සුභාවිත බොදු ගීයක ප්‍රසාද මාධූර්යය

අහසත් පොළොවත් රංජනය කරමින් හාත්පස වෙලා ගෙන පැතිර යන විශ්ව සෞන්දර්යය මානව ශිෂ්ටාචාරයේ ආධ්‍යාත්මික ප්‍රබෝධය උදෙසා උපයෝගී කොට ගත හැකි ආකාරය ලෝකයට අවබෝධ කොට දෙන ලද්දේ බුදුරජාණන් වහන්සේ විසිනි. උන්වහන්සේ තරම්, පරිසරය වීතරාගීව වින්දනය කොට (වීතරාගා රමිස්සන්ති) එය ස්වකීය විමුක්ති මඟට සමීප කොට ගත් වෙනත් ශාස්තෘවරයෙකු ලොව පහළ වූයේ නැත. ඒ බව සනාථ කරන අපමණ නිදසුන් ත්‍රිපිටක සූත්‍ර ධර්මයන් තුළ අන්තර්ගතව පවතී. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහි වැඩ විසූ ශ්‍රාවක මහ සඟරුවන, පාරිසරික සෞන්දර්යය ස්වකීය විමුක්ති මඟ සාධනය උදෙසා ඉවහල් කොටගත් ආකාරය, ථේර ථේරී ගාථා පමණක් වුව ද විමසීමෙන් පසක් වෙයි.

බුදු දහම තුළ අන්තර්ගතව පවත්නා එකී ආධ්‍යාත්ම සෞන්දර්යයේ ප්‍රභාව අන් කවර දේශයකටත් වඩා ස්වකීය ජීවිතයටත්, කලා මාධ්‍යයන්ටත් මුසු කොට ගැනීමේ වාසනා ගුණය අත්පත් කොට ගනු ලැබුවේ ශ්‍රී ලාංකේය බෞද්ධ ජනකාය විසිනැයි කිය හැකි ය. සමාධි ප්‍රතිමාවෙන්, සඳකඩපහණින්, ලියවැලින් හා අනේක විධ කැටයමින් ඔප කොට ගත් මහ කළුගල් සියුමැලි මැටි පිඬු සේ හසුරුවා ගැනීමට සිහල කලාකරුවන් ආවේශය ලැබුවේ බුදු දහමින් උරුම කොටගත් විශ්ව සෞන්දර්යාවේශය විසින් ඔවුන්ගේ අධ්‍යාත්මයන් සුනිශිත කරන ලද හෙයිනි.

බුද්ධානුස්සති භාවනාවෙන් සිත එකඟ කර ගැනීමට පුරුදු වුණ සැදැහැවතකුට සොබාදහමේ සොඳුරු නිමේෂයක් වන අරුණෝදය සිහිපත් කරවන්නේ දඹදිව ගයාහිස බෝමැඩ උතුම් සම්බෝධිය සාක්ෂාත් කොටගෙන ලොව එළිය කොට වදාළ අමාමෑණි වූ බුදුරජාණන් වහන්සේ ය. අරුණලුත් සමඟ පෙරදිග අහසේ කෙමෙන් මතුව එන ළා හිරු රැස් ධාරා විහිදෙනු දකින බොදුනු ශ්‍රාවකයාගේ මතකයට නිතැතින් නැඟෙන්නේ සවනක් බුදුරැස් මාලාවන් ය. ඒ මනැස් සැමරැම ආධ්‍යාත්ම සොම්නස දනවන සුලු ය. සසර අඳුරේ ගිලී සිටි ලෝකයට හිරු උදා වූයේ බුදුරජාණන් වහන්සේනමකගේ පහළ වීමත් සමඟ ය. එය අනුස්මරණය කිරීමෙන් මතුවන ආධ්‍යාත්ම චමත්කාරය සසර ගමනේ බිහිසුණු ස්වභාවයත් ඉන් මිදෙන මඟත් එක විට පළ කරන්නකි. ඒ බව ස්මර්ථනය කරන සුභාවිත බොදු ගීයක රස විනිස, කවරකු තුළ වුව ද හෘදයානන්දකර පහන් සංවේගයක් ජනනය කිරීමට සමත් වෙයි.

“අරුණලු පැතිරෙන හිමිදිරි යාමේ
සිතුවිලි පව්වේ පෙරදිග අහසේ
හිමියනි මම බුදු රැස් දැක ගත්තෙමි

කළුවර ගොනුකොට ගිමන් දවන මඟ
ගමන් කළෙමි දුර සසර පුරා
පස්කම් සම්පත් එක්තැන් කරගෙන
ගමන් කළෙමි දුර සසර පුරා

මහ කරුණාවේ සිලිල ගලා එන
බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ
නැහැවෙමි සසරේ කෙලෙස් මුදා හැර
බුදු හිමියනි ඔබෙ මෙත් දහරේ”

දවසේ කිස ඇරඹීමට පෙර හිමිදිරි යාමයේ එළිමහනට පිවිසෙන්නකු මුලින් ම දකින්නේ පෙරදිග අහසේ කෙමෙන් මතුවී එන අරුණාලෝකය යි. මඳ ඇසිල්ලකින් අරුණලු පිසගෙන විහිදී එන ළා හිරු කිරණ බුදු රැස් කලඹක් ලෙසින් උපකල්පනය කළ හැක්කේ බුද්ධානුස්සති භාවනාවෙන් සිත එකඟ කර ගත් සත්පුරුෂයකුට පමණි. බෝසතාණන් වහන්සේ උතුම් සම්බෝධිය සාක්ෂාත් කොට වදාළේ අරුණලු පැතිරෙමින් පැවති හිමිදිරි යාමයක දී බව ඔහුගේ සිතට නැඟෙනුයේ නිරායාසයෙනි. ඒ සමඟ ම දවසේ ඉටු කළ යුතු මෙහෙවර පිළිබඳ සිතුවිලි ඔහුගේ සිතට ගලා එයි. එම සිතුවිලි දිවි ගමන වළකන, නොඑසේ නම් අවහිර කරන විසල් පර්වතයක් වැන්න. ඒ පව්ව මුදුනින් මතුව එන ළා හිරු කිරණ සංකේතවත් කරන්නේ යහපත් චේතනා ය. හිරු උදා වී ලොවට එළිය පතුරුවන්නේ ඒ නැවුම් හැඟුම් නැමැති රන් ගිරි හිස මුදුනිනි.

ගී පදවැල් නවයකින් යුතු මේ කුදු ගීතය ගැඹුරු ජීවන අරුතක් කුළු ගන්වන්නකි. අපාර වූ සංසාර ගමනේ බිහිසුණු බවත්, ඉන් මිදීමට ඇති ඒකායන මාර්ගයත් ගීතයේ අන්තර් ඛණ්ඩයේ පාද තුනකින් ධ්වනිත කරන්නේ පිටු සිය ගණනකින් වුව ද ලියා නිම කළ නොහැකි පොතකට තරම් විෂය විය හැකි ආඛ්‍යානයක් පිඬු කොට දක්වමිනි.

“කළුවර ගොනු කොට ගිමන් දවන මඟ
ගමන් කළෙමි දුර සසර පුරා”

පරක් තෙරක් නොකිය හැකි අනන්ත සසර පුරා ලෝක සත්වයා සැරිසරා විත් පැමිණ ඇත්තේ අන්ධකාරය තුරුලු කොටගෙන ය. මඟ හසර නොදැන ඉබාගාතේ ඇවිද ආ ගමන අධිකතර වෙහෙස ගෙන දෙන්නක් විය. ආ ගිය මඟ නොදැන කළ ඒ සැරිසැරුමේ දී හමු වූයේ ගිමන් දවන මඟක් විනා ගිමන් නිවන මඟක් නො වේ. පස්කම් සැප පොදි බැඳගෙන මහා බරක් හිසින් දරා පැමිණි භව ගමනේ ගිමන් දවන තැවුල සන්සිඳී ගියේ මහා කරුණා සිහිල් ජල ධාරා වෑහෙන උල්පත මතු වීම නිසා ය.

ලෝක සත්වයා සැරිසරන මේ මිහිතලයේ මධ්‍ය මණ්ඩලය ලෙස සැලකෙන දඹදිව් තලයේ එසේ පැන නැඟුණ මහා කරුණාවේ උල්පත ලෝ සතුන්ගේ ගිම් නිවාලන්නට ඉදිරිපත් වූයේ මින් වසර දෙදහස් හය සියයකට පෙර සිට ය. බුදු රැස් මාලාවෙන් ලෝකාන්ධකාරය පහ වී ගියා සේ මහ කරුණාවේ සිසිල ගලා ඒමෙන් පිපාසය, දාහය නිවී ගියේ ය.

“මහා කරුණාවේ සිලිල ගලා එන බුදු හිමි මෙත් දහරේ නැහැවෙමි” යන ගී රාවය සවන් වැකෙන්නා හා සමඟ ම සිත නිවී ගියා සේ, ගත නිවී ගියා සේ හැඟුණු දැනුණු අප්‍රමාණ ලෝවැසි ජනකායක් සසරේ කෙලෙස් මුදා හැර භවගාමී ජීවිතයේ නිමාව දකින්නට වාසනාව ලද අයුරු බුද්ධ ශාසන ඉතිහාසයේ නොමැකෙන අයුරින් සටහන් වී තිබේ.

භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණා මෛත්‍රි “නැහැවෙමි සසරේ කෙලෙස් මුදා හැරබුදු හිමියනි ඔබෙ මෙත් දහරේ”ය නැමැති සිහිල් ගඟුලේ කිමිඳ නහා සැනහී, සසරේ පොදි බැඳගෙන පැමිණි සියලු කෙලෙස් මුදා හැරිය යුතු ය යන හැඟුම ඉහත සඳහන් අවසාන ගී දෙපදයෙන් ධ්වනිත වෙයි. ගීතය නිමා වන්නේ යම් දවසක තමන් ද උතුම් මාර්ග ඵලයක් සාක්ෂාත් කරන අදිටන පළ කරන උදානයක් බඳු වදන් වැලකිනි. “සසරේ පොදි බැඳගෙන ආ කෙලෙස් මුදා හැර බුදු සමිඳුගේ මෙත් දහරේ නැහැවෙමි” යනු ඒ ශපත කිරීම යි.

නැසී ගිය ප්‍රේමකීර්ති ද අල්විස් සුලවතාණන්ගේ මෙම රමණීය පද බැඳුම සුගායනීය රිද්ම ලාවන්‍යයකින් යුතු බොදු බැති ගීයක් ලෙසින් ශ්‍රාවක දනන් සවන්පත් සැදැහැ බැති හැඟුමන් සනහන ලද්දේ විසාරද වික්ටර් රත්නායක ගායන ශිල්පියාණන් විසිනි.

සටහන – මා(ර්)ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති