ආත්මාර්ථයට වඩා අනුන්ගේ යහපත උතුම් කොට සැලකූ පැරණි සිංහලයන්, මංමාවත් – ඒදඬු – පාලම් – පැන් පොකුණු ගිමන්හල් ආදිය ස්වේච්ඡාවෙන් ඉදිකරමින් කල් ගෙවූ යුගය ශ්‍රී ලංකාවේ සමෘද්ධිමත් ම අවධිය විය. මේ කාලයේ ගම් නියම්ගම් යා කරමින් විහිදී ගිය කුඩා මං මාවත් ඔස්සේ දුර බැහැර ගම් දනව් කරා මෙන්ම වන්දනාවේ ද ගිය ජනයාගේ ගමන් බිමන් වෙහෙස නිවාගැනීම උදෙසා තැනින් තැන ඉදිකරන ලද විවිධ ස්වරූපයේ මාවත් මඩු හෙවත් අම්බලම් වූ කලි පොදු යහපත තකා ස්වේච්ඡාවෙන් තැනූ සොඳුරු ගොඩනැගිලි සමූහයකි. මේ අම්බලම් ඉතිහාසය පිළිබඳ තතු විමසන විට ඊට පසුබිම් වූ යුගය කොතරම් සදාචාර සම්පන්න සුන්දර සංස්කෘතියක ආස්වාදයක් විඳි ජනකායක් සිටි අවදියක් ද යනු සිතාගත හැකිය. වර්තමානය වන විට නටබුන්ව රටේ ඒ ඒ තන්හි දක්නට ලැබෙන අම්බලම් වූ කලි පැරණි සාමකාමී සදාචාර සම්පන්න අතීතය පිළිබඳ කතා පුවත් රැස, නූතන පරපුරට අනාවරණය කළ නොහැකිව සුසුම්ලන වෘද්ධ ප්‍රභූන් පිරිසක් වැන්න. සංස්කෘත ග්‍රන්ථවල විශ්‍රාමශාලා, මඨිසභා, උත්තරන ශාලා යනුවෙන්ද පැරණි සිංහල ග්‍රන්ථයන්හි සාලා, ඉසිඹුහල්, ඇඹුල්මාවත් මඩු, ගිමන්හල් යන නම්වලින්ද හැඳින්වුණ මෙම ගොඩනැගිලි පසු කාලයකදී ‘මඩම්, අම්බලම්’ යනුවෙන් ගැමිවහරේදී හඳුන්වනු ලැබිණ.

බුදුසමය විසින් දඹදිව හා සිංහල දේශයේ ජනතාවට උරුම කොට දෙන ලද මානව දයාවේ ඵල වශයෙන් සියලු දෙනාගේ හිතසුව උදෙසා පහසුකම් සලසා දීම පිළිබඳ නිස්සරණාධ්‍යාස පිළිවෙතට කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැක්කේ එකී ආගන්තුක සාලා හෙවත් අම්බලම් ඉදිකිරීමේ සම්ප්‍රදායයි- ධර්මාශෝක රජතුමා කෝෂ (ගව්) අටෙන් අටට ගිමන් හල් කරවූ බව අශෝක ටැම් ලිපිවල සඳහන් කොට තිබේ. ඒ සිරිත අනුගමනය කළ අප රටේ රජවරුද මගී සාලා ඉදිකළ බව සෙල්ලිපිවල හා වංශකතාවල කියැවෙයි- අම්බලම නම සඳහන් ලංකාවේ එකම අභිලේඛනය මහනුවර හිඳගල විහාරයේ ලෙන් ලිපියයි. එහි ‘පවසල අබල අරක තන ලද ලකජය මහමති’ යෙදුමෙන් ‘පවසල අම්බලමේ ආරක්ෂක තනතුර ලද මහ ඇමතිවරයකු’ ගැන කියැවේ. මින් ඇඟවෙන්නේ අම්බලම් රැකබලා ගැනීම සඳහා ඇමතිවරුන්ද පත්කර තිබූ බවය. තිසාවැව හොය මත්තෙහි පැවති ගිමන්හලක් ගැන අත්තනගලු වංශය කියයි. සිරිපා වන්දනාවේ ගිය ජනයාගේ පහසුව උදෙසා 1 වැනි විජයබාහු රජතුමා විවේක සාලා (ගිමන්හල්) ඉදිකළ බව මහාවංශයේ කියැවෙයි.

“අප සම්බුදුරජුන්ගේ පාද ලාංඡනය වන්දනා කරනු පිණිස, කෙසෙල්ගම මාර්ගයෙහිත් ඌව රට මාර්ගයෙහිත් යන්නා වූ මිනිසුන්ට දන්සැල් පිණිස වෙන් වශයෙන් ගම්මාන පවරා විවේක ගනු පිණිස සාලාවන්ද කරවීය.”

(ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කතාව – මහාවංශය, 01 වැනි කොටස, 64 – 66 ගාථා, 290 පිටුව)

මහා පරාක්‍රමබාහු රජතුමාද ආගන්තුකශාලා 59ක්, උයන්වතු සතරක් හා මෛත්‍රය බෝධිසත්ව ප්‍රතිමා තුනක් ද කරවූ බව මහාවංශය කියයි.

(එම – අවසාන භාගය, 348 පිටුව)

ලක්දිව වර්තමානයේ දක්නට ලැබෙන තානායම් හා විශ්‍රාමශාලා මාදිලියේ ආදිම අවස්ථාව ‘ආගන්තුක සාලා’, මාවත් මඩු හෙවත් අම්බලම් ය. ඉහත සඳහන් කළ පරිදි රජවරුන් ඇතුළු ප්‍රභූන් විසින් ද තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් අම්බලම් ඉදිකිරීම් පිළිබඳව කරන ලද වික්‍රමය වූ කලි සිංහල සංස්කෘතිය තුළ දක්නට ලැබෙන චිරකාලීන වූ මානව හිතවාදී සත් කෘත්‍යයක් වෙයි. එය වූ කලි බුදු සමයෙන් සිංහලයන් උරුම කොටගත් මානව සාධු ධර්ම පිළිපැදීමේ ප්‍රතිඵලයක් වෙයි. ආරාම, වන උයන්, ඒදඬු, පාලම්, ගිමන්හල්, පැන් පොකුණු ආදිය ඉදි කිරීම දිවා රෑ පින්වැඩෙන පින්කම් හැටියට, බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් අයුරු සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයේ වනරෝප සූත්‍රයේ දැක්වෙන්නේ මෙසේය:

ආරාමරෝපා වනරෝපා
යේ ජනා සේතුකාරකා
පපඤ්ච උදපානඤ්ච
යේ දදන්ති උපස්සයං
තේසං දිවා ච රත්තෝ ච
සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ටා සීලසම්පන්නා
තේ ජනා සග්ගගාමිනෝති

මේ උතුම් ගාථාවෙන් මතුකරන මානව සාධු ධර්මය උත්කර්ෂයට නංවන අනර්ඝ කතා පුවතක් දඹදෙණි කාලයේ ධර්මසේන හිමියන් රචනා කළ සද්ධර්මරත්නාවලියේ මහාලි ප්‍රශ්න වස්තුවෙහි එයි.

“මඝ මානවක ඇතුළු තරුණ පිරිස දුර්ග මං පෙත් ඉදිකරමින් ‘මාවත් බඩෙක යන එන්නවුන් සැතපෙන ලෙස තරහරු කොටලා සිව්රැස් ගෙයක් කරවම්හයි නියම කොට කැණිමඬලක් සහිත සාලාවක් කරවා’ එක් භාගයෙක පොහොසතුන් ද එක් භාගයෙක දුප්පතුන් ද එක් භාගයෙක ගිලන් මිනිසුන් ද සැතපී හිඳිනා ලෙස තුන් භාගයක් කොට බෙදාලූහ. සාලාවේ වෙන්කළ මේ තුන්භාගය සඳහා වෙන වෙනම නාම පුවරු තුනක් තනා භාරකරුවකු බැගින් නියම කළහ. සාලාව කරවූවන්ගේ නම් ගම් එහි නොලීහ. ඉන්පසු ඒ අසල පැන් පොකුණක් ද මල් උයනක් ද ඉදි කොට යන එන්නන්ගේ පහසුව සලසාලීය. සාලාව අසල කොබෝලීල ගසක් ද සිටුවීය.”

– සද්ධර්මරත්නාවලිය –

මහාලි පුත්ත වස්තුව

පැරණි යුගය, තම සුව පහසුවට වඩා සෙසු අයගේ සුව පවසුව සඳහා කැපවුණු ජන සංඝයක් විසූ සමයක් විය. පවුලක් කුලයක් වශයෙන් බෙදී නොසිටි පැරණි ජනකාය සාමූහිකව වැව් තනා දිය බැඳ ගොවිතැන් කළේ නිස්සරණාධ්‍යාසය පෙරටු කොටගෙනය. මං මාවත් දියුණු වී යාන වාහන පාවිච්චියට ජනතාව හුරුවීම නිසා පා ගමන් නැවතිණ. දහස් වටින ඇවිද්ද පය වාහනයට ගොඩ විය. මහජන මුදලින් ඉදිවන ශාලා පුවරුවල ප්‍රභූන්ගේ නම් කෙටිණ. ගව් ගණන් ඈත වනපෙත් දක්වා විහිද ගිය පාළු කෙත් යායවල් බූතයන්, සුනාමියන් විසින් ඩැහැගනු ලැබිණ. එක පොදියට බැඳී සිටි ගොවි ජනකාය සී සී කඩව විසිර ගියෝය. ඔවුන් තැනූ අම්බලම් කල්යාමේදී වවුල් තිප්පොලවල්, ගවයින්ගේ ලැගුම් ගාල් බවට පත් විය. ඉඳ හිට දක්නට ලැබෙන වෙල මැද අම්බලමක් හැරුණු විට සෙසු අම්බලම් නටබුන් වෙමින් පවතී- දැඩි කළුගලින් නිර්මිත ඇම්බැක්කේ අම්බලම වැනි ගොඩනැගිලි කිහිපයක කැටයම් සහිත සෙල්කුලුනු පැරණි අභීත හෙළ ජන පරපුරේ අභිමානය ලොවට හඬ ගා කියනු වැන්න.

ලංකාවේ පැරණි මංමාවත් විශාල කෙත්යායන් මැදින් විහිදී තිබුණ බව ඒ පිළිබඳ කරුණු හදාරන විට පැහැදිලි වන්නේ යයි හිටපු පුරාවිදු අධිකාරිවරයකු වූ චාල්ස් ගොඩකුඹුරේ සූරීහු පෙන්වා දෙති. සැතපුම් ගණන් දිග එබඳු පාරක් මැදින් ගමන් කරන විට විවේක ගැනීම සඳහා අම්බලමක් තිබීම අවශ්‍යය. ඊට උචිත ස්ථාන කුඹුරු යායවල් මැද තිබුණි. ගොඩැල්ලක්, ගල්පොත්තක් වැනි එබඳු උස් බිම්වල තනන ලදුව හුදෙකලාව පවත්නා අම්බලම් දැනුදු ශේෂව පවතී. මහනුවර රාජධානිය පැවති කාලයේ වෙල මැද අම්බලම් සාදන සිරිත දියුණුව පැවති බව පෙන්වා දෙන ගොඩකුඹුරේ මහතා ඊට නිදසුනක් ලෙස වෙල්යායක ගල්පොත්තක් මත ඉදිකොට ඇති ඉහත කියැවුණ ඇම්බැක්කේ ගල් අම්බලම ගැන සඳහන් කරයි.

දැනට දක්නට ලැබෙන හා මධ්‍යතන අවධියේ ඉදිකොට තිබුණ අම්බලම් සියල්ලම පාහේ එක් කැණිමඬලකින් යුත් පියසි හතරක වහලකින් ද ගොඩනැගිල්ල වටා බැඳි තරපවුරු හෙවත් කෙටිතාප්ප බිත්තිවලින්ද යුතු හතරැස් ශාලාවකි. මගීන්ට වාඩි වී ගිමන් හැරීම සඳහා ඇතුළත වටේට තැනූ පිලකින් ද යුතු ඇතැම් අම්බලමක දුර බැහැර සිට එන පූජකාදීන්ගේ නවාතැන් පිණිස තැනූ කාමරයක් හෝ දෙකක් තිබී ඇත.

ලක්දිව පුරා පැරණි යුගයේ දී දක්නට ලැබිණැයි සාහිත්‍ය කෘති හා සෙල්ලිපිවල කියැවෙන අම්බලම් අතරින් දැනට ශේෂව පවත්නා තිහක් පමණ වන අබලන් ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී ඒ සියල්ල මගීන්ට සුවපහසු පරිදි ගිමන් හැරීමට සුදුසු සේ තනා තිබුණ බව පෙනෙයි. දැවයෙන් හෝ ගලින් හෝ සාදන ලද කුලුනු, යටලී, කුරුපා ආදියෙහි දක්නා සත්ව රූප, මල් ලියකම් ඈ විසිතුරු කැටයම් ආදිය සලකා බලන විට අම්බලම් තැනීමේදී මගී ජනතාව කෙරෙහි දැක්වූ අප්‍රමාණ සැලකිල්ල ගැන සිතාගත හැකිය.

රුහුණේ සිට අනුරාධපුරය දක්වා දුරු රට ගෙවාගෙන පැරණියන් වන්දනාවේ ගියේ පා ගමනිනි. එසේ වෙහෙස විඳගෙන තනිව හා පිරිස කැටුව (සියොවැ) ආ ගිය ගමන් ගැන සීගිරි කැටපත් පවුරේ කුරුටු ගීවල ද ලියැවී තිබෙයි. රන් බරණින් සැරසී ගත් කතකට පවා ඒ සා දිගු ගමනක් යා හැකි වාතාවරණයක් එදවස පැවති බව කියැවේ. ඒ සා දුර ගමන් ගිය ජනතාව උදෙසා මාවත් අද්දර අම්බලම් හෙවත් මාවත්මඩු තනා තිබීම ඔවුන්ට පහසුවක් විය. පිපාසය සන්සිඳුවා ගැනීම සඳහා අම්බලම් අසල පැන්තාලි ද විය. එබඳු පැන්තාලියක් හා කෙණෙස්සක් (දිගුමිටක ඇවුණු පොල්කටුවක්) කොග්ගල මාර්ටින් වික්‍රමසිංහ ජන කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත.

අම්බලම් පිළිබඳව අගනා තොරතුරු රැසක් ජන සාහිත්‍යයේ හා සන්දේශ සාහිත්‍යයේ දක්නට ලැබෙයි. වෙල් යායක් මැද වැටී තිබුණ පාරක් ඔස්සේ තවලමක් දක්කාගෙන ගිය ගැමියකු පැවසූ සිව්පදයක අම්බලමක් පිළිබඳ වටිනා තොරතුරු රැසක් ගැබ් වී ඇත.

මන්දාරමට උඩ ඉගිලෙන වැහිලේණි
ගොනුගෙ පිටට දැම්මා වැනි බරගෝනි
වෙල මැද අම්බලම කාටත් පරවේණි
මට තනි නැත නුඹ නාඬන් උලලේණි

මේ වටිනා ජනකවියෙන් කියැවෙන අත්දැකීම පැරණි ගැමි සමාජය හා අම්බලම් පිළිබඳ ඉතා වටිනා සමාජ දහමක් අනාවරණය කරන්නකි. තවලම බැඳ යන ගැමියාගේ සහ ගවයාගේ දිවි පෙවෙත ගැනද කියැවෙන මේ කවිය, මීට පෙරද හඳුන්වා දුන් වෙල මැද අම්බලම පිළිබඳ මනරම් චිත්‍රයක් ගෙනහැර පාන්නකි. ‘කාටත් පරවේණි’ යන කියුමෙන් සියලු මගීන්ට නවාතැන් ගැනීමට තැනුණ පොදු වස්තුවක්ය යන අදහස ගම්‍ය වෙයි.

අම්බලම පිළිබඳවත්, පැරණි ගැමි සමාජයේ තරුණ තරුණියන්ගේ ආකල්ප හා හැසිරීම පිළිබඳවත් කියැවෙන ප්‍රකට ජනකවි දෙකක් වෙයි. එහි අගපාද පමණක් මෙහි සඳහන් කරන්නේ ප්‍රස්තුතයට එය පමණ වන හෙයිනි. හුදෙකලාව මඟ බැස යන තරුණියක දුටු තරුණයෙක් අම්බලමක් තුළ හිඳ “අම්බලමේ නැවතීලා යන්ද නඟෝ” යනුවෙන් කළ ඇමතුම ඇය කෙරෙහි දැක්වූ අනුකම්පාව හා මුසුවූ සෙනෙහසක් ඇඟවෙන්නකි.

තරුණිය ඔහු අමනාප කර නොගෙන “යන්නම් අයියණ්ඩි ගමරට දුර හින්දා” යයි පැවසුවේ පෙර කල තරුණියන් සතුව පැවති වශ්‍යවචෝභාවය (තැනට උචිත වචන බිණීමේ හැකියාව) පිළිබඳ ගුණය ද ප්‍රකට කරමිනි.

එකල තරුණ තරුණියන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද සදාචාරාත්මක යහ පැවැත්ම පිළිබඳව කියැවෙන, අම්බලම් හා සම්බන්ධ ජනකවියකි පහත දැක්වෙන්නේ:

අම්බලම් පෝරු පිට හිඳිනා ළඳුනේ
රන්සිලන් ලෙසත් ගෝමර පිට ඇඳුණේ
මම බොලන් එහෙම දේකට නැත ඇදුනේ
රන්දොඹෙන් පිටත්වෙන කොට හඳ මුදුනේ

රෑ දෙගොඩහරි යාමයේ රන්දොඹේ නම් ස්ථානයෙන් පිටත් වී පැමිණි තවලම්කරුවා පාන්දර යාමයේ මඳක් වෙහෙස නිවා ගැනීම සඳහා අබලමක් වෙත පැමිණෙන විට එහි පුවරුවක් මත කාන්තාවක් හිඳගෙන සිටි බවත් තවලම්කරු සිව්පදයේ මුල් දෙපදය කී කල්හි ඇය තිගැස්සී හැරී සැකමුසු බැල්මක් හෙළුෑයෙන් ඔහු ඊළඟ දෙපදය කියා ඇයගේ බිය සැක දුරු කළ බවත් කියැවෙන මේ අගනා ජනකවිය පෙර කල පැවති මානව දයාවෙන් සපිරි සොඳුරු සමාජ පරිසරය නිරූපනය කරන කැඩපතක් වැන්න.

දඹදෙණි යුගයේ අග භාගයේ සහ කෝට්ටේ යුගයේ ලියැවුණු සන්දේශ සාහිත්‍යයේ හැම කෘතියක ම පාහේ එවක පැවති අම්බලම් පිළිබඳ වැනුම් දැක්ක හැකිය. වැලිතොට, වැල්ලෙමඩම, වල්අම්බලම ආදී නමින් හා නොනමින් කියැවුණු ඒ කාලයේ පැවති අම්බලම්, මගී ජනතාවගේ සැප විහරණය සඳහා අවශ්‍ය පහසුකම්වලින් නොඅඩුව පැවති බව කියැවෙයි. දෙවිනුවරට ආසන්නයේ පිහිටා තිබුණ මාවත් මඩුවෙහි (අම්බලමෙහි) ‘නරසුර පෙතැලි රූ කැටයම්’ තිබුණ බව පරෙවි සන්දේශයෙහි අම්බලම වැනුමේ දැක්වෙයි. අම්බලමේ කතා ගැන දීර්ඝ වැනුමක් ඉදිරිපත් කරන ගිරා සන්දේශය, ගමරට තොරතුරු, ඉතිහාස කතා, රජමැති ඇමතිවරුන් පිළිබඳ කතා දීර්ඝ ලෙස එහිදී සාකච්ඡා වූ බව සඳහන් කරයි. වල් අම්බලම ගැන සැළලිහිණි සන්දේශයේ ද පරෙවි සන්දේශයේ ද වර්ණනා කරන්නේ මෙසේය:

කොල්ලම් ගසින් සැදි ඉවුරැති පොකුණසිනි
වල් අම්බලම දැක යා ගන් සන්තොසිනි

(සැළලිහිණි සන්දේශය)

පොල් හෙම් තැඹිලි පුවඟු ද රඹ වන හොබන
වල් අම්බලම හිඳ සැතපෙමිනි යාගෙන

(පරෙවි සන්දේශය)

තිසර සන්දේශයෙහි වර්ණනා කරන අම්බලමෙහි විසිතුරු
පියගැටපෙළක් පැවති බව කියැවෙයි- ඒ අවට මනරම් ලියගොමු ද තිබී ඇත-
ලියගුම්පා පතර බලමින් ගොස හොඳය
මනරම් පා පෙළැති අම්බලමේ හිඳය

සිරි ලක්දිව පැවති මාවත්මඩු හෙවත් අම්බලම් සියල්ල ම පිහිටා තිබුණේ හුදෙකලා මංමාවත්වල යනෙන ජනතාවගේ අවශ්‍යතා පිරිමැහෙන පරිදි ඊට උචිත ස්ථානයන්හි ය. අම්බලම් අසල ම පැන් පොකුණු සාදා පැවති අතර එසේ නොමැති තන්හි පැන්තාලියක් හෝ තැබීම සිරිත විය. වන සෞන්දර්යයෙන් විචිත්‍ර වූ පරිසරයක් අම්බලම ආශ්‍රිතව පැවති බව සන්දේශ සාහිත්‍යයේ අම්බලම් වැනුම්වලින් සනාථ වෙයි. නූතන යුගයේ ඊනියා දියුණුවට පත් සමාජයේ නොතකා හැරීම් නිසා යටගිය අපගේ ඉතිහාසයේ වැදගත් තොරතුරු රැසක් සඟවාගෙන සිරිලක් පොළොවෙන් අභාවයට යමින් පවත්නා අම්බලම්, පැරණි සිංහල ජනකාය බුදුදහමින් උරුම කොටගත් නිස්සරණාධ්‍යාශ පරහිතකාමිත්වය ලොවට හඬගා කියන ස්මාරක වැන්න.

ආශ්‍රේය ග්‍රන්ථ:

01- ‘ශ්‍රේෂ්ඨ උත්තමයන්ගේ පරම්පරා කතාව, මහාවංශය’ සරල සිංහල අනුවාදය – කිරිබත්ගොඩ ඤාණානන්ද නාහිමි.
02- සද්ධර්මරත්නාවලිය – ප්‍රථම භාගය
03- සිංහල විශ්ව කෝෂය – ප්‍රථම භාගය
04- රසවාහිනි – 1968 බිනර කලාපය
05- කලා සඟරාව – ලංකා කලා මණ්ඩලය (1962 මාර්තු කලාපය)

සටහන – දයාපාල ජයනෙත්ති