highlights of the week
Home » NEW ARTICLES » ජීවිතයේ ඉතිරි අඩ ගෙවෙන්නට පෙරාතුව…

ජීවිතයේ ඉතිරි අඩ ගෙවෙන්නට පෙරාතුව…

“ජීවිතය නම් පාට කූරක්මැයි”. මන්දයත් එය වර්ණවත් ය; සිත් ගන්නා සුලු ය; නෙක නෙක සිතුවම් මවන්නේ ය. සැබවි… එය එසේ ම ය. නමුදු මා ජීවිතය පාට කූරක් යැයි කියන්නේ මෙකරුණ නිසාවෙන් නො වන්නේ ය. මතකයේ රැඳී තිබේ නම් කොතැනක හෝ කුඩා කල ඔබ පාට කූරකින් සිතුවමක් පාට කරන විට එය කෙමෙන් ගෙවී ගිය අයුරු. පළමු වතාවට අතට ගත් කල එය සුමට ය; වටකුරු ය; මුහුණත පැතලි ය. නමුත් සිතුවම් පාට ගැන්වෙත් ම එය කෙමෙන් ගෙවී ගොස් පාට කූරේ දවටහන හමු වෙයි. ඉන් පසු පාට කරන්නට අපහසු ය. එහෙයින් දවටනය ඉරා දමා නැවතත් පාට කරන්නට පටන් ගත් කළ වේගයෙන් පාට කූර අවසන් වී යයි. මා ජීවිතය පාට කූරකට සමාන කරන්නට නිමිත්ත වූයේ මෙය ම ය. අප නොසිතනා තරම් වේගයෙන් අපගේ ජීවිත ගෙවී යමින් පවතී.

හිමිව ඇති වගකීම් හා යුතුකම්, පැවරී ඇති රාජකාරි අවසන් කර නිදහස් නිවහල් අයෙකු සේ මරණයට මුහුණ දෙන්නට සත් ගුණවත් ඔබ ලක ලෑස්තිවෙමින් සිටිනවාට, සැලසුම් සදනවාට සැක නම් නැත. දරුවන්ට නිසි කල අධ්‍යාපනය ලබා දීම, ඉඩකඩම් පවරා දීම, දරුවන්ගේ දරුවන්ට යමක් ඉතිරි කර දීම, තමා ජීවත්වන වටපිටාවට අයත් සමිති සමාගම් වෙනුවෙන් පෙනී සිටීම ආදී වූ යුතුකම් වගකීම් ඉටුකර, මම දැන් නිදහස් නිවහල් මිනිසෙක් යයි සිතා සිටින ඔබ මරණය ඉදිරියේ නිවහල් නොවන බව මතක් කර දීමට යම් උත්සාහයක් දරමි.

පාරේ මියැදී සිටින්නේ සැලසුම් සහගත ව ‘මම අද අසවල් මාර්ගයේ දී මගේ අවසන් ගමන සටහන් කරමි’ යි සිතා ගිය කිසිවෙක් නො වේ. ඒ මිය යන මොහොත වන විටත් ජීවිතයේ පරමායුෂ විඳ මරණයට පත්වන මොහොත දක්වා අහස උසට බලාපොරොත්තු ඔහු සතුව තිබිණි. පිළිකා වාට්ටුවේ නලයක උදව්වෙන් ආහාරයක් කුසට දා ගනිමින් සිටිය දී මිය යන්නේ ‘මා ජීවත් වූ කාලය හොඳට ම ප්‍රමාණවත් ය’ යැයි සිතා සියලු ආශා අත් හළ පුද්ගලයන් නො වේ. අවසන් හුස්ම පොද ඉහළට ගන්නේ ද අදිසි හස්තයකින් හෝ තමන්ගේ ජීවිතය බේරුනහොත් කරන්නට දහසක් බලාපොරොත්තු හිත ඇතිව ය. එසේ නම්… කෙමෙන් ගෙවී යන ජීවිතය ඉදිරියේ අප කෙතරම් අසරණ ද?

පරමායුෂ වසර සියයකටත් වඩා අඩුව හිමිව ඇති මේ ජීවිතයේ අඩක් ම බොහෝ විට මේ වන විටත් ගෙවී අවසන් ය. නමුත් ආපසු හැරී බලන විට අඩක් වූ මේ වටිනා ජීවිත කාලයෙන් බොහොමයක් සිදු වී ඇත්තේ, “අයියෝ මා කළ මෝඩකමක්” යයි ඔළුවේ අත ගසා ගන්නට කාරණා ය. ආයෙත් නම් මට එය මතක් වෙන්න එපා” යි දෑස් තද කර පියා ගන්නා කාරණා ය. ඉතිරි අඩ ජීවිතයත් ගෙවී යන්නේ ඒ ආකාරයෙන් ම බව ඔබගේ අද දවස ගෙවෙන අයුරින් නිශ්චිත ව ම කිව හැකි ය. රූපවාහිනියේ දිග හැරෙන නව කෑම වට්ටෝරුවක් ඔබ අද සටහන් කරමින් සිටී නම්, පුවත්තක නවතම විලාසිතාවකට අනුව සාරි හැට්ටයකට පතරොමක් සකසමින් සිටී නම්, අන්තර්ජාලයේ මුදා හැර ඇති නවතම ආලේපන වර්ග සොයමින් සිටී නම්… ඔබේ සිත සොයනුයේ මේවා ම පමණක් නම් ගෙවී යන ජීවිතය ඉදිරියේ ඔබ අසරණයෙක් ම ය. මේ හැරෙන්නට කරන්නට යමක් නොමැති බවක් ඔබට දැනෙන්නේ හැඟෙන්නේ හරසුන් මාධ්‍ය විසින් ඔබ අත්අඩංගුවට ගෙන ඇති නිසා ය. ඉන් ඔබ්බට ගිය කල ඔබ කළ යුතු සුන්දර දේ… ඔබ ගමන් කළ යුතු සොඳුරු මාවත තවමත් ඔබ වෙනුවෙන් විවෘතව ඇත. ඒ… සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා වෙත මහා කරුණාවෙන් පෙන්වා වදාළ, කිසිවෙකුට කරුණු සහිතව සුන්දර නො වේ යැයි පෙන්වා දිය නො හැකි, ලොව ඇති සුන්දර ම මාර්ගය යි.

කකුළුවන් භාජනයේ වතුර රත්වන තුරු දිය කෙළියෙහි යෙදෙන්නේ තමන්ට ඊ ළඟ මොහොතේ දී සිදුවන්නට යන ඉරණම නො දන්නා නිසා ය. භාග්‍යවතුන් වහන්සේ ලෝක සත්වයා ඊ ළඟ මොහොතේ දී සතර අපායේ වැටී දුක් විඳින බව ලෝකයට පෙන්වා වදාළ සේක. එසේ ම ඉන් මිදීමට මගක් ඇති බවත්, ඒ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බවත් වදාළ සේක. කාලයේ පහර කෑමට ලක්වන මෙකල මිනිසුන්ට මෙය වචන කිහිපයක් පමණක් වුව ද නැවතී සිතන්නට හැකි නම්… කෙළවරක් නො පෙනෙන සසරකින්, සතර අපායේ වැටී වැටී දුක් විඳින සසර ගමනකින් නිදහස් වන්නට මගක් තිබේ නම්. ඒ මග ගමන් කරනවා හැරෙන්නට අපට අනෙක් කරන්නට කිසිවක් තිබිය හැකි ද? උදයට, දහවලට, සවසට උල් පහර සියය බැගින් ලබා දීමෙන් අනතුරුව සෝතාපන්න වේ යැයි යමෙක් පවසත් නම් එයට කැමති වන්න යැයි, භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ සසරින් නිදහස් වීමේ මග එතරම් කටුක එකක් නො වන්නේ ම ය. ඇතැමෙක් නිරාහාරව සිටිමින් විමුක්තිය සොයති. මුනි දහම නම් පමණ දැන ආහාර ගැනීම ය, ගන්නා ආහාරය නුවණින් විමසීම ය. ඇතැමෙක් නිර්වස්ත්‍රව සිටිමින් විමුක්තිය සොයති. මුනි දහම වනුයේ අඳින ඇඳුම කුමක් වුව ද අර්ථය විමසීම ය. ළිප රැඳි මැල්ලුම නුවණින් විමසමින් සිටිය දී අවබෝධය කරා ගෙන යන දහම සැබැවින් ම සුන්දර දහමක් නො වේ ද? පා දෝවනය කරමින් සිටිය දී අවබෝධය කරා ගෙන යන දහමට සුන්දර දහමක් යැයි කීම යුක්ති සහගත නො වේ ද?

“ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේලා ආශ්චර්යයි. මේ ශ්‍රී සද්ධර්මයත් ආශ්චර්යයි. ශාස්තෘ සම්පත්තිය ආශ්චර්යයි. එනිසා ම යි ශ්‍රාවකයන්ට මේ ආශ්චර්යවත් ධර්මය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙන්නේ.”

(කුමාර කස්සප තෙරුන්ගේ ගාථා)

ජීවිතය පංච උපාදානස්කන්ධ වශයෙන්, ආයතන වශයෙන්, ධාතු වශයෙන්, පටිච්ච සපුප්පාද වශයෙන් ආදී කොට නුවණින් විමසන්නැයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එක් එක් පුද්ගලයාගේ නුවණින් විමසීමේ හැකියාව අනුව මේ ඕනෑම ආකාරයකට කෙනෙකුට ධර්මය අවබෝධ කළ හැකි ය.

“පින්වත් මහණෙනි, මම ඔබට සියල්ල ගැන ම කියා දෙන්නෙමි. එය මනා කොට අසන්න. පින්වත් මහණෙනි, කුමක්ද මේ සියල්ල කියා කියන්නේ. ඇසත්-රූපත් ය, කනත් – ශබ්දත් ය, නාසයත් – ගන්ධත් ය, දිවත් – රසත් ය, කයත් – පහසත් ය, සිතත් – සිතට දැනෙන දේත් ය. මෙයට යි පින්වත් මහණෙනි සියල්ල කියා කියන්නේ.”

(සබ්බ සූත්‍රය – සං. නි. 4)

දුටු දුටු දේ පෙන්වා ඇස පිනවනවා වෙනුවට ඇස විමසන්නට හැකි නම් කෙලෙස් ක්ෂය වීමේ මග එය යි. එදා දම් පිපාසයෙන් පැමිණි බාහිය දාරුචීරිය හට භාග්‍යවතුන් වහන්සේ වදාළේ ද මෙය ම නො වේ ද?

“පින්වත් බාහිය, ඔබ දැක්කොත් දැක්කා පමණයි, ඇසුවොත් ඇසුවා පමණයි, ආඝ්‍රාණය කළොත් ආඝ්‍රාණය කළා පමණයි…”

ඒ උතුමන් වහන්සේ පරිනිර්වාණය කළේ මේ දහම අනුගමනය කිරීමෙනි. එසේ නම් දුක උරුම කර ගත් සසර ගමනක දිගින් දිගට අප ගමන් කරන්නේ ඇස පිනවීම නිසා ය, කන පිනවීම නිසා ය, නාසය පිනවීම නිසා ය, දිව.. කය.. මනස පිනවීම නිසා ය. සියල්ල පසෙකින් තබා මේ එක ම කරුණක් අවබෝධ කරන්නෙක් සියල්ල අවබෝධ කරන බව භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එනම් ඇස පිළිබඳ අවබෝධයෙන් දන්නා කෙනා කන පිළිබඳ නොදන්නෙක් නො වේ ය. නාසය, දිව, කය, මනස පිළිබඳ නොදන්නෙක් නො වේ ය. කරුණු එසේ නම් මේ දහම සුන්දර නො වේ ද? ආශ්චර්යවත් නො වේ ද? පිළිපැදිය නො හැක්කේ ද? බැස ගැනීම අසීරු වන්නේ ද? ගමන් කිරීම සුන්දර නො වේ ද?

ආනන්ද මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ හා සමකාලීන, පසුකාලීන ආර්ය මහා සංඝරත්නයේ මැදිහත් වීමෙන් මේ සුන්දර ධර්මය මාර්ගය තවමත් විවෘතව පවතී. එම මගට එළඹෙන්නට කිසිවකුට තහනමක් නොමැත. අවශ්‍ය නුවණැති බව පමණ ය.

එසේ හෙයින් ඔබගේ ජීවිතයේ ඉතිරි කොටස සුවසේ ගෙවා දමන්ට ඔබ තෝරාගත යුතු මග මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේනමක් විසින් වදහළ සුන්දර ආර්ය මාර්ගයයි. ඔබ තවමත් පමා නැත. ජීවිතය ඔබට ඉතිරිව තිබේ. නුවණින් විමසන්නට ද හැකි ය. එසේ නම් වැරහැලි ඉරා දමා විසිතුරු ඇඳුමක් ඇඟ ලා ගන්නෙකු සේ ළාමක ලෝක ධර්මයන්ගෙන් මිදී උත්තම ආර්ය දහම තුළ හික්මෙන්නටයි ඔබ වෙර ගත යුත්තේ.

“සද්ධර්මයේ තියෙන්නේ පුදුමාකාර රසයක්. මං ඒ සද්ධර්මය අහලා ගොඩක් පැහැදුනා. බුදු සමිඳුන් වදාළ මේ ධර්මය හැම ආකාරයෙන් ම බැඳීම් රහිත වීතරාගී ධර්මයක්.

මේ ලෝකේ නොයෙක් විදියේ අරමුණු තිබෙනවා. ඒවා අතර ලස්සනට පෙනෙන, රාගය ඇති කරන අරමුණු නිසා ඇතිවන සංකල්ප මුළු මිනිස් ලෝකය ම කලඹලා දානවා කියලයි මං හිතන්නෙ.

සුළඟට ඇවිස්සිලා ගහගෙන යන දූවිලි වැස්ස වහිනකොට සන්සිඳෙනවා. අන්න ඒ වගේ ප්‍රඥාව උපදවාගෙන රාග සංකල්ප දිහා බලන කොට ඒවා සන්සිඳිලා යනවා.

ප්‍රඥාව උපදවාගෙන, සකස් වෙච්ච හැම දෙයක් ගැන ම අනිත්‍ය වශයෙන් බලනකොට එයා දුක ගැන කලකිරෙනවා. කෙනෙක් පිරිසිදු වන්නෙ අන්න ඒ ක්‍රමයට යි. ”

(අඤ්ඤා කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ)

අලුතින් වටිනා පොතක් ගෙන ආ ඔබ පොත් රාක්කයේ එය රඳවන්නට උත්සාහ ගත් කළ එයට ඉඩක් නැති නම්… කුමක් කළ යුතු ද? පොත්පත් එහා මෙහා කර අලුත් වටිනා පොතට ඉඩක් සකස් කර ගත යුතු ය. නැති නම් නොවටිනා පොතක් රාක්කයෙන් ඉවත් කර වටිනා පොතට ඉඩක් සකසා දිය යුතු ය. එසේ ම ජීවිතයට වටිනා දෙයක් එකතු කර ගනිමින් ඔබ අර්ථශුන්‍ය හෝ අර්ථහීන දේ ජීවිතයෙන් ඉවත් කර දැමිය යුතු ය. එසේ ම ටික කලක් යන විට පොත් රාක්කයට වටිනා පොත් පමණක් එකතු වන්නා සේ ජීවිතය වටිනා දෙයින් පමණක් පිරී යනු ඇත.

මා ජීවිතයේ අඩක් ගැන කරුණු පවසන නමුදු ඔබට ඉතිරිව ඇත්තේ ජීවිතයේ කාලක් පමණක් වන්නටත්, ඊටත් අඩුවෙන් අරික්කාලක් පමණක් වන්නටත් පුළුවන. නමුදු මේ බුදු වදන ප්‍රඥාවන්තයාට උල මත හිඳ නුවණින් විමසිය හැක්කක් බව සිහිපත් කරමි. හාමත් ව කරමතින් යමින් සිටිය දී නුවණින් විමසිය හැක්කක් බව සිහිපත් කරමි. එසේ නම් ඉතිරි ව ඇත්තේ මොහොතක් නමුදු තිසරණයෙහි පිහිටා සිටින්නට, සිල් පද සමාදන් වන්නට, මුළු ලෝකය ම වන්නේ මේ හිස් මුදුනින් පටන්ගෙන පාදාන්තයෙන් අවසන් වන බඹයක් පමණ තරම් වූ ශරීරය ම බව සිතන්නට… එය තමාගේ වසඟයෙහි පවත්වන්නට බැරි දෙයක් බව සිතන්නට ඔබට ඒ මොහොතක් හොඳට ම ප්‍රමාණවත් ය. ඔව් සැබැවි… මේ ශ්‍රී සද්ධර්මය එතරම් ම ආශ්චර්යවත් ය.

සටහන – තේජා දිල්රුක්ෂි දයාරත්න

Leave a Reply

Your email address will not be published.

x

Check Also

තරු කැට ගැයූ සඳ වරුණාව

සසුනඹර පායා දිලි ඒ සොඳුරු තරු කැට සඳමඬලේ සිසිලසට පුද කළ තුති ගී ගැන ඔබ අසා තිබේ ද...? ලෝකයේ යමෙකුට පුදකළ හැකි පරම පිවිතුරු ම තුති ගීය එයයි.