ලෝක ඉතිහාසයේ, ආපසු හැරුණු පාලකයන් තිදෙනෙකු ගැන මම විස්තර අසා ඇත්තෙමි. තවත් සිටිනවා විය හැකි ය; නමුත්, මේ තිදෙනාගේ මම පොදු සාධකයක් සහිත වූ විශේෂත්වයක් දකිමි. එනිසා, ඔවුනගේ ආපසු හැරීම සිදු වූ අනුපිළිවෙළට නොව මට වුවමනා පිළිවෙළට මෙම ලිපියෙහි දක්වනු කැමැත්තෙමි.

අශෝක අධිරාජයා

ශ්‍රී බු. ව. 218 දී සොළොස් මහ ජනපද ඒකඡත්‍ර කොට සකල දඹදිව ම ස්වකීය අණසකට යටත් කොට ගනිමින් අශෝක අධිරාජයා කිරුළු පැලැන්දේ ය. අති විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක් හානි කරලූ මහා සංග්‍රාමයක අවසන කාලිංග රාජ්‍යය ද තම වසඟයට පමුණුවාගෙන මහා අධිරාජයෙකු වශයෙන් සිටිය දී වුව ද එකල්හී ඔහුගේ සිතේ කිසිදු සැනසුමක්, සතුටක් නො වී ය. අති මහත් ජන සංහාරයෙන් කැළඹී ගත් සිත් ඇති ව, රජ මැදුරේ කවුළුවකින් බලා සිටිය දී ශාන්ත ගමන් ඇති, ප්‍රියමනාප රූ ඇති, සන්සුන් ඉඳුරන් ඇති කුඩා භික්ෂූන් වහන්සේනමක් රාජාංගණය ඔස්සේ ගමන් කරන අයුරු දැක ඔහු පැහැදීමටත්, විමතියටත් පත් විය. වහා ඒ භික්ෂූන් වහන්සේ ව මාලිගාව තුළට රාජ නියෝගයෙන් කැඳවිණි.

එසේ රාජ මාලිගාවට කැඳවනු ලදුව සිංහාසනයේ වැඩ හිඳ ධම්මපදයේ අප්පමාද වග්ගයේ ගාථා රත්නයන්ගෙන් දහම් දෙසනු ලැබූ නිග්‍රෝධ රහත් සාමණේරයන් වහන්සේ නිසාවෙන්, එතෙක් දිග්විජය කරමින් රට රටවල් යටත් කොට ගත්; එහෙයින් ම ‘චණ්ඩාශෝක’ නමින් කුප්‍රකට වූ අශෝක අධිරාජයා ආපසු හැරුණේ ය. දම් විජය තෝරා ගත්තේ ය. අවසන ‘ධර්මාශෝක’ නමින් දැනුදු පිදුම් ලබනා බෞද්ධ අධිරාජයා බවට හේ පත් විය. ඒ ධර්මාශෝක අධිරාජයාගේ ශාසනික වැඩපිළිවෙළට පුණ්‍යානුමෝදනා වන්නට මේ දක්වා ම ලෝකයේ තථාගත ශ්‍රී සද්ධර්ම රත්නය විරාජමාන ව වැඩ වෙසෙයි.

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා

ව්‍ය. ව. පූර්ව 336 දී, ඉන් වසර දහතුනක් ඉක්ම යද්දී යුරෝපයේ සිට ගොඩබිම හරහා ඉන්දියාව දක්වා මහා අධිරාජ්‍යයක් ගොඩනැගූ කුමාරයෙකු ඉතා ළාබාල වයසේ දී ම ග්‍රීසියට අයත් මැසිඩෝනියාවේ රජකමට පත් විය. ඔහු නමින් මහා ඇලෙක්සැන්ඩර් ය. රජ බවට පත් වද්දී විසි හැවිරිදි වූ හෙතෙමේ වයස අවුරුදු විසි දෙකේ දී දිග්විජය අරඹා තුර්කිය, ඉරානය, ඉරාකය, ඇෆ්ගනිස්ථානය හරහා භාරතයේ පන්ජාබ් ප්‍රදේශය දක්වා ස්වකීය අණසකට යටත් වූ මහා අධිරාජ්‍යයක් ගොඩනැගුවේ ය. එතැනින් ඔහු ද ආපසු හැරුණේ ය…

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ ආපසු හැරීම පිළිබඳ සමාජගත වූ මතය වූයේ වසර ගණනාවක් තම උපන්බිමෙන්, නෑසියන්ගෙන් ඈත්ව සිටිමින් යුද්ධ කළ හමුදාවනට යුද්ධය එපා වී ඔවුන් හෙම්බත් ව සිටි බවත්, මහා ඇලෙක්සැන්ඩර් විසින් අවසානයට පරදවනු ලැබූ පංජාබයේ පෝරස් රජු සමඟ වූ දරුණු සටනත්, එම රජුගේ එඩිතර, අභීත ගුණාංගයනුත් මහා ඇලෙක්සැන්ඩර්ගේ මනස සෙලවීමට සමත් වූ බවත් ය. එහෙත්, ස්වකීය දිග්විජය පිළිබඳ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා විසින් තබා ඇති සටහන්වලින් හෙළිව තිබෙන්නේ ඔහුගේ ආපසු හැරීම සිදු වූයේ භික්ෂූන් වහන්සේනමක් විසින් දේශනා කරන ලද කරුණක් නිසා ලද අවබෝධය හේතු කොටගෙන බව ය. ඒ භික්ෂූන් වහන්සේගේ නාමය කොතැනකවත් සටහන් වී නොතිබීම අඩුවකි.

පංජාබ් යුද්ධය ජය ගැනීමෙන් පසුව වෙහෙසට පත් ගතින් ද සිතින් ද යුතු ව විවේක සුවය පිණිස හමුදා සේනාංක ද සමඟින් මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා නැවතී ගත් ස්ථානයට නුදුරු ව බෞද්ධ ආරාමයක් තිබී ඇත. එම ආරාමයෙහි දහම් කථාවෙහි ලා දක්ෂ වූ, අන්‍යයන්ට කරුණු අවබෝධ කිරීමෙහි ලා නිපුණ වූ, ප්‍රදේශවාසීන්ගේ අතිමහත් ගෞරවාදරයට පත් වූ භික්ෂූන් වහන්සේනමක් වැඩ වාසය කළහ. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාට ඒ භික්ෂූන් වහන්සේ මුණගැසී පිළිසඳර කථාවේ යෙදෙන්නට වුවමනා විය.

භික්ෂූන් වහන්සේ හමුවට එළඹි ඔහු තමා ව හඳුන්වා දෙමින් ලොව මෙතෙක් කිසිවෙකුදු සිදු කිරීමට අසමත් වූ මහා දිග්විජය සම්පූර්ණ කරමින් තමන් ලොව ප්‍රධාන ගංගා හයක් හරහා පැමිණ මුළු පොළෝතලයෙන් අඩකට වඩා තම ආඥාවට යටත් කොට ගත් මහා ඇලෙක්සැන්ඩර් තමන් බව පවසා සිටියේ ය. තමන් වහන්සේ ඔහු ගැන නොදන්නා හෙයින් තවදුරටත් ප්‍රශ්න කොට විස්තර දැනගැනීමට ඒ භික්ෂූන් වහන්සේ අධිරාජයාගේ අවසරය ඉල්ලා සිටි අතර අධිරාජයා ඉතා කැමැත්තෙන් ඊට එකඟ විය.

එහි වූ සාකච්ඡාව පහත පරිදි ය.

“මහා අධිරාජය, මින් පෙර නොඇසූ විරූ මහා දිග්විජයක් කිරීමට ඔබ සමත් වුවත් ඔබ ද මිනිසෙකි. ඔබට නිදිමත ඇති වේ ද?”

“එසේය, නිදිමත ඇති වේ.”

“එවිට ඔබ නිදාගන්නේ හිස මැසිඩෝනියාවේ හා දෙපය පන්ජාබයේ පිහිටන පරිදි මුළු අධිරාජ්‍යය වසා ගනිමින් ද?”

“නැත. කවුරුත් නිදන ආකාරයේ සාමාන්‍ය ඇඳක නිදමි.”

“මහා අධිරාජය, ඔබට බඩගිනි ඇති වේ ද?”

“එසේය, බඩගිනි ඇති වේ.”

“එවිට ඔබ මුළුමහත් අධිරාජ්‍යයේ ම ඇති අග්‍ර වූ ධාන්‍ය, පලතුරු, මස් හා කිරි හැම වර්ගයකින් ම ආහාරයට ගන්නේ ද?”

“නැත. සාමාන්‍ය පිරිසිදු පෝෂ්‍යදායී ආහාර වේලක් පමණක් ගනිමි.”

“මහා අධිරාජය, ඔබට පිපාසය ඇති වේ ද?”

“එසේය. පිපාසය ඇති වේ.”

“එවිට ඔබ, ඔබගේ මහා අධිරාජ්‍යයේ ඇති ගංගා හයෙන් ම ජලය මුසු කළ මහා පැන් කළයක් පානය කරන්නේ ද?”

“නැත. දිය බඳුනෙන් අවශ්‍ය ප්‍රමාණයට පැන් බොමි.”

“එසේ නම්, ඔබ විසින් ගොඩනැංවූ ඔය මහා අධිරාජ්‍යය ඔබ විසින් භුක්ති විඳින්නේ කෙසේදැයි විස්තර කළ හැකි ද?”

එයට පිළිතුරක් නො වූ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා හිඳිගෙන සිටි අසුනින් නැගිට ඒ භික්ෂූන් වහන්සේට පසඟ පිහිටුවා වන්දනා කළේ ය. භූමිභාගයන් අත්පත් කොට ගැනීමට යුද්ධයෙහි නියැළීමේ අර්ථ රහිත බව වටහා ගත් ඔහු එතැනින් ආපසු හැරුණේ ය. ඒ, ස්වකීය විජිතයට පැමිණ එහි බෞද්ධ භික්ෂු ආරාමයක් ගොඩනංවන බවට වූ පොරොන්දුවක් ද ඇතිව ය. නමුත්, එයට පෙරාතුව ආපසු ගමනේ දී ඔහු බැබිලෝනියාවේ දී මරණයට පත් විය.

දෙවන පෑතිස් නරනිඳු

ශ්‍රී. බු. ව. 236 වැන්නේ ලක්දිව රජකම් කළේ දේවානම්පියතිස්ස රජු ය. මුටසීව පිය රජුගේ ඇවෑමෙන් නොබෝ කලකට පෙර රජකමට පත් වූ ඔහු එකල දඹදිව රජකම් කළ ධර්මාශෝක අධිරාජයාගේ අදිසි මිතුරෙකු ද වූයේ ය. ඒ, ධර්මාශෝක අධිරාජයා තම රාජානුග්‍රහයෙන් තුන්වන ධර්ම සංගායනාව පවත්වා මහරහත් මුනිවරුන්ගේ අවවාද අනුශාසනා අනුව ප්‍රත්‍යන්ත දේශයන් කරා ධර්මදූතයන් වහන්සේලා පිටත් කොට යැවීමට කටයුතු සම්පාදනය කළා වූ කාලය යි.

අරහත් මුනිවරුන්ගේ අනුශාසනාවෙන්, ධර්මාශෝක අධිරාජයාගේ පුතු වූ මිහිඳු කුමරුන් පැවිදි භූමියට පිවිස ඒ වන විට දොළොස් වසරක් ගත වී තිබුණු අතර ත්‍රිපිටක ධර්මයෙන් පාරප්‍රාප්ත උන්වහන්සේ ෂඞ් අභිඤ්ඤාලාභී මහරහතන් වහන්සේනමක් බවට ද පත්ව වැඩ සිටියහ. එයින් වසර දෙසිය අසූ එකකට පෙර පැනවූ බුද්ධ ආඥාවෙන් ලක්දිව මතු සම්බුදු සසුන පිහිටන පින්බිම බවට පත්ව තිබූ අතර ම එකල පැනවුනු සංඝ ආඥාවෙන් ඒ මහානීය ධර්මදූත මෙහෙවර අපගේ මහ මිහිඳු මහරහතන් වහන්සේට ම භාර කෙරිණ. ශ්‍රී. බු. ව. 236ක් වූ පොසොන් පුන්පොහෝ දිනයෙහි උන්වහන්සේ තවත් සය දෙනෙකුගෙන් යුතු ධර්ම දූත පිරිස සමඟ ඍද්ධියෙන් වැඩම කොට මිහින්තලා පව් මස්තකයෙහි වැඩ සිටියේ යුග යුග ගණනින් බොහෝ දෙව් මිනිසුනට නිසැක පිහිට, පිළිසරණ සලසන උත්තම සදහම් සන්දේශය රැගෙන ය.

ඒ, රජු ප්‍රමුඛ ලක්දිව ජනී ජනයා නැකැත් කෙළියෙහි නියැළුණු උත්සව දිනයකි. සතළිස් දහසක් පිරිවර සමඟින් දුනු හී අමෝරා දේවානම්පියතිස්ස රජු දඩ කෙළියට මිහින්තලා වන බිමට පැමිණියේ ය. බුදු සසුනට හිතෛෂී දෙවිවරුනගේ දේවානුභාවයෙන් රජු හට මුවෙකු දර්ශනය වූ අතර දඩයම් පිණිස රජු මුවා ලුහුබඳිද්දී මුව වෙසින් හුන් ඒ දෙව් පුතු මිහිඳු මහරහතන් වහන්සේ හමුවට රජු ව පමුණුවා අතුරුදන් වී ය. “තිස්ස, තිස්ස” යන නාමයෙන් අපගේ මහ මිහිඳු මහරහතන් වහන්සේ රජු ව ආමන්ත්‍රණය කරන්නට යෙදුණේ ඒ මොහොතේ ය.

“මහරජ, අපි වනාහි ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවක වූ ශ්‍රමණයන් වෙමු. ඔබ කෙරෙහි අනුකම්පාවෙන් ජම්බුද්වීපයේ සිට මෙහි පැමිණියෙමු.” ලෙසින් තමන් වහන්සේලා හඳුන්වා දෙමින් මිහිඳු මහරහතන් වහන්සේ ගාථාවක් දේශනා කිරීමත් සමඟ දුනුහී පසෙක ලූ රජු ධර්මාශෝක අධිරාජයා විසින් තිසරණය ගැන දන්වා එවූ හසුන ද සිහි කොට මහත් සතුටට පත් වූයේ ය. පිරිවර ජනයා ද පැමිණි පසු සියල්ලන්ගේ බිය සැක දුරු කොට, මිහින්තලා පව්වෙහි වූ අඹ ගසක් මුල් කොටගෙන පැන විමසනු ලදුව අපගේ මහ මිහිඳු මහරහතන් වහන්සේ නුවණැති සත්ජනයා විසින් ගෞරව බහුමානයෙන් යුක්ත ව පිළිගැනීමට ඒකාන්තයෙන් ම සුදුසු වන තිසරණ සරණයෙන් රජු ප්‍රමුඛ ලක්දිව වැසියන් අභිවෘද්ධියට පත් කරලන ලද්දේ ඒ මොහොතෙහි ය. එතැනින් දේවානම්පියතිස්ස රජු ද ආපසු හැරුණේ ය…!

ඒ ආපසු හැරීම පෙර අප කී අධිරාජයන් දෙදෙනාගේ ම ආපසු හැරීමට වඩා අතිශය වැදගත් වූයේ එයින් බෞද්ධ දර්ශනය ජීවිතයේ හර පද්ධතිය කොට ගත් විශිෂ්ට ජීවන සම්ප්‍රදායක් යුග යුග ගණනින් පවත්නා අයුරින් මේ පින්බිමේ අක්මුල් සිසාරා විසිර පැතිර ගිය නිසා ය. සැබැවින් ම, ධර්මාශෝක අධිරාජයාගේ ආපසු හැරීම හෙවත් දිග්විජයෙන් දම්විජය කරා පැමිණීම සුවිශේෂී ශාසනික ප්‍රබෝධයක් ඇති කරන ලද්දේ වී ය. එහෙත් ඒ ශාසනික ප්‍රබෝධය පැවතියේ සියවස් කිහිපයක් පමණි. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා දිග්විජය අතහැර දම්විජය කරා ආපසු හැරුණේ වුව ද එයින් තමාටත්, සෙස්සවුනටත් යහපත, පිහිට, පිළිසරණ සලසන්නට තරම් ඔහු ආයුෂ නොලද්දේ ය. නමුදු, එදා අඹතල පව්වේ දී අපගේ මහ මිහිඳු මහරහතන් වහන්සේ හමුවේ තිසරණ සරණයෙහි පිහිටා ලංකේශ්වර දේවානම්පියතිස්ස රජු දඩ කෙළි නවතා, නැකැත් කෙළි නවතා ආපසු හැරුණේ සම්බුදුරජාණන් වහන්සේගේ සදහම් දායාදයෙන් යුග යුග ගණනින් නිවී සැනසෙන ශ්‍රේෂ්ඨ පරම්පරාවක පුරෝගාමියා බවට පත් වෙමිනි.

ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක ගොඩනැගීම

අපගේ ශාස්තෘන් වහන්සේ කුසිනාරා නුවර යමක සල් රුක් සෙවණේ පැනවූ යහනෙහි සැතපී වැඩ හිඳ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පා වදාළ වෙසක් පුන් පොහෝ දිනයේ මේ දිවයිනට බට විජය කුමරු ඇතුළු සත්සියයක් පිරිවර ලක්දිව මනුෂ්‍ය වාසය ඇරඹූ බව වංශකථාවන්ගේ දැක්වේ. පිරිනිවන් මංචකයේ වැඩ වෙසෙමින් අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මතු බුද්ධ ශාසනය පිහිටන මේ ලක්දිව ජනාවාස අරඹන විජය කුමරු ඇතුළු පිරිවරත්, ලක්දිවත් රකින්න යැයි එතැන වූ දේව සමාගමයේ හුන් සක් දෙවිඳුන් හට වදාළ බව ද වංශකථාවල සඳහන් ය. එසේ භාග්‍යවතුන් වහන්සේගේ ආශීර්වාදයෙන්, දේවානුභාවයෙන් රක්නා ලද ලක්දිව විජයාවතරණයේ පටන් මනුෂ්‍ය වාසභූමියක් ලෙස ශිෂ්ටාචාරයක් ගොඩනැගිණ.

සිංහල රාජාවලිය අරඹමින් ඒ මුතුන්මිත්තෝ ජලාශ්‍රිත කෘෂිකාර්මික ජීවන සම්ප්‍රදායක් පදනම් කොට ගත් ආර්ථික සමාජයීය ව්‍යුහයක් සමඟින් අනුරාධපුරය අගනගරය කොට ගත් රාජ්‍ය පාලනයක නියැළුනහ. එකල්හිදී ද යම් තරමකින් වාරි තාක්ෂණයේ දියුණුවක් අත්පත් කර ගත් නමුදු ජීවන සම්ප්‍රදාය ක්‍රමානුකූල ව ලද හික්මීමකින් පෝෂණය ලද්දක් නො වී ය. නොයෙක් අභිචාර ඇදැහිලි විධි සමාජය පුරා පැතිර තිබූ අතර දඹදිවින් පැමිණි බ්‍රාහ්මණ පිරිස්වල බලපෑමෙන් නැකැත්, නිමිති, ගස් ගල් පර්වත ආදිය අදහමින්, ඒවාට දේවත්වයක් හා මහා බලයක් ආරෝපණය කරමින් පිහිට, පිළිසරණ සෙවීම එකල වැසියන්ගේ ජන්ම දායාදය වී ය. එහෙත්, දේවානම්පිය තිස්ස රජු ආපසු හැරුණේ ලොව කවරෙකුදු වුව ද ශ්‍රේෂ්ඨත්වයට පත් කරවීමට සමත් අද්විතීය, අසමසම අවබෝධ ඤාණයකින් යුතුව සම්බුදුරජාණන් වහන්සේ වදහළ උතුම් ශ්‍රී සද්ධර්මයේ ආරක්ෂාව, රැකවරණය බැති සිත් පෙරටුව පිළිගන්නා, එතුළින් ම දීන හීන මානසික ස්වභාවයන් ඉක්මවා ස්වාධීන චින්තන රටාවක් තුළ මෙලොව ද පරලොව ද නිවන ද දිනනා ශ්‍රාවකත්වයක් වෙත තමන් ද තමන්ගේ වැසියන් ද නැඹුරු කරවමිනි.

පිනෙන් පිරෙමු. ආපසු හැරෙමු.

උතුම් මහින්දාගමනයෙන් පසු එළඹි තුන්වන දිනයේ දී ම සම්බුදු සසුන උදෙසා මෙබිම පළමු ආරාම පූජාව සිදු කෙරිණ. පළමු පොහොය ලබද්දී ම වස් වාසය පිණිස කුටි සෙනසුන් ද සඟරුවන විෂයෙහි පිදුණ අතර වස් අවසන මාසයක් ගත වන්නට ද පළමු සම්බුදුරජුන්ගේ දකුණු අකු ධාතූන් වහන්සේ ද පාත්‍රයක් සර්වඥ ධාතූන් වහන්සේලා ද නිධන් කරවා ථූපාරාම සෑ රජුන් කරවනු ලැබිණි. එයින් මාසයක් ගත වද්දී සංඝමිත්තා මහරහත් තෙරණියගේ වැඩමවීමෙන් භික්ෂුණී සංඝයා ලක්දිව පැවත ඒම ඇරඹුනු අතර අපගේ ශාස්තෘන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වූ මොහොතේ සෙවණ සලසාලූ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛා වහන්සේ ව ද ලක්දිවට වැඩම කරවා මහමෙව්නාව උයනේ රෝපණය කරන ලද්දේ ය. ඒ හා සමඟ ධර්මාශෝක අධිරාජයා විසින් බෝධීන් වහන්සේට ඇප උපස්ථාන පිණිස අටලොස් කුලයක ශිල්පීන් ද මෙරටට එවනු ලැබිණ. ඉන් පසු, බෝධීන් වහන්සේ ප්‍රමුඛ කොට ගත් බෝධි රාජ්‍යයක් ලක්දිව බිහි වූ අතර සියලු ශිල්ප කර්මාන්තයන්ගේ අභිවෘද්ධියක් කරා අප ශිෂ්ටාචාරයක් ලෙස ගමන් කරන ලද්දේ එය පාදක කරගෙන ය. ඒ ශිෂ්ටාචාරය සෑම විට ම කා හට වුවත් පිනෙන් වැඩී යන්නට රුකුල් සපයන්නක් වී ය.

එකී ශිෂ්ටාචාරය කොතරම් විපුල ලෙස වැඩී ගියේ ද යත් මහ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ සඟරුවනට වාසය කරන්නට කටුමැටි ගසා, කටුමැටි පුළුස්සා, පිළිස්සීමෙන් ලද කළු පැහැය නිසාවෙන් ‘කාලප්‍රාසාද පිරිවෙන’ යැයි නම් ලද ආරාමය ගොඩනගා සියවස් එක හමාරක් ඉක්ම යන්නට පෙරාතුව භරණී දෙව්දුවගේ දිව්‍ය විමානය මිහිබට සෙයින් දිස්වන ලෝවාමහාපාය වැනි නවමහල් ප්‍රාසාදයන් කරවන්නට ලක්වැසියෝ සමත් වූහ. අද පවා අප ලෝකයා හමුවේ අභිමානයෙන් කථා කරනා අතීත ශ්‍රී විභූතිය අයත් වන්නේ මහින්දාගමනයෙන් පසුව ලක්දිව සිදු වූ ශ්‍රේෂ්ඨ සමාජ විප්ලවයට ය. ලෙයින් මසින් නොව, අවි ආයුධයෙන් නොව හුදෙක් ආකල්ප තුළ සිදුවන අවබෝධාත්මක වෙනසකින් විශිෂ්ට ගනයේ චින්තන විප්ලවයන් සිදු කළ හැකි බවට එය සාක්ෂියකි.

එසේ ලක්වැසියන් ලද ධර්ම දායාදය නිසාවෙන් රජ සිටු මැති ඇමති තනතුරු ඉක්මවාලූ, දේවත්වය ද බ්‍රහ්මත්වය ද ඉක්මවාලූ – දුගී මගියාගේ පටන් දෙවියන්, බ්‍රහ්මයන් දක්වා පොදු අවබෝධයක් කරා පමුණුවන්නා වූ නිවන් මඟ ම ඔවුනගේ එක ම ඉලක්කය බවට පත් විය.

දෙව් මිනිස් ලෝකයාට අමා නිවන් මඟ දෙසා වදහළ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවන් වැඩි සේක. සම්බුදු සසුනක අප ව ඍජු මාවත කරා යොමු කළ අපගේ මහ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් වැඩි සේක. ඒ ඍජු මාවත කරා ස්වකීය රාජ්‍යය හරවාලූ දේවානම්පියතිස්ස රජ තෙමේ පසු කලෙක මහා ව්‍යග්ඝ නමින් මෙබිම ඉපිද පිරිනිවන් වැඩි සේක.

විපත් පත් මේ ලෝකයට පරමෝත්තම සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ, පරම පූජනීය කල්‍යාණමිත්‍රයාණන් වහන්සේලා විසින් දායාද කොට වදාළ ශ්‍රී සද්ධර්මය ම හැර අන් කවර සරණක් ද? සද්ජනයිනි, කිසිදු පිහිටක් පිළිසරණක් නොගෙනෙන කාමයන් ලුහුබඳිනා වෙහෙසකර ගමන නවතා ආපසු හැරෙත්වා! අපගේ ශාස්තෘන් වහන්සේගේ ධර්මය පරම සත්‍යයක් ම ය. ඉදින්, සියලු විපත් ඉක්මවාලමින් සදහම් නෞකාවට ගොඩව සසර පරතෙර දකින්නට අප්‍රමාදී වෙත්වා!

තෙරුවන් සරණයි!

(මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයාගේ පුවත – ආචාර්ය සූරිය ගුණසේකර මහතා විසින් පළකළ ලිපියක් ඇසුරිනි.)

සටහන – උදුලා පද්මාවතී