ශාස්තෘන් වහන්සේනමක විසින් දේශනා කොට වදාළ දහමක් යම් දේශයකට හඳුන්වා දීමෙන් පසුව එ් දේශයේ ජනකායගේ අධ්‍යාත්මය පමණක් නොව භෞතික පරිසරයේ පැවැත්ම ද මහා වෙනසකට භාජනය වීම ලෝක ඉතිහාසයේ ම ආශ්චර්යජනක සිද්ධියක් වන්නේ ය. එ් අසිරිමත් සිදුවීම මීට අවුරුදු දෙදහස් තුන්සියකට පෙර සැබෑවක් බවට පත්වූයේ ශ‍්‍රී ලංකාද්වීපයේ දී ය. ව්‍යවහාර වර්ෂ පූර්ව දෙසිය තිස් හතේ දී මිහිදු මහ රහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ උතුම් දහම් පණිවුඩය ලක්දිවට හඳුන්වාදීමත් සමග ම මිනිසුන් සතුන් ගහකොළ ඇතුළු මුළුමහත් ශ‍්‍රී ලංකා ධරණීතලය මහා විපර්යාසයකට බඳුන් විය. වන ලැහැබ් ආරාම වන උයන් බව පෙරළිණ. සතුන්ට අභය දානය ලැබිණ. ගල්ලෙන් සිව් දිගින් වැඩි මහසඟනට ආවාස නිවස්න විය. ලෙන් කටාරම් පියසි, මහ කළුගල් හිස්, සෙල්පුවරු බණ පොත් බවට හැරිණ. අහස සිපින මහ දාගැබ්, තුරු හිස් අතරින් නැඟී ධවල කේතු මෙන් රට පුරා දිස් විය. වැව් තලා මතින් ගලා ගිය දිය දහරින් කෙත් වතු සරු සාර වී දැහැමි ජීවිකා වතකට හුරු වූ ජන පරපුරක් බිහි විය. රාජ්‍ය පාලකයෝ බෝසත් නම් පටබැඳ ගත්හ. එදා මෙදා තුර සිරි ලක්බිම සසිරි කළ මේ මහා අසිරිය කවරේ ද?

එදවස කළුගලේ කෙටූ පද කැටයමකින් ම එය හඳුන්වා දීම වඩාත් උචිත යැයි සිතමි.

අපරිමිත ලෝකෙහි බුධ
සමෙනති අඨාන පරම දුලබෙ
සවඤුුත පතෙ අනුතර සතෙ
මහ සරණ ලොක චක බුධ තම සයභු

‘අපරිමිත වූ ලෝකයෙහි බුදුරජාණන් වහන්සේ හා සමාන වූ උතුමෙකු නැත. උන් වහන්සේ දැක ගැනීම පරම දුලබ ය. සර්වඥ වූත්, අනුත්තර වූත්, මහා සරණය වූත් බුදුරජාණන් වහන්සේ නියත වශයෙන් ම ස්වයම්භූ වන සේක.’

මින් වසර දෙදහස් තුන්සියකට පෙර එනම් බුදු දහමේ පහස ලක් පොළෝතලය සිපගත් දිනවල ම රුහුණේ විසූ මහානාග යුව රජතුමා ගලේ කෙටූ එම මහා උදානය මේ දිවයිනේ මුල් බැස ගත්තේ සදාතනික උරුමයක් පරිද්දෙනි. බුදු දහම උපන් රටේත්, බුදු දහම පතළ කර හැරි අන් බොහෝ රටවලත් එය අභාවයට ගිය ද ලක්දිව පමණක් එය නිර්මලව බැබළීම ම මහා භාග්‍යයක් වන්නේ ය.

පරම දුලබ වූ බුදුරජාණන් වහන්සේ දැකීම උන් වහන්සේ වදාළ දහම තුළින් දැකගත් ලක්වැසි ජනයා බුදුගුණ මෙනෙහි කිරීමෙන් උපන් ශ‍්‍රද්ධාව නිසා ස්වාභාවික පරිසරයෙන් පවා පුණ්‍ය සංකේත නිර්මාණය කර ගත්හ. බෝසතාණන් වහන්සේට උතුම් සම්බෝධිය සාක්ෂාත් කර ගැනීමට සෙවණ දුන් ඇසතු බෝරුක අනුස්මරණය කරමින් සෑම බෝධි වෘක්ෂයකට ම ගරු කිරීමේ සම්ප‍්‍රදායට ඔවුහු හුරු වූහ. ඇතැම් බෝධියක් අසල මලසුන් කුටියක් සකසා ඊට වැඳුම් පිදුම් කළහ.

බුදු දහමට අනුව දිවි පෙවෙත හැඩ ගසාගත් අතීත යුගයේ විසූ ජනතාව නිරතුරුව බුදු ගුණ මෙනෙහි කිරීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ අසමසම රූපකාය ගල් පර්වතවලින් මතුකරගෙන උන් වහන්සේට සිය උත්තම උපහාරය දැක්වූහ. රළු කළුගලකට බුදු ගුණ ආරෝපණය කිරීම වූ කලී බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා ගුණය සංකේතවත් කිරීමකි. එය වනාහි ගල්හිත් මොළොක් කිරීමේ අසහාය ප‍්‍රාතිහාර්යයයි. කළු ගලේ නෙළුෑ බුද්ධ ප‍්‍රතිමා, පැරණි සිංහල කලාකරුවා බුදුරජාණන් වහන්සේ උදෙසා පිදූ උත්තරීතර පූජෝපහාරය වන්නේ ය.

කළුගලෙන් බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය කර ගැනීමේ දී සිංහල ප‍්‍රතිමා ශිල්පීන්ගේ අදහස වූයේ, තමන් වහන්සේ දමනය කර ගැනීම මඟින් බාහිර ලෝකයාගේ ශක්තීන් දමනය කොට වදාළ ජිතේන්ද්‍රීයන් වහන්සේගේ අධි මානුෂීය බල මහිමය සැදැහැවතුන්ගේ සිත තුළට කාවැද්දීම බව මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා පෙන්වා දුන්නේ ය. මේ කියුම සනාථ කරන උසස්තම නිර්මාණය වන්නේ අනුරාධපුර අභයගිරි මහා විහාර සංකීර්ණයට අයත් වන සමාධි ප‍්‍රතිමාවයි. එය වූ කලී ජගත් ප‍්‍රතිමා නිර්මාණ කලාවේ අත්‍යුත්කෘෂ්ට නිර්මාණය බව පුරා විද්‍යාඥයන්ගේ හා කලා විචාරකයන්ගේ මතයයි. ආධ්‍යාත්මික ගුණයෙන් පරිසමාප්තව මූර්ති ගත කොට ඇති බුද්ධ ප‍්‍රතිමාවට වඩා ශ්‍රේෂ්ඨ කලා නිර්මාණයක් ලෝකයේ තමා දැක නැති බව කවුන්ට් කයිසර්ලිං නැමැති සංචාරක විද්වතා පවසා ඇති බව ජෝන් වොල්ටර්ස්ගේ ඵසබා ඹබිය්නැබ කෘතියෙහි දක්වා තිබේ. (නොසැලෙන මනස – බෙල්ලන්විල විමලරතන නාහිමි පරිවර්තනය, 48 පිටුව)

මහ ගල්කුළකින් බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ රූපකායක් මතු කර ගැනීමේ විස්මිත හෙළ නිර්මාණය වූ කලී අවුකන බුද්ධ ප‍්‍රතිමා වහන්සේයි. ලක්දිව බුද්ධ ප‍්‍රතිමා නෙළීමේ කලාවේ අග‍්‍ර ගණ්‍ය හිටි පිළිමය වන අවුකන බුද්ධ ප‍්‍රතිමාව කලා වැවට කි. මී. 6ක් පමණ දුරින් පිහිටා තිබේ. විශාල ගල් පර්වතයක ඉදිරිපස කොටසින් මතුව එන පරිදි අඩි 30යි අඟල් 10ක් උසින් යුතු මෙම මහා ප‍්‍රතිමාව මහ ගල්කුළට සම්බන්ධව පවතින්නේ පිටුපස ඉතිරි කොට ඇති මවු ගලේ තීරුවකිනි. ධාතුසේන රජතුමාගේ කාලයේ නිර්මාණයක් ලෙස එය සැලකෙයි. ධාතුසේන රාජ්‍ය කාලය ගැන සඳහන් කරන චූල වංශය ‘කාළසේල’ නම් වූ පිළිමයක් පිළිබඳ තොරතුරු දක්වයි. කාළසේල යන්න මහනුවර යුගයේ ලේඛනවල සඳහන් කලාගල යන්නේ පාලි රූපය බව ද එය අවුකන පැරණි නම හැටියට හැඳින්වුණ බව ද ලංකා පුරාවිiා ගවේෂණ වාර්ෂික වාර්තාවේ (1995) කියැවෙයි.

ධාතුසේන රජතුමා විසින් ඉදිකරන ලද පිළිමයක් කාළසාල නම් ස්ථානයේ තිබුණ බව මහාවංශයේ 38 පරිච්ඡේදයේ 66 වැනි ගාථාවේ සඳහන් වෙයි. මහ කළු ගලක් පිහිටි ප‍්‍රදේශයක් නිසා එම ස්ථානය මහාසාල (මහා ශෛල) නමින් හඳුන්වන්නට ඇත. තම අසහාය වාරි කර්මාන්තය වන කලා වැව නිර්මාණය කිරීමෙන් පසුව ධාතුසේන රජතුමා ඊට මුහුණ ලා සිටින එම අසහාය ප‍්‍රතිමාව නිර්මාණය කරවන්ට ඇතැයි සිතිය හැකි ය.

ලක්දිව පිහිටා තිබෙන සියලූ ම හිටි පිළිම අතර විශාලතම නිමැයුම වන අවුකන ප‍්‍රතිමාව ආශීෂ මුද්‍රාවෙන් යුතුව නෙළා තිබේ. කාලයාගේ ඇවෑමෙන් සිදු වූ පරසතුරු උපද්‍රවවලින් ද ස්වභාව ධර්මයේ අනේක විධ විපර්යාසයන්ගෙන් ද නො සැලී ඉතා හොඳින් සුරක්ෂිතව පවත්නා අවුකන බුද්ධ ප‍්‍රතිමාව බුදුරජාණන් වහන්සේගේ අසමසම ගුණ රූප කාය ලක්දෙරණ තල මත බුදු දහම සුරක්ෂිතව පවත්නාක් කල් නිරුපද්‍රිතව වැඩ හිඳින බව ශපත කරන පුණ්‍යමය සංකේතයක් වැන්න.
බුදු ගුණ මෙනෙහි කිරීම භාවනාවක් කොට ගැනීමෙන් ජනිත වන ශ‍්‍රද්ධාව නිසා සියුමැලි වන කළු ගල් අනුරාධපුර කාලයේ මෙන් මෙකල දැකිය නො හැක්කේ එකිනෙකා පරයා නැෙඟන ස්වාර්ථ කාමය, බලලෝභය, තරගකාරිත්වය, කාමභෝගී චේතනා නිසා මිනිස් අධ්‍යාත්මයන් විපරිත වී ඇති බැවිනි. නව ප‍්‍රතිමා කලාකරුවන්ගේ අධ්‍යාත්මයට පිවිසීමට තැත් දැරූ නූතන කවීන්ගේ පද කැටයම් කිහිපයක් මේ ලියන මොහොතේ අප සිතට නැෙඟයි. ඉන් වඩාත් ප‍්‍රශස්ත නිර්මාණයක් වන්නේ අනුරාධපුර මහමෙව්නාවේ සමාධි ප‍්‍රතිමාව අරභයා ආචාර්ය ඩබ්ලිව්. එ්. අබේසිංහ සූරින් රචනා කළ ‘අඩවන් වූ දෙනෙතින් ගලනා මෙත් මුදිතා කරුණා ධාරා’ නම් වූ ගේය පද වැලයි. එයට ජීවය දුන්නේ පණ්ඩිත් අමරදේවයන් ය.

කළුගලෙන් නිර්මිත ලක්දිව අසහාය හිටි පිළිමය වන අවුකන බුද්ධ ප‍්‍රතිමාව අරභයා මෑත යුගයේ නිර්මාණය වූ ගීත තුනක් පිළිබඳව ද විමසුම යොමු කිරීම වටනේ ය. එ් ගීත ත‍්‍රිත්වය ම එකිනෙකට වෙනස් දෘෂ්ටි කෝණයන්ගෙන් අවුකන බුදු පිළිම වහන්සේගේ අසහාය රූප කාය පරිකල්පනයට හසු කිරීමට දැරූ තැත හෙළි කරන රචනා වෙයි.

ආධුනික ගීත රචකයකු වන රජී වෙල්ගම ලියූ ‘මේ තරම් සියුමැලි ද කළුගල්’ නමැති ගී පදවැල ආරම්භ වන්නේ අපූරු පරිකල්පනයක ප‍්‍රභාවත් රසික හද තුළ විභූෂණය කරවමිනි. එම පද කැටයම වූ කලී පැරණි යුගයේ දී කළු ගලින් බුද්ධ ප‍්‍රතිමා නිර්මාණය කොට බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය ලොවට ප‍්‍රදානය කළ පැරණි හෙළ කලාකරුවන්ගේ උතුම් පරිශ‍්‍රමයට පිදූ උපහාරයක් වැන්න. එසේ වුව ද එම ගීතයේ ප‍්‍රතාපවත් ආරම්භය හා සැසඳීමේ දී පද රචනයේ පශ්චාත් භාගය මෙයට වඩා බොහෝ සරු විය යුතුව තිබිණැයි අපට හැෙඟයි. ගී පදවැලක ඇතුළතින් පෙනී යන භාවමය ධ්වනිය මෙන් ම මතුපිටින් දිස්වන දෘෂ්ටිමය ධ්වනිය ද එක සේ වැදගත් වෙයි. ‘අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා ගියා’ යයි කරන සඳහන අනුචිත ය. කලාකරුවන්ට මෙන් ම සකල ලෝකවාසීන්ට ද තමන් වහන්සේගේ අසහාය රූපකාය බලා ගුණ කඳ මෙනෙහි කරන්ටත්, ‘මැරෙන ඉපදෙන රළ දිහා’ බලා අනිත්‍යය මෙනෙහි කරන්ටත් අවකාශ සලසා දෙන ලද්දේ අවුකන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ විසිනි. එය නිමැවූ කලාකරුවාගේ ද අභිප‍්‍රාය එය වෙයි. එ් අර්ථය මේ පදවැලට ගෙන ආවේ නම් මෙහි ලෝකෝත්තර අරුත් ගැන්වීම ප‍්‍රබල වනු ඇත. කෙසේ වුව ද ලෝකායත දෘෂ්ටියක් කරා විහිද ගිය ගීත රචකයාගේ පදවැලට ජීවය දෙන ලද්දේ විශාරද සුනිල් එදිරිසිංහයන් විසිනි. එය රළු කළුගලකට බුදුගුණ ආරෝපණය කිරීමක් වැනි පරිශ‍්‍රමයකි.

අවුකන බුදු පිළිම වහන්සේ උදෙසා පිදූ අනෙක් ගීතෝපහාරය වන්නේ වික්ටර් රත්නායකයන් ගැයූ ‘කලාවැවේ දිය ගැඹරේ සැලෙන සලා රැුඟුම් බලයි අවුකන බුදු පිළිම වහන්සේ’ යන ගීතයයි. කලා වැව නම් වූ මහා වාපී උරුමය සිරිලක කෘෂිකර්මාන්තයේ සදාතනික සශ‍්‍රීක භාවය උදෙසා ජාතියට ප‍්‍රදානය කළ ධාතුසේන රජතුමාගේ අභිලාෂයට අනුගත වන පරිද්දෙන් පසුබිම නිර්මාණය කර තිබීම මෙම ගීතයේ විශේෂත්වයයි. කලාවැව දෙස ඈත සිට නිසල නෙතින් බැලූම් හෙළා වැඩ සිටින අවුකන බුදු පිළිම වහන්සේ නිහඬ මුවින් දේශනා කරන දහම නම් කවරේ ද? එය වූ කලී භෞතික පැවැත්මට උපකාර වන ගොවිතැන පමණක් නොව භව ගමන නවතාලන ගොවිතැන ද වෙයි. ගීත රචක තිලක් රත්නාකර මහාචාර්යතුමා එහි පසුබිම ලෙස කසී භාරද්වාජ සූත‍්‍රය යොදා ගැනීම අතිශයින් අර්ථාන්විත ය.

‘ප‍්‍රඥවේ යුග නගුලෙන් ලොවේ කෙතේ සී සෑවා
ශ‍්‍රද්ධාවේ බිජුවටයෙන් විමුක්තියේ ඵල නෙළුවා’

බුදුරජාණන් වහන්සේ එදා දේශනා කොට වදාළ අමා දහම අවුකන බුදු පිළිම වහන්සේගේ නිහඬ මුවින් මෙදා ඇසෙන කල්හි, කලාවැවේ රළ මත ලෙළෙන හිරු කිරණ වැඳ නමස්කාර කරන විලාසය, විසාරද වික්ටර් රත්නායකයන්ගේ සුගායනීය හඬින් ශ‍්‍රාවක රසික සද්ජනයා පසක් කොට ගනිතැයි සිතමි.

අවුකන බුදු පිළිම වහන්සේ අරභයා රචනා කළ තුන්වැනි ගේය පබඳ මහගම සේකර කවියාණන්ගේ ය:
‘ඇසේ මතුවන කඳුළු බිඳු ගෙන ඔබේ සිරිපා ෙදාවන්නම්
හදේ මැලවෙන කැලෑ මල් ගෙන ඔබේ සිරිපා පුදන්නම්’

‘කෙලෙස්මල පිරි නුවර අතහැර බවුන් වැඩුමට වනේ වැඩි ඔබ
සොයා ආවෙමි පොළෝතලයේ අනෙක් පිහිටක් නොමැති වූ සඳ’

‘ඉහළ නිල්වන් අහස විනිවිද නැෙඟන ඔබගේ යෝධ බුදු බඳ
මගේ නෙත සිත මෝහනය කර මගේ කුදු බව පසක් කර ඇත’

අවුකන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ඉදිරිපිට සිටගෙන වන්දනා කරන අසරණයකුගේ සැදැහැ බැති පෙම වගුරුවන බුද්ධාභිවන්දනයක් මේ ගීයට නිමිත්ත වී තිබේ. එයට ප‍්‍රස්තූත වී ඇත්තේ අවුකන බුදු පිළිම වහන්සේ බව ගීතයේ කිසිදු ස්ථානයක සඳහන් නො වීම එහි නිර්මාණාත්මක ගුණය තියුණු වීමට හේතු වෙයි. එය උපකල්පනය කළ හැක්කේ ‘ඉහළ නිල්වන් අහස විනිවිද නැෙඟන ඔබගේ යෝධ බුදු බඳ’ යන ගීත ඛණ්ඩයෙන් පමණි.

ඈත දුරු කතරක සිට අවුකන බුදු පිළිම මහන්සේ වන්දනා කිරීමට හුදෙකලාව පැමිනි වන්දනාකරු අත පැන් බඳුනක් හෝ මල් බඳුනක් නැත. ඔහු බුදුරජාණන් වහන්සේගේ සිරිපා දෝවන්නේ ඇසේ නැගෙන කඳුළිනි. පූජා කරන්නේ හදේ මැලැවෙන කැලෑ මල්ය. එය වූ කලී වන්දනා කරුගේ අන්ත අසරණ දුගී භාවය පළ කරන්නකි’‘ මල් සහ පැන් නොමැති වුවද ඔහු බුදුරජාණන් වහන්සේගේ පාමුල වැඳ වැටෙන්නේ අප‍්‍රමාණ වූ පුණ්‍ය චේතනාවන් පෙරදැරි කරගෙනය. ඔහුගේ ඇසට කඳුළු නැඟුනේ ඇතැම් විට අනන්ත වූ කාලයක් පොළෝතලයේ ඇවිද සෙවූ පිළිසරණය බුදුහිමි පාමුල ලද නිසා විය හැකිය. පැරණි ජනකවියන් බුදුරජාණන් වහන්සේ පිදුවේ වනපස මලිනි.

අවුකන බුදු පිළිම වහන්සේ වැඩ සිටින්නේ මහ වන මැද ය. අපමණ සැප සම්පතින් පිරී තම නුවර හැර පියා බවුන් වඩනු පිණිස මහ වනයට වැඩි බුදුරජාණන් වහන්සේ වන්දනාකරුට (කවියාට) සිහිවෙයි. ඉතා දුර බැහැරක සිට තමා පැමිණියේ සසර දුකින් අත් මිදීමේ පිළිසරණය සොයාගෙනය. අවුකන බුදු පිළිම වහන්සේ පාමුල සිට ඉහළ බලන ඔහුගේ නෙත ගැටෙන්නේ කෙමෙන් අහස විනිවිදු නැෙඟන බුද්ධ රූපකායයි. බුදුරජාණන් වහන්සේගේ මහා ප‍්‍රාතිහාර්ය බල මහිමයයි. තමා කොතරම් ක්ෂුද්‍ර ප‍්‍රාණියෙකුද යන්න ඔහුට එසැනින්ම හැඟී යයි. සැදැහැ බිති පෙමින් වෙලී ගිය ඔහුගේ සිත අපරණ ප‍්‍රමුදිත භාවයකට පත් වූ අයුරු පල කරමින් ගීතය නිමා වෙයි. පණ්ඩිත් අමරදේවයන්ගේ ගාම්භීර මධුර මනෝහර ස්වරය සමස්ත ගීතය පුරා නින්නාද නැංවූ පූර්වෝක්ත භාවයන්හි උල්පත වී ඇත්තේය.

නමෝ බුද්ධාය

සටහන
මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම්
දයාපාල ජයනෙත්ති