highlights of the week
Home » Archives » ලස්සන ම හිතකින් වෙසක් සඳ දකිමු

ලස්සන ම හිතකින් වෙසක් සඳ දකිමු

බසවක්කුලම වැව් දිය රැලි මතට සඳ එළිය වැටුනාම හරි ම ලස්සනයි… හමා එන මඳ පවනේ සුවය විඳිමින් මම ගල් බංකුව මත වාඩි වුණා… අද උදයේ මහ සෑයටත්, ජය ශ්‍රී මහා බෝධින් වහන්සේටත් කළ ක්ෂීරපායාස පූජාව සිහිවන විටත් හිතට දැනුනේ පුදුම සැනසීමක්. මහ සෑය අසල දී දුන් මල් දන්සැල මතක් වන විටත් සිතට දැනුනේ නිරාමිස සතුටක්… සඳකැන් දහරේ ආලෝකයෙන් බසවක්කුලම වැව් දිය මත දිස්වන මහ සෑයේ ඡායාව දකින විට මට මතක් වුණා, මහ සෑය ගැන කළ ලිපිය… මම අද දවසේ කළ සියලු පින් නැවතත් ස්වර්ණමාලි දෙව් දුවට අනුමෝදන් කළා….

“අයියා… මොකද ගල් බංකුවට වෙලා කරන්නේ….?”

මගේ සිතුවිලි දැහැන වෙනතකට හැරුනේ හුරු පුරුදු යුවතියකගේ කටහඬින්…

“ආ… මම මේ ඔබ ව මතක් කළා විතරයි…. මම මේ කල්පනා කළේ වෙසක් කලාපයට ලියන ලිපිය ගැන….”

“අයියා කැමති නම් මම කරුණු ටිකක් කියන්නම්…. හැමදාම ලියන්නේ ඔයාලට පේන, හිතෙන දේනේ…. ඒත් අපිට පෙනෙන දේ දැනගන්නත් මිනිසුන් රිසි වේවි….”

“අනේ… හොඳයි…. කියන්න එහෙනම්…”

මම අසුනේ හරි බරි ගැහුනා… ඇය සුළඟේ පා ව යන සුදු සේලය කීකරු කර ගනිමින් දොඩමලු වුණා.

“අද දවසේ වෙසක් කියන එකේ අර්ථයවත් මිනිසුන් දන්නේ නෑ කියලයි අපට නම් හිතෙන්නේ…. ඒ අය හිතන්නේ වෙසක් කියන්නේ නිකන් වෙනසක් වගේ එකක් කියලා…”

“ඒ කිව්වෙ…?”

“ඒ කියන්නෙ… මිනිසුන්ගේ සිත් සතන්වලට ලෝභය ගලා එනවා… අල්ලපු ගෙදරට වඩා ලස්සන කූඩුවක් අපි හදන්න ඕනේ…. අහවල් වීදියේ වෙසක් කලාපෙට වඩා වැඩිය එකක් අපේ වීදියේ කරන්න ඕනේ… ලෝභය මුල් කරගෙන තරඟයට වෙසක් කූඩු එල්ලනවා…

මිනිසුන්ගේ සිත් තරහින් පුපුරනවා…. ‘අරුන් ගිය පාර අපි ව කොපි කරලා අපේ වගේ ම තොරණක් හැදුවා. මේ පාර අපි හදමු හිතාගන්න බැරි වෙන එකක්. පුළුවන් වුණොත් මම අරකේ ලයිට් වැඩ කරන කෙනාට ගාණක් දීලා බල්බ් අඩුවෙන් දම්මන්නම්…’

ඉරිසියාව උතුරලා යනවා… ‘අල්ලපු ගමේ මේ පාර ඉඳි ආප්ප දන්සැලක්ලු දෙන්නේ… අපි දෙමු බත් දන්සැලක්. අපි දාමු හොඳ ම බයිලා සිංදු ටිකක් එන අය බත් කකා නැටවෙන විදියට…’

අනේ… මේවා දැකලා දෙවියන් කම්පා වෙනවා…. අහෝ… ධර්මද්වීපයට ගිය කලක්…

හැම තැන ම වෙසක් අසිරියක් වගේ එකක් නම් පේනවා… අනේ ඒත් ඒක භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයෙන් කොතරම් ඈත ද කියලා දෙවියන් සුසුම් හෙලනවා…. අනේ ඒ කාලෙ නම් වෙසක් සැමරුවේ ඔහොම නෙවෙයි…”
“අනේ… මමත් හරි ම ආසයි… කියන්නකෝ… කොහොමද අනුරාධපුර යුගයේ වෙසක් සැමරුව හැටි…”

“මහත්තයලා අද මල් දන්සැලක් දුන්නා නේ ද? මතක ද ඒ වෙලාවේ මලක් නැතිව මහ සෑය වඳින්න එන කෙනෙක් අතට මලක් දුන්නා ම ඇතිවන සතුට…”

“අනේ ඔවු… ඒක නම් වචනයෙන් කියාගන්න බැරි තරම් සතුටක්…”

“එතකොට හිතාගන්න ගැමුණු මහ රජතුමා… මහ සෑය වඳින්න එන අයට නාගන්න සලස්වලා… කෙස් රැවුල් කපාගන්න සලස්වලා…. දන් පැන් දීලා… සුදු වත් දීලා… මල් මාලා දීලා… මහ සෑය වඳින්නට සැලැස්සුවා ම මොනතරම් සතුටක් අත් විඳින්නට ඇත්ද…

ඒ යුගයේ වෙසක් සැමරුවේ මෙන්න මේ විදියට අලෝභය දියුණු කිරීමෙන්… අද්වේෂය ප්‍රගුණ කිරීමෙන්… මෝහය දුරු කිරීමෙන්… ඉරිසියාව දුරු කිරීමෙන්… එකට එක කිරීමෙන් දුරු වීමෙන්…. සිත පහදවාගෙන දන් දීමෙන්… අනේ මිනිසුන් වඩ වඩාත් ලස්සන කළේ තමන්ගේ චිත්ත අභ්‍යන්තරය ම යි… ඒ විදියට ලස්සන හිතක් හදාගත්ත මිනිසුන් විසින් දල්වන ලද පුංචි පහනකින් වුණත් විශාල ආලෝකයක් විහිදුනා…. දෙව්ලොව දෙවියන්ට පවා පෙනෙන තරම්…..
ඒ විදියට ලස්සන හිතක් හදාගත්ත මිනිසුන් විසින් පූජා කළ එක මලකින් වුණත් ඉමිහිරි සුවඳක් විහිදුනා දෙවියන්ට පවා දැනෙන…

අනේ… ඒ කාලේ මිනිසුන් ආදරයෙන් බලාගෙන හිටියා, ‘තුන් ලොවක් නිවා සනසාලූ අපගේ ශාස්තෘන් වහන්සේගේ තෙමඟුල සිහිකරන උතුම් වෛශාඛ්‍ය මංගල්‍යයයි උදාවෙන්නේ… අනේ අපි… සත් දවසක් සිල් සමාදන් වෙමු….’ සමහර පින්වතුන් ඒ විදියට සත් දවසක් අධි සීලයක් සමාදන් වුණා…

‘අනේ අපි සත් දවසක් ආර්ය මහා සංඝරත්නයට දන් පැන් පුදමු….’ සමහර අය සත් දවසක් දන් පැන් දුන්නා…

‘අනේ අපි මේ වෙහෙර විහාර ප්‍රතිසංස්කරණය කරමු….’ ඇතැම් අය වෙහෙර විහාර භූමි පිළිසකර කළා…. සෑ රජාණන් වහන්සේලා හුණු පිරියම් කළා… ආවාස පිළිසකර කරලා සංඝයා වහන්සේලාට පහසුකම් සලසා දුන්නා…

මංමාවත් පිළිසකර කළා… වැව් පොකුණු තැනුවා… මහජනතාවට පහසුකම් සැලසුවා… රාජ්‍ය අනුග්‍රහය පවා ලැබුණේ මේ දේවලට ම යි…. මේවා දැකලා දෙවියන් පවා සතුටු වුණා… කලට වැසි වැස්සා… අටුකොටු සාර වුණා…

ඒ කාලයේ මේ වාගේ ටීවි පෙට්ටි තිබුණේ නෑනේ…. දූ දරුවන් වටකරගෙන පවුලේ වැඩිහිටියෝ හවසට බුද්ධ වන්දනා කළා… පන්සිය පණස් ජාතක පොත් වහන්සේගේ ලස්සන කතා කියා දුන්නා… අනේ දරුවන්ගේ සිත් සතන් ලස්සන වුණා, ගුණධර්ම වැඩුණා, මතු පරපුරත් ලස්සන වුණා…

අනේ කාලයාගේ ඇවෑමෙන් ඒ ලස්සන දහම් දිවයින මේ යහ පැවැත්මෙන් ඈත් වුණා. බටහිර සංකර කාමභෝගී ජීවිතයට මිනිසුන් පෙම් බැන්දා. සිත් සතන් පවිටු වුණා…. දුස්සීල වුණා…. එතකොට ඒ ගඳ ගහන මිනිසුන්ගෙන් දෙවියන් ගොඩක් ඈත් වුණා….

අද ආච්චිලා සීයලා දකින්න නෑ…. හිටියත් ඒ අය අද ජාතක පොත් වහන්සේ ගැන දන්නෙත් නෑ… ඒ අය ටීවි ගාව වටවෙලා මේ ආදරය යි බලනවා… පෝයදාට බණිනවා ‘චික් අද පෝය නිසා මේ නාට්‍යය නෑනේ’ කියලා….

අම්මලා තාත්තලා හරි ම කාර්යබහුලයි ලු…. කවදාවත් සන්සිඳෙන්නෙ නැති පංචකාමයන් පසුපස උදේ හවා හති දාගෙන දුවනවා…. දරුවන්වත් දුවවනවා ඒ නවයේ…. ඒ තුනේ…. ඉලක්කයට.

වෙසක් හෙටයි කියලා තමයි මතක් වෙන්නේ….. ඉතින් දුවන ගමන් කඬේකින් බල්බ් වැල් දෙකක් තුනක් ගෙනත්, කූඩුවක් දෙකක් ගෙනත් බාගෙට එල්ලලා ආයෙ දුවනවා.

අද අපි සෑයක් වඳින්න මනුලොවට ආවත් පොළවේ ඉඳලා යොදුන් ගාණක් ඈතින් ඉඳන් වඳින්නේ…. අද මිනිසුන්ගේ හිත් හරි ම කෙලෙස්බරිතයි… ඒ ගඳ අපට උහුලන්ට බෑ…”

ඇය ශෝකාකුල ස්වරයෙන් තෙපලුවා ය.

“ඉතින් එහෙනම් කොහොමද අපි හරි ම විදියට වෙසක් සමරන්ට ඕනේ….? මම අහන්නෙ දෙවියන් සතුටු වෙන්නෙ කොහොම ද?”

“මිනිසුන්ට ලියන්න භාග්‍යවතුන් වහන්සේ ව ආමිස පූජාවෙන් පිදුවට කමක් නෑ… ඒක කරන්න ඕනෙ දෙයක්…. හැබැයි ඒක කරන්න ගිහිල්ල වැඩෙන්නෙ රාග ද්වේෂ මෝහ නම්…. ඒක පූජාවක් වෙන්නෙ නෑ…

ආමිස පූජාවක් වුණත් කරන්න ඕනේ, නිරාමිස සතුටක් උපදින ආකාරයට… භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් ප්‍රශංසා කළේ ප්‍රතිපත්ති පූජාවට ම යි…. ඒ නිසා වෙසක් මංගල්‍යය එනකොට අපි මෙහෙම හිතන්න ඕනෑ…
‘දැන් මම ඉපදුණ දවසේ ඉඳලා වෙසක් සඳවල් කීයක් පෑයුව ද? ඒත් මගෙ හිතේ තියෙනවානේ තවමත් තරහ යන ස්වභාවය…. ඉරිසියා හිතෙන ස්වභාවය… කීකරු නැති ස්වභාවය… තද ගතිය…. මාන්නය… මසුරුකම… කවදා ද මම මේවා දුරු කළ සිතින් වෙසක් සඳ මඬල ලස්සනට දකින්නේ….?

තවමත් මගේ අතින් ඇතැම් සිල් පද බිඳෙනවා නේ… කිලිටි වෙනවා නේ… අනේ පිරුණ සිල් ඇති සිතින්, නොකැඩුන සිල් ඇති සිතින් මම කවදා ද ඒ සඳ මඬලේ ලස්සන දකින්නේ?

ජීවිත කාලය හරි ම කෙටියි, අවිනිශ්චිතයි…. තවත් වෙසක් සඳක් දකින්න මම ඉඳියි ද කවුද දන්නේ….?

ඒ නිසා… මේ පායන වෙසක් සඳ මඬල මම ලස්සනට දකින්ට ඕනෙ…. මේ හිත ලස්සන කර ගන්ට ඕනේ… ශ්‍රද්ධාව උපදවාගන්ට ඕනේ…. සීලය දියුණු කර ගන්ට ඕනේ… දහම් දැනුම ලබාගන්ට ඕනේ… දන් දීම හුරු කර ගන්ට ඕනේ… චතුරාර්ය සත්‍ය දකින දහම් ඇස උපදවා ගන්ට ඕනේ….’

මේ විදියට හිතලා මේ කරුණුවලින් හිත ලස්සන කරගෙන එක ම පහන් කූඩුවක් දැල්වුවත්…. ඒ එළිය අපට පේනවා… අපි ඒ පහන් කූඩුව වඳින්ට එනවා… ඒ හිත් හරි සුවඳයි… අපි අතරට එන්නෙ ඒ අය තමයි.

අන්න ඒ අය මනුලොවින් චුත වෙන දවසට අපි දුර ඈත ඉඳන් එන නෑයෙක් පිළිගන්ට බලන් ඉන්නව වගේ…. ආදරයෙන් බලාගෙන ඉන්නවා…

මම එහෙනම් යන්නම්…..”

ඇයගේ නෙත් කාන්තියෙන් දිලිසෙන්නට විය… ඒ දිලිසෙන්නේ…. වැව් තලය මත වැටුන සඳ එළියම ද?…. නැත්නම් සැබැවින් ම ස්වර්ණමාලිය මා සමඟ දොඩමලු වූවා ද? ඒ ගැන සිතන්නට මම නොවෙහෙසෙමි.

ලස්සන හිතකින් යුතුව වෙසක් සඳ දකින්නට පෙරුම් පුරමි…!

සටහන – සුදර්ශන ශ්‍රී විජේසිංහ

One comment

  1. Namo Buddhaya!
    Hithata puduma shanthiyak danenne lipiya kiyawaddi.
    Godak dewal igenagatta..
    Agrama deyak wenuwen Mage hite atiwuna pahadeema hetuwen ras Wu siyalu pin me lipiya udeas dayaka Wu Hama kenektama anumodan karanawa.
    Uthum chathurarya Sathya dharmaya awaboda weema pinisama upakara wewa.
    Theruwan saranay!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

ගෙවත්තක් වගා කරමු – බිම් සැකසීම සහ ජල කළමනාකරණය

බිම් සැකැස්මේ දී සලකා බැලිය යුතු වැදගත් ම සාධකය නම් ජල කළමනාකරණය යි. ඉඩමේ ස්වභාවය අනුව ජල කළමනාකරණ සැලැස්ම වෙනස් කර ගත යුතු ය.