අප අමා මෑණි අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ අයුරින් මේ මිනිස් ලෝකයේ උපතක් ලබාගැනීම ඉතා දුර්ලභ අවස්ථාවක්. ඒ බව උන්වහන්සේ බුදු නෙතින් බලා ලෝකයට පෙන්වා වදාළා. ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් අවබෝධ කළ, සසරින් එතෙර වීමේ මාර්ගය වූ ‘ධර්මය’ මේ මනුලොව දී ම නුවණැත්තන්ට අවබෝධ කළ හැකි බව ද සනාථ කළා. ඉතා කලාතුරකින් සිදු වන ඕපපාතික මිනිස් උපතක දී හැර තමන් ජනිත කිරීමට මුල පුරණ දිරිය කාන්තාවක් හේතුකොටයි මේ මනුලොව සෑම මනු සත්වයෙකු ම එළිය දකින්නේ. ඇය කවුද?

ඇය, වචනය කෙටි වුව ද අර්ථය කෙටි නොවන උත්තමාවක් කිවහොත් නිවැරදියි. මේ ගාථාව තුළින් ඇය ව ඔබට ක්‍ෂණයෙන් මතකයට ඒවි.

“දසමාසේ උරේකත්වා
පෝසේසි වුද්ධිකාරණං
ආයු දීඝං වස්ස සතං
මාතු පාදං නමාමහං”

දැන් පහසුවෙන් ‘ඇය’ කවුද යන්න හඳුනාගත හැකියි. ඒ අම්මා යි. අම්මා නම් වූ ස්ත්‍රී රත්නය හරි පුදුම, අද්විතීය චරිතයක්. ඔබ කවදා හෝ අසා තිබෙනවා ද වෙනත් ප්‍රාණයක් උදෙසා ඇප කැප වී තම ජීවිතය පවා කැප කරන කෙනෙකු ගැන? ඒ තමයි අම්මා. පුදුමාකාර ආශ්චර්යවත්, උත්සාහවන්ත, ඉවසිලිවන්ත, අපමණ ලෙස දරා ගැනීමට හැකි චරිතයක් තමයි ඇය තුළ තිබෙන්නේ. ඇයි මම එහෙම කියන්නේ? තමාගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත් බව දැනගත් විට එය විනාශ නොකර, දරු ගැබ ඝාතනය නොකර ඇය ඉතා ම සතුටින් තමාගේ සියලු පහසුව අත්හැර, දරුවාට කිසිදු හිරිහැරයක් විපතක් නොවීමට වග බලාගෙන, හරිහමන් නින්දක්, කෑමක්, බීමක් නැතිව ඒ කුස තුළ තිබෙන ප්‍රාණය රැකීම පිණිස වෙර දරන සැබෑ ම කරුණාවන්තියක්. දරුවාට අපහසුවක් වෙයි කියා උෂ්ණ කෑම, සීත කෑම, උණුසුම් කෑම නොකා, තමාට ප්‍රිය ආහාර පවා දරුවා ගැන සිතා, නොගෙන ඇය කුසෙහි සිටින දරුවා වෙනුවෙන් කැප වෙනවා.

ආශ්චර්යවත් ම දේ තමයි මව් සෙනෙහස දෝරේ ගලන ඇගේ දෙනෙත් කඳුළින් බර වන මොහොත. තමා දස මසක් ඇප කැප වී දරා සිටි දරුවා මෙලොව එළිය දකින විට, දරුවා කුණු ගොඩට විසි නොකර තමාගේ ඇකයට තුරුල් කරන් පහස විඳින්නට ඇය තුළ තිබෙන නිර්ව්‍යාජ බව. කාට ද පුළුවන් දස මසක් කුසේ බරක් දරාගෙන ජීවත් වෙන්න? කාට ද පුළුවන් තමාගේ ශරීරයේ සාරවත් ම කොටස රුධිරය සමඟ කැටි කොට තවත් ප්‍රාණියෙකුගේ කුසගිනි නිවීම උදෙසා කිරි බවට පත් කරන්න? මේ අද්විතීය හැකියාවලින් සමුච්චිත වන්නේ, සැබැවින් ම දිවියක ඇරඹුමට මුල පිදූ මෑණියන් ම පමණයි.

“උණහපුළුවාටත් උගේ දරුවා මැණිකක්” කියා පැරණි මිනිසුන් කියා තිබෙන්නේ උපමා නැති නිසා නෙවෙයි, මවකට තමාගේ දරුවා කෙරේ ඇති ළෙංගතුකම මනුෂ්‍ය, තිරිසන් කාටත් පොදු බව පෙන්වීමට යි. දරුවා මේ ලෝකයේ එළිය දුටු මොහොතේ පටන් දරු ස්නේහයෙන් මැනවින් ආරක්ෂා කර, පෝෂණය කර, උස් මහත් කර ඇය බලාපොරොත්තු වන්නේ යහපත් වැඩදායී චරිතයක් බිහි කිරීම මිස වෙන දෙයක් නෙවෙයි. ඒ නිසයි ලෝක ධර්මතාවයට අනුව මවට ඒ සුවිශේෂී හැකියාවන් සමුදාය පිහිටා තිබෙන්නේ.

අපගේ භාග්‍යවතුන් වහන්සේ බෝසත් අවධියේ දී සන්තුසිත දිව්‍යරාජයා ව සිටි කාලයේ මනුලොව ජනිත වීමට පෙර පස්මහ බැලුම් බැලූ අවස්ථාවේ ‘මව’ අතිශයින් ම විශේෂිත ව සලකා බැලුවේ, සියලු දෙව් මිනිසුන් උදෙසා අනුකම්පාවෙන් පහළ වෙන උත්තරීතර පුරුෂ රත්නයක් පවා දරා ගැනීමට හැකි සිල්වත්, ගුණවත්, පින්වත් මව්වරු මේ මිහිතලයේ සිටින බව සනාථ කරන්නට වාගෙයි. භාග්‍යවතුන් වහන්සේ මව්පියන් මිහිපිට බ්‍රහ්මයන් ලෙසයි පෙන්වා වදාළේ – “බ්‍රහ්මාති මාතා පිතරෝ”…

අපගේ ශාස්තෘන් වහන්සේ දුප්පතිකාර සූත්‍රයේ මෙසේ වදාළා.

“මහණෙනි, මෑණියන් හා පියාණන් යන දෙදෙනා හට ප්‍රත්‍යුපකාර කොට අවසන් කිරීම ලෙහෙසියෙන් කළ නොහැකි බවයි මා කියන්නේ. මහණෙනි, සියයක් අවුරුදු ආයුෂ තිබෙන කෙනෙක් අවුරුදු සියයක් ජීවත් වෙමින් එක් උරයක මව තබා ගෙන රකියි. අනෙක් උරයෙහි පියාව තබාගෙන රකියි. ඔහු ඒ මව්පියන්ගේ ශරීරයන් සුවඳ සුණු ඉලීමෙන් ද, අත් පා ආදිය පිරිමැදීමෙන් ද, සිහිල් පැන්, උණු පැන් ආදියෙන් නෑවීමෙන් ද, අත් පා මඩිමින් ද උපස්ථාන කරයි. ඒ මව්පියෝ ද ඒ උරයේ ම ඉඳගෙන මළ මුත්‍ර පහකරති. මහණෙනි, මේ විදිහට සළකලාවත්, මව්පියන්ට උපකාර කළා වන්නේ නෑ. ප්‍රත්‍යුපකාර කළා වන්නේත් නෑ.”

“බොහෝ වූ සප්ත මාණික්‍යයන් ඇති මේ මහ පොළොව මත කෙනෙක් මව්පියන්ව සක්විති රජකමෙහි පිහිටුවන නමුත් මේ තරමිනුත් මව්පියන්ට උපකාර කළා වන්නේ නෑ. ප්‍රත්‍යුපකාර කළා වන්නේත් නෑ.

මෙයින් භාග්‍යවතුන් වහන්සේ වදාළේ තමාගේ මව්පියන්ට ලොව තිබෙන උසස් ම ආකාරය වූ සක්විති රජෙකුට ලෙසින් සැලකුවත් තමා ජාතක කළ ඔවුනට ඒ ණය ගෙවා අවසන් කිරීමට නොහැකි බව යි. ඒකට හේතුව කුමක්ද?

මව්පියන් වනාහී දරුවන් හට බොහෝ සේ උපකාරකයි. දරුවන්ව වඩනවා. පෝෂණය කරනවා. මේ ලෝකය හඳුන්වා දෙනවා. මේ සටහනට ප්‍රස්තුත වූ අම්මා තමාගේ දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් කැප වූ චරිතයක්, ලෙඩ දුක් හැදුනු විට කඳුළු වගුරවමින් නිදිවරාගෙන කැප වූ චරිතයක්. දරුවන් හදා වඩා මේ ලෝකයට වැඩදායී පුද්ගලයන් තැනීමට මහන්සි වෙන චරිතයක්. මව්පියන්ට ඇති ණයෙන් නිදහස් වීම සඳහා කළයුතු දේ කුමක්ද යන වග භාග්‍යවතුන් වහන්සේ මේ අයුරින් වදාළා.

“යෝ ච ඛෝ භික්ඛවේ මාතාපිතරෝ අස්සද්ධේ සද්ධාසම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති. දුස්සීලේ සීලසම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති. මච්ඡරී චාගසම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති. දුප්පඤ්ඤේ පඤ්ඤාසම්පදාය සමාදපේති නිවේසේති පතිට්ඨාපේති, එත්තාවතා ඛෝ භික්ඛවේ මාතාපිතුන්නං කතඤ්ච හෝති පතිකතඤ්ච අතිකතඤ්චාති”

ඒ කියන්නේ, “යම් කෙනෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති මව්පියන්ව ශ්‍රද්ධාවෙහි සමාදන් කරවනවා නම්, ඇතුළත් කරවනවා නම්, පිහිටුවනවා නම්, දුස්සීල වූ මව්පියන්ව සීල සම්පත්තියෙහි සමාදන් කරවනවා නම්, ඇතුළත් කරවනවා නම්, පිහිටුවනවා නම්, මසුරු වූ මව්පියන්ව පරිත්‍යාගයෙහි සමාදන් කරවනවා නම්, ඇතුළත් කරවනවා නම්, පිහිටුවනවා නම්, ප්‍රඥාව නැති මව්පියන්ව ප්‍රඥාවෙහි සමාදන් කරවනවා නම්, ඇතුළත් කරවනවා නම්, පිහිටුවනවා නම්, මේ තරමෙන්ම මව්පියන්ට සැළකුවා වෙනවා. කළ ගුණ සැළකුවා වෙනවා. අතිශයින්ම සැළකුවා වෙනවා.” යන්නයි.

මෙයින් පැහැදිලිව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තමාගේ මව්පියන්ට ඇති තම ණයින් නිදහස් වීමට නම් තිබෙන්නේ ඒ උත්තම ත්‍යාගය, භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය තමාග් මව්පියන්ට ලබා දීම පමණක් ම බව. ඒ නිසා ම යි අප භාග්‍යවතුන් වහන්සේ පවා තමන් වහන්සේ අවබෝධ කළ ඒ උතුම් ධර්මය තුසිත දෙව්ලොව සිටි, තමන් වහන්සේව මෙලොවට බිහි කළ මව් වූ මාතෘ දිව්‍යරාජයා හට දේශනා කොට, සසරින් එතෙර වීම පිණිස උපකාර කොට එලෙසින් කළගුණ සැලකුවේ. එයින් පවා පැහැදිලි වන්නේ භාග්‍යවතුන් වහන්සේ පවා උතුම් ම අයුරින් මවට සැලකීම සිදු කළ බවයි.

මේ අනන්ත සසරේ අපට මව් කෙනෙකු නො වූ පුද්ගලයෙකු සොයා ගත නොහැකි බව මාතු සූත්‍රයේ දී භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. තමාගේ සිහිනය දරුවන්ගේ සිහිනය උදෙසා කැප කළ උතුම් මව්වරු භාග්‍යවතුන් වහන්සේගේ අවදියේ පවා සිටියා. ඒ වීර චරිත සැබැවින් ම තමාගේ දරුවන් නිසා ම පිහිට ලබා අවබෝධයෙන් සිටි පිරිසක්. මව්වරුන් අතර සුවිශේෂී චරිතයක් තමයි “රාහුල මාතාව”. තමාගේ එක ම පුතා ව අතින් අල්ලාගෙන සඳලුතලේට ගොස් “චක්ක වරංකිත රත්ත සුපාදෝ….” ආදී වශයෙන් ගාථා පවසමින් දෙතිස් මහා පුරිස ලකුණින් හෙබි බුදුපියාණන් වහන්සේ ව පෙන්වා “පුතේ දායාදය ඉල්ලා ගන්න” කියා අතහැරිය ඇය තමාගේ පුතා ඒ උතුම් දායාදය, ඒ උත්තරීතර අරහත් ධජය දරා සිටින විට බොහෝ සෙයින් සතුටු වන්නට ඇති.

පටාචාරාවට වුව ද තමාගේ දරුවන්ගේ අහිමි වීම කෙසේ නම් දැනුණා ද කිවහොත් ඇඳිවත පවා නැතිව උමතුවෙන් ගිය ඇයට පිහිට වූයේ බුදු සරණ පමණයි.

මළ පුතු නැගිටවන්නට පුළුවන් සමතා කවුද කියා ලෝකේ එක ම ශ්‍රේෂ්ඨ වෙදැදුරා සොයා ගිය කිසාගෝතමිය පවා ඒ උතුම් ධර්මෞෂධයෙන් පිහිට ලැබුවා. ඒ මළ ගිය දරුවාට තිබූ දාරක ස්නේහයේ ප්‍රතිඵලයක් නිසා ම යි ඇයට ධර්මය මුණගැසුනේ.

බුදු දහමේ මාපියන්ට සැලකීම උතුම් මංගල කාරණයක් ලෙසයි දක්වා තිබෙන්නේ, “මාතා පිතූ උපට්ඨානං” යනුවෙන් අපට ශාස්තෘන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ උන්වහන්සේ මව්පිය ගුණ හොඳින් ම දන්නා නිසයි.

යමෙක් තමාගේ මව්පියන් ඝාතනය කළහොත් එය ඔවුන් හට මරණින් මතු කල්පයක් අපාදුක් විඳින්නට හේතුවන ආනන්තරීය පාපකර්මයක් බවට පත්වේ. මිහිපිට බ්‍රහ්මයන් වන මව්පියන්ට යමෙක් ගරහයි ද ඔවුන් ඒ දුක කෙසේ හෝ විඳ අවසන් කළ යුතු වෙනවා. ඒ කර්මය ඒ තරම් ම බලවත්. මහා ඍද්ධිමත් මහා මොග්ගල්ලානයන් වහන්සේ පවා එක් ආත්මයක දී බිරිඳගේ රැවටිලි බස්වලට හසුවෙලා තම මව්පියන්ට වද හිංසා කළා, ඒ කර්මය උන්වහන්සේ මාර්ග ඵලලාභී අග්‍රශ්‍රාවක උතුමන් වහන්සේනමක් වීමෙන් පසුවත් විපාක දුන්නා. බලන්න ඒ කර්මයේ තිබෙන බලවත්කම.

කළ යුතු වන්නේ පෙර කී පරිදි මව්පියන් හට භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්ම දොරටුව විවෘත කර දීම යි. භාග්‍යවතුන් වහන්සේ, තම ගුරු පූජාව සම්පූර්ණ කිරීමට මව බිල්ලට ගැනීමට ගිය අංගුලිමාලයන් පවා මව් නැසීමට පෙර ධර්ම යාත්‍රාවේ නංවාගත්තේ අංගුලිමාලගේ පුණ්‍යානුභාවය දැකයි. ඒ ආනුභාවයෙන් අදටත් ගැබිණි මව්වරු සෙත් ලබනවා. විමල කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේ පවා නගර සෝභිනියක වූ සිය මව් අම්බපාලියට අමෘතයෙන් පණ පෙව්වා. අප ධර්ම සේනාධිපති සැරියුත් මහතෙරුන් වහන්සේ පිරිනිවීමට පත් වීමට පෙර තමාගේ උතුම් මෑණියන්ට සසර දුක වටහා දී තිසරණ සරණ පිහිටවූවේ ධර්මයට වඩා දෙයක් මේ ලොව උතුම් නොවන නිසා ම යි.

කල්පනා කොට බලන්න, ලොව කොතරම් මව්වරු සිටියත්, තමා මේ ලෝකයට ජනිත කළ සැබෑ මව්ට පමණයි ‘අම්මා’ යන වචනය හැඟීමෙන් ම දැනෙන්නේ. මේ දරු සෙනෙහස යනු ශරීරයේ ලේ මස් නහර ඇටමිඳුළු පලාගෙන කිඳා බැස තිබෙන තියුණු, හැඟුම්බර දෙයක්. මව් කෙනෙකුට තමාගේ දරුවා දුටු විට කිරි එරෙන්නේ ඉබේට ම යි. කාන්තාවක් හා අම්මා කෙනෙකු අතර වෙනස තිබෙන්නේ ඒ දරු සෙනෙහස ම පෙරටු කරගෙනයි.

ඒ හැම කරුණක් ම බුදු දහම තුළ පෙන්වා දෙනවා. එලෙස ම ඔබට මනුලොවට එන්නට පණ දුන්නු ඇයට මනුලොවින් නික්මෙන්නට අවස්ථාව එළඹි විට සිහි කරන්නට ධර්මය ළං කිරීම දරුවන්ගේ වගකීමක්. බුද්ධෝත්පාද කාලයක, ධර්මය වැජඹෙන කාලයක, තම මව්ට මේ උත්තරීතර ධර්මයට මං පෙත් විවර නොකරන දරුවන් කුමට ද?

තම දිවියේ ඇරඹුමට මුල පිරූ ඇයගේ මතු දිවියෙහි මූලාරම්භය සෑදීම, ඒ සුගති සිහිනය යථාර්ථයක් කිරීම ඇයට කරන පුණ‍්‍යයෝපකාරය’යි, එයට මග ‘ධර්මය’ මිස වෙන කුමක් ද?

සටහන – චරිත් සුබසිංහ