මහාමේඝ පුවත් සඟරාවේ පලවන මේ ලිපි පෙළ ඔබට ඉවුම් පිහුම් කලාව දියුණු කරගැනීමට වගේම බොහෝ දැනුමක් ලැබීමට ඉවහල් වනු ඇතැයි සිතමි. ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදය මත ඉවුම් පිහුම් දැනුම ඔබ වෙත ඉදිරිපත් කරමි. ඒ වගේම පාඨක ඔබගේ අදහස් හා යෝජනා තුළින් ද ලිපිපෙළ තවත් වර්ණවත් වේ.

ඉතින් අද අපි පලකරන්නේ පාඨක පිරිසක් විසින් අප වෙත එවන ලද රස ගුණ පිරි පොළොස් රොටී සාදන ආකාරය යි. එම පිරිසට පුණ්‍යානුමෝදනා පූර්වක ස්තුතිය පලකරන අතර ඒ අය දන් පුදා රැස්කළ පින අන් අයට ද අනුමෝදන් වීම පිණිස ඔවුන්ගේ අදහස් ද මෙහි පලකරන්නෙමු.

—————————————————

පොළොස් රොටී සෑදීමට අවශ්‍ය ද්‍රව්‍ය :-

මැල්ලුමට සුදුසු පොළොස් ගෙඩි 2ක් හෝ 3ක්
පොල් ගෙඩි 2ක පමණ ගාගත් පොල්
පාන් පිටි ග්‍රෑම් 250 ක් පමණ
රතු ළුෑණු
අමු මිරිස් හෝ කොච්චි මිරිස්
කරපිංචා
ලුණු කුඩු
කැන්ද කොළ හෝ කෙසෙල් කොළ

පළමුව පොළොස් ගෙඩිවල පොත්ත හැර මැල්ලුමට කපන ආකාරයෙන් සිහින්ව කපාගන්න. ඉන්පසු කපාගත් පොළොස් හුමාලයෙන් හෝ වතුර දමා හෝ හොඳින් තම්බා ගන්න. වතුර දමා තම්බන්නේ නම් වතුර ඉතිරි නොවන ලෙස තම්බාගන්න. ඉන්පසු තම්බාගත් පොළොස් හොඳින් පොඩිකරගන්න. වංගෙඩියේ දමා කොටා ගැනීම වඩාත් පහසු ය. ඉන් පසු මිරිස්, කරපිංචා හා රතුළුෑණු සිහින් ව කපාගෙන, ලුණු කුඩු ද අවශ්‍ය පමණට දමා පොල් සමග හොඳින් අනාගන්න. ඉන් පසු අනාගත් පොල් මිශ්‍රණය හා පොඩිකරගත් පොළොස් එකතු කර, පිටි ද අවශ්‍ය පමණට දමා අනාගන්න. පොළොස් මිශ්‍රණය විසිරෙන්නේ නැති තරමට පිටි යෙදීම ප්‍රමාණවත් ය. එවිට වඩාත් රසවත් ය. අවශ්‍ය නම් වැඩිපුර පිටි යෙදුවාට ද කමක් නැත. පිටි අඩු වූ තරමට රස වැඩිය. ඉන් පසු අනාගත් රොටී මිශ්‍රණය අවශ්‍ය ප්‍රමාණයට ගුලි සාදා කැන්ද කොළයේ තුනීවට වඩා කබලේ දමා මඳගින්නේ පුච්චාගන්න. කර වන තුරු පිළිස්සීමට ද අවශ්‍ය නොවේ. මඳ ගින්නේ යන්තමට තැම්බුණ විට වඩා රසවත් ය. රොටී පමණක් වුවද රස ය. මස්, මාළු වැනි වෑංජනයක් සමග ද ඉතා රසවත් ය.

මහාමේඝ පුවත් සඟරාවේ පළවන මෙම ලිපි පෙළ අනෙකුත් ලිපි මෙන්ම අපි ඉතා ඕනෑකමින් කියවන්නෙමු. අප ද නොදැන සිටි ඇතැම් දේ සාදා රස වින්දෙමු. සංඝයා උදෙසා ද පූජා කළෙමු. බොහෝ පින් රැස් කරගත්තෙමු. රැස් කළ සියලු පින් පින්වත් ගුරුදේවයන් වහන්සේට ද අනුමෝදන් වේවා! මහා සංඝ රත්නයට ද අනුමෝදන් වේවා! පින්වත් ඔබට ද අනුමෝදන් වේවා! ගුරුවර දෙමාපියන්ටත්, උපකාර කරන සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා! සියලු දෙනාට ගෞතම බුදු සසුනේ පිළිසරණ ලබන්න මේ පින් හේතු වේවා!

මහාමේඝ පාඨක පිරිසක්.

—————————————————

ඉතින් ඔබත් මේ ආකාරයට ආහාර සකස් කොට අන් අයට ද දෙන්න. තමා ද රස විඳින්න. මහසඟ රුවනට දන් සකස් කොට පුදා පින් ඵල නෙළාගන්න.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං

තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං

මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!

ඔබේ හිතාදර

අෂාන් ඉමල්ක