ගිහි අයට අසුභය අකැප ද?

අද අපි ඔබට උගන්වන දේ සමහරවිට ඔබ අකැමති දෙයක් වෙන්ට පුලුවන්. මේකට කියන්නේ ‘අසුභ භාවනාව’ කියලා. ඔබ අකැමති වුණාට කරන්න දෙයක් නෑ. ඔබ මේ ගැන පොඞ්ඩක් හිතුවොත් ඔබට ලොකු දියුණුවක් ලබා ගන්න පුළුවන්. අසුභ භාවනාව කරන්න ඉස්සෙල්ලා අපි කාරණා කිහිපයක් දැන ගත යුතුයි. මේ රටේ අසුභ භාවනාව ගැන ආකල්ප ටිකක් තියෙනවා. ඒවා තමයි “මේ අසුභ භාවනාව ගිහි අය කළ යුතු නෑ. ගිහි අය ඒ විදිහට කල්පනා කළ යුතු නෑ. අසුභ භාවනාව ගිහි අයට අදාළ නෑ. ඒකෙන් ගිහි ජීවිතය කඩාකප්පල් වෙනවා” කියලා කියනවා. මේක සත්‍යයක් නම්, ඔබ චුට්ටක් හිතලා බලන්න වෛද්‍යවරු, හෙද හෙදියන් කොයිතරම් මේ රෝගීන් අතපත ගානව ද? කොයිතරම් අසුභ දර්ශන දකින්න ලැබෙනව ද? ඒ වගේ ම කොයි තරම් ජීවමාන මිනිස්සුන්ගේ අත පය කපලා, කොයි තරම් අසුභ කොටස් දකිනව ද? ඊ ළඟට මිනී කපන මිනිස්සු කොච්චර මේවා දකිනවා ද? එහෙම නම් ඒ සියලු දෙනාගේ ජීවිත කඩාකප්පල් විය යුතුයි. එහෙම නම් ඒ සියලු දෙනාගේ ජීවිත අසාර්ථක විය යුතුයි. ඒක නෙමෙයි හේතුව. කාමයට වසඟ වූ සිත් ඇති, කාමයෙන් උන්මාදයට පත් වූ උදවිය ‘අසුභ’ කියන වචනයට තරහයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ද්වේෂ කරනවා. (ධම්මදෙස්සී පරාභවෝ) ධර්මයට ද්වේෂ කරන කෙනා තමයි පිරිහෙන්නේ. කවදාවත් ධර්මයට කැමති කෙනා පිරිහෙන්නේ නෑ. (ධම්මකාමෝ භවං හෝති)

අසුභ භාවනාවට ප්‍රවේශ වෙන්නේ මෙහෙමයි

මේ නිසා අසුභ භාවනාවෙදිත් එක එක්කෙනා එක එක දේවල් කියයි. අපට වැදගත් වෙන්නේ ඒක නෙමෙයි. වැදගත් වෙන්නේ ඔබ මේ ජීවිතයේ තියෙන ඇත්ත දකින්න, ඇත්ත අවබෝධ කරන්න සූදානම් ද කියන එකයි. හැබැයි මේකෙදි මේ භාවනාවට ප්‍රවේශ වෙන්න ඔබ මේ පිළිබඳ ව යම්කිසි දැනුමක් ලබාගන්න ඕන. අසුභ භාවනාව කියන්නේ කුණප කොටස් ගැන ඒ විදිහටම බැලීම. උදාහරණයක් විදිහට අපි ගනිමු කොණ්ඩය. දැන් කොණ්ඩෙ දිග කෙනෙක් ඉන්නවා. මෙයා මේ කොණ්ඩෙට ආදරෙයි. මෙයා මේ කොණ්ඩෙ අතට අරගෙන අතගානවා. කොණ්ඩෙ පීරනකොට කෙස් ගහක් ගැලවිලා ආවොත්, ඒ කෙස් ගහ ගලවලා අරන් තියනවා. අපි ගමු නියපොතු. නියපොතුවලට කෙනෙක් කැමතියි. නියපොත්ත වැවෙන්න ඇරලා ලස්සනට හැඬේට නියපොත්ත කපනවා. නියපොත්තට පාට ගානවා. ගාලා එයා සතුටක් ලබනවා. අපි ගමු දත්. දත් නිරන්තරයෙන් ම මැදලා මැදලා, පිරිසිදු කරලා කණ්ණාඩිය ළඟට ගිහිල්ලා හිනාවෙලා, දත් දිහා බලලා සතුටක් ලබනවා. අපි ගමු සම. එයා හමේ සුන්දරත්වය දිහා බල බල සතුටක් ලබනවා. එබඳු ජීවිතයක් ගෙවන කෙනෙකුට මේ කුණප කොටස් බලනවා කිව්වම ඒක අමුතු එකක් තමයි.

හැමදාම ලස්සනට ඉන්නට පුළුවන් ද?

නමුත් අපට අදාළ වෙන්නේ ඒක නෙවෙයි, බුදුරජාණන් වහන්සේ මක් නිසා ද මේක වදාළේ කියන එකයි. මේක අපි පැටළුණු තැනක්. අපට හැමදාම ලස්සන කොණ්ඩයක් තියාගන්න පුළුවන් නම්, අපට හැමදාම ලස්සන නියපොතු තියාගන්න පුළුවන් නම්, අපට හැමදාම පුළුවන් නම් ලස්සනට මේ ජීවිතය පවත්වන්න ප්‍රශ්නයක් නෑ. නමුත් පින්වතුනි, අපි ජරා ජීර්ණ වෙන කාලයක් එනවා. අන්න එතකොට මේ ජීවිතය පිළිබඳ අවබෝධය අවශ්‍යයි. ඒ අවබෝධය මේ දැන් අපි මේ ජීවිතය තුළ ලබාගෙන තියෙන්න ඕන. මේ නිසා අසුභ භාවනාවේ දී අන්න ඒක උපකාර වෙනවා.

කුකුල් පිහාටුව පිච්චුවා වගේ…

බුදුරජාණන් වහන්සේ වදාළා, “නියම විදිහට අසුභ භාවනාව වැඩුවා නම්, කුකුල් පිහාටුව පිච්චුවා වගේ” කියලා. කුකුල් පිහාටුවක් අරගෙන ඉටිපන්දමකට ඇල්ලුවොත්, ඒ කුකුල් පිහාටුව ඇකිලිලා ඇකිලිලා පිච්චිලා යනවා. ඊට පස්සේ ඒක පරණ විදිහට දිගඅරින්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාළා, අසුභ භාවනාව නියම විදිහට වැඩුවොත්, එයා සම්පූර්ණයෙන් ම නිෂ්කාමී හිතක් ඇති කර ගන්නවා. එහෙම නැත්නම් එයා හොඳ උපේක්ෂාවක් දියුණු කර ගන්නවා.

සුභ සඤ්ඤාවෙන් අසුභය වැඩුවොත්…

මේ අසුභ භාවනාව සමාධියක් වඩන්න ගොඩක් ප්‍රයෝජනවත් වෙන එකක්. හැබැයි අසුභ භාවනාව වඩාගෙන යද්දි ඔබට අප්පිරියාවක් ඇතිවුණොත්, ඇත්තෙන්ම ඔබ අසුභය වඩලා නෑ. ඔබ වඩලා තියෙන්නේ සුභ සඤ්ඤාවක් ම යි. ඒ නිසා අසුභයේදී ඔබට කරන්න තියෙන්නේ මෙහෙමයි.

බුදුරජාණන් වහන්සේ ඒ සඳහා උපමාවක් පෙන්නුවා. ඔන්න දෙපැත්තෙ කට තියෙන ධාන්‍ය පුරවපු මල්ලක් තියෙනවා. එහි එක එක ධාන්‍ය වර්ග තියෙනවා. ඉතින් ඇස් පේන කෙනෙක් මේ මල්ල අරගෙන මේ ධාන්‍ය මල්ල ලිහනවා. ලිහලා මේ ධාන්‍ය ටික සේරම හළලා, ගොඩගහනවා. ‘මේවා හාල්, මේවා කඩල, මේවා මෑ, මේවා මුං ඇට, මේවා කව්පි..’ ආදී වශයෙන් ගොඩ ගහනවා.

මෙන්න මේ විදිහට යටි පතුලෙන් උඩ, කෙස් රොදෙන් යට, හමකින් ආවරණය වූ නොයෙක් ආකාරයේ කුණප කොටස් පිරුණ මේ කය දිහා අර ධාන්‍ය මල්ල ලෙහල වෙන් කර කර බලනවා වගේ නුවණැති කෙනා නිශ්ශබ්ද ව, ශාන්ත තැනකට වෙලා බලන්න පටන් ගන්නවා. එයා හිතනවා ‘මේ කයේ තියෙන කෙස් කුණප කොටසක්. මේ කයේ තියෙනවා ලොම්, මේ කයේ තියෙනවා නියපොතු….’ මේ ආදී වශයෙන් වෙන් කර කර බලනවා.

ජීවිතය සුන්දර කර ගන්න නම් අසුභය වඩන්න…

දැන් ඔබට මේකෙන් තේරුම් ගන්න පුළුවනි, බුදුරජාණන් වහන්සේ නිකෙලෙස් භාවයට පත් වුණේ කොයි විදිහට ජීවිතය දිහා බලල ද කියලා. අන්න එහෙම නම් ඔබටත් ඔබේ ජීවිතයේ නිදහස් භාවයක් ඇති බව අත්දකින්නට නම්, ජීවිතය බලන විදිහ තමයි ඒක. මොකද, ජීවිතයේ සුන්දරත්වයට පත්වෙන්නේ බැඳීමකින් නෙවෙයි. බැඳීම්වලින් නිදහස් වීමෙන් ම යි ජීවිතය සුන්දරත්වයට පත් වෙන්නේ. එහෙම නම් ජීවිතය සුන්දරත්වයට පත් වෙන්න උපකාරවන ධර්මයක් තමයි මේ කුණප කොටස් බලන එක. ඉතින් මේ විදිහට කුණප කොටස් බැලීමේ දී ඔබ තනිකරම මනසින් මවාගෙන මේක කරන්නේ. මනසින් මවාගත්තා කියලා ඔබේ ජීවිතය කඩාකප්පල් වෙන්නේ නෑ. එහෙම නම් ඔබේ ජීවිතයේ ඔබ වැසිකිළි ගිය වෙලාවට, ඔබ කැසිකිළි ගිය වෙලාවට, ඔබ මළපහ කරපු වෙලාවට, ඔබේ ජීවිතය කඩාකප්පල් වෙන්න ඕන. ඔබේ ජීවිතය එහෙම කඩාකප්පල් වෙන්නේ නෑ.

ආනාපානසතියට පෙර…

සාමාන්‍යයෙන් භාවනාව වැඩෙන්නේ නැති කෙනෙකුට වුණත්, අසුභ භාවනාව කිරීම තුළ ආනාපානසතිය කරන්න සුදුසුකම් ලැබෙනවා. ආනාපානසතිය සියලු දෙනාට ම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නෑ. සමහර අය ඉන්නවා ස්වාභාවිකව ම හොඳට සිහිය පිහිටන අය. අන්න ඒ කෙනා ආනාපානසතිය කරන්න ඕන. එහෙම නැත්නම් ඒකට ප්‍රවේශ වෙන්නට ඉස්සෙල්ල වුණත් අසුභ භාවනාව බොහොම හොඳයි. අඩුගානෙ විනාඩි විස්සක් තිහක් කෙනෙකුට කරන්න පුළුවන් නම්, එයාට ජීවිතයේ ලොකු දියුණුවක් ලබාගන්නට පුළුවන්.

– අසුභ භාවනාව –

1. මේ කයේ තිබෙන්නා වූ ‘කෙස්’ කුණු වී යන හෙයින් ද දුගඳ හමන හෙයින් ද පිළිකුල් ශරීරයක පිහිටි හෙයින් ද දිරා යන හෙයින් ද දැකීම් වශයෙන් ද ස්පර්ශ කිරීම් වශයෙන් ද සටහනින් ද පිළිකුලයි….. පිළිකුලයි….. පිළිකුලයි…..
2. ලොම්
3. නියපොතු
4. දත්
5. සම
6. මස්
7. නහර
8. ඇට
9. ඇටමිදුළු
10. වකුගඩු
11. හදවත
12. අක්මාව
13. දළබුව
14. බඩදිව
15. පෙනහලු
16. කුඩා බඩවැල
17. මහා බඩවැල
18. ආමාශය
19. අසූචි
20. හිස්මොළ
21. පිත
22. සෙම
23. සැරව
24. ලේ
25. දහදිය
26. තෙල්මන්ද
27. කඳුළු
28. වුරුණු තෙල්
29. කෙළ
30. සොටු
31. සඳමිදුළු
32. මුත්‍රා

උපුටා ගැනීම – පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ‘සිතට සුව දෙන භාවනා’ ග්‍රන්ථයෙනි