රස ගුණ පිරි දන් පුදමු

පෝෂ්‍යදායක උදේ ආහාරයක්

කාර්යබහුල ජීවන රටාවකට අද සමාජය පත් වීම හේතුවෙන් බොහෝ දෙනෙකු ක්ෂණිකව සකසා ගත හැකි කෑම වර්ග සෑදීමට යොමු වී ඇත. ඒ නිසා ම හුරු වී ඇත්තේ ආහාරයේ පෝෂණ පැත්තට වඩා බඩ පුරවාගත හැකි නම් ප්‍රමාණවත් බව සිතීමට යි. බ්‍රෙඞ් ඔම්ලට් යනු ඕනෑම කෙනෙකුට පෝෂණය වගේම කාලය ඉතිරි කරගැනීමට හොඳම පිළිතුරකි. එමෙන්ම ඉතා රසවත් ආහාරයකි.

මේ සඳහා ඕනෑම පෙති පාන් වර්ගයක් ගත හැක. දියවැඩියාව රෝගය ඇති අය සඳහා පරළු පාන් වර්ග ද මේ ක්‍රමයට සාදාගෙන ආහාරයට එක් කරගත හැක. නැතිනම් සාමාන්‍ය පාන් ද සිහිනියට පෙති කපා ගත හැක.

අවශ්‍ය ද්‍රව්‍ය:-

■ පාන් පෙති 4 ක් හෝ 5 ක්

■ එළකිරි ටිකක් දීසියකට දමාගන්න.

■ බිත්තර 3

■ කරපිංචා ඉති 2

■ අමු මිරිස් කරලක්

■ රතු ළුෑනු ගෙඩි මිටක් හෝ බීළුෑනු ගෙඩි 1 ක්

■ කහ තේ හැඳි ¼

■ මිරිස් කුඩු තේ හැඳි ½

■ ලුණු තේ හැඳි ½

■ බටර් හෝ ගිතෙල්

■ අමු කොත්තමල්ලි කොළ මිටක් පමණ

මුලින්ම කරපිංචා, අමු මිරිස්, ළුෑනු ආදිය සෝදාගෙන කපාගත යුතුය. කරපිංචා කොළ හීනියට කපා ගන්න. අමු මිරිස් කරල ද හීනියට කපා ගන්න. රතුළුෑනු ගන්නේ නම් මුලින්ම රතු ළුෑනු ගෙඩියේ දෙපැත්ත කපාගෙන (මුල සහ ඉහල කොටස) වතුරට දමන්න. මේ නිසා ඇස්වලට රතුළුෑනු සැර වැදී කඳුළු ඒම වළකී. පොතු ඉවත් කර ගත් රතුළුෑනු සිහින්ව කපා ගන්න. බීළුෑනු ගන්නේ නම් කොටු කෑලි එන විදිහට සිහින්ව කපා ගන්න. සෝදාගත් කොත්තමල්ලි කොළ ද හීනියට කපාගෙන වෙනම තබාගන්න.

ඊළඟට බිත්තර 3 අරගෙන කඩාගෙන භාජනයකට දමා හැන්දකින් කහමදය හා සුදු මදය මිශ්‍රවන විදියට හොඳින් බීට් කර කවලම් කරගන්න. ඉන් පසු කපාගත් කොත්තමල්ලි කොළ ටික එකතු කරන්න.

පැතලි පොඩි සාස්පානක් (සෝස් පෑන් එකක්) ගෙන එයට ගිතෙල් හෝ බටර් පොඞ්ඩක් දමා මඳ ගින්දරේ රත් කර ගන්න. රත් වූ තෙලට කපාගත් කරපිංචා කොළ දමන්න. ඒ සමගම කපාගත් අමුමිරිස් ටික ද එකතු කරන්න. කපාගත් ළුෑනු ටික ද එක් කරන්න. මඳක් බැදුනු පසු ලුණු තේ හැඳි ½ ක් පමණ දමන්න. ළුෑනු ටික මඳක් රන්වන් පැහැවන තුරු බැදුනු පසු ලිප වසා කලින් සකසා ගත් බිත්තර හා කොත්තමල්ලි කොළ මිශ්‍රණයට එක් කරන්න. ඉන්පසු කහ තේ හැඳි ¼ හා මිරිස් කුඩු තේ හැඳි ½ ද එක් කරන්න. දැන් හොඳින් මිශ්‍රණය හැන්දෙන් ගසාගන්න.

කිරිවල පාන් පෙඟවිය යුතු නිසා පැතලි සහ ටිකක් උස දීසියක් වැනි භාජනයක් ගෙන එයට කිරි කෝප්පය දමාගන්න.

ලිප මත තවත් සෝස් පෑන් එකක් තබා මඳ ගින්නේ රත් කරගන්න. එයට ගිතෙල් හෝ බටර් තේ හැන්දක් පමණ දමන්න. එය හොඳින් දියවී රත් වූ පසු දැන් ඔබ සකසා ගත් පාන් පෙත්තක් ගෙන කිරිවල දෙපැත්ත ම පොඟවාගෙන බිත්තර මිශ්‍රණයට දමන්න.

පැතලි හැන්දක් ගෙන බිත්තර මිශ්‍රණයේ ද දෙපැත්ත දමමින් පාන් පෙත්තෙහි හොඳින් බිත්තර මිශ්‍රණය තවරා ගන්න. දැන් එය රත් වූ සෝස් පෑන් එකට දමා පියනකින් වසා ගන්න. විනාඩියක් පමණ මඳ ගින්දරේ පිස ගන්න. ඉන් පසු පාන් පෙත්ත අනෙක් පැත්ත පෙරලා පියනෙන් වසා නැවතත් පිස ගන්න. විනාඩියකින් පමණ රන්වන් පැහැති ලස්සන බ්‍රෙඞ් ඔම්ලට් එකක් ඔබට දැකගත හැක.

සෝස් පෑන් එකේ ඉඩ ඇතිනම් මේ ආකාරයට පාන් පෙති 2 ක් දමා ඉක්මනින් සාදාගත හැක. ඒ වගේම සාදාගත් බ්‍රෙඞ් ඔම්ලට් නිවෙන්නට පෙර මඳ රස්නේ පිටම කෑමට ගත හැකි නම් රස ඉතා වැඩිය. රස්නය රඳවා ගැනීමට ඇලුමිනියම් ෆොයිල් එකක ඔතා හෝ හොට් පොට් එකක දමා තබාගත හැකියි. ඔබ සාදාගත් බ්‍රෙඞ් ඔම්ලට් අනෙක් අයට රස විඳින්න දෙන්න. ඔබත් රස විඳින්න.
පුළුන් වගේ සෑදුනු ඉතා රසවත් වගේම පෝෂ්‍යදායී බ්‍රෙඞ් ඔම්ලට්වල රස ඔබට දැනෙනු ඇත. සංඝයා උදෙසා ද හීල දානයට උචිත ආහාරයකි. ඉතින් ඔබත් රසවත් දේ සකසා අන් අයට දී දුර්ලභ මනුෂ්‍ය ජීවිතයේ පිං රැස්කරගන්න. අන් අය රසවත් ප්‍රණීත බොජුන් සකසා සංඝයාට පුදද්දී එයට නොගරහන්න. සුභ දවසක්!

මම
අෂාන් ඉමල්ක.