පොල් සම්බෝල කියන නම ඇහෙනකොට ම ලංකාවේ අපිට නම් බත් පිඟානක් විතර, ඉඳිආප්ප 100 ක් විතර කන්න පුළුවන් කියලා තමයි ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. නමුත් බොහෝ දෙනෙක් අද ගතකරන කාර්ය බහුල ජීවන රටාව නිසා තමන්ගේ ආහාර වේල රසවත් විදියට සාදා ගැනීමට එතරම් අවධානයක් යොමු නොකරත්. ඒ නිසා දානයකදී පවා බොහෝ අයට ප්‍රණීත දන් සකසා පූජා කරගැනීමේ අවස්ථාව අහිමි වී ඇත.

බොහෝ දෙනා ක්ෂණික රසකාරක යොදා ඉතා සරල ආහාරයක් වන පොල් සම්බෝලය ද සැකසීමට යොමු වී ඇත. ඒ වගේම මිරිස් කරල් වෙනුවට කෑලි මිරිස් භාවිතා කිරීම වැනි කෙටි ක්‍රමවලට හුරු වී ඇත. ඒ වගේම මිරිස් ගල, වංගෙඩිය යොදාගෙන සම්බෝල සෑදීම ඈත් වී ඇත. මේ සියල්ලෙන් ම සිදුවී ඇත්තේ රසවත් ආහාරයක නියම රස අහිමි වී යාමයි.

සාමාන්‍යයෙන් පොල් ගෙඩියක සම්බෝලයකින් 10 දෙනෙකුට පමණ ප්‍රමාණවත් වේ. මේ සඳහා අවශ්‍ය දේ වන්නේ,

■ වියලි මිරිස් කරල් 20 පමණ
■ රතු ළුෑනු ග්‍රෑම් 20
■ පොල් ගෙඩියක ගාගත් පොල්
■ ලුණු ස්වල්පයක්
■ උම්බලකඩ ග්‍රෑම් 10 පමණ
■ ඉදුණු දෙහි ගෙඩියක්

ලස්සන රතු හෝ රෝස පැහැති සම්බෝලයක් සෑදීම සඳහා මුලින්ම කළ යුත්තේ මිරිස් කරල් ගෙන එහි නැට්ට ඉවත් කර ලුණු වතුරේ පෙඟෙන්න හැරීමයි. සාමාන්‍යයෙන් උදේට පොල් සම්බෝල සාදනවා නම් රාත්‍රියේ මිරිස් කරල් පෙඟෙන්න දමයි. එසේ නොමැති නම් අවශ්‍ය වූ සෑම වේලාවක ම මුලින් ම මිරිස් කරල් ටික පෙඟෙන්නට දමා පොල් සම්බෝලයට අවශ්‍ය අනෙකුත් කළමනා ටික ලෑස්ති කරගන්නවා නම් හොඳයි. මෙසේ මිරිස් කරල් ලුණු මිශ්‍ර ජලයේ හොඳින් පොඟවා ගන්නේ හොඳින් මිරිස් අඹරා ගැනීමේ පහසුව පිණිසයි.

මිරිස් ගලක මිරිස් අඹරනවා නම් මුලින්ම මිරිස් ගල පිරිසිදු කරගෙන පොඟවාගත් මිරිස් කරල් වතුර ටික පෙරාගෙන මඳක් මිරිකා, මිරිස් ගල මත දමන්න. පහසුවෙන් අඹරා ගැනීම සඳහා කැට ලුණු මේස හැන්දක් පමණ දමන්න. දැන් මිරිස් හා කැට ලුණු එකට අඹරා ගන්න. ඉන් පසු අඹරාගත් මිරිස් ගුලිය පසෙකින් තබාගන්න. තමන්ගේ රුචිකත්වය අනුව උම්බලකඩ යෙදීම හෝ නොයෙදීම කළ හැක. උම්බලකඩ පොඩි කැබැල්ලක් ගෙන වතුරේ පොඟවා ගන්න. මෙය මිරිස් අඹරා ගැනීමට පෙර සිදු කළ යුතුයි. හොඳින් පෙඟුන උම්බලකඩ කැබැල්ල මිරිස් ගල මත දමා අඹරා ගන්න. පළමුව උම්බලකඩ කැබැල්ල මඳක් තලන්න. එවිට පහසුවෙන් අඹරාගත හැක. අඹරාගත් උම්බලකඩ කුඩු ටික අඹරාගත් මිරිස් ගුලියට ම එකතු කරන්න.

මීළඟට රතුළුෑනු ටික තලාගත යුතුයි. මේ සඳහා රතුළුෑනු ගෙඩියේ නැට්ට හා උඩ කොටස කපා ගෙන වතුරට දමා පොඟවා ගත යුතුය. එවිට රතුළුෑනු පහසුවෙන් සුද්ද කරගත හැකිය. මෙසේ පොතු ඉවත් කරගත් රතුළුෑනු ටික මිරිස් ගලට දමා අඹරා ගන්න. මඳක් ඇඹරුනු පසු මිරිස් ගුලියත් උම්බලකඩ කුඩුත් එකතු කර අඹරාගන්න. රතුළුෑනු මඳක් හැපෙන්න තියෙනවා නම් පොල් සම්බෝලය තවත් රසවත් වේ.

මීළඟට ඇත්තේ පොල් මිශ්‍ර කිරීමයි. අපි ගන්න පොල් ගෙඩිය අනුව පොල් සම්බෝලයේ පැහැය වෙනස් වේ. ලා පොල් ගෙඩියක් නම් රෝස පැහැයට හුරුවන අතර, වේළුණු පොල් ගෙඩියක් නම් රතු පැහැයට හුරු වේ. ඒ වගේම රසත් පොඞ්ඩක් වෙනස් වේ. පොල් ගෙඩිය මඳ වශයෙන් පැසුණු විට පොල් සම්බෝලයට අමතර කිරි රසක් මුසු වේ. බොහෝ දෙනා ආසා කරන්නේ මේ පොල්වලින් සාදාගත් සම්බෝලයට ය.

හිරමණයක ආධාරයෙන් ගාගත් පොල් ගෙඩියෙන් මිටක් විතර පොල්, මිරිස් ගල මත ඇති මිශ්‍රණයට දමා අඹරාගන්න. සියලුම පොල් දමා ඇඹරූ විට පොල් සම්බෝලය තලපයක ස්වභාවයක් ගනී. ඒ නිසා පොල් මිටක් පමණ අඹරාගෙන එම මිශ්‍රණය වෙනත් භාජනයකට දමා ගන්න. ඉතිරි පොල් ටිකෙන් මිරිස් ගලේ ඉතිරි වූ මිරිස් ටිකත් පිසදා භාජනයට ම දාගන්න. දැන් භාජනයේ ඇති පොල් මිශ්‍රණය හොඳින් කලවම් කරගන්න. දෙහි ඇඹුල් දැමීමට පෙර අවශ්‍ය පරිදි ලුණු ඇත්දැයි බලන්න. ලුණු මදි නම් මේස ලුණු (ලුණු කුඩු) ටිකක් එකතු කරගන්න.

ඉදුණු දෙහි ගෙඩිය ගෙන ලෑල්ලක් මත තබා අතින් තලාගන්න. එවිට ඇඹුල් හොඳට දෙහි ගෙඩියට එකතු වේ. දැන් එය පිහියකින් කපාගන්න. දෙහි ඇඹුල් ඉවතට යා හැකි නිසා පොල් සම්බෝල මිශ්‍රණය ඇති භාජනය මතට ගෙන පරිස්සමින් කපාගන්න. එහිදී ඉවත් වෙන දෙහි ඇඹුල් මිශ්‍රණයට ම එකතු වේ. දෙහි ඇට ඉවත් කර හොඳින් මිශ්‍රණයට දෙහි ඇඹුල් එකතු කරගන්න. ඉන් පසු හොඳින් මිශ්‍ර කර රස බලන්න. ඔබේ අතින් ම රසවත් වගේම ලස්සන රෝස පැහැති පොල් සම්බෝලයක් සෑදී ඇත.

මිරිස් ගලක් නැති නම් වංගෙඩියේ දමා කොටා මේ ආකාරයට පොල් සම්බෝලය සාදාගත හැක. පොල් සම්බෝලයේ රස දන්න අය නම් කියන්නේ මිරිස් ගලේ හා වංගෙඩියේ සාදාගත් පොල් සම්බෝලවල රස දෙකක් බවයි.

පොල් සම්බෝල උදේට දවල්ට රෑට ඕනම වෙලාවක ආහාරයට ගත හැකිය. උදේට නම් හොඳ කැකුළු බතක් එක්ක කියාපු කෑමක්. ඉඳි ආප්ප, සුදු ආප්ප, රොටී, පාන් වගේම තෝසේ සමග ද පොල් සම්බෝල එකතු කරගත හැක.

ඉතින් ඔබත් මේ ආකාරයට රසවත් පොල් සම්බෝල සාදා රස විඳින්න. අන් අයටත් දෙන්න. සංඝයා උදෙසා දන් සකසා පූජා කරගෙන පිං රැස් කරගන්න.

සටහන – අෂාන් ඉමල්ක