ඒ දවස්වල ඝෝෂිතාරාමයේ වැඩ උන් භික්ෂූන් වහන්සේලා වැසිකිළි බඳුනේ වතුර ටිකක් අමතක කරලා ආව කාරණේ මුල් කරගෙන අසමඟියෙන් ආරවුලක් හදාගෙන තිබුණ කාලේ. ඉතිං ඒ භික්ෂූන් වහන්සේලා දෙපිරිසකට බෙදිලා වචන නමැති ආයුධවලින් නිතර නිතර එකිනෙකාට පහර ගහගත්තා. පොළොවේ ඉඳලා අකනිටා බඹලොව දක්වා දෙවිවරුන් ඔය කාරණයට දෙකට බෙදුනා. සුපේශල භික්ෂූන් වහන්සේලා වැඩම කරලා උන්වහන්සේලාට සමඟි වෙන්න කිහිප සැරයක්ම අවවාද කළත් උන්වහන්සේලා ගණන් ගත්තෙ නෑ. අන්තිමට උන්වහන්සේලාව භාග්‍යවතුන් වහන්සේ ළඟට අරන් ගියා. ඉතිං තුන්ලොවටම සාමදූතයාණන් වහන්සේ වුණ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් උන්වහන්සේලාට අවවාද කළා. අනුශාසනා කළා. ඒත් ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා කියන කෙලෙස් මඩ ගොඩේ ගිලිලා උන්නු උන්වහන්සේලාගෙ හදවත්වලට භාග්‍යවතුන් වහන්සේගෙ අවවාදය උරා ගත්තේ නෑ. කලාතුරකින් ලැබුණු මනුස්ස ජීවිතයේ, කලාතුරකින් ලැබුණු බුද්ධ ශාසනයේ නිවුනු ජීවිතයක් උපදවා ගැනීම උදෙසාම පැවිදි වූ උන්වහන්සේලාට කල්ප ගණනකින් ලැබුණු ඒ උතුම් බුද්ධානුශාසනාවේ අගය තේරුනේ නෑ. ඒ තරමටම උන්වහන්සේලා කෙලෙස්වලට වසඟ වෙලා නොමගට වැටිලයි උන්නේ. ඉතිං අන්තිමට උන්වහන්සේලා “ධර්මස්වාමී වූ භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේ වෙහෙස නොවන සේක්වා, ඔබවහන්සේ හුදෙකලා බණ භාවනාවේ යෙදෙන සේක්වා, අපිව මේ ආරවුල නිසා ප්‍රසිද්ධ වුණා. ඒ ප්‍රසිද්ධිය පිණිස අපි මේ ආරවුල දිගටම කරගෙන යනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ විවේක සුවයෙන් වැඩ සිටින සේක්වා.” කියලා භාග්‍යවතුන් වහන්සේට කියා සිටියා.

නමෝ බුද්ධාය! ධර්මනේතෲ මාගේ භාග්‍යවතුන් වහන්සේ නැවත නැවත අසමඟි වීමේ ආදීනවත්, සමඟිව වාසය කිරීමේ ආනිශංසත්, කීකරු වීමේ අනුසස් ගැනත් කියා දී ධර්මයෙන් අනුශාසනා කළත් ඔවුන්ගේ හිත්වල තිබුණු ළාමක දෘෂ්ටි බිඳ දාන්න උන්වහන්සේලා කැමති වුණේ නෑ. ඉතිං එදා හුදෙකලාවේම ගුහාවකින් එළියට එන මහා සිංහරාජයෙක් වගේ ශාක්‍යවංශයේ උපන් ශාක්‍ය සිංහරාජයන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන ඒ භික්ෂු සංඝයාගෙන් වෙන්වී වාසය කරන්ට හුදෙකලාවේම ඝෝෂිතාරාමයෙන් පිටතට වැඩම කළා.

එදා තමයි මගේ ජීවිතයේ පුණ්‍යාලෝකය දැල්වෙන්ට පටන් ගත්තු දවස. ඇත්තටම මහා කාරුණික මගේ බුදු සමිඳු එදා ඒ රත්පියුම් පැහැ ඇති සිරිපා කමල් තබමින් කාටවත් නොකියාම ඝෝෂිතාරාමයෙන් පිටතට වැඩියේ මං ගැන අනුකම්පාවෙන් කියලයි මට හිතෙන්නේ. ඉතිං ඒ දවස්වල මම උන්නේ හරිම හිත් පීඩාවෙන්. අපේ ඇත් රංචුවේ පිරිස එක්ක ඉද්දි නිතර නිතර මට කරදර විඳින්ට වුණා. ඇතින්නියෝ, ඇත් පැංචෝ මගේ ඇඟේ හැප්පි හැප්පි අරගල කරනවා නෙව. හරියට කොලොප්පම් කරගන්නවා. ගහක අතුකොළයක් කඩා ගත්තත් උන් එක්ක නිදහසේ ඒ කොළ අතුවල රස විඳින්ට හැටියක් තිබුණේ නෑ. වතුරට බැස්සත් නිදහසේ කියලා සීතල වතුර ටිකක රහ විඳගන්ට, නා ගන්ට උන් එක්ක බෑ. මම හිතුවා ‘මේ හැමදේම මේ ඇත් රංචුව එක්ක ඉන්න නිසා නෙව, මම තනියම හිටියා නම් මෙවුන්ගෙන් කිසිම කරදරයක් මට නෑනේ’ කියලා. ඉතිං එහෙම කල්පනා කරලා හිට මම මගේ ඇත් රැල අත්හැරලා තනියම මහා වනාන්තරේට ආවා.

නමෝ බුද්ධාය! ඒ කාලේ තමා මගේ ජීවිතයේ සුන්දරම කාලේ. ඉතිං ඔය විදිහට මම තනියම මහා වනාන්තරේ හරිම සතුටින් ඉන්දැද්දි තමා මගේ ජීවිතයේ ඒ සුන්දර දවස් ටික උදා වුණේ. එදත් වෙනදා වගේම මම මහා වනාන්තරේ අතුකොළ කඩ කඩා නිදහසේ ඇවිද ඇවිද ගියා. ඒත් එදා දවස වෙනදා වගේ නෙමේ. වනන්තරේම පුදුම සිරියාවකින් කලඑළි වෙලා තිබුණේ. හැම තැනින්ම චූටි චූටි කුරුලු කොබෙයියෝ මිහිරි හඬට මොන මොනවදෝ කෑගහ ගහ කිව්වා. ගස්වල අකාලේ අලු‍ත් මල් හටගෙන මුළු වනාන්තරේම පුදුම සුවඳක් පැතිරිලා තිබුණේ. ඒ දවස මතක් වෙනකොටත් මගේ සතුට ඉහවහා යනවා නෙව.

ඉතිං එදා දෙව්මිනිසුන්ගේ පිදුම් ලබන, සියලු‍ අංගයන්ගෙන් රැස් විහිදුවමින් වැඩ ඉන්න අංගීරස භාග්‍යවතුන් වහන්සේ ගිනිසිළුවක් වගේ ආලෝකයෙන් බබළ බබළ, මම උන්නු වනාන්තරේ ගහක් මුල වැඩඉන්නවා මගේ දෑහට දකින්න ලැබුණා.

මනා පැහැ ඇති, මනරම් වූ දේහ විලාස ඇති, රන් පර්වතයක් බඳු වූ, ආලෝක ධාරා පහකින් විහිදෙන රශ්මි මාලාවන්ගෙන් සමන්විත මහා කරුණාවෙන් පිරී ඉතිරී ගිය නෙත් සඟලකින් යුතු ඒ ශාක්‍ය වංශයේ රාජපුත්‍රයන් වහන්සේ ඒ ගස්මුල වැඩ හිටියේ තනියම යි.

ඉතිං මම එදා එතන තිබුණු අතුපතර හොඳට විහිද ගිය ගහක් අවට මගේ පාදවලින් හාරලා බිම සමතලා කරලා සුද්ද කළා. ලොකු අත්තක් කඩාගෙන ඇවිත් ඒ බිම අතුගාලා පිරිසිදු කරලා උන්වහන්සේට වැඩ ඉන්ට එතන සකස් කරලා දුන්නා. එදා ඉඳලා නිරන්තරයෙන්ම දෙව් මිනිසුන්ගෙන් පිදුම් ලබන ධර්ම රාජයාණන් වහන්සේගේ උපස්ථායකයා වුණේ මම. අනන්ත දැකුම් ඇති, පූජාභිපූජනීය වූ මහා වීර ලෝකනාථයාණන් වහන්සේගෙ උපස්ථානයට මම කැප වුණා. සූරිය දෙව් පුතු අපේ වනාන්තරේට උන්වහන්සේගෙ රශ්මිමාලා විහිදුවන්ට කලින් ඒ වනාන්තරේ පිරිසිදු වතුර ගලාගෙන යන දියපාරක් ළඟට මම යනවා. හොඬවැලෙන් කළය අරගෙන වතුරෙ ඔබලා පිරිසිදු පැන් කළයක් පුරවාගෙන ලෝකනාථයාණන් වහන්සේට වළඳන්ට අවැසි පැන් සකස් කරලා දෙනවා. පෙලක්දාට උන්වහන්සේට උණුපැන්වලින් ප්‍රයෝජන ඇතිවෙනවා. එදාට නම් මට බොහෝම සතුටුයි. ඉතිං මම මහතට තියන කෝටු කෑලි දෙකක් එකට අතුල්ලලා ගින්දර ටිකක් අවුළවනවා. ඊටපස්සේ අහල පහළ තියෙන කෝටු කෑලිවලින් හොඳ ගිනිගොඩක් ගහගෙන ගින්න හොදට ඇවිළෙනකොට ඒ ගින්නට ගල්කැට කීපයක් ගෙනිහිල්ලා දානවා. ඒ ගල්කැට ගිනිඅඟු‍රු පාටින් රත්වෙනකම්ම ගින්න නිමෙන්ට දෙන්නේ නෑ. ඒ ගල්කැට ගිනියම් පාටට රත් වුණාම තවත් කෝටු කෑලි දෙකකින් අර ගල්කැට තල්ලු‍ කරගෙන ගිහිල්ලා වතුර වළකට දානවා. එතකොට ඉතිං සුටුස් ගාලා හීතල වතුර ටික රත්වෙලා යනවා. ඊටපස්සේ මම ගිහින් තඹපාට නියපොතු තියෙන, නෙළුම් පෙත්තේ පාට සිරිපා කමල් ඇති ලෝකනාථයාණන් වහන්සේගෙ ඒ සිරිපාද කමල් වන්දනා කරනවා. ලෝකනාථයාණන් වහන්සේ මගේ හිත දන්නවා නෙව. උන්වහන්සේට ලෝකේ රහස් නෑ. හැමෝගේම හිත් කියවන්ට උන්වහන්සේට පුළුවන්. ඉතිං ඒ රන්වන් පා කමල් වන්දනා කරනකොට ලෝකනාථයාණන් වහන්සේ මට කතා කරලා “පාරිල්‍යෙක ඔබ උණුපැන් සකස් කළාද?” කියලා කියනවා. ඒ වෙලාවට මට තවත් සතුටුයි. එතකොට මම භාග්‍යවතුන් වහන්සේව ඒ උණුපැන් සකස් කරපු තැනට වඩමවාගෙන ගිහින් උන්වහන්සේට පැන්පහසු වෙන්ට සලස්වල දෙනවා. ඊටපස්සෙ ලෝකනාථයාණන් වහන්සේට වළඳන්ට වුවමනා පලවැල අරගෙන එන එක තමයි මගේ කාරිය.

ඉතිං ඒ මහා වනාන්තරේ එක එක වර්ගයේ පලතුරු තියෙනවා නෙව. මම ඉතිං රසවත් පලවැල කඩාගෙන ඇවිත් ලෝකනාථයාණන් වහන්සේට පූජා කරගත්තා. ඒ දවස්වල මුළු‍ වනාන්තරේම කහ පාට, දම් පාට, රතු පාට පලතුරුවලින් වැහිලා ගිහින් තිබුණේ.

පෙලක්දාට නම් ලෝකනාථයානන් වහන්සේ මිනිස්සු ඉන්ට දිහාට පිණ්ඩපාතේ වඩින්ට ලෑස්ති වෙනවා. එදාට සුගතයන් වහන්සේගේ පාත්තරෙයි සිවුරයි කුම්බස්තලයේ තියාගෙන මම තමයි පසුපසින් යන්නේ. මහා වනාන්තරේ අස්සේ ඉඳලා ගං මායිමට එනකොට නම් මගේ හිතට ටිකක් දුකයි. ඇයි ඉතිං මිනිස්සු ගැවසෙන තැන්වලට යන්ට මට හැටියක් නැහැ නෙව. ඉතිං වනාන්තරේ මායිමට ආවම කරුණාවෙන් හීතල වෙලා ගියපු හදවතක් තියෙන ලෝකනාථයාණන් වහන්සේ උන්වහන්සේගෙ සීතල දෑත මගේ කුම්භස්තලයට තියාගෙන මට මෙහෙමයි කියන්නේ. “පාරිල්‍යෙක, දැන් ඉතිං මෙතනින් එහාට ඔබට යන්ට බෑනේ. මයේ පාත්‍ර සිවුරු දෙන්ට.” මම මගේ දෙදණ නමාගෙන ලෝකනාථයාණන් වහන්සේගේ සිවුරත්, පාත්‍රයත් උන්වහන්සේගෙ දෝතටම දෙනවා. නමෝ බුද්ධාය! උන්වහන්සේගෙ ඒ දෑත්වල අසිරිය මම එදාට හොරැහින්ම විඳගන්නවා. දහසක් රේඛා තියෙන නෙළුම් පෙතිපාට දෑතක් උන්වහන්සේට තියෙන්නෙ. උන්වහන්සේගේ ඇඟිලි හරිම දිගයි නෙව. පාත්‍රය උන්වහන්සේගේ දෝතට දෙනකොට මුළු පාත්‍රයම උන්වහන්සේගෙ ඇඟිලිවලින් වැහිල නෙව. ඉතිං උන්වහන්සේ ඒ පාත්‍රය අරගෙන ගමට වඩිනකොට උන්වහන්සේ පේනතුරුම මම දෑස් දල්වගෙනයි උන්වහන්සේ දිහා බලාන උන්නේ. එහෙමදාට ලෝකනාථයාණන් වහන්සේ ආපහු වඩිනතුරු ඒ අවට ගහක් මුලට වෙලා මං කල් ගෙවනවා.

ආපහු උන්වහන්සේ වඩිනවා දකිනකොට නමෝ බුද්ධාය!, මගේ සිතට දැනෙන සතුට. උන්වහන්සේත් මහා හස්තිරාජයෙක් වගේ. කිසිම කලබල නැති ගමනක් තියෙන්නේ. ඒ කලබල නැති ගමනින් ලෝකනාථ හස්තිරාජයන් වහන්සේ වඩිනවා මට පේනකොට මම හණි හණික පෙරමගට ගිහින් උන්වහන්සේගේ පාත්‍ර සිවුරු අරගෙන උන්වහන්සේව ආයෙම වඩමවගෙන එන්නේ පුදුමාකාර සතුටකින්. ඒ දවස් මතක් වෙනකොටත් මගේ සිත සන්සිඳිලා යනවා. උන්වහන්සේගෙ ඒ දර්ශනය ඒ තරමටම සනීපයි.

හිරු බැහැලා ගියාම මුළු වනාන්තරේම අන්ධකාරය විසින් ගිල ගන්නවා. ඒත් ලෝකනාථයාණන් වහන්සේ වැඩම කළාට පස්සේ මම හිටිය වනාන්තරේට රාත්‍රිය උදාවුණේ නෑ ද කියලත් මට හිතෙනවා. උන්වහන්සේගෙ තේජස හිරු මඬල වගේ. ඒ විහිදෙන ආනුභාවයෙන් මුළු වනාන්තරේම ඒකාලෝක වෙලයි තිබුණේ. ඒත් ඉතිං රාත්‍රී කාලේ කියන්නේ භයානක සතා සර්පයා වෘකයන් වගේ අය කෑම සොයාගෙන එළිබහින කාලෙනේ. ඒ නිසාම මම හිරු අවරගිරෙන් බැහැලා ගියාම ලොකු ගස් අත්තක් කඩාගෙන ලෝකනාථයාණන් වහන්සේ වැඩසිටින ඉසව්වේ එහේ මෙහේ ඇවිදනවා උන්වහන්සේගෙ ආරක්ෂාවට. රාත්‍රීයට උන්වහන්සේ පලඟ බැදලා පද්මාසනයෙන් බවුන් වඩනවා බලන්ට මම හරී ආසයි. එතකොට නම් මට හිතෙන්නේ දෙව්ලොවින් රන් පිළිමයක් මහපොළොවට වඩමවලා කියලයි. ඒ තරමට ඒ දර්ශනය සුන්දරයි. ලෝකනාථයාණන් වහන්සේගෙ ඒ සමාහිත හිත මහාමේරු පර්වතේ වගේ නෙව. සත්තුන්ගේ භයානක සද්ද, ගෝරනාඩු ඇහෙනකොටත් උන්වහන්සේ නිසොල්මනේම ඒ සමාධිමත් හිතින් ඉන්නවා. ලෝකනාථයාණන් වහන්සේ ඒ සමවත් සුවයෙන් කල්ගෙවන අපූරුව දකින්ට මේ ඇස් දෙකටත් පිනක් තිබුණා නෙව. නමෝ බුද්ධාය! ඒ දර්ශනය මොනතරම් නම් සැපක් මට ඉපැද්දුවාද? ඔය විදිහට මහපොළොව වගේ පැතිරිලා ගිය ගුණ ගඟකින් සමන්විත වුණ, දකින දකින දර්ශනයෙන් සිත් පහන් කරවන දැකුම් ඇති ලෝකනාථයාණන් වහන්සේට මං ඔය විදිහට තුන් මාසයක්ම උපස්ථාන කළා. දන්පැන් පූජා කළා. කාලය හරි වේගෙන් ගෙවිලා ගියා. දවසක් එක් උදෑසනක භික්ෂූන් වහන්සේනමක් මහා වනාන්තරේට වැඩම කළා. සියලු‍ දෙනාගේ දෑස්වල නැගෙන කඳුළු වියළී යන දැක්මක් ඇති, එක් වචන මාත්‍රයකින්ම ගිනිගත් හදවතට සතුට උපද්දවන, හැම දෙනාගේම සිත්වලට සතුට උපදවන, හැමදෙනම සතුටට පත් කළ බුද්ධෝපස්ථායකයන් වහන්සේයි ඒ වැඩම කළේ කියලා මම දැනගෙන හිටියේ නෑ.

ඉතිං මම ලෝකනාථයාණන් වහන්සේ ළඟට ළං වෙන්ට උන්වහන්සේට ඉඩ දුන්නේ නෑ. අන්න ඒ වෙලාවේ ලෝකනාථයාණන් වහන්සේ තමා මට කිව්වේ “පාරිල්‍යෙක, ඉවත් වෙන්ට. උන්වහන්සේව වළක්වන්ට එපා. ඔය ඉන්නේ බුද්ධෝපස්ථායකයන් වහන්සේ.” කියලා. ලෝකනාථයාණන් වහන්සේ එහෙම කියනකොට තමා මම උන්වහන්සේ දිහා විපරම් කොරලා බැලු‍වේ. හප්පේ උන්වහන්සේගේ කරුණාව හැමෝගේම සිත් සතුටට පත්කරන නිසාලු‍ උන්වහන්සේට පරම පූජනීය ආනන්දයන් වහන්සේ කියලා කියන්නේ. හැබෑවටම උන්වහන්සේ දැක්කම මගේ හිතත් සතුටෙන් පිරිලා ගියා. උන්වහන්සේත් රාජ පුත්‍රයන් වහන්සේනමක්. ඒ නිසාමදෝ ලෝකනාථයාණන් වහන්සේ වගේම උන්වහන්සේත් බබළනවා.

උන්වහන්සේ හරිම ගෞරවයෙන් තමා ලෝකනාථයාණන් වහන්සේ ළඟට වැඩියෙ. වැඩම කරලා වන්දාභිවන්දනීය වූ ලෝකනාථයාණන් වහන්සේගේ සිරිපා කමල් වන්දනා කරලා පසෙකින් වැඩහිටියේ. එදා උන්වහන්සේ වැඩම කරලා උන්නේ තවත් භික්ෂූන් වහන්සේලා පන්සියයක් සමගයි. එදා දවසේ නම් තරු පිරිවරාගෙන ඉන්න පුන්සඳ මඬල ආකාසෙන් බිමට පාත් වෙලා වගෙයි තිබුණේ. ලෝකනාථයාණන් වහන්සේ හඳ මඬලක් වගේ බබළනකොට ඇහැළ මල් කිනිත්තක් තැන තැන විසිරුණා වගේ ලෝකනාථයාණන් වහන්සේ වටේ උන්වහන්සේලා වැඩ හිටියා. අන්න එතකොට ලෝකනාථයාණන් වහන්සේ කුරවි කෙවිල්ලක් වගේ බ්‍රහ්ම ස්වරයෙන් උන්වහන්සේලාව දහම් කතාවෙන් අභිෂේක කරනවා මම අහගෙන උන්නා. මට නම් එදා ඒ ධර්මය තෝරාගන්ට බැරි වුණා. ඒත් උන්වහන්සේලා පන්සිය දෙනාම ඒ දහම් කතාව අවසන් වෙනකොට සසර භව බන්ධන කඩලා බිඳලා උතුම් අරහත්වයට පත් වුණා. නමෝ බුද්ධාය! එදා මම ඒ දැකපු අසිරිය කොහොමනම් වචනයෙන් කියන්ටද?

පහුවදා වනාන්තරයට පුරුදු විදිහට සූරිය දෙව්පුතු එබිකම් කරනකොට දෙව්මිනිසුන්ව සසර කතරින් මුදවන්ට කල්ප ගණනාවකින් ලෝකයට පහළ වූ මගේ ලෝකනාථයාණන් වහන්සේට ආපහු වඩින්ට කාලය උදා වුණා. එතෙක් දවසක් මම බුද්ධ රාජයාණන් වහන්සේටත්, ධර්ම රාජයාණන් වහන්සේටත් උපස්ථාන කළත් මට අනුත්තර වූ සංඝරත්නයට උපස්ථාන කරන්ට අවස්ථාවක් ලැබුණේ නෑ. මම එදා යම් කෙනෙකුට පුංචි දෙයකින් පූජා පැවැත්වුවත් මහා සැපක් උපද්දවන, බොහෝ පූජා කිරීමෙන් අප්‍රමාණ දෙයක් බවට පත්වන, බුදු සසුනේ ආර්ය සංඝයා වහන්සේලාට – ඒ සත්පුරුෂ උතුමන් වහන්සේලාට නානාවිධ පලවැලවලින් සිත් සේ පූජා පවත්වා ගත්තා.

එදා සවස් කාලයේ ලෝකනාථයාණන් වහන්සේ භික්ෂු සංඝයා සමඟ නැවත වඩින්ටයි සූදානම් වුණේ. මම උන්වහන්සේගේ මග අවුරලා හිට ගත්තා. සුගත වූ ශාස්තෘන් වහන්සේ මට එතකොට මෙහෙමයි වදාළේ. “පාරිල්‍යෙක, මගේ මේ ගමන නොනවත්වන්න. ඔබට මේ ජීවිතයේ දී ධ්‍යාන මාර්ග ඵල ලබන්ට බෑ. ඒ නිසා ඔබ මෙහි නවතින්ට. මගේ ගමන නවතන්ට එපා.”

ඉතිං එදා මගේ හදවත ශෝකයෙන් වෙලිලා ගියා. කඳුළු කැට කඩා වැටුණා. මහා හස්තිරාජයාණන් වහන්සේ වන මගේ ලෝකනාථයාණන් වහන්සේ එහෙම කියලා වඩිනකොට මාත් අඬ අඬාම උන්වහන්සේ පසුපසින් ගියා. ගම්මානේ ළඟට ආවම ලෝකනාථයාණන් වහන්සේ බ්‍රහ්ම ස්වරයෙන් අන්තිම වතාවට මට කතා කළා. “පාරිල්‍යෙක මෙතනින් එහාට ඔබට යන්ට බෑ. ඒ ප්‍රදේශය ඔබට උවදුරු සහිතයි. ඒ නිසා ඔබ මෙතන නවතින්ට.” කියා වදාළා.

ඉතිං මම ලෝකනාථයාණන් වහන්සේගේ වචනයට කීකරු වුණා. වනාන්තරේ මායිමේ නැවතුණා. ගිනිසිළු විලස රැස් විහිදෙන, මහා කරුණාවෙන් ඉතිරී ගිය හදවතක් ඇති, ආකාසය සේ අනන්ත ගුණ ඇති, තරු පිරිවරා ගත් පුන්සඳ මඬල මෙන් රහතුන් පිරිවරා ගත් ලෝකනාථයාණන් වහන්සේ ආපහු වඩින අයුරු මම දෑස් දල්වා හඬ හඬා බලාගෙන හිටියා. උන්වහන්සේගේ දර්ශනය නොපෙනී යනකොට මගේ හදවතට දරා ගන්ට බැරි දුකක් දැනුණා. මට මතක එච්චරයි. දෑස් අරිනකොට තව්තිසාවෙ යොදුන් තිහක් වූ මේ රන් විමනේ දහසක් වූ පිරිවර සහිතව ඉපදිලා. ඉතිං මට තමා පාරිල්‍යෙක දිව්‍යපුත්‍රයා කියන්නේ.

දෙතිස් මහා පුරිස ලකුණු දරා වැඩසිටි, දමනය නොවූවන් දමනය කරන ලෝකනාථයාණන් වහන්සේ කෙරෙහි හිත පහදවා ගැනීමෙන් මට අයහපතක් නම් වුණේ නෑ. ඒ නිසාම මම දුගතියට නොගොස් දෙවියන් අතර සෞභාග්‍යයට පත් වුණා. “සුඛෝ බුද්ධානං උප්පාදෝ”‍ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වීම නම් ඒකාන්තයෙන්ම මේ ලෝකයට මහා සැපයක්…

මහමෙව්නාව අනගාරිකා අසපුවේ මෑණියන් වහන්සේනමක් විසිනි.