බොහෝ පහසුවෙන් සාදාගත හැකි රස කැවිල්ලක රස බලන්නේ කොහොමද කියා අද අපි බලමු.

‘අලුවා’ යන නම ඇසූ පමණින් ම නොදන්න කෙනෙක් නැහැ. හවසට තේ එකක් සමග පැණි අලුවා කෑල්ලක් තිබ්බා නම් කදිම ය. ඒ වගේම පුංචි දුවා දරුවන්ට ද ප්‍රණීත දෙයක් වෙයි. හදිසියේ පැමිණෙන ආගන්තුකයෙකුට වුවද තේ සමග පිළිගැන්වීමට ඉතා සුදුසු ය.

අලුවාවල පිටි ගතිය වැඩිවුවහොත් එහි රස විඳීමට බාධාවක් වේ. මන්ද, කට තුළ පිටි ඇලෙන නිසා. මේ ගතිය එන්නේ බොහෝ වෙලාවට කැකුළු හාල් පිටිවලින් ඇලුවා හැදුවාමය. ඒ නිසා අපි පැණි අලුවා හදන්න ගන්නේ නාඩු හාල් ය. මේ හාල් කෙටුවාම කප්පි හිටිනවා. කප්පිවලින් අලුවා එකට හොඳ හැපෙන ගතියක් ලබාදෙනවා.

ඒ වගේම මේ සඳහා කිතුල් පැණි ගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. නමුත් පොල් පැණි හා සීනි පැණිවලින් ද පැණි අලුවා හදන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය :-
නාඩු හාල් කප් 4 යි.
කිතුල් පැණි කප් 3 යි.

මුලින් ම අපි කළයුත්තේ හාල් පිටි සකස් කරගැනීම ය. ඒ සඳහා තාච්චියක් ලිප තබා ලිප දල්වන්න. නාඩු හාල් ටික ගෙන භාජනයකට දමා වතුර ටිකක් ඉස හාල්වල වතුර හොඳින් තවරා ගන්න. හාල් පොඟවන්න අවශ්‍ය නැත. එසේ තෙතමාත්තු කරගත් නාඩු හාල් ටික තාච්චියට දමා හොඳින් රන් පැහැවන තුරු බැදගන්න. අවශ්‍ය පරිදි ගින්දර අඩුවැඩි කරගන්න. හොඳින් බැදුනු පසු වෙනත් භාජනයකට දමා හාල් ටික නිවෙන්න අරින්න. එසේ නිවුනු හාල් ටික වංගෙඩිය හෝ බ්ලෙන්ඩර් එකක් භාවිතා කොට පිටි කරගන්න. පෙනේරයකින් හලාගන්න. අවශ්‍ය පරිදි ඉතිරිවන කප්පි නැවත කොටා හලාගන්න. අවසානයේ ඉතිරි වන කප්පි ටික ද පිටි එකට මිශ්‍ර කරන්න. අලුවා මිශ්‍රණය එළාගැනීම සඳහා පිටි ස්වල්පයක් ලෑල්ලක් මත හෝ ඊට සමාන රස්නයට ඔරොත්තු දෙන මතුපිටක් මත ඉසගන්න.

වෙනත් තාච්චියක් ගෙන පැණි ටික එහි දමා ලිපෙහි තබා රත්කරගන්න. මධ්‍යම ප්‍රමාණයට ගින්දර තබන්න. පැණි ටික උකුවෙනතුරු හැඳිගා ඉන්පසු ලිපෙහි ගින්දර අඩුකොට අපි සාදාගත් හාල්පිටි ටික, ටිකෙන් ටික මිශ්‍ර කරමින් හොඳින් පත් ගාන්න. ලී හැන්දක් පත් ගෑම සඳහා සුදුසු වේ.

මෙසේ මිශ්‍ර කරන විට අතට හොඳ තද ගතියක් දැනේවි. එවිට ලිප නිවා දමා පිටි අතුරාගත් මතු පිට මත අලුවා මිශ්‍රණය අතුරා ගන්න. ඝනකම ගොඩක් එන්නේ නැති විදිහට තුනී කරන්න. පැතලි ලී මිටක් හෝ කෙසෙල් කොළයක් ආධාරයෙන් තුනී කරගත යුතුය. මිශ්‍රණය රස්නේ නිසා අත පිළිස්සිය හැකි බැවින් ඒ මතට පිටි ස්වල්පයක් ඉසීම ද කරගන්න.

දැන් තුනී කරගත් අලුවා මිශ්‍රණය අවශ්‍ය පරිදි දිගටි කිරිබත් කෑලි හැඩයට කපා ගන්න පුළුවන්. අපි ගත්ත සහල් ප්‍රමාණයට කෑලි 30-40 ක් කපාගත හැක. මිශ්‍රණය හොඳට ම නිවුණු පසු හොඳ මෙළෙක් ගතියෙන් යුතු රස ම රස පැණි අලුවා කෑල්ලක් රස බලන්න පුළුවන්.

ඉතින් මේ විදිහට ලේසියෙන් ම පැණි අලුවා හදලා ඔබත් රස විඳින්න. දුවා දරුවන්ටත් දෙන්න. දානයක් දෙන්න අවස්ථාව ලැබුණොත් පූජා කරලා පින් රැස්කරගන්න.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං

තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං

මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!

ඔබේ හිතාදර
අෂාන් ඉමල්ක