්ථන රජු, ලජ්ජිතිස්ස රජු, ඛල්ලාටනාග රජු යන රජවරුන්ට එක්සත් වූ රටක් පාලනය කිරීමේ වාසනාව ලැබුණි. සද්ධාතිස්ස රජුගේ පුත් ඛල්ලාටනාග රජුව මරා මහා රත්තක සෙනෙවි රජකමට පත් වීමට උත්සහ කළත් එම රජුගේ සොයුරු වු වළගම්බා කුමරු වහා ක්‍රියාත්මක වී මහා රත්තක සෙනෙවි ව මරා ව්‍ය. ව. පූ. 103 දී රජකමට පත් විය. මෙතුමා විසින් සිය සොයුරු බල්ලාටනාග රජුගේ පුත් කුමරු ව තම පුත්‍රස්ථානයෙහි තබා හදා වඩා ගත් අතර ඒ නිසා රජුව පීතෘ රාජ යන නාමයෙන් ද හැඳින්වූ බව වංශ කථාවෙහි සඳහන් වන අතර ශිලා ලේඛනයන්ගෙන් එය මනා කොට තහවුරු වේ. (සෙල්ලිපිවල පීතෘරාජ යන වචනය පිතරජ ලෙසට පෙරළී තිබේ.)

පිත මග රඣහ බඩගරික පරුමක ශුමන පුත පරුමක චෙමශ ලෙණෙ රඣ තිශහ රක්‍ධියශි නියතෙ අගත අනගත චතුදිශ ශගශ.

පිත මහ රජුගේ භාණ්ඩාගාරික පරුමක සුමනගේ පුත් පරුමක චේමශගේ ලෙණ තිස්ස නම් රජුගේ කාලයේ දී සතර දිශාවෙන් පැමිණි නොපැමිණි සංඝයා හට පවරන ලදී.

(කොරවග්ගල ලිපිය)

ගමණි අභය පිත මහ රඣහ ඣමත කණ තිශහ ලෙණෙ අගත අනගත චතුදිශ ශගශ දිනෙ.

ගාමණී අභය පිත මහ රජුගේ බෑණා වන කණහ තිස්සගේ ලෙණ සිව් දිශාවෙන් පැමිණි නොපැමිණි සංඝයා හට දෙන ලදී.

(නුවරකන්ද ලිපිය)

ලක්දිව නැවතත් දෙකඩ වෙයි

එහෙත් වැඩි කලක් මේ රජුට රාජ්‍යත්වයේ සිටීමට නොහැකි විය. දකුණු ඉන්දියාවෙන් මහා බලසෙන් රැගෙන පැමිණි සොළීන් සත් දෙනෙක් මහාතිත්ථ වරායට ගොඩ බැස රජුට විරුද්ධව යුදයට පැමිණි අතර රුහුණේ නකුළ නම් නගරයෙන් තීය නම් බ්‍රාහ්මණයෙක් ද රජුට විරුද්ධව යුද ප්‍රකාශ කළේ ය. උපක්‍රමශීලී වූ රජු තීය බ්‍රාහ්මණයාට හැකි නම් දෙමළුන් සමඟ යුද කොට ලංකා රාජ්‍යය ගත මැනවැයි කියා සන්දේශයක් යැවූ අතර ඊට අනුගත වූ තීය බ්‍රාහ්මණයා දෙමළුන් හා යුද කිරීමට ගොස් පරාජයට පත් වූවේ ය. ඉන් පසු රජු දෙමළුන් සමඟ යුද කිරීමට ගියත් රජු ද පරාජයට පත් වූයේ තම රාජ්‍යය අත්හැර පුත් කුමරුවන් දෙදෙනාත්, අනුලා දේවිය හා සෝමා දේවිය යන දෙදෙනාත් රැගෙන පලා ගිය අතර පලා යන අතරමග දී රථයේ බර වැඩි නිසාවෙන් සිංහල ජාතියත්, රටත් බේරාගැනීමට සිටින එක ම නායකයා ව ආරක්ෂා කර ගනු වස් සෝමා දේවිය රථයෙන් බැස ද්‍රවිඩයන් අතට හසු වූවා ය.

රජු ඇතුළු අනෙක් පිරිස නිරුපද්‍රිතව වෙස්සගිරි විහාරය අසල ඇති වනයට පැමිණ සැඟවුණහ. (මේ වෙස්සගිරි විහාරය දැනට ඉසුරුමුනිය ලෙස හඳුන්වන පුදබිමට ඔබ්බෙන් කුරණෑගල පාරට වන්නට පිහිටා ඇති පුද බිම ලෙස සැලකීමට සාමාන්‍ය ජනයා පුරුදුව සිටියත් එය වනාහී වෙස්සගිරිය නොව නියම නාමය ‘ඉස්සර සමණ විහාරය’ හෙවත් ඉසුරුමුනිය යි. ඒ බව ඒ ස්ථානයෙන් ම ලැබී ඇති ශිලා ලේඛනවලින් මනාව තහවුරු වන අතර දැනට ඉසුරුමුනිය ලෙස හඳුන්වන පුදබිම අතීතයේ පැරණි ඉසුරුමුනි විහාරයට ම අයත් කොටසක් ලෙස හෝ නැතහොත් රන්මසු උයනේ කොටසක් ලෙස හෝ පවතින්නට ඇතැයි කියා ඉතිහාසඥයන් මත පළ කර තිබේ. වෙස්සගිරි පුදබිම නියමාකාරයෙන් තවම සොයාගෙන නැති අතර වළගම්බා රජුගේ ගමන් මගත්, ජනශ්‍රැතිත්, භූගෝලීය සාධකත් උපයෝගී කොට ගෙන රැස්වෙහෙර පුදබිම එම ස්ථානය වන්නට පුළුවනැයි කියා අනුමාන කරයි.) එහි දී කුත්ථික්කුල මහා තිස්ස තෙරුන්ව රජුට හමු වූ අතර උන්වහන්සේ විසින් රජු ඇතුළු පිරිසට ආහාර ලබා දෙන ලදී.

මෙසේ පලා යන රජුට මහත් වූ දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදු විය. සාමාන්‍යයෙන් සිදු වනු ලබන්නේ පිහිටි රටට ආක්‍රමණයක් පැමිණි පසු රජු රුහුණට පලා ගොස් එහි දී සේනා සංවිධානය කරගෙන නැවත රට බේරාගෙන ලක්දිව එක්සේසත් කිරීම යි. එහෙත් මේ වන විට තීය බමුණා නිසා රුහුණු රාජ්‍යයේ පක්ෂපාතීත්වය රජුට යම් පමණකට අහිමි වී තිබූ නිසා රජුට රුහුණු රටට පලා ගොස් වාසය කිරීමට හැකි පරිසරයක් එහි නො වී ය. එහෙයින් රජුට සිදු වූයේ මලය රටට පලා යාමට ය. එසේ ගොස් තනසිව නැමැති ජන ප්‍රධානියෙකුගේ නිවසෙහි රැඳී සිටිමින් සේනා සංවිධානය කිරීමට පටන් ගත්තේ ය. එහෙත් එය සිතන තරම් පහසු දෙයක් නො වී ය. මේ කාලයේ දී ම බැමිණිටියා සාය නමින් මහා දුර්භික්ෂයක් ලක්දිවට උදා විය. දොළොස් වසරක් වැසි ඇද නොහැලුණේ ය. (මෙය කෙතරම් දරුණු වී ද යත් ඇතැම් මිනිසුන් තම ජීවිතය පවත්වා ගැනීමට භික්ෂූන් වහන්සේලා පවා මරාගෙන මස් කෑමට පුරුදු වී තිබුණි.) රටවැසියාට යුද කරනු තබා තම ජීවිතය ගැට ගසා ගැනීම පවා අතිශයින් ම දුෂ්කර විය. මෙවැනි පරිසරයක් තුළ තම අධිෂ්ඨානය බිඳ යාමට ඉඩ නො දී මේ සියලු දුෂ්කරතාවයන් මහත් වීරියෙන් යුතුව ණය ගනිමින් වසර 14ක් පුරාවට නොයෙක් ප්‍රදේශයන්හි සැරිසරමින් සේනා සංවිධානය කර ගෙන රට බේරා ගැනීම සඳහා මනා කොට සූදානම් විය. ඒ අතරවාරයේ තමාගේ සහයට තමා වටා සිටි පිරිසේ සහයෝගය රජුට නැති වී යන ආකාරයේ සිදුවීමක් ද විය.

වළගම්බා රජු යුද්ධයට යාමට ප්‍රථමයෙන් රජුට ආශීර්වාද ලබා ගැනීම පිණිස අච්ඡගල්ල විහාරයේ බුද්ධ පූජාවක් සිදු කරවී ය.

(මෙම අච්ඡගල්ල විහාරය වර්තමානයේ පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව නගරයට සැතපුම් තුනක් උතුරින් පිහිටි පරමාකන්ද ලෙන් විහාරය බවට ඒ විහාරය අසල ඇති තෝනිගල සෙල්ලිපිය අනුව හඳුනාගැනේ) බුද්ධ පූජාවෙන් අනතුරුව රජු හා බිසව ආකාශ චේතිය වන්දනා කිරීමට පඩිපෙළ නැග එත්දී කපිසීස නම් ඇමතියා සෑ මළුව පිරිසිදු කොට පහළට බසිමින් සිටි අතර රජු හා බිසව දුටු පසු පහළට බැසීමට වෙනත් මඟක් නොමැති වූ හෙයින් රජුට නැගීමට ඉඩ දී හෙතෙමේ පඩිපෙළින් ඉවත්ව පසෙකින් වාඩි විය. මෙය දුටු රජු මේ ඇමතියා තමාට අගෞරවයක් කළා යැයි සිතා කපිසීස ඇමතියා ව මරා දැමූ අතර රජුගේ අනෙක් ඇමතිවරු සත් දෙනා රජු කෙරෙහි කලකිරීමට පත්ව රජු අතහැර පලා ගියෝ ය. පලා යන අතරමග දී මොවුහු හම්බුගල්ලක විහාරයට ගොඩවැදුණු අතර එහි වැඩ වාසය කළ තිස්ස තෙරුන් මොවුනට කරුණු පහදා දී රජු හා සමඟ සමාදානගත කරවී ය. (මෙම හම්බුගල්ලක විහාරය කුරුණෑගල දිස්ත්‍රීක්කයේ වන්නි හත්පත්තුවේ මගුල් මැදගම් දහය කෝරළේ පිහිටි හල්බේ විහාරය ලෙස සලකනු ලැබේ.)

නැවත වරක් ලක්දිව එක්සේසත් වෙයි.

මෙසේ ඇමතිවරුන් හා සමාදානගත වූ රජු ඉතා සහයෝගයෙන් දෙමළුන් සමඟ යුද කොට දාහතර වසරක් පුරාවට ලක්දිව තිබූ සොළී පාලනය අවසන් කොට දමා දෙවන වරටත් ව්‍ය. ව. පූ. 89 දී රජකමට පත් විය. ඉන් පසු රුහුණු රාජ්‍යය ද තමාට අවනත කරනු ලැබී ය. මේ ආකාරයෙන් දෙවන වරටත් ලක්දිව එක්සේසත් විය. ඉන් පසු වසර පන්සිය ගණනක් පුරාවට ලක්දිව පාලනය කළ රජවරුනට යම් යම් කරදර බාධා පැමිණියත් එක්සත් වූ ලංකාවක රාජ්‍යශ්‍රීය භුක්ති විඳීමේ භාග්‍යය උදා විය.

ව්‍ය. ව. 433 දී මිත්සෙන් රජු රාජ්‍යත්වයට පත්ව වසරක් ගිය තැන ලංකාවේ පන්සිය වසරක් පුරාවට පැවති එක්සත් බව නැති කරමින් ව්‍ය. ව. 439 දී පණ්ඩු නම් ආක්‍රමණික දෙමළෙක් මහා බල සෙන් ගෙන ලංකාද්වීපයට ගොඩ බැස මිත්සෙන් රජු මරා පිහිටි රටෙහි බලය අල්ලා ගත්තේ ය.

ඒ කාලය වන විට ලක්දිව ශාක්‍ය රජ පෙළපතට අයත් පිරිස් එම (පළමුවන) ශාක්‍ය රජ පෙළපත අවසන් කර දමා රජ බවට පත් සුභ රජුට බියෙන් අනුරාධපුරයෙන් පලා ගොස් විවිධ ස්ථානයන්හි වාසය කළ අතර ඔවුන්ගෙන් කෙනෙක් වන ධාතුසේන නම් කුටුම්බියෙකුගේ (පවුල් ජීවිතය ගත කරන්නෙක්) පුත් වූ දාඨ නම් පුත්‍රයාට ධාතුසේන නමින් පුතෙක් සිටි අතර එම කුමරු තම මාමා වන දික්සඳ පිරිවෙණෙහි වැඩ විසූ මහානාම නම් භික්ෂුව ළඟ පැවිදි ව සිටියේ ය. (මහාවංශයේ ප්‍රථම භාගය ලියන ලද්දේ මෙම මහානාම භික්ෂුව විසින් යැයි සැලකේ.) මේ ධාතුසේන සාමණේරයන් වහන්සේ ගැන දැන ගන්නට ලැබුණු පණ්ඩු නැමැති දෙමළ රජු උන්වහන්සේ ව අල්ලා ගැනීම පිණිස සේනාවක් එවූ අතර මේ බව දැනගත් මහානාම භික්ෂුව ඊට ප්‍රථමයෙන් සාමණේරයන් වහන්සේ ව රැගෙන රුහුණු රටට පලා යාමට සමත් විය. පසුව සිවුරු හළ ධාතුසේන කුමරු පිහිටි රට ද්‍රවිඩයන්ගෙන් බේරාගෙන නැවතත් ලක්දිව ඒකඡත්‍ර කිරීමට සේනාවන් සංවිධානය කිරීමට පටන් ගත්තේ ය. මේ වන විට අනුරාධපුරයේ වාසය කළ සියලු වංශවත් ජනයා ද රුහුණට පැමිණ සිටි අතර ඔවුන් ද තම සහයෝගය ධාතුසේන කුමරුට ලබා දුන්හ.

තෙවන වරට ද ලක්දිව එක්සේසත් වෙයි.

මේ ආකාරයෙන් බල සේනාවන් සංවිධානය කර ගත් ධාතුසේන කුමරු ඒ වන විට පිහිටි රට පාලනය කළ කුඩා පාරින්ද දෙමළ රජු සමඟ සටන් කළත් පරාජයට පත් විය. ඉන් අධෛර්යයට පත් නොවූ කුමරු නැවතත් සේනාවන් හොඳින් සංවිධානය කරගෙන කුඩා පාරින්දගෙන් පසු රජකමට පත් තිරීතර රජු සමඟ සටන් කර හෙතෙමේ පරලොව යැවී ය. ඉන් පසු දාඨිය නැමැති තවත් ද්‍රවිඩයෙක් රජකමට පත් වූ අතර වසර තුනකින් ඔහුට ද ධාතුසේන රජු සමඟ යුද කොට කලින් රජුට අත් වූ ඉරණමට ම මුහුණදීමට සිදු විය. ඉන් පසු පීඨිය නැමැති කෙනෙක් රජකමට පත් වූ අතර හේ රජකමට පත්ව සත් මාසයක් ගිය තැන ධාතුසේන කුමරු විසින් ඔහුව ද පරලොව යවන ලද්දේ ය. මේත් සමඟ දකුණු ඉන්දීය දෙමළ වංශය ධාතුසේන කුමරු හා යුද කිරීමෙන් ක්‍ෂය භාවයට පත් වී ගියේ ය.

මේ ආකාරයෙන් ආක්‍රමණිකයන් නැමැති කටු කොහොල් හරවා ලංකා භූමිය පිරිසිදු කොට ධාතුසේන කුමරු ව්‍ය. ව. 461 දී රාජ්‍යත්වයට පත් වූ අතර ලක්දිව එක්සේසත් කළ තුන්වන රජු ලෙස මේ රජු ඉතිහාසයට එක් විය. මේ ශ්‍රේෂ්ඨ රජු ලක්දිව 18 වසරක් පුරාවට රාජ්‍යත්වය හෙබවී ය. (ඇතැම් සාහිත්‍ය මූලාශ්‍රවලත්, 14 වන සියවසට අයත් ශිලා ලිපිවලත් මෙතුමා ව ‘දාසෙන් කැළි’ යන නාමයෙන් හඳුන්වා තිබේ.) ඉන් පසු වසර 450ක් පමණ ගතවන තුරු රටෙහි එක්සත් භාවය ආරක්ෂා වී තිබූ අතර ඇතැම් රජවරුන්ගේ කාලවල දී එය නැති වීමට ඉඩ ප්‍රස්ථාවන් ඇති වුව ද ඒවා සියල්ල ව්‍යර්ථ කොට දමා රටෙහි එක්සත් භාවය ආරක්ෂා කර ගැනීමට එම රජවරු වග බලා ගත්හ.
මතු සම්බන්ධයි.

(ආශ්‍රේය මූලාශ්‍ර ලබන කලාපයෙන් බලාපොරොත්තු වන්න).

– මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි

 

ලක්දිව එක්සේසත් කළ රජවරු – 02 කොටස