එය දිනපතා පුවත්පතකි. මුල් පිටුව වෙන් වී ඇත්තේ ප‍්‍රධාන පෙලේ උණුසුම් පුවත් වාර්තාකරණය පිණිස ය. මින් ඉතා වැඩි ප‍්‍රතිශතයක් හදගැස්ම නංවාලන පුවත් වීම දැන් දැන් අනිවාර්ය අංගයක් වී ඇති සේ ය. එහෙත් පාඨකයෝ එ්වා උද්යෝගයෙන් යුතුව කියවති. පුවත්පත ද ඉක්මනින් විකිණී අවසන් වනු ඇත. කතුවරු පසුදා උණුසුම් පුවත් සඳහා යුහුසුළුව සැරසෙති. ඇතුළු පිටු සඳහාත් වැඩි වශයෙන් කුතුහලය අවුස්සන අහිමිරි සිදුවීම්හි වගතුග ඇතුළත් කිරීමට පාඨක රුචිය හඳුනන බොහෝ පුවත්පත් කටයුතු කරනු දැකිය හැකි ය. එය පුවත්පතක කාර්යයක් නොවන බව අපට කිසිවිටකත් කිව නො හැකි ය. එ් රට තුළ සිදුවන ඕනෑම පුවත් වටිනාකමක් සහිත, මාධ්‍ය ආචාර ධර්මවලට පටහැනි නොවන පුවතක් වාර්තා කිරීමට සෑම මුද්‍රිත, විද්‍යුත් මාධ්‍යයකට අයිතිය ඇති නිසා ය. එය නිදහස් මාධ්‍ය භාවිතයක් ඇති රටකට හොඳින් ම අදාළ දෙයකි.

කෙසේ වෙතත් දින, සති, මාස අවුරුදු ගතවෙමින් කාලය වේගයෙන් ඉගිල යද්දී මේ හරහා පාඨක හදවත් තුළට උද්වේගකර අමිහිරි උත්තේජනයක් නිරන්තර ව ඇතුළු වී ඇති බව නම් සිහිබුද්ධියක් ඇති කවරෙකු වුව ප‍්‍රතික්ෂේප නො කරනු ඇත.

උදෑසනින් පුවත්පතක් අතට ගන්නා පාඨකයාගේ රැයේ සන්සිඳුනු ලේ ගමනාගමනය වේගවත් කරන මේ පුවත් දිනයේ ඔහුගේ ප‍්‍රධාන මාතෘකාවන්ගෙන් එකකි. එ් සියලූ අවස්ථාවන්හිදි ඔහුගේත්, ඊට සම්බන්ධ වන සියලූ දෙනාගෙත් සිත දූෂණය වීම සිදුවන අතර කිසිවකුටත් තම අභ්‍යන්තරය තුළ සිදුවන වෙනස්වීම පිළිබඳ අවබෝධයක් නැත. එමෙන් ම මේ පසුබිම තුළ ක‍්‍රමයෙන් දැඩි ආවේගශීලි බවට ලැජ්ජා බිය තුරන් වූ සමාජයක් නිර්මාණය වීම පිණිස යම් දායකත්වයක් නිහඬ ව ම මෙකී මාධ්‍ය භාවිතාව තුළ සිදුවන බව අපට කිසිසේත් ම සිහිවන්නේ නැත. වර්තමානයේ බොහෝ පුවත්පත්වල හා විද්‍යුත් මාධ්‍ය පුවත් වාර්තාකරණය තුළ ඇති අන්තර්ගතය සැලකීමේ දී මේ ස්වභාවය මනා සේ ප‍්‍රකට ය.

අතීතයට සාපේක්‍ෂව අද වන විට අමිහිරි බිහිසුණු සිදුවීම් හා උණුසුම් පුවත්වල පැහැදිලි වර්ධනයක් දක්නට හැකි වීම සත්‍යයකි. එහෙත් එතරමින් ම සොඳුරු සිත නිවන යහපත් දේත් අප රට තුළ සිදුවන බව නොරහසකි. එහෙත් එ් සඳහා පුවත්පතක පිටුවක් වෙන්වන්නේ අල්ප වශයෙනි. එමෙන් ම මුල් පිටුව සඳහා සිත සන්සිඳෙන සොඳුරු පුවතක් ප‍්‍රධාන සිරස්තලය වූ දිනක් සොයා ගැනීම පවා දුෂ්කර ය. දේශපාලනික උණුසුම් පුවත් ද මේ වන විට විශාල වෙළඳපොළ වටිනාකමක් ලබාගෙන ඇත. මේ සියල්ලක් තුළ ම ගුණාත්මක පාඨක අයිතිය තවදුරටත් අභියෝගයට ලක්වෙමින් පැවතීම අපට ප‍්‍රතික්ෂේප කළ නො හැකි ය. අප පුවත්පත්වල අර්ථවත් විෂය කරුණු සහිත ලිපි යම් පමණකට ඇතත් එ් සුළුතර පුවත් සන්නිවේදනය ද අප අතින් ගිලිහී යාමට තවත් වැඩි කලක් ගත නොවනු ඇත. ඉදින් මේ පසුබිම තුළ පුවත්පතක් කියවීමට ගන්නා ඕනෑම පුද්ගලයෙකු කුතුහලයෙන් යුතුව වුවත් නිරන්තරව එ් තුළ දකින බොහෝ දේ දෙස බලනුයේ පිළිකුල මුසු ද්වේෂ සහගත බැල්මකිනි. එමෙන් ඔහු හෝ ඇය සමස්ත සමාජය කෙරෙහි දක්වන ආකල්පවල බරපතළ ඍණාත්මක වෙනසක් ඇති කිරීම සඳහා මේ දැක්ම ඍජු ව බලපානු ඇත. මේ සියල්ල පිළිබඳ අප නැවත නැවතත් සිතා බැලිය යුතු ම ය. මේ පිළිබඳ ව තවකෙකුට ඇඟිල්ල දිගු කිරීමට පෙර අප මැදහත්ව විදේශ පුවත්පතක් ගෙන පෙරලා බලමු.

ඕනෑම රටක මෙකී සිදුවීම් අඩු වැඩි වශයෙන් සිදු වීම සාමාන්‍ය තත්ත්වයකි. එහෙත් බොහෝ රටවල මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය තම පුවත් වාර්තාකරණය තුළ යම් යම් සීමාවන් පනවා ගනිමින් සමාජ යහපැවැත්ම උදෙසා වන තම වගකීම කුමක්දැයි වටහාගෙන ඇති බව පෙනේ. එමෙන් ම ඔවුන් ජාත්‍යන්තරය තුළ තම රටවල අනන්‍යතාවය සමබරව හා සුභවාදී ව ඉදිරිපත් කිරීමට රට තුළ පුවත්පත් තුළින් පවා සැමවිට ම ඉදිරිපත් වෙති. අප රටේ නොවන්නේ ද එය යි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ප‍්‍රමාණාත්මකව එ් රටවල සමාජ පරිහානිය අවම කර ගැනීමට සුවිශාල මාධ්‍ය දායකත්වයක් ලබා දීමට ඔවුන්ට හැකිව තිබේ. මෙහි අදහස නම් මනුෂ්‍ය චිත්ත සන්තානය වෙත නිරන්තරව සිදු කෙරෙන වඩා අමිහිරි සන්නිවේදනය තුල බොහෝ පිරිසක් අකුසලයන් වෙත හා ආතතිය වෙත තල්ලූ වී යාමේ ඉතා වැඩි ප‍්‍රවණතාවයක් ඇති වීම මේ හරහා අවම කරගෙන තිබීම යන්න ය.

පුවත්පත් සඳහා අර්ථවත් විෂය කරුණු සහිත ලිපි වැඩි ප‍්‍රමාණයක් අන්තර්ගත කරමින් රටෙහි සිදුවන යහපත් දේ සඳහා ද සැලකිය යුතු ඉඩක් වෙන් කරමින් ජනතාව එ් පිළිබඳ දැනුම්වත් කිරීමට ඔවුන් කටයුතු කර ඇති බව දැකිය හැකි ය. උණුසුම් පුවත් ද සමබර ලෙස වාර්තාකරණයට එක් කොට තිබීමෙන් පුවත්පත ආකර්ෂණීය සන්නිවේදන මාධ්‍යයක් කොට තිබීම ද වැදගත් ය. එමෙන් ම පුවත්පත මිල දී ගන්නා පාඨකයාගේ මුදලට සැබෑ වටිනාකමක් ලබාදීමටත් ඔවුන් උත්සාහ කොට ඇති බව පෙනේ. එම පුවත්පත් දැකීම හරහා පාඨකයාගේ සිත ව්‍යාකුල වීම ඉතා අවම වී ඇති සේ ම නිරන්තරව සිදුවන අමිහිරි උත්තේජනයෙන් ඔහු හෝ ඇය මුදවාගෙන ඇත. සමාජ යහපැවැත්ම උදෙසා වන නැණවත් ගුණවත් පාඨක පරපුරක් වෙත තම ගුණාත්මක පාඨක අයිතිය බොහෝ දුරට සුරක්‍ෂිත කරමින් ඔවුන් එ් හරහා නිවැරදි සමබර ලෞකික සන්නිවේදනය පිළිබඳ යම් පණිවුඩයක් අප වෙත ලබා දී ඇත.

රටක් වශයෙන් අප තරම් සාහිත්‍ය රසයෙන් ද තොරතුරු සන්නිවේදනයෙන් ද පාඨකයන් අර්ථවත්ව පෝෂණය කරන මාධ්‍ය භාවිතයක් ඇති කර ගත හැකි රටක් තවත් ලොව ඇතිදැයි විටක සිතේ. ඊට හේතුව නම් අපගේ ආධ්‍යාත්මය නිරතුරුව ම පෝෂණය වුයේ අසිරිමත් වූ බුදු දහමින් වීම යි. අතීත සිරිලක පටන් බොහෝ මෑතක් වන තුරු අපගේ සාහිත්‍ය පෝෂණය වූයේ එ් අමා ධර්මයෙනි. වර්තමානයේ් දක්නට ලැබෙන දියුණු යැයි සම්මත සන්නිවේදනය තුළ නො වුණත් ඊට බොහෝ එහා ගිය ආර්ය සන්නිවේදනය තුළ අප දැක්වූ වගකීම් සහගත බව කෙතෙක්දැයි අතීතය අපට සිහිපත් කර දෙයි. අප කථා කළ වදන් බොරුවෙන් වෙන්ව තිබිණි, කේළමින් වෙන්ව තිබිණි, පරුෂ වචනයෙන් හා හිස් වචනයෙන් ද වෙන්ව තිබිණි. සියලූ වදන් පාවිච්චි කරනු ලැබූයේ තමාගේත්, අන් අයගේත් හිත පිණිස ය. එ් මොහොතට යම් අයුරකින් එය අහිත පිණිස වන්නේ නම් සත්‍යයක් වුවත් අප එ් මොහොතට එය සමාජගත කළේ නැත. එසේ ම යම් ප‍්‍රතිලාභයක් තාවකාලිකව ලැබිය හැකි වුවත් අසත්‍යයක් නම් එය කිසිවිටකත් සමාජගත කළේ නැත. මේ සියල්ල තුළ තොරතුරු දැන ගැනීමේ අයිතිය සියල්ලන්ගේ ම යහපත උදෙසා හොඳින් තහවුරු කිරීමට අපට හැකි විය. තේරුමක් නැති හිස් දේ තුළ අපගේත්, අන්‍යයන්ගේත් වටිනා කාලය විනාශ කිරීමට ද අපි කටයුතු නො කළෙමු. පරුෂ වචනය අප ශබ්දකෝෂයේ් තිබුණේ ම නැත. එ් උතුම් ශී‍්‍ර සද්ධර්මය තුළ අප සමාදන්ව පැවති හෙයින් අතීිත සිරිලක මහා ගුණ යහපත් පරපුරක කේන්ද්‍රස්ථානය විය. එසේ නො වුයේ නම් මාර්ග ඵලලාභී උතුමන්ගෙන් මේ බිම පිරී නො යනු ඇත. එවන් පරපුරක වර්තමානිකයන් වන අපට එ් මගින් ලෝකයට දිය හැකි සුගත දහම් පණිවුඩය අදටත් වෙනසක් විය යුතු නැත.

අප රට දක්‍ෂ මාධ්‍යවේදීන්ගේ නිජබිමකි. පසුගිය යුද සමයේ යුදබිමට පවා යමින් ජීවිත පරිත්‍යාගයෙන් තොරතුරු සන්නිවේදනය කළ අපි ඕනෑම හදිසි අවස්ථාවක දී අපගේ මාධ්‍ය වගකීම නොපිරිහෙලා නො බියව රටට ඉටු කළෙමු. බොහෝ උතුම් සත්කාර්යයන් තුළ ද අපගේ යුතුකම් හොඳින් ඉටුකළෙමු. මේ සියලූ කරුණු තුළ අප අන් රටවලට ද ආදර්ශ සපයන තැනට පත්වූ අවස්ථා බොහෝ ය. ජාත්‍යන්තරය තුළ ශ්‍රී‍්‍ර ලාංකේය නාමය රැන්ඳූ අපි බොහෝ විට ගෞරවනීය සේවයක් මව්බිමට ලබා දී ඇත්තෙමු. එහෙත් යම් අඩුපාඩුවක් වරදක් ඇත්නම් එය ද අප නිරහංකාරව වටහාගෙන නිවැරදි කර ගත යුතු ය. අප එතරම් දුරට නො සිතා මේ සිදුකරන වරද හෙට දිනයේ දී අප නො සිතන තරමේ නපුුරු ප‍්‍රතිඵල ලබාදෙනු ඇත. හැමවිටක ම සත්‍යවාදී වීම අප සතු වගකීමකි. කෙසේ වෙතත් මේ සියල්ල තුළ ම අපගේත් අන් අයගේත් යහපත උදෙසා අප සතු යුතුකම් හා වගකීම් කිසිවිටෙකත් අමතක නො කළ යුතු ය. එසේ වුවහොත් අපට සන්නිවේදනය තුළ වඩා යහපත් සේවයක් ඉටු කළ හැකි වනු ඇත.

ප‍්‍රායෝගිකත්වය තුළ මෙය සිතනතරම් පහසු නොවන බව අපි දනිමු. එහෙත් එය නිදහසට කරුණක් කර ගැනීමට තවදුරටත් රටක් වශයෙන් අපට නො හැකි ය. විද්‍යුත් මාධ්‍ය හැසිරීම තුළ ද යට කී ලක්‍ෂණ බෙහෙවින් දැකිය හැකි ය. මේ කාරණා පුළුල් සමාජ කතිකාවකට ලක් කොට එ් පිළිබඳ ව නිවැරදි පුළුල් අවබෝධයක් ලබා ගනිමින් නිසි වැඩපිළිවෙළක් තුළ මාධ්‍ය වගකීම නිවැරදිව හා අර්ථවත්ව පෙළගැස්වීමට දැන් කාලය එළඹ ඇත. එ් යහපත් හෙටක් ගොඩනැංවීම පිණිස වන කර්තව්‍යයේ දී අප එ් වෙත ලබාදෙන දායකත්වය ඉතා ප‍්‍රබල හෙයිනි. මේ සියල්ලට ම නිවැරදි මගපෙන්වීම බුදු දහම තුළින් මනාව ලැබිය හැකි බව අප අවබෝධ කර ගතහොත් එය අර්ථවත් මාධ්‍ය භාවිතයේ ශ්‍රේෂ්ඨතම පදනම වනු ඇත.

සටහන
රොහාන් ඉන්ද්‍රජිත් එදිරිසිංහ