එදිනෙදා ජීවිතයේ බොහෝ පහසුවෙන් ම සොයා ගත හැකි දේවලින් තම අවශ්‍යතා සපුරා ගැනීම මිනිසාගේ සාමාන්‍ය සිරිත ය. ලංකාවේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි කොස් ගස ලාංකික ජනයාගේ ජීවන පැවැත්ම උදෙසා මහත් රුකුලක් සපයා දෙයි. ගෘහ භාණ්ඩ ආදිය ඇරුණු කොට එහි හට ගන්නා ඵලය විවිධ අවස්ථාවල ආහාර ලෙස සකසා ගත හැකිය. මෙ නිසා ම ජනයා අතර බත් ගස ලෙස අනුරූප නාමයෙන් ද මෙය ව්‍යවහාර වෙයි.

දකුණු ආසියාතික රටවල්වලට ආවේණික ශාකයක් ලෙස කොස් ගස හඳුනා ගත හැකිය. එහි හට ගන්නා ඵලය මදක් මේරූ පසු පොලොස් මැල්ලුම් ආකාරයට හෝ පොලොස් ව්‍යංජන ආකාරයට ද ආහාරයට ගනියි. මින් පෙර ලිපියක පොලොස් ව්‍යංජනයක් ඉතා පහසුවෙන් රසවත් ව සාදා ගන්නා ආකාරය අප ඉදිරිපත් කර ඇත. එම කොස් ඵලය තව දුරටත් මේරී හොඳින් පැහුණ පසු කොස් මැල්ලුම් හෝ කොස් ව්‍යංජනය ආකාරයට ද ආහාරයට ගත හැකිය. හොඳින් ඉදුණු පසු වරකා හෝ වැල ලෙස පලතුරක් ආකාරයට කෑමට හෝ පලතුරු බීමක් ලෙස ද සකසා රසවිඳිය හැකිය.

ඉතින් මෙහි අවසාන අවස්ථාවලදී බොහෝ විට කොස් ඵලයේ බීජ අපට ලබා ගත හැකිය. ඒ වගේම කොස් ගස් යට ද, බිම වැටී ගිය ගෙඩිවලින් කොස් ඇට අපට එකතු කර ගත හැකිය. කොස් ඇට විවිධ ආකාරයට සකසා ආහාරයට ගත හැකිය. කවුරුත් කෑමට ඉතා රුචි වූ කලුපොල් මාලුව හදන්නෙත් කොස් ඇටවලිනි.

කොස් ඇටවලින් සෑදිය හැකි, වස විසෙන් තොර පෝෂදායක රස කැවිල්ලක් ලෙස කොස් ඇට ලඩ්ඩු නැත්නම් කොස් ඇට අග්ගලා ගත හැකිය. මේ ඇඳිරි නීතිය ඇති කාලයේ පහසුවෙන් ම සකසා ගත හැකි වගේම පවුලේ අය අතර රසවත් දෑ බෙදා ගැනීමේ සතුට ද ඔබට ලබා ගත හැකිය. එමෙන්ම හොඳ අරපිරිමැසුම් සහිතය.

අවශ්‍ය දෑ:
• කොස් ඇට 100ක් පමණ
• පොල් ගෙඩි බෑයක ගා ගත් පොල්
• ලුණු ස්වල්පයක්
• ඔබේ රසයේ හැටියට සීනි හෝ හකුරු
• තලා ගත් ගම්මිරිස් ඇට කිහිපයක්

මුලින් ම සෝදා වියලා පිරිසිදු කරගත් කොස් ඇට කබලක දමා පුලුස්සා ගන්න. ඒ සඳහා ඇලුමිනියම් වැනි තාච්චියක් ගෙන මද ගින්දරේ තබා රත් වූ පසු කොස් ඇට ටික දමා පොත්ත පුපුරන තුරු කොස් ඇට ටික හොඳින් බැද ගන්න. මෙසේ බැද ගන්නා විට කොස් ඇටය හොඳින් තැම්බීම සිදු විය යුතුය. ඒ නිසා ගින්දර වැඩි කර ගන්න එපා. අවශ්‍ය පමණට පිළිස්සී ගිය කොස් ඇට ගෙන එය නිවෙන්නට හරින්න.

ඒ අතරතුර අවශ්‍ය පොල් බෑයක ප්‍රමාණයේ පොල් ගා ගත හැකිය. ඒ වගේම ගම්මිරිස් ඇට ටික ද තරමක් කෑලි සිටින සේ තලා ගත හැකිය.

නිවුණු කොස් ඇට ගෙන එහි පොතු සියල්ලම ඉවත් කර ගන්න. පොත්ත පුපුරා ඇති නිසා පහසුවෙන් එය ඉවත් කර ගත හැකිය. මේ සඳහා තේ හැන්දක මිට පැත්ත ආධාර කර ගත හැකිය.

මෙසේ පිරිසිදු කරගත් කොස් ඇට ටික වංගෙඩියක දමා හොඳින් කොටා ගන්න ඕනි. මෙහි දී තරමක කෑලි තියෙන්න ඕනි. දැන් ඒ කොටා ගත් මිශ්‍රණයට පොල් ටිකකට ලුණු කළවම් කර මිශ්‍ර කරන්න. ඒ වගේම සීනි හෝ හකුරු ද එක් කරන්න. තලා ගත් ගම්මිරිස් ටික ද මිශ්‍ර කරන්න. දැන් නැවතත් හොඳින් කොටා මිශ්‍රණය වෙන භාජනයකට දමා ගන්න.

ඔබට අවශ්‍ය පරිදි ලඩ්ඩු ප්‍රමාණ කොට අතින් සාදා ගත හැකිය. මේ කොස් ඇට ප්‍රමාණයෙන් ලඩ්ඩු 15ක් 20ක් අතර ප්‍රමාණයක් සාදා ගත හැකිය. මෙසේ සාදා ගත් කොස් ඇට ලඩ්ඩු පවුලේ අය අතර බෙදා ගෙන රස විඳින්න. අන් අයට ද දන් දෙන්න. ලද අවස්ථාවක සංඝයාට ද පූජා කොට පින් රැස් කර ගන්න.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං

තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං

මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!
ඔබේ හිතාදර,
අෂාන් ඉමල්ක.