ස්වභාව ධර්මයේ විස්මිත චමත්කාරය කෙරෙහි මානව අධ්‍යාත්මයේ අවනත භාවය ඇති වූයේ මිනිසා ස්වාභාවික පරිසරය සමඟ නිබඳ කළ ආස්වාදනීය සංධ්වනියේ ඵල වශයෙනි. හඬා හැලෙන ජල ධාරා, මල් ඵල රස වගුරන ගහකොළ, නන් විධ නාද රටා නඟන සතා සීපාවා, පක්ෂීන් ඇතුළු ස්වභාවික පරිසරයට වඩාත් සංවේදී වූයේ ඒ ඇසුරේ ජීවත්වන ගැමි ජනකාය යි. ඔවුන් පරිසරයට ඇලුම් කළේ ස්වකීය නෑ මිතුරන් සේ සලකාගෙන ය. මවකගේ පෙකනිවැලට සම්බන්ධ වූ දරුවකු පරිද්දෙන් ගැමි ජනකාය පරිසරය හා බැඳී සිටියෝ ය.

ස්වභාවික සෞන්දර්යයේ චමත්කාරයෙන් වශීකෘත වුණු ආදි ගැමියෝ එහි හැසිරීම් හා විවිධ චලනයන් අරභයා අපූරු කතා හා කවි නිර්මාණය කළෝ ය. ස්වභාව ධර්මය නඟන තියුණු නාද මාලාවන් වැනි කුරුලු ගී රාවයන් සියුම් සංවේදී හදවත් ඇති ගැමියන් තුළ ඇති කළේ මනුෂ්‍යාත්ම භාවය හා සබැඳි දුක දොම්නස, සැප සොම්නස උපදවන හාව භාවයන් ය. ගම්බද වනපෙත් බිම්වල සැරිසරන, බොහෝ විට රාත්‍රී කාලයේ දී ඉතා කලාතුරකින් තම විලාප නාදය පිටකරන උලලේනා හෙවත් උලමා නමින් හඳුන්වන පක්ෂියා අරභයා ගැමි ජනකාය ගෙතූ කතා, කවි හා ප්‍රවාද අපගේ ජන සාහිත්‍යයේ විපුල් ඵල සම්පතක් ලෙස සැලකිය හැකි ය.

කුරුල්ලන් අරභයා ගැමි ජනතාව බොහෝ විට කතා පුවත් නිර්මාණය කරන්නේ ඔවුන් නඟන නාදරටා පදනම් කොටගෙන ය. ‘පුබ්බරු පුතා කෝ… කෝ…” යනුවෙන් හඬන කොබෙයි කිරිල්ලී හා කුරුලු පැටියා පිළිබඳ සුපතළ කතා පුවත මෙන් ම උලමා පිළිබඳව ද ගෙතුණු කතාන්දරයක් පවතී.

පිටිසරබද එක්තරා පවුලක ඇති වුණ ආරවුලක් හේතු කොටගෙන ඔවුන්ගේ එක ම දරුවා ඛේදනීය ඉරණමකට ගොදුරු වීය. එයින් කම්පාවට හා සන්ත්‍රාසයට පත් මව උමතුවෙන් කෑමොර දෙමින් නිවස පිටුපස වූ කැලය දෙසට දිව ගියේ ව්‍යංජන බෙදමින් සිටි හැන්ද ද හිසේ ගසාගෙන ය. වනය තුළට වැදුණ ඇය යටිගිරියෙන් කෑගසන හඬ ගම්මුන්ට ඇසී ඇති නමුදු ඇය ආගිය අතක් සොයා ගැනීමට නොහැකි වී ඇත. මෙම ස්ත්‍රිය උලලේනි බවට පත් වූ අයුරුත්, එදා සිට ඇය පුතු නැති වූ සොවින් යටි ගිරියෙන් බිහිසුණු හඬක් පිට කරන බවත් ජනකතාවේ දැක්වෙයි. ලංකාවේ වනගත පරිසරය ගැන ලියූ දොස්තර ආර්. එල්. ස්පිට්ල්ගේ කතා අතර ද මේ ජනකතාව ඇත. උලලේනී පිළිබඳ මෙබඳු කතා ජනකතාකරුවන් විසින් පබඳින ලද්දේ ඇයගේ බිහිසුණු හඬත්, හිසෙහි පිටුපස පිහාටුවලින් සැදුණු හැන්දක් වැනි ව්‍යුහයක් තිබීමත් නිසා විය හැකි ය.

උලලේනිය එබඳු බිහිසුණු විලාපයක් නඟන්නේ ඉතා සීමිත කාලයක දී, එනම් ප්‍රජනනය සිදුකරන සමයේ දී යයි කියති. මේ කුරුල්ලාගේ විලාප හඬ නිසාත්, ඌ කුකුලන් වනසන නිසාත් උලමා භයානක පක්ෂියකු ලෙස ගම්මු හඳුන්වති. ඌ යක්ෂාවේශයෙන් මෙන් කෑගසන බැවින් ‘යක් කුරුල්ලා’ යනුවෙන් ඇතැම් ප්‍රදේශයක හැඳින්වෙයි. තවත් පළාතක ‘බොටුව කපන්නී’ යනුවෙන් හඳුන්වන බව පහත දැක්වෙන ජනකවියෙන් කියැවෙයි.

බොටුව කපන්නී – මරහඬ දෙන්නී
වාරේ අඬන්නී – අවාරේ කරබා ඉන්නී

උලමා බිහිසුණු පක්ෂියකු ලෙසත්, අද්භූත බලවේගයක් ලෙසත් ඇතැමුන් විශ්වාස කරන්නේ නිතර දකින්ට නොලැබෙන හෙයිනි. ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ හැර සෙසු තෙත් කලාපීය ඝන වනාන්තරබද පෙදෙස්වල වෙසෙන උලමා හෙවත් උලලේනා වූ කලී නිශාචර පක්ෂියෙකි.

මහ රෑ ඇසෙන උලලේනියගේ ලතෝනි හඬ කිසියම් විපතක පෙර නිමිත්තක් ලෙස පැරුන්නෝ ඇදහූහ. වර්තමාන යුගයේ මෙන් හදිසි ජීවිත විපත් බෙහෙවින් අඩු පැරණි කාලයේ ජීවිත විපත් ඇසෙන්ට ලැබෙන්නේ කලාතුරකිනි. ඒ ද වයස්ගත වූ කෙනෙකුගේ අභාවයකි. උලලේනියගේ හඬ ඇසුණු දාට පසුවදා ගම්මානයේ කොහේ හෝ මරණයක් පිළිබඳ ආරංචියක් සැලවන බව ගම්මු දැන සිටියහ. කුඩා වියේ සිට තරුණ විය දක්වා ගම්බද පෙදෙසක ජීවත් වූ අප සිත් තුළ රැව් දුන් උලලේනියගේ විලාපය හා එය පසු දින සිදු වූ පුද්ගල විපතක පෙර නිමිත්තක් වූ අයුරු දැනුදු සිහිපත් වෙයි.

කුඹුරේ, කමතේ රෑ පැල් රකින්නෙකුට උලලේනියගේ විලාප හඬ ඇසුණ විට භීතියට පත් වන ඔහු මහ හඬින් වස් කවියක් කියුවේ තැතිගැන්ම පහකර ගැනීම සඳහා ය.

උඩ ඉගිලෙන තටුදෙක දා වැටීයන්
කඳේ වසන පා දෙක හිරි වැටීයන්
හූයි කියන උගුරෙන් ලේ ගැලීයන්
උලලේනී හතරට ඉරි තැලීයන්

වනේ වන හතුරෙකුටවත් විපතක් නොපතන ගොවියකුගේ මුවින් එබඳු වදන් පිට වන්නේ භීතිය පහකර ගැනීම සඳහා මිස සත්ව හිංසාවක් තුන් හිතකින්වත් හිතන නිසා නො වේ.

උලලේනිගේ හඬට බියපත්ව ‘රහදිව මුඛ බඳින’ (ගැමි කෙම් ක්‍රමයකි) හේන් ගොවියකු මහ රෑ හේනේ පැලේ සිට උලම් හඬ මැකී යන පරිද්දෙන් හඬ නඟා කියූ පැල් කවියක් මෙසේ ය:

උඩින් යන්න උඩ බෝලේ බඳින්නම්
බිමින් යන්න බිම් බෝලේ බඳින්නම්
බෝල දෙක ම එක බෝලෙට බඳින්නම්
උලලේනිගෙ රහදිව මුඛ බඳින්නම්

මිනිස් කටහඬක් නෑසෙන මානයක තනිපංගලමේ මහ රෑ පැල් රකින්නාගේ සිත සුළු හඬකින් හෝ තිගැස්සීම ස්වාභාවික ය. උලමකුගේ ලතෝනි හඬ අසන ඔහු තුළ ඇතිවන තැතිගැන්ම වදනින් කිය නොහැකි ය. රැය පහන් වනවාත් සමඟ ම ඔහු තුළ හටගත් බිය පහව ගොස් උලලේනී කෙරෙහි අනුකම්පාවක් හට ගනී. බුදු දහමින් තෙවුණු දයා කරුණා හදින් යුතු ඔහු උලලේනී කෙරේ අනුකම්පා උපදවා හේනේ පැලෙන් පිටත් වීමට පෙර තමා කියූ වස් කවියේ දොස් හැර උලලේනියට බැඳි රහදිව මුඛ බන්ධනය වෙනත් කවියක් කියා ඉවත්කර හරියි.

ලේන කුලේ අප බෝසත් උපන් වරේ
දාන කැමැති මී අඹ දන් දුන්නු වරේ
මකුල් හුයක් දා අලුවන මෙදා තුරේ
කකුසඳ මුනි අතින් ඇරියෙමි වනන්තරේ

උලලේනියගේ විලාපය නිවෙස් තුළ සිටින්නන්ට විපතක පෙරනිමිත්තක් වුව ද මහ රෑ හේනේ කුඹුරේ පැල් රකින්නන් තුළ සන්ත්‍රාසයක් දැනවුණු අයුරු ඉහත පැල්කවිවලින් පෙනී යයි. පැරණි යුගයේ තවලම් දක්කාගෙන තනිපංගලමේ යන්නන් ද උලලේනියගේ විලාපය ඇසීමෙන් දැක්වූ ප්‍රතිචාරය ගැන කියැවෙන ප්‍රකට ජනකවියක් මේ ය:

මන්දාරමට උඩ ඉගිලෙන වැහි ලේණි
ගොනුගේ පිටට දැම්මා වැනි බර ගෝනි
වෙල මැද අම්බලම කාටත් පර වේණි
මට තනි නැහැ උඹ නාඬන් උලලේනී

වැහි ළිහිණියන් අහසේ සැරිසැරීම මහ වැස්සක පෙර නිමිත්තකි. වැසි වැටුනොත් තවලම දක්කාගෙන යා නොහැකි ය. වැහි අඳුරේ ම තවලම කැටුව වෙල මැද පිහිටි අම්බලම වෙත ගියේ එහි නවාතැන් ගැනීම සඳහා ය. එහි සිටිය දී ඈත කැලයකින් ඇසුණ උලලේනියකගේ විලාපයෙන් හටගත් තැතිගැනුම තවලම්කරුවා තුනී කර ගත්තේ ඉහත සඳහන් සිව්පදය හඬ නඟා පැවසීමෙනි.

පිටිසර ගම්මානයක උපත ලැබ, ජනකවිය සිය ප්‍රභාවිත කවි මඟේ ආත්මය කොටගත් මහගම සේකර කවියා උලලේනියකගේ හැඬීම පිළිබඳ සිය අත්දැකීම පළ කළේ මෙපරිද්දෙනි.

එගොඩ ගොඬේ උලලේනී හඬන්නේ
මෙගොඩ ගොඬේ මම සිව්පද කියන්නේ
දෙගොඩ හරිය ගෙවිලා පිනි වැටෙන්නේ
දෙගොඩ ගොඩින් නුඹ කොතන ද සිටින්නේ

උලලේනිගේ හඬතැලීම පිළිබඳ වන්නි පළාතේ ගැමියන්ගේ අත්දැකීම් ඇතුළත් අගනා ලිපියක් 1995 වසරේ පළ වූ ‘දෙසතිය’ සඟරාවේ ඇතුළත්ව තිබිණ. ධර්ම වන්නිනායක මහතා විසින් රචිත එකී ලිපියේ උපුටනයකින් මේ සටහන අවසන් කරන්නේ උලමා හෙවත් උලලේනා පිළිබඳ අවබෝධයක් මහාමේඝ සාහිත්‍ය ලිපි කියවන සහෘද පින්වතුන්ගේ දැනුම හා අවබෝධය සඳහා ය:

“උලලේනා මූසල සතෙක් ය යන්න ගම්මු අතර මුල්බැස පවතින මතයක්. ඌ වියරුවෙන් හඬ නඟන්නේ ගසක අත්තක එල්ලී පැද්දෙමින් බැව් සමහරු විශ්වාස කරති. මහත් වේදනාවෙන් මෙන් කරන මේ මරහඬ තැලීම මළපහ කිරීමේ අපහසුකම නිසා ඇතිවන්නක් යයි ද කියති. ඌ හඬ තැලූ ගස් අසල ලේ සමඟ මිශ්‍ර වූ උගේ වසුරු ගම්මු දැක ඇති අවස්ථා බොහොම ය. උලමා ඌෂ්ණාධික කුරුල්ලෙකි. උගේ කටෙන් මුලින් ම පිට වෙන ‘ගොර ගොර’ හඬත්, ගිරිය පුප්පා කරන කෑ ගැසීමත් එකී අපහසුව නිසා ඇති වන්නකි ය යන්න ද විශ්වාස කළ හැක්කකි.”

සටහන – දයාපාල ජයනෙත්ති