රස ගුණ පිරි දන් පුදමු

ලෝකයේ බොහෝ දෙනෙක් අඹ කියූ විට දන්නේ ප්‍රණීත පළතුරක් විදිහටයි. එනමුත් ලංකාවේ අපට නම් අඹ, පළතුරක් මෙන්ම රසවත් ව්‍යංජනයකි. සමහර ප්‍රදේශවල අඹ මාළුව කියා ප්‍රසිද්ධ මේ ව්‍යංජනය ලංකාවට ම ආවේනික වූ ක්‍රමයකට සාදනු ලබයි. ලෝකයේ රසම අඹ ව්‍යංජනය ඇත්තේ ලංකාවේ බව අඹ මාළුවක රස බැලූ කොයි කවුරුත් පාහේ අවිවාදයෙන් පිළිගනිති. එහි පාට, රස, සුවඳ ලංකාවේ ම විතරක් ඇත්තේය.

අඹ ව්‍යංජනය සඳහා සුදුසු ම අඹ වර්ගය වන්නේ කොහු අඹය. නමුත් අවාසනාවකට අද වන විට ලංකාවේ කොහු අඹ සොයාගන්නට නැති තරම් ය. දේශීය පළතුරුවලට තැනක් නොමැති වීම හා වල් අඹ ගස් කපාදැමීම මෙයට හේතු වේ.

කෙසේ වෙතත් ඇඹුල් පිටි ගතිය හා කොහු ගතිය ඇති ඕනෑම අඹ වර්ගයක් මේ සඳහා ගත හැක. හොඳට පැසුණු අඹ ඉදෙන්නට පෙර ව්‍යංජන ලෙස සැකසීමට වඩාත්ම සුදුසු වේ. අඹ ගෙඩි 5-6 කින් 10 දෙනෙකුට ප්‍රමාණවත් ප්‍රණීත අඹ මාළුවක් පහසුවෙන්ම සාදාගත හැක.

අඹ මාළුව සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මේවා ය.

■ අඹ ගෙඩි 5-6 ක්

■ අමු මිරිස් කරල් 4 ක් පමණ

■ බීළුෑනු ගෙඩි 1 ක් පමණ

■ සුදුළුෑනු බිකි 5-6 ක්

■ බැදපු මිරිස් කුඩු තේ හැඳි 2

■ බැදපු තුනපහ කුඩු තේ හැඳි 3

■ ගම්මිරිස් කුඩු තේ හැඳි 1

■ ලුණු කුඩු

■ පොල් මිටි කිරි

■ අබ ස්වල්පයක්

■ පොල්තෙල්

■ රම්පේ

■ කරපිංචා

■ එනසාල්

■ උළුහාල්

■ කබලේ දමා දුඹුරු පැහැයට බැදගත් පොල් හා සහල් ස්වල්පයක්

බැදපු මිරිස් කුඩු සහ බැදපු තුනපහ කුඩු ව්‍යංජනයට අවශ්‍ය ප්‍රමාණය එවෙලේම සාදාගන්නේ නම් අඹ මාළුවේ රස හා සුවඳ දෙගුණ තෙගුණ වේ.

මේ සඳහා වියළි මිරිස් කරල් 12 පමණ ගෙන මිරිස් කරල් නැටි ඉවත් කර රත් වූ කබලක දමා බැදගන්න. අවශ්‍ය වූ විට ගින්දර අඩු වැඩි කර මිරිස් කරල් මඳක් කළු පැහැවන තුරු බැදගන්න. මෙසේ කරන විට ඇතැම් මිරිස් කරල්වල ඇට ඉවත් වී මිරිස් කරල් සමග බැදේ. ඒවා කළු පාට වේ. මිරිස් කරල් ටික කොටාගන්නා විට එම කළු වූ මිරිස් ඇට ඉවත් කිරීමට මතක තබාගන්න. නැතිනම් ව්‍යංජනය තිත්ත රස වේ.

දෙවනුව බැදපු තුනපහ කුඩු සාදාගන්න. මේ සඳහා කොත්තමල්ලි ඇට ග්‍රෑම් 50, සූදුරු මහදුරු ග්‍රෑම් 10 බැගින් ද කුරුඳු පොත්තක් සමග එනසාල් ඇට 5-6 පමණ ගන්න. රත් වූ කබලක් ගෙන මුලින් ම කුරුඳු පොත්ත දමා බැදගන්න. ඉන් පසු එනසාල් දමන්න. එයත් පදමට බැදුනු පසු කොත්තමල්ලි ඇට එක් කරගන්න. ඉන් පසු සූදුරු හා මහදුරු හොඳින් සුවඳ එනතුරු ගින්දර අඩු වැඩි කොට බැදගන්න. අවශ්‍ය නම් රම්පේ, කරපිංචා, අබ, උළුහාල්, කරාබුනැටි ආදිය කැමති පරිදි ටික ටික එක් කරගත හැක. අවසානයේදී මිශ්‍රණය කොටාගන්න.

ඊළඟට පොල් බැදගැනීමට රත් වූ කබලකට පොල් මිටක් පමණ දමා ගින්දර අඩු වැඩි කොට දුඹුරු පැහැවන තුරු බැදගන්න. සහල් ඇට ස්වල්පයක් ගෙන කබලට දමා හොඳින් බැදගන්න. වෙන වෙනම කොටාගෙන පසෙකින් තබාගන්න.

අඹ ගෙඩි ටික පිහියකින් දෙකට පලාගන්න. එහිදී මැද සුදුපාට බීජ කොටස ඉවත් විය යුතුය. නමුත් අඹ ඇටයේ පිටත පොත්ත ඉවත් නොකළ යුතුය. එය අඹයේ මදය කොටස දිය වීම වළක්වා ගැනීමට උපකාරී වේ. ඉන් පසු අවශ්‍ය ප්‍රමාණයට කොටස් කරගෙන හොඳින් සෝදා ගන්න.

දැන් බැදපු මිරිස් කුඩු, තුනපහ කුඩු, ගම්මිරිස් කුඩු හා සාදාගත් සහල් සහ පොල් මිශ්‍රණය ගෙන සෝදාගත් අඹ කැබලිවලට දමා හොඳින් කලවම් කරගන්න. හොඳට තුනපහ හා මිරිස් කුඩු අඹ කැබලිවලට පදම් වීම සඳහා පසෙකින් තබාගන්න.

දැන් තාච්චියක් හෝ මැටි බඳුනක් ගෙන පොල්තෙල් දමාගන්න. රත් වූ තෙලට උළුහාල් ඇට 2-3 ක් දමන්න. ඉන් පසු කරපිංචා රම්පේ එක්කර ගන්න. මඳක් බැදුනු පසු අබ එක් කළ හැක. කැමති නම් පොල් කිරි සමග අබ ඇට අඹරා කලවම් කර එක් කර ගත හැක.

හොඳින් බැදුනු මිශ්‍රණයට අමු මිරිස් එක් කරන්න. ඉන් පසු බීළුෑනු ටික දමා හොඳින් තෙම්පරාදු කරගන්න. හොඳින් මිශ්‍රණය තෙම්පරාදු වූ පසු තුනපහ සමග පදම් කරගත් අඹ කැබලි ටික මිශ්‍ර කරගන්න. මේ සමග සුදුළුෑනු ටික ද එක් කරගන්න. මඳක් ගින්දර අඩුකර තෙලෙන් ම අඹ කැබලි ටික තැම්බෙන්න අරින්න. අවශ්‍ය පමණට ලුණු එක් කර ගන්න. අඹ කැබලි ටික හොඳින් තැම්බුනු පසු මිටිකිරි ටික දමන්න. එවිට බොර ගතියෙන් යුතු මිශ්‍රණයක් සෑදේ. කිරි ටික පැහෙන තුරු ලිපේ තබන්න. අවශ්‍ය පමණට ලුණු ඇත්දැයි රස බලන්න. මෙසේ හොඳින් තෙල් පෑදෙන තුරු සාදාගත් අඹ මාළුවට අවසාන වශයෙන් සීනි එක් කළ යුතුය. එහිදී තමන්ට අවශ්‍ය ප්‍රමාණයට සීනි දමා ව්‍යංජනය රස කර ගන්න. හොඳින් කලවම් කර වසා තබා නිවෙන්නට ඉඩ හරින්න.
හොඳ කළු පැහැයට හුරු රතු පාටින් තෙල් මතුවුනු රසවත් අඹ මාළුවක් මේ ආකාරයෙන් සාදාගත හැක. දවල් කෑමට බත් එක්ක කියාපු ව්‍යංජනයකි. මේ ආකාරයෙන් ඔබත් රස ම රස අඹ මාළුවක් සාදාගෙන රස විඳින්න. පවුලේ අයටත් සංග්‍රහ කරන්න. දහවල් දානයකට සකසා සංඝයා උදෙසා පූජා කරගෙන පිං රැස් කරගන්න.

සටහන –

ඔබ රසවත් වෑංජනයක රස බලනු කැමති
අෂාන් ඉමල්ක මහගමගේ