අපේ අසල්වැසි ඉන්දියාවේ උතුරු ඉන්දියානු කලාපයේ ප්‍රධාන ආහාරය වන්නේ “චපාති”ය. ඉතා අඩු වියදමකින් ලේසියෙන්ම රසවත් වගේ ම ගුණදායක ආහාර වේලක් ආටා පිටිවලින් සාදන චපාතියකින් සම්පූර්ණ කරගත හැකිවේ. ආටා පිටිවල තන්තුමය ස්වභාවය නිසා ශරීරයට කැලරි අවශෝෂණය ඉක්මනින් සිදු නොවේ.

මේ රොටි සෑදීම සඳහා පොල් අවශ්‍ය නොවේ. ජලය හා ලුණු පමණක් අවශ්‍ය පදමට දමා සකසා ගත හැකිය. සාමාන්‍යයෙන් පිටි කෝප්පයකින් (250g පමණ) රොටි 6ක් පමණ සෑදිය හැක. චපාති රොටියේ ඇති මෘදුභාවය නිසා අපහසුවකින් තොරව කෑමට ගත හැක. බත්වලට ආදේශකයක් ලෙස ඕනෑම ව්‍යංජනයක් සමඟ රස විඳිය හැක. චපාති සෑදීමේදී සැලකිලිමත් වියයුතු කාරණා කිහිපයක් තිබේ. ඒ ගැන මේ ලිපියෙන් ඔබව දැනුවත් කිරීමට අප බලාපොරොත්තු වේ.

———

පිටි කෝප්පයක ප්‍රමාණයේ පිටි අනාගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු.

අවශ්‍ය පරිදි පිටි ටික ගෙන භාජනයකට දමාගෙන ලුණු තේ හැඳි ¼ පමණ දමන්න. එය හොඳින් මිශ්‍ර කරන අතරතුර ඇල් වතුර කෙමෙන් කෙමෙන් එක් කරන්න. මේ සඳහා වතුර කෝප්ප ½ ත් ¾ අතර ප්‍රමාණයක් සෑහේ. හොඳින් මිශ්‍ර කරමින් යන්තම් පිටි මෝලිය අතේ ඇලවෙන ප්‍රමාණයට වතුර එක්වී තිබිය යුතුය. එම ප්‍රමාණයට වඩා අඩු වුනොත් චපාතිය තද බවකින් යුක්ත වේ. වතුර වැඩි වුවහොත් රොටිය තුනී කර ගැනීමට අපහසු වේ.

එම ප්‍රමාණයට මෝලිය සාදාගත් පසු විනාඩි කිහිපයක් අත බරකොට මඩිමින් හොඳින් පදම් කරගත යුතුය. මෙහිදී අතේ ඇලවෙන ස්වභාවය අඩුවී පිටි මිශ්‍රණය හොඳින් මෙලෙක් වන බව අතට දැනේ. ඉන්පසු පිටි මිශ්‍ර කිරීමට ගත් භාජනයේ ම පිටි මෝලිය ගුලියක් සේ සකසා තෙත රෙදි කැබැල්ලකින් විනාඩි කිහිපයක් වසා තබන්න. මෙම පියවර කිරීම අත්‍යවශ්‍ය නොවුනත් ඔබේ චපාතියේ මෘදුභාවය ඇති වීමට එය උපකාරී වේ.

මීළඟට අප කළයුත්තේ පිටි මෝලිය කුඩා පිටි ගුලිවලට කඩා ගැනීමය. සාමාන්‍යයෙන් දෙහි ගෙඩියක ප්‍රමාණයේ පිටි ගුලි සාදා ගැනීම වඩාත් උචිත වේ. අප ගන්න පිටි ප්‍රමාණයට මෙවැනි ගුලි 6ක් පමණ සාදාගත හැක. මෙසේ සාදාගත් පිටි ගුලි ටික අතට ගෙන අල්ලෙන් මඳ තෙරපුමක් යොදා පැතලි කර ගන්න. ඒ රොටිය වඩන විට පිටි ටික සමානව බෙදී යාම පහසු කර ගැනීම සඳහාය.

දැන් තව ආටා පිටි ස්වල්පයක් ගෙන වෙනත් භාජනයකට දමාගන්න. ඒ රොටි තුනී කරන විට රොටියට පිටි ඉස ගැනීම සඳහාය.

රොටිය තුනී කර ගැනීමට පැතලි ලෑල්ලක් හෝ පිරිසිදු ටයිල් කැටයක් යොදාගත හැක. මෙහිදී මතුපිට පෘෂ්ඨය මෘදුව පැවතීම අනිවාර්යය වේ. පෘෂ්ඨය කඩතොළු සහිත වුවහොත් රොටිය ඇලීමට ඉඩකඩ වැඩිය.

ඒ වගේම ලී රෝලරයක් හෝ අඟලක පමණ ඝනකම සහිත අඩි 1½ පමණ P.V.C බට කැබැල්ලක් උචිතය.

තුනී කරගත් පිටි ගුලිය ආටා පිටි භාජනයට දමා පිටි යාන්තමින් තවරා ගන්න. දැන් ලෑල්ල මත තබා ලී රෝලකින් පිටි සමානව බෙදෙන ආකාරයට රවුමට පිටි ටික තුනී කර ගන්න.

මෙසේ තුනී කරන විට රෝලෙහි පිටි ගුලිය ඇලෙන ගතියක් ඒවි. එවිට තව පිටි ස්වල්පයක් ඉස ඇලෙන ගතිය නැති කරගෙන දිගට ම තුනී කර ගන්න. මෙහිදී ඔබ එක අතකට සාපේක්ෂව අනිත් අතට යොදන බලය මඳක් අඩු කරන්න. එවිට ඔබට තේරේවි රොටිය තුනී වෙන කොට මඳක් කරකැවෙන ස්වභාවයක් ඇතිවන බව. එසේ රොටිය කරකැවෙන විට එය ඒකාකාරව පිටි ටික හොඳින් තුනී වීමට උපකාරී වේ. මුලින් ම කරන කෙනෙකුට ටිකක් අපහසු ගතියක් දැනේවි. නමුත් දිගට ම රොටී තුනී කරන විට නිරායාසයෙන් ම හුරු වේ.

මෙසේ සකසා ගත් රොටිය ඉක්මනින් ම පුළුස්සාගත යුතුය. නැතිනම් මිශ්‍රණයේ ජලය ඉවත් වී රොටියේ මෘදුභාවය නැති වේ.

රොටිය පුළුස්සා ගැනීම.

මෙහිදී සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තිබේ. ලංකාවේ ක්‍රමයට රොටී සාදන විට ලිපේ ගොඩක් වෙලා පුළුස්සා ගනී. නමුත් මේ චපාති ඉක්මණින් ම පුළුස්සාගෙන ලිපෙන් බාගත යුතු වේ.

අපි ගන්න තැටියේ ස්වභාවය අනුව ලිපට ගින්දර දැමීම සිදුවිය යුතුය. අඩු ගින්දරේ තමයි මේ රොටිය සෑදිය යුත්තේ. තැටියේ ඝනකම වැඩි නම් මඳක් ගින්දර වැඩි විය යුතුය. අපි සාදාගත් රොටිය තැටිය රත් වූ පසු තැටියට දමා තත්පර 15ක් වැනි කාලයක් පළමු පැත්ත පුළුස්සා ගත යුතු වේ. මෙහිදී උඩු පැත්තේ බුබුළක් දෙකක් පිපෙනවා ඔබට දැකගත හැකි වේ.

පැතලි හැන්දක් භාවිතා කර රොටිය අනෙක් පැත්ත පෙරලාගෙන පුළුස්සාගත යුතු වේ. එවිට රොටිය මඳක් පිම්බෙන ස්වභාවය ඔබට දැකගත හැකි වේ. මේ පැත්ත තත්පර 30ක පමණ කාලයක් පුළුස්සාගත යුතු වේ. ඔබ රොටිය පුළුස්සන විට රොටිය ඉක්මනින් පිච්චෙනවා නම් ගින්දර සැර අඩු කරන්න. පමණට වඩා කාලය ගතවේ නම් ගින්දර සැර වැඩි කරන්න.

ඒ පැත්ත පුළුස්සාගත් පසු තැටියේ ම අනෙක් පැත්ත දමා පිරිසිදු රෙදි කඩක් ගෙන අත පිච්චෙන්නැති ආකාරයට රොටිය මඳක් තෙරපුමට ලක් කරන්න. එවිට චපාතිය තැටිය මතදී ම පපඩමක් ආකාරයට පිපීගෙන ඒවි. එසේ නැතිනම් ඔබට අඬුවක් භාවිතයෙන් ගින්දරට ඍජුව ම අල්ලා රොටිය පුම්බාගත හැකිවේ. මෙහිදී වඩාත් අවධානයෙන් යුතුව මෙම කටයුත්ත සිදුකළ යුතු වේ.

මෙසේ පුච්චාගත් චපාති රොටිය වාතයට නිරාවරණය වන පරිදි තැබුවහොත් එය ඉක්මනින් තද භාවයට පත්වේ. මෙය වළකා ගැනීම සඳහා රස්නය ඉවත් නොවන භාජනයකට (Hot Pot) දමාගත යුතු වේ. නැතිනම් භාජනයකට පිරිසිදු කපු රෙදි කැබැල්ලක් දමා එම භාජනයට රොටී ටික දමාගෙන රෙද්දෙන් හොඳින් වසාගත යුතු වේ. මේ නිසා රොටියේ නැවුම්බව රැකෙන අතර උණුසුම්භාවය ද රැකේ. දැන් ඔබට ඉතා මෘදුභාවයෙන් යුතු චපාතියක රස විඳිය හැක. මේ සඳහා කලින් කලාපයක අප ඉදිරිපත් කළ ඉන්දියානු අල බැදුම සමඟ මෙය වඩාත් රසවත් වේ.

ඉතින් ඔබත් උත්සහයක් දරන්න නිවැරදිව මෘදුවට චපාති හදන්න. පවුලේ අය සමඟින් රස බෙදාගෙන සතුටක් විඳින්න. හැකි අවස්ථාවක හීල දානය සඳහා ද පූජා කරගෙන පින් රැස් කර ගන්න.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං”

“තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං”

“මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!

ඔබේ හිතාදර

අෂාන් ඉමල්ක.