එදා ගයාවේ වජිරාසන භූමිය තුළ දී ඇසතු බෝ රුක් සෙවණේ මස්තකප්‍රාප්ත වුණ සම්බුදු කිරුළ මුළු මහත් විශ්වයට ම මහා හිරු මඬලක් විය. ඒ සම්බුදු හිරු මඬල චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ රහිතව අවබෝධ කරගෙන නිර්වාණ ශාන්තිය නම් වූ හිරු කිරණින් ලෝකය ම නිවා සනසද්දී තව තවත් මතු වුණේ උන්වහන්සේගේ ම සම්බුදු ගුණ යි.

බුදුරජාණන් වහන්සේ අප්‍රමාණ ගුණස්කන්ධයකින් යුක්ත වූ සේක. මේ දෙවියන් මරුන් බඹුන් සහිත දෙව් මිනිස් ප්‍රජාව සහිත ලෝකයේ උන්වහන්සේට සම කළ හැකි අයෙක් සොයාගත හැකි නොවී ය. උන්වහන්සේ නිකෙලෙස් ය, රාග, ද්වේෂ, මෝහ ගුරු උපදේශ නැතිව ම ප්‍රහාණය කළ සේක. සිත කය වචනය පිරිසිදු කරගත් සේක. එම නිසා උන්වහන්සේ පිරිසිදු, නොකැලැල් ආර්ය සීලස්කන්ධයකින් යුක්ත වූ සේක. සීලයෙන් භාග්‍යවතුන් වහන්සේට සම කළ හැකි කිසිවකු බුදු ඇසටවත් සොයාගත නොහැකි විය.

අප සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ සියලු බ්‍රහ්මයන්ගේත්, සියලු දෙවි මිනිසුන්ගේත් එක ම ශාස්තෘන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ වනාහි දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ දෙව් මිනිස් ලෝකයා විසින් ද උතුම් නිකෙලෙස් රහතන් වහන්සේලාගෙන් ද ගරුබුහුමන් වැඳුම් පිදුම් ලැබීමට සුදුසු වන සේක. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ගරු බුහුමන් දැක්විය යුතු, වැඳුම් පිදුම් කළ යුතු කිසිවෙක් තුන් ලොව කොතැනකවත් නැත.
ලොව්තුරා සම්බුදු බව ලැබූ මුල් කාලයේ දී උරුවෙලාවේ නේරංජනා නදී තීරයේ පිහිටි අජපාල නුග රුක් සෙවණේ දී භාග්‍යවතුන් වහන්සේට මෙවැනි සිතිවිල්ලක් පහළ විය. එනම් ‘ගුරුවරයෙකු නොමැතිව වාසය කිරීම දුකකි. එබැවින් ගුරුවරයෙකු සොයාගෙන ඔහු ඇසුරු කරගෙන සිටිය යුතු ය.’ ඉන් පසු උන්වහන්සේ මෙසේ සිතූ සේක. ‘මා වෙනත් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ගුරුවරයෙක් ලෙස සලකා ඇසුරු කළ යුත්තේ මා හට සම්පූර්ණ කර ගත හැකි නො වූ සීලස්කන්ධයක් තිබේ නම් අන්න ඒ සීලස්කන්ධය සම්පූර්ණ කර ගැනීම පිණිස යි. අසම්පූර්ණ වූ සමාධිස්කන්ධයක් තිබේ නම් අන්න ඒ සමාධි ස්කන්ධය සම්පූර්ණ කර ගැනීම පිණිස යි. සම්පූර්ණ කර ගත නොහැකි වූ ප්‍රඥා ස්කන්ධයක් තිබේ නම් අන්න ඒ ප්‍රඥා ස්කන්ධය සම්පූර්ණ කර ගැනීම පිණිස යි. මා තුළ අසම්පූර්ණ වූ යම් විමුක්තියක් වේ නම් එය සම්පූර්ණ කර ගැනීම පිණිස යි. දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි යමෙකුට මම සත්කාර කොට ගුරු තනතුරෙහි තබා ගත යුත්තේ නම් එබඳු වූ අන්‍ය ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ මට වඩා සීලයෙන් හෝ සමාධියෙන් හෝ ප්‍රඥාවෙන් හෝ විමුක්තියෙන් හෝ උසස් වූ කෙනකු නො දකිමි. මා විසින් යම් මේ ධර්මයක් අවබෝධ කරන ලද්දේ ද ඒ ධර්මයට ම සත්කාර කොට ගුරු තනතුරෙහි තබා ඒ ධර්මය ම ඇසුරු කරගෙන වසන්නෙම් නම් මැනවි.’ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ගරු බුහුමන් ලැබීමට සුදුස්සෙක් මේ තුන්ලොව නැත්තේ ම ය. භාග්‍යවතුන් වහන්සේ අසම වන සේක. ඒ අසම වූ තථාගතයන් වහන්සේ අසම වූ සම්බුදුවරුන්ට සම වන සේක. එහෙයින් අසම සම වන සේක. ඒ බුදුරජාණන් වහන්සේ සියලු ගුණයෙන් ශ්‍රේෂ්ඨ වන සේක. ජ්‍යේෂ්ඨ වන සේක.

දිනක් වේරංජ නම් බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ පිළිසඳර කථා කොට මෙසේ පැවසුවේ ය. “භවත් ගෞතමයෙනි, ශ්‍රමණ ගෞතම තෙමේ ජරාජීර්ණ වූ වයෝවෘද්ධ වූ මහලු වූ බොහෝ වයසට ගිය බ්‍රාහ්මණයන්ට වැඳීමක් හෝ දැක නැගී සිටීමක් හෝ අසුනකින් පැවරීමක් හෝ නොකරයි කියා මා විසින් අසන ලද්දේ ය. එය සැබෑවක් නොවැ. භවත් ගෞතමයෙනි, මේ කරුණ හොඳ දෙයක් නම් නොවෙයි.” එවිට භාග්‍යවතුන් වහන්සේ ඔහුට මෙසේ වදාළ සේක.

“බ්‍රාහ්මණය, මම යමෙකුට වඳින්නෙම් ද දැක හුනස්නෙන් නැගිටිම් ද අසුනෙන් පවරන්නෙම් ද එබඳු කෙනෙක් දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි මම නොදකිමි. බ්‍රාහ්මණය, තථාගත තෙමේ යමෙකුට වඳියි නම්, දැක හුනස්නෙන් නැගිටියි නම්, අසුනෙන් පවරයි නම්, ඔහුගේ හිස ගිලිහී වැටෙනු ඇත.”

(වේරංජ සූත්‍රය – අං. නි. 6)

භාග්‍යවතුන් වහන්සේ ඔහුගෙන් මෙසේ ද විමසූ සේක. “බ්‍රාහ්මණය, කිකිළියකට බිත්තර අටක් හෝ දහයක් හෝ දොළහක් හෝ තිබෙයි. ඇය ඒ බිජු මනා ව රකී නම්, මනා ව උණුසුම් කරයි නම්, මනා ව කළ යුතු කරුණු කරයි නම් ඒ කුකුළු පැටව් අතරින් යමෙක් පළමුව තම පා නිය තුඩින් හෝ මුව තුඩින් හෝ ඒ බිත්තර කටුව පලාගෙන සුව සේ නික්මෙයි ද ඔහුට කිව යුත්තේ ජ්‍යේෂ්ඨයා කියා ද? කනිෂ්ඨයා කියා ද?”

එවිට වේරංජ බමුණා මෙසේ පිළිතුරු දුන්නේ ය. “භවත් ගෞතමයෙනි, ඔහුට ජ්‍යේෂ්ඨ යැයි කිව යුත්තේ ය. ඒ පිරිස අතර ඔහු ම ජ්‍යේෂ්ඨයා වෙයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක. “එසෙයින් ම බ්‍රාහ්මණය, මම අවිද්‍යාවෙහි සිටින, අවිද්‍යාව නම් වූ බිත්තරයෙහි උපන්, අවිද්‍යාවෙන් වෙලී ගිය සත්ව ප්‍රජාව අතුරෙහි අවිද්‍යාව නම් වූ බිත්තර කටුව පලාගෙන තනිව ම ලෝකයෙහි අනුත්තර වූ සම්මා සම්බෝධියට පත් වුණෙමි. එහෙයින් බ්‍රාහ්මණය, මම වනාහී ලෝකයෙහි ජ්‍යේෂ්ඨ වෙමි, ශ්‍රේෂ්ඨ වෙමි.”

(වේරංජ සූත්‍රය – අං. නි. 6)

යම්තාක් අපා, දෙපා, සිවුපා, බහුපා, රූපී, අරූපී, සඤ්ඤී, අසඤ්ඤී, නේවසඤ්ඤානාසඤ්ඤී වූ සත්වයෝ සිටිත් නම් ඒ සියලු සත්වයන් අතරින් තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ම අග්‍ර වෙයි.

අපගේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ ලුම්බිණි සල් උයනේ දී මෙලොවට බිහි වූ අවස්ථාවේ උන්වහන්සේ සතර දිශාව ම බැලූ සේක. ඒ සෑම දිශාවක ම සිටින දිව්‍ය බ්‍රහ්ම ආදී සත්වයෝ උන්වහන්සේට වන්දනා කරමින් සුවඳ මල් ආදිය පූජා කර, “ඔබවහන්සේට වඩා ශ්‍රේෂ්ඨ අයෙක් නැත. ඔබවහන්සේ හා සමාන අයෙක් ද නැතැ.” යි කීහ. එකල්හි උන්වහන්සේ උතුරු දිශාවට පියවර සතක් තබා, “මම ලොවට අග්‍ර වෙමි, මම ලොවට ජ්‍යේෂ්ඨ වෙමි, මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි. මේ මාගේ අන්තිම උපත යි. මින් මතු උපතක් නැත.” කියා සිංහනාද කළ සේක.

සුද්ධෝදන මහ රජු ඇතුළු සියලු දෙනා විසින් වන්දනාමාන කරන, ගරු සත්කාර කරන, මහානුභාව සම්පන්න අසිත තාපසතුමා පවා සිද්ධාර්ථ කුමරුන්ගේ ශරීර ලක්ෂණ බලා සිඟිති සිද්ධාර්ථ කුමරුන්ට වන්දනා කළේ ය. එය දුටු සුද්ධෝදන රජු ද තම පුත් කුමරාට වන්දනා කළේ ය. මෙයින් අපට පැහැදිලි වන්නේ ඒ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ තුළ පවා තිබුණු ශ්‍රේෂ්ඨ බව ය. තුන්ලොව අසමසම අසහාය පාරිශුද්ධ නායකත්වය බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පමණක් නොව ජ්‍යේෂ්ඨත්වය ද අසහාය ය, අසිරිමත් ය.

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි.