නිවාඩු දිනයක ගෙදරින් බැහැර ගොස් අවන්හලකට ගොඩවී කෑමක රස විඳින්න කවුරුත් පාහේ කැමතිය. ඒ වගේම විනෝද චාරිකා, යන එන ගමනක අතරමගදී කෑම කඩයක් ළඟ නතර කරන එක සාමාන්‍ය පොදු දෙයකි.

සෞඛ්‍ය ආරක්ෂිතභාවය පිළිබඳ තැකීමක් නොමැතිව බාහිර අවන්හල් තුළ ආහාර ගැනීම බොහෝ දෙනෙක් ප්‍රිය කරන දෙයකි. ඒ ඒ තැන්වල තිබෙන ආකර්ෂණීය රටාව, කෑම වර්ග ආදිය නිසා බොහෝ දෙනා ඒ වෙත ඇදෙයි. එනමුත් ඇතිවී තිබෙන ව්‍යසන තත්ත්වය නිසා අවන්හල් ආදිය විවෘතව නොපවතින බැවින් බොහෝ දෙනෙකුට ආශාව ඇතත් නිවසට වී සිටින්න සිදුවී ඇත.

ලොකු කුඩා කවුරුත් පාහේ ප්‍රිය කරන කෑමක් තමයි ‘අල චිප්ස්’ කියන්නේ. ආකර්ෂණීය පෙනුම හා එහි ඇති cryspy ගතියට බොහෝ දෙනා ඇලුම් කරති. අල චිප්ස් ලේසි ක්‍රමයකට කඩේ විදිහට ගෙදරදී හදාගන්න ආකාරය අපි බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය:
අල ගෙඩි කිහිපයක් (දිගටි ස්වභාවයෙන් යුතු වේ නම් වඩාත් ගැලපේ.)
පාන් පිටි හෝ corn flour ටිකක්
බඩ ඉරිඟු පිටි
ලුණු
පොල්තෙල්

මුලින් ම අප කළ යුත්තේ අල ගෙඩි ටික සුද්ද කරගැනීමයි. මෙහිදී ඔබට අවශ්‍ය පමණට අල ගෙඩි ගන්න. ඒවායේ පොතු අරිමින් වතුර පිරවූ භාජනයකට දමාගන්න. නැත්නම් අලවල කහට පිපේ.

සාමාන්‍ය අල චිප්ස් දිගටි ස්වභාවයක් ගනී. ඒ නිසා දිග හැඩැති අල දිග අතට තීරු කපාගන්න. මේ සඳහා හොඳින් කැපෙන පිහියකින් කපාගන්නේ නම් වඩාත් උචිත වේ. දිග අතට කපාගත් අල තීරු පෙති ටිකක් වතුර භාජනයකට දමාගන්න.

මෙසේ කපාගත් සියලුම අල තීරු ටික පිරිසිදු ජලයෙන් සෝදා සියලුම වතුර ටික පෙරාගන්න. පිරිසිදු තුවායක් මතට හෝ කපු රෙදි කැබැල්ලක් මතට අල තීරු ටික දමාගෙන තව දුරටත් වතුර ටික වියළා ගන්න. මෙසේ ටික වෙලාවක් වියළාගත් අල තීරු ටික වියළි භාජනයකට දමාගන්න.

ගැළපෙන තාච්චියක් ගෙන ලිප මත තබා ගින්දර දල්වන්න. අල තීරු බැද ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් දමාගන්න. මෙහිදී ගැඹුරු තෙලේ බැද ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් අවශ්‍ය වේ. තෙල් ටික හොඳින් රත්වූ පසුවත් ගින්දර අඩු නොකොට වැඩි ගින්දරේ.ම තෙල් ටික රත් වෙන්න ඉඩ හරින්න.

මෙහිදී අපි අල තීරු අමුවෙන් දමන නිසා ඒවා cryspy වීමට වැඩි උෂ්ණත්වයක් අවශ්‍ය වේ. ඒ නිසා ගින්දර වැඩිපුර දමන්න.

එක් වරකට බැද ගත හැකි ප්‍රමාණයට අල තීරු ගන්න. එය වෙනත් වියළි භාජනයක දමාගන්න. ඒ මතට පාන් පිටි හෝ බඩ ඉරිඟු පිටි හොඳින් ඉසින්න. සෑම අල තීරුවක.ම තැවරෙන සේ පිටි ටික ඉසගන්න.

දැන් තෙල් හැන්දක් ගෙන, රත්වූ තෙලට සකසා ගත් අල තීරු ටික පරිස්සමින් දමාගන්න.

මෙහිදී බුබුළු දමමින් අල තීරු ටික හොඳින් බැදේ. කිසි විටෙකත් ගින්දර අඩු කිරීමට අවශ්‍ය නොවේ. රන්වන් පාටට හොඳ cryspy ගතිය එනතුරු අල තීරු ටික බැද ගන්න. විටින් විට පෙරලන විට අලවල cryspy ස්වභාවය තෙල් හැන්දට දැනේවි. බුබුළු දමන ගතිය අඩුවෙමින් රන්වන් පැහැය එන විට අල තීරු ටික ලිපෙන් බාගත යුතුය.

පත්තර කොළයක් දැමූ භාජනයකට බැදගත් අල තීරු ටික දමාගන්න. වැඩිපුර ඇති තෙල් ටික පත්තර කොළයට උරාගනීවි. මෙසේ සකසා ගත් අල තීරුවල රස්නය ඉවත්වීමට පෙර ලුණු කුඩු ටිකක් ඉසගන්න. ඔබේ රස පදමට ලුණු දමා උණු උණුවේ ම ඔබගේ පවුලේ අය සමග රස බෙදා ගන්න. cryspy ගතිය නිසා කන්න කන්න ආසා හිතේවි. කපා ගත් සියලුම අල තීරු ටික පෙර පරිදි.ම පිටි ඉස ගනිමින් බැදගන්න.

දැන් ඔබට කඩේ විදිහට ම රසවත් cryspy අල චිප්ස්වල රස විඳිය හැක. ඉඩ ලැබුණ අවස්ථාවක සංඝයාට ද පූජා කොට පින් රැස් කර ගන්න.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං”

“තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං”

“මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!
ඔබේ හිතාදර

අශාන් ඉමල්ක.