සුප් බීම ලාංකික වූ අපට ආගන්තුක වූ දෙයකි. එහෙත් නූතන සමාජයේ ආහාර රටාවට නැතුවම බැරි දෙයක් තමයි මේ සුප් කියන්නේ. බොහෝ වෙලාවට මොන්ගෝලියානු සම්භවය ඇති රටවල ප්‍රධාන වශයෙන් සුප් බීම දැකිය හැකි වේ. වර්තමානයේ ‘ සුප් ’ යනු ජාතිකත්වයෙන් තොරව පොදුවේ දැකිය හැකි හොඳ පෝෂ්‍යදායි ආහාරයකි.

අසනීප වූ රෝගියෙකුට සුප් සාදා දීම සාමාන්‍ය කරුණකි. එහි ඇති රහස නම් කෑම අරුචියකින් තොරව ශරීරයට ශක්තිය ලබා ගත හැකි වීමයි. රෝගී තත්වයෙන් ඉක්මනින් නැඟි සිටීමට බෙහෙවින් එය උපකාරි වේ. විශේෂ මංගල උත්සව වල වගේ ම දානයක දී පවා දෙන ආහාර වේල රසවත් කර ගැනීමට සුප් එකතු කර ගැනීම බොහෝ දෙනෙකුගේ තේරීම වේ.

ඉතින් අද අපි කියා දෙන්න යන්නේ විශේෂ රසයකින් යුතු නැවත නැවත බොන්න හිතෙන සුප් එකක් සාදන්නයි. මෙහි නම “Tom Yum Soup” වේ. ප්‍රධාන කුළුබඩුව වන්නේ සේරය. vegetarian අයට වගේ ම ඕනෑම කෙනෙකුට මෙහි රස විඳින්න පුළුවන්. ඉතින් බලමු මේකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා.

පස් දෙනෙකුට පමණ සෑහෙන ප්‍රමාණ

■ සේර ගස් 2
■ ඉඟුරු තරමක කැබැල්ලක්
■ සුදු ලූනු බික් 4 ක් පමණ
■ වියළි මිරිස් කරල් 2
■ එළවළු තම්බා ගත් වතුර හෝ සුප් කැටයක් එක් කර සාදා ගත් වතුර කෝප්ප 5
■ දෙහි කොළ 5 පමණ
■ තක්කාලි ගෙඩි 1 පමණ
■ සෝයා සෝස් මේස හැඳි 2
■ දෙහි ගෙඩියක ඉස්ම
■ පොල්තෙල් මේස හැඳි 2
■ පොල්කිරි කෝප්ප 1
■ ලුණු
■ ගම්මිරිස් රස පදමට

මුලින් ම සේර ගස් දෙක ගෙන යට පැත්තෙ මුල කොටස ඉවත් කරගන්න. ඉන්පසු පිහියක් එම සේර ගස් මත තබා අතින් තද කර තලා ගන්න. තලා ගත් සේර ටික අඟල් 2 පමණ කෑලි වලට කපා ගන්න.

ඊලඟට කළ යුත්තේ වියළි මිරිස් කරල් දෙක ගෙන නැට්ට ඉවත් කර වතුරේ පෙඟවා ගැනීමයි. ඒ අතර ඉඟුරු කෑල්ල හා සුදු ලූනු ටික සුද්ද කර ගන්න. වංගෙඩිය ගෙන පොඟවා ගත් මිරිස් කරල් ද , සුදු ලූනු හා ඉඟුරු ද දමා හොඳට කොටා ගන්න. කොටා ගත් මිශ්‍රණය වංගෙඩියෙන් ඉවත් කර භාජනයකට දමා ගන්න. වංගෙඩිය සෝදා මිශ්‍රණයේ ඉතිරි ඉස්ම ටිකත් භාජනයට ම දාගන්න.

ඔබ vegetarian නම් මේ සඳහා එළවළු තම්බා ගත් වතුර ගත හැකිය. එසේ නොවන අයට chicken හෝ sea food යොදා ගත හැකිය. සුප් එකට දැමීමට පෙර chicken හෝ sea food තැම්බූ වතුර සුප් එකට දැමීමට ගත හැකිය. මේ සඳහා සුප් කැටයක් දිය කර සාදා ගත් ජලය ද භාවිතා කළ හැක. මෙවැනි තැම්බූ වතුර කෝප්ප පහක් සාදාගන්න.

තක්කාලි ගෙඩිය ද සෝදා කොටු ආකාරයට කපාගන්න. vegetarian විදිහට හදනවා නම් ටෝෆු 100ට හෝ අල 100ට පමණ දැමිය හැකිය. ඒ වගේ ම Button mushroom ද කොටු ආකාරයට කපා දැමිය හැක. chicken යොදා ගන්නේ නම් කටු කොටස ඉවත් කර මස් පමණක් සුප් එකට දමන්න. sea food ද අවශ්‍ය ආකාරයට රුචිකත්වය අනුව දැමිය හැක. මේ සඳහා වඩාත් රසවත් වන්නේ ඉස්සෝ හා දැල්ලො යොදා ගන්නේ නම් ය. මෙසේ සකසා ගත් ද්‍රව්‍ය ටික පසෙකින් තබන්න.

සුප් සෑදීම සඳහා ගැඹුර ඇති භාජනයක් ගෙන ලිප මත තබා ලිප දල්වා අඩු ගින්දරේ තබන්න. භාජනය රත් වූ පසු පොල්තෙල් මේස හැඳි දෙක දමන්න. තෙල් රත් වූ පසු සේර ටික දමන්න. ටිකක් තෙලෙන් බැදෙන්න අරින්න. හොඳ ප්‍රසන්න සුවඳක් දැනේවි ඔබට.

ඊළඟට වංගෙඩියේ දමා කොටා සකසා ගත් මිශ්‍රණය දමන්න. එය ද මද වේලාවක් තෙලෙන් බැඳ ගන්න. එසේ තෙම්පරාදු වූ පසු ඔබ සකසා ගත් තැම්බුම් වතුර කෝප්ප පහ දමන්න. හොඳින් මිශ්‍ර කරන්න.

ගින්දර ටිකක් වැඩි කරන්න මිශ්‍රණය නටන තුරු. මෙසේ මිශ්‍රණය උතුරන විට දෙහි කොළ ටික දමන්න. තක්කාලි ටික ද දමන්න. සෝයා සෝස් මේස හැඳි දෙක ද දමන්න. මිශ්‍ර කරමින් රුචිකත්වය අනුව chicken, sea food හෝ එළවළු එක් කරගන්න. හොඳින් තැම්බෙන්නට ඉඩ අරින්න. ගම්මිරිස් කුඩු හා ලුණු අවශ්‍ය පරිදි එක්කර ගන්න.

මිශ්‍රණය විනාඩි 10 ක් පමණ හොඳින් තැම්බූ පසු ගින්දර අඩු කර පොල්කිරි කෝප්පය දමන්න. මිටිකිරි ම හෝ මිටිකිරි, දියකිරි මිශ්‍ර කර දැමිය හැක. උතුරන තෙක් හැඳි ගාන්න. ඉතිරූ පසු ලිප නිවා දමා දෙහි ගෙඩියක ඉස්ම එක් කරන්න. අවශ්‍ය පරිදි ලුණු ගම්මිරිස් පදම බලා ඔබේ රසට සකසා ගන්න. මදක් නිවුණු පසු මේ සුප් එකේ රස විඳලා බලන්න. අන් අයටත් සාදා රස විඳින්න දෙන්න.

සංඝ දානයක දී දහවල දානය සඳහා වඩාත් සුදුසු වේ. දන් වැළඳීමට පෙර පූජා කරන්නේ නම් ඉතා අගනේ ය.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං

තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං”

“මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.”

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!

ඔබේ හිතාදර – අෂාන් ඉමල්ක