highlights of the week
Home » Archives » විලේ මලක් පිපිලා හරි කදිමයි

විලේ මලක් පිපිලා හරි කදිමයි

රාග, ද්වේෂ, මෝහයෙහි වෙළී බැඳී පවත්නා වත්මන් සමාජයේ බොහෝ තරුණ තරුණියන් අතර ඇතිවන ආදරය, සෙනෙහස වැනි මානව හැඟීම් හුදු කාමය ම මුල් කොට ගෙන පවත්නා බැව් පැහැදිලි ය. වර්තමානයේ දිනපතා ම පාහේ අප රටේ වාර්තා වන කාම අපරාධ හා දූෂණ ක‍්‍රියාවලින් හෙළි වන්නේ ද එය ම ය. කාන්තාවකට නිරුපද්‍රිතව මග තොටේ කෙසේ වෙතත් සිය නිවහනේ පවා තනිව රැඳී සිටින්නට අසීරු වාතාවරණයක් අද උදාවී තිබේ. අතීතයේ රන්රුවන් පැලඳ ගත් කාන්තාවකට රුහුණේ සිට අනුරාධපුරය දක්වා ගමන් කළ හැකි පරිසරයක් තිබුණ රටකට අද උදාවී ඇති කලදසාව ගැන සිතන විට ඉදිරි අනාගතයේ අතිශය බිහිසුණු ඉරණමකට ගොදුරු වීමට ඉඩ ඇති බව ඉඳුරාම කිය හැකි ය.

මේ සියලූ ම විපරිතයන්ට හේතුව වත්මන් සමාජය ධර්මකාමී පිළිවෙතින් ඈත්ව සිටීමයි. ජීවනයේ හා පරිසරයේ සෞන්දර්යය මගින් මානව චින්තනය සුනිශිත කොට විමුක්තිය කරා යොමු කර ගැනීමට අවකාශ සලසන ලද්දේ බුදු දහම විසිනි. භාග්‍යවතුන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය, ගිම්හාන මාසයේ මල්පලවලින් ගැවසී ගත් සුපුෂ්පිත වන ලැහැබකට උවම් කරන ලද්දේ ඉන් මානව සංහතිය කෙරේ ඇති කරන ප‍්‍රසාදජනක යහ බලපෑම සැලකිල්ලට ගෙන ය.

සෞන්දර්ය රසයෙහි ගැලූණ අතීත යුගයේ විසූ මිනිසා සිය ආධ්‍යාත්මික ගුණය සංවර්ධනය කරගත්තේ බුදුදහමින් ලද ශික්ෂණය නිසා ම ය. ජීවිතය ගැඹුරින් ආස්වාදනය කරමින් සැදැහැ බැති පෙම, සංවේගය, ප‍්‍රසාදය, උපේක්ෂාව වැනි භාවමය හැඟීම් ආධ්‍යාත්ම පෝෂණය උදෙසා ඔහු උපයෝගී කර ගත්තේ ය. නූතන බොහෝ මාධ්‍ය ජාලයන් මගින් ප‍්‍රචාරය කර හරින විනාශකාරී පහත් ප‍්‍රවණතා එදා සමාජයේ දක්නට නො ලැබුණි.

පරිසරයේ සෞන්දර්යය හා මුසු වූ දැහැමි සිතිවිලිවලින් ජීවිතය පෝෂණය කරගනු වෙනුවට නූතන බොහෝ තරුණ පිරිස් පෙළඹී ඇත්තේ තාවකාලික වින්දනයක් ලබා දෙන ජුගුප්සාජනකවූත්, හිරිඔතප් සිඳගත්තාවූත් පහත් සල්ලාල සමාජයකට ගැළපෙන නිර්මාණයන්හි රස විඳීමට ය. අද විවිධ නාලිකා ඔස්සේ විකාශනය වන පිළිකුල් සහගත ගීත රැල්ලේ තරුණ පරපුර ආකර්ෂණය වී සිටින්නේ එහි ප‍්‍රතිඵලයක් වශයෙනි.

සිහිල් දිය පිරි ජලාශයක පෙති විදහා සුවඳ විහිදුවමින් පිපෙන නෙළුම් මලක්, සරාගී පුද්ගලයෙකුගේ සිත තුළ කාම චේතනා දැනවිය හැකි ය. එහෙත් එ් මල ම ආර්ය ධර්මයන්හි හික්මුණු තරුණයෙකු තුළ ඇතිකරවන්නේ නික්ලේශී ප‍්‍රභාෂ්වර සංචේතනා ය. එක ම අරමුණක් කෙනෙකුට කාම සංකල්පනාවකුත්, තවෙකෙකුට විරාගික හැඟීමකුත් දැනවීමට හේතු වන්නේ පරිසරයේ වෙනසක් නිසා නොව අරමුණු දෙස සිත යොමු කරන පිළිවෙළේ වෙනස නිසා ය. ඉවක් බවක් නැති ගමනක යෙදෙමින් කාම ගීත මඩ ගොහොරුවේ වැටී දඟලන අපේ පරපුරට මේ ධර්මතාව වටහා දිය යුතු වෙයි. ඊට හොඳ නිදසුනක් අපේ මෑත අතීතයේ ගීත සාහිත්‍යයෙන් ම සපයාගත හැකි ය.

අප රටේ ගම්බද තරුණ තරුණියන් අතර ඇලූම් බැඳුම් හා මුසු වුණ සංවාද දැඩි සංයමයකිනුත්, හෘදයංගම අයුරිනුත් ස්වකීය ගීත නිර්මාණයන් තුළින් ඉදිරිපත් කරන ලද්දේ ආනන්ද සමරකෝන් සංගීතවේදියාණන් විසිනි. ඔහුගේ ‘විලේ මලක් පිපිලා’ යනුවෙන් ඇරඹෙන ගීතය එ් අතර වැදගත් වන්නේ එක ම අරමුණක් කෙනෙකුට වීතරාගී හැඟීමකුත් තවත් අයකුට කාම චේතනාවකුත් ඇතිකරවීම පිළිබඳ ධර්මතාවය ඉන් පසක් කරවන හෙයිනි. එම ගීතයෙන් රසිකයා හමුවට ඉදිරිපත් කරන තරුණයා ලෞකික ජීවිතයට ඇලූම් කරන, යළි යළිත් මිනිස් ආත්මයක ඉපදීම අපේක්ෂා කරන්නෙකි. එහෙත් තරුණිය යළිත් භවගාමී ජීවිතයක් අපේක්ෂා නො කරන නික්ලේෂී ජීවන පැවැත්මක් පතන තැනැත්තියකි. එක්තරා පොහොය දිනයක සිය සෙනෙහෙවන්තිය හමුවීමට යන තරුණයා මල් නෙළීම සඳහා විලට යාමට පැමිණෙන ලෙස ඇරයුම් කරයි.

‘විලේ මලක් පිපිලා අර කදිමයි – නෙළන්ට යමු මැණිකෝ
හඳහාමී අර එබී බලන්නේ – අද නොවැ පෝය සුදෝ’

‘මලක් පිපිලා අර කදිමයි – නෙළන්ට යමු’ යන වදන් කෙනෙකුගේ සිත විල වෙත යාමට පොළඹවන සුළු ය. පොහෝදා පන්සල් යාමට අදහස් කරන තරුණයාගේ සිත කාමාසක්ත හැඟීම්වලින් ද වෙළී පවතින බව ඉහත දෙවන පාදයෙන් හැෙඟ්. ඔහුගේ කැඳවීමට ප‍්‍රතිචාර දක්වන තරුණිය ඔහු සමග විලට යනු වෙනුවට මල නෙළා දෙන ලෙස ඉල්ලයි.

‘දෙන්න එමල මට නෙළලා
මුනිඳුන්ට කරමි එය පූජා
කර මා සිත ඇති එක ප‍්‍රාර්ථනා
පිරිසිදු වූ එමල පුදා’

ඇගේ පිළිතුරෙන් තරුණයා විපිළිසර වෙයි. තරුණියගේ සිත තුළ ඇත්තේ එක් ප‍්‍රාර්ථනයකි. කුහුල් සිත් ඇති තරුණයා එය කුමක්දැයි දැන ගැනීමට නො ඉවසිලිමත් වෙයි.

‘කියන්න මට එය පහදාලා
ඔබ සිතෙහි ඇති එ් ප‍්‍රාර්ථනා’

තමා කෙරෙහි සිය සෙනෙහෙවන්තිය දක්වන ඇල්මේ වෙනසක් වී ඇත්දැයි යන චකිතය තරුණයා තුළ ඇතිවූ බව ඔහුගේ විමසීමෙන් හැෙඟ්. තරුණිය ඊට ක්ෂණිකව ම පිළිතුරු දෙයි.

‘එන ජාතියෙ දී කුසුමක් වීමයි මගේ එක ම පැතුමා’

එම පිළිතුරෙන් තරුණයාගේ සියලූ අපේක්ෂා බිඳ වැටේ. ඔහු බලාපොරොත්තු වූයේ ඇය සංසාරයේ තමා ම පතාගෙන එන්නියක කියා ය. ඔහු තුළ දැඩි සංවේගයක් ඇති වූ බව අනතුරුව ඔහු කරන විමසීමෙන් පෙනීයයි.

‘ඇයි ද අනේ ඔබ එලෙස පතන්නේ
කුමට ද කුසුමක් වීලා
කුමාරිකාවක් වූවොත් නරක ද
රූසිරියෙන් දිලෙනා’

තරුණිය තුළ සසර ජීවිතයට ඇති ඇල්ම රඳවා තබා ගැනීමට තරුණයා වෑයම් කරයි. රූසිරියෙන් හා යස ඉසුරු සම්පතින් ආඪ්‍ය ජීවිතයක වටිනාකම ඔහු පෙන්වා දෙන්නේ එහෙයිනි. එහෙත් තරුණිය එ් කිසිවකට නො ඇලේ.

‘රම්‍ය කුසුම නො කිලිටි වූ
වටිනා වූ වස්තුවකි ලෝකේ
කිලූටින් පිරි මේ මනුෂ්‍යාත්මේ
කෙලෙස ද සොඳ මලට වඩා’

මනුෂ්‍යාත්මභාවයක නිස්සාරත්වය ඇය දැඩිව වටහාගෙන ඇත. ක්ලේශයන්ගෙන් කිලිටි වී ඇති මිනිස් ජීවිතයක් පැතීමට වඩා භවයෙන් නිදහස් වීම උතුම් බව තරුණිය අවබෝධ කොට ගෙන සිටී. නො කිලිටි වූ රම්‍ය කුසුම සංකේතවත් කරන්නේ මාර්ග ඵලාවබෝධයයි. එය පාරලෞකික වශයෙන් අගය කළ යුතු වටිනා ම වස්තුව වෙයි. සසරට දැඩිව බැඳී ගිය සිත් ඇති තරුණයා මහත් කම්පාවට පත්වන්නේ තමා ඇලූම් කරන යුවතියගෙන් වෙන්වීමට සිදුවීම ගැනයි. එය ඔහුට විඳ දරා ගැනීමට නො හැකි සේ ය.

‘එන ආත්මේදි අප දෙදෙනා
කෙලෙස ද අහෝ ප‍්‍රියේ වෙන්වීලා’
ඊට තරුණිය දෙන පිළිතුර මෙසේ ය.
‘අප පේ‍්‍රමේ මේ ලෙස ම තබාගෙන
සසරින් ගැලවෙමුකෝ’

තමන් අනුගමනය කරන දහම් මඟට එක්වන ලෙස ඇය පවසන්නේ අකම්පිතව ය. එ් මඟ වූ කලී සංසාරයෙන් එතෙරවන ප‍්‍රතිපදාව අනුගමනය කිරීමයි. ‘පේ‍්‍රමේ මේ ලෙස ම තබාගෙන’ යනුවෙන් අදහස් කරනුයේ තම සහායකයා ද යහ මගට යොමු කර ගැනීම පිළිබඳ ඇගේ අභිප‍්‍රායයි.

එසේ වුව ද කාම ලෝකයට ආසක්ත වූ තැරණයාගේ, සසරට ම ඇදී යන සිත තරුණියගේ සෙනෙහෙබර ඇමතුමෙන් වුව ද වෙනස් නො වේ. එ් තරමට ම ඔහු මෝහ මූල වී ඇති හෙයිනි.

‘එන ආත්මේ මෙලෙස ම උපදින්නයි
මගේ පැතුම මැණිකේ
ඔබ කුසුමක් වී මා මිනිසකු වී
පවති ද අප පේ‍්‍රමේ’

දහමට ම යොමුවුණ සිත ඇති තරුණිය පවසන වදන් අවබෝධ කරගැනීමට තරුණයාගේ ලෞකික කාමාශාවන් ඔහුට ඉඩ නො දේ. මලක සෞන්දර්යය තුළින් මිනිසත්කම උත්තරීතර තත්ත්වයට පත්කර ගැනීම පිළිබඳ ප‍්‍රතිපදාව ඔහුට තේරුම්ගත නො හැකි ය. තරුණිය යළිදු එය ඔහුට වටහා දීමට වෑයම් කරයි.

‘මලක් වෙලා මම ඉපදී
සිටිනා සඳ විලමැද සුපිපී
ඔබ ඇවිත් නෙළයි බොහෝ දයාවෙනි
නොම පවති ද අප පේ‍්‍රමේ’

විල මැද සුපිපි මල සංකේතවත් කරන්නේ නිෂ්කාමී සෞන්දර්යයි. එය ආස්වාදනය කළ යුත්තේ තලා පොඩි කොට විනාශ කරන හැඟීමෙන් නොව දයා කරුණාවෙනි. මානව පේ‍්‍රමය රඳා පවතින්නේ එසේ කළ කල්හි බව තරුණිය සිහිපත් කරදෙයි. අනිත්‍යතාව පිළිබඳ හැඟීමක් තරුණයා තුළ ඇතිවන්නේ එවිට ය. ඔහු මෙසේ කියයි.

‘නෙළන්නේ කුමට ද එ මල අනේ
මොහොතින් පරවී යනවානේ’

විල මැද පිපි මල මුලදී තරුණයාට පෙනුණේ සිය පේ‍්‍රමයේ සංකේතයක් පරිද්දෙනි. මලක අනිත්‍යතාව ඔහුට සිහිපත් වන්නේ තම සෙනෙහෙවන්තිය පරවී, මැළවී යන බව මෙනෙහි කළ විට ය. ආර්ය මාර්ගයට නො පිවිසි සිතක ඇති සංකූලතාවය ගීතයේ ඉස්මතු කළ ආකාරය අපූරු ය.

නෙළාගත් මල තමා සතුකර නො ගෙන බුදුරජාණන් වහන්සේට පූජා කිරීම දෙදෙනාට ම විමුක්ති මාර්ගය සලසන්නක් බව තරුණිය කියන්නේ සැබෑ මානව පේ‍්‍රමය එය බව සිහිපත් කරවමිනි.

‘නෙළා ගොසින් මුනිඳුන්ට පුදන්නේ
සැබෑ පේ‍්‍රමෙ එය නේ’

ලෞකික ජීවිතය කෙරෙහි දැඩිව බැඳී ගිය සිත් ඇත්තන්ට විමුක්ති මාර්ගය පසක් කොට දීම පහසු කාර්යයක් නො වේ. බුදුරජාණන් වහන්සේ උදෙසා ඔවුන් වැඳුම් පිදුම් කරන්නේ මෙලොව පරලොව දෙලොව ම සැප සම්පත් බලාපොරොත්තුවෙනි. සසරට ඇලූණ සිත ඇති තරුණයා ද තම අභිලාෂය ඉටු කර ගැනීම සඳහා කවර ම හෝ යළි උපතක් ප‍්‍රාර්ථනා කරයි.

‘මමත් මලක් මුනිඳුන්ට පුදාලා
කරනෙමි එක පැතුමා
එන ජාතියෙ මා බඹරෙකු වේවා
එ් මල රොන් ගන්ටා’

සසරට බැඳුණ සිත ඇති චරිතයකත්, විරාගී චරිතයකත් ආධ්‍යාත්මය අනාවරණය කෙරෙන මේ දුර්ලභ ගීත නිර්මාණය මෙරට ගීත සාහිත්‍යයේ අග‍්‍රගණ්‍ය නිර්මාණයක් වෙයි. පාරිසරික සෞන්දර්යයේ චමත්කාරයත්, ලෞකික ජීවිත ප‍්‍රාර්ථනාවන්හි ස්වභාවයත් සංකලනය කරමින් නිර්මාණය කර ඇති මේ සුභාවිත ගීතයෙන් ලද හැකි ආස්වාදය හා ජීවන අරුත සදාතනික අගයකින් යුතු වන්නේ ය.

මහාමේඝ 2013 බක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
මාටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති

One comment

  1. Namo Buddhaya!
    Wiraha wedanawan asimenma bihiri wee giya desawan yali panaganwannata mewaniwu sundara gee athi bawa sihi Kara dun obata pin sidu wewa.
    Siyalu rasayan atharin dharma rasayama Agra wey…..
    Theruwan saranay!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

අසිරිමත් මහා කරුණාව ( 1 වන කොටස)

ඒ සිතුවිල්ල හට ගත්තේ සියලු ලෝසතුන් මේ ජරා දුකින් බේරා ගන්න, මේ රෝග පීඩා වැළඳීමේ දුකින් බේරා ගන්න, මේ මරණ දුකින් බේරා ගන්න. ඒත් සමඟ ම උන්වහන්සේට කල්පනා වුණා,