රසගුණ පිරි දන් පුදමු.

‘පුහුල් හොරා කරෙන් දැනේ’ කවුරුත් දන්න සොරකමක් අතටම අසුවෙන්න සිදු වූ විට අපේ මුතුන් මිත්තෝ කියපු ආත්තෝපදේශයකි. බොහෝ දෙනෙක් පුහුල් කියූ විට කන් වසාගන්නා තරමට අකමැතිය. නමුත් පුහුල් යනු ශරීරයේ විෂ නසන මනා හැකියාවක් ඇති එළවළුවකි. අද අපි හදන්නේ පුහුල් වලින් ඉතා රසවත් වගේම මිහිරි ගතියෙන් යුතු දෝසි හදන ආකාරය ඉගෙන ගන්නයි.

ලංකාවේ වෙළෙඳපො‍ලේ ඇති පුහුල් දෝසි වල බොහෝ වෙලාවට පැණිරස ගතිය හැර වෙනත් රසක් නොදැනේ. ඒ නිසා පුහුල් දෝසි කෑමට බොහෝ අය අප්‍රිය කරයි. නමුත් අපි ඉගෙන ගන්නා ක්‍රමයට අනුව පුහුල් රසය මනාව දැනෙනවා වගේම පුහුල් කෑලි වල මැද ඉතා මිහිරි පුහුල් ඉස්ම ඇති ජූස් ගතිය ද ඇත. මෙහි රස විඳපු අයෙකු නැවත නැවත ඉල්ලන එක නම් නොඅනුමානයි. මේ විදියට පුහුල් දෝසි රස කැවිල්ලක් විදියට වගේම පළතුරු කේක් සඳහා ද පුහුල් දෝසි එක්කර ගත හැක.

පුහුල් දෝසි සෑදීම සඳහා ඔබ තෝරාගන්නා පුහුල් ගෙඩිය හොඳට මෝරා තිබිය යුතුය. පිට පොත්තේ අළු ගතිය හොඳට තිබේ නම් එය හොඳට මෝරපු ගෙඩියකි. ඒ වගේම පොත්ත ද මදක් තද ගතියෙන් යුක්ත වේ. මෙසේ තෝරාගන්නා පුහුල් ගෙඩියේ බර දැනගෙන තිබීම අනිවාර්ය වේ. අපි ගන්නා පුහුල් කැබැල්ලේ බර අනුව සීනි ආදිය එක්කර ගනී. පුහුල් 1kg කින් පුහුල් දෝසි සාදන ආකාරය අපි බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය.

මෝරපු පුහුල් 1kg ක කෑල්ලක්.

බුලත් විට සඳහා පාවිච්චි කරන හුණු මේස හැඳි 1 ක්.

සීනි 600ට ක්.

මුලින්ම කළ යුත්තේ පුහුල් කෑල්ල ගෙන එහි පොත්ත සහ ඇට කොටස සමඟ ඇති මෘදු කොටස් සියල්ලම ඉවත් කර ගත යුතු ය. දෝසි සඳහා හයිය ගතිය ඇති පුහුල් මදය පමණක් යොදා ගනී. දැන් එය අඟලක පමණ දිග පළල පිහිටන ආකාරයට කෑලි කපා ගන්න. ඉන්පසු ගෑරුප්පුවක් හෝ Toothpick (ටූත් පික්) එකක් ගෙන කෑලි නොකැඩෙන සේ පුහුල් කෑලි සිදුරු කර ගත යුතු ය. මෙසේ සකස් කර ගත් පුහුල් කෑලි ටික පසෙකින් තබා ගන්න.

වෙනත් භාජනයකට පුහුල් කෑලි වැසෙන ප්‍රමාණයට තරම් ප්‍රමාණවත් ජලය ගෙන හුණු මේස හැන්ද දමා හොඳින් මිශ්‍ර කරගන්න. හුණු ටික හොඳින් දිය වූ පසු සකස් කරගත් පුහුල් කෑලි ටික දමා පියනකින් වසා පැය 12 ක් පමණ පෙඟෙන්න හරින්න.

ඊට පසු හුණු වතුර ටිකෙන් පුහුල් කෑලි ගොඩට ගෙන පිරිසිදු ජලයෙන් හොඳින් සෝදාගන්න. මෙසේ තුන් හතර වතාවක් හොඳින් පිරිසිදු ජලයෙන් සෝදාගත යුතු ය. සෝදාගත් පුහුල් කැබලි ටික පසෙකින් තබා ගන්න.

පුහුල් කැබලි ටික භාජනයකට දමා තම්බා ගත යුතුය. ඒ සඳහා ගැලපෙන සාස්පානක් ගෙන පුහුල් කැබලි ටික දැමූ පසු හොඳින් වැසෙන පරිදි අවශ්‍ය ප්‍රමාණයට ජලය දමන්න. දැන් භාජනය ලිප මත තබා හොඳින් ගින්දර දමා වතුර ටික රත් කරගන්න. හොඳින් පැසෙන රත් වූ උණු වතුරට පුහුල් කැබලි ටික එකතු කරන්න. පුහුල් කැබලි වල සුදු පාට ගතිය ඉවත් වී විනිවිද පෙනෙන ගතිය (Crystal ගතිය) ඇතිවෙන තෙක් තම්බා ගන්න.

මෙසේ තම්බා ගත් පුහුල් කැබලි ටික ඒ භාජනයෙන් පිටතට ගෙන නැවත සෝදාගන්න. ඉන්පසු එය පෙනේරයක් මත තබා දිය සිඳෙන්න අරින්න.

මෙසේ පුහුල් කැබලි ටික පසෙකින් තබා තාච්චියක් ගෙන එයට වතුර ස්වල්පයක් දමා ලිප මත තබන්න. වතුර රත් වී ගෙන එන විට ලිපේ ගින්දර අඩුකර අපි ගන්නා ලද සීනි 600g ටිකෙන් ටික එකතු කර හොඳින් දිය කරගන්න. හොඳින් දිය වූ පසු තම්බාගත් පුහුල් කැබලි ටික එක්කරන්න. ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට තබා හොඳින් සීනි ද්‍රාවණයේ තම්බා ගන්න.

එවිට ටිකෙන් ටික සීනි ද්‍රාවණය හකුරු ගතිය සෑදීමට පටන් ගනී. ඒ වගේම පුහුල් කැබලි වල ජලය ද ඉවත්වේ. මෙසේ පුහුල් කැබලි වල සීනි ආවරණය (Cort එක) එන තෙක් තම්බා ගන්න. ඉන් පසු ලිප වසා පුහුල් කැබලි සීනි ද්‍රාවණය තුළම පැය දොළහක් පමණ තබන්න. එවිට පුහුල් වල ඇති ඉතිරි ජලය ද ඉවතට පැමිණේ.

මෙසේ සකසා ගත් පුහුල් කැබලි සහිත භාජනය ඊළඟ දවසේ නැවත ලිප මත තබා රත් කරන්න. පුහුල් කෑලි වල හොඳින් සීනි ආවරණය සෑදෙන තෙක් මිශ්‍ර කරමින් මධ්‍යම ගින්දරේ පිස ගන්න. අවසානයේ සීනි හොඳින් තැවරුණු පසු වෙනත් තැටියකට දමා නිවෙන්නට හරින්න. විදුලි පංකාවක් උපයෝගී කරගෙන වේගවත්ව නිවා ගත හැක.

හොඳින් නිවුනු පසු ආහාරයට ගත හැක. මෙසේ ඔබේ අතින්ම පුහුල් දෝසි හදලා රස විඳින්න. ඔබේ පවුලේ අය සමඟත් රස බෙදා ගන්න. දානමය පුණ්‍ය අවස්ථාවලදී මහා සඟරුවනට ඔබේ අතින් ම සකසා පූජා කොට අපමණ පින් නෙළාගන්න.

ඔබට රසවත් ආහාර අනුභව කරවනු කැමති
අෂාන් ඉමල්ක