අද ලංකාවේ වෙසෙන බොහෝ දෙනෙකුට වස විස වලින් තොර විශ්වාස දායක ආහාර වෙළඳ පොලෙන් මිලදී ගැනීම අවිනිශ්චිත වී තිබේ. නොයෙකුත් රසකාරක හා කෘත්‍රිම ආදේශක වර්ග යොදාගෙන මිනිස් සිරුරට අහිතකර ආහාර නිෂ්පාදනයට බොහෝ දෙනෙකු යොමු වී තිබීම මෙයට හේතු වේ. මිනිස්කම යටකරගෙන ලාභය පමණක් සිතන මිනිසුන් ගේ පිරීහීම ට ද තවත් අතකින් මෙය හේතුවේ.

විශ්වාසදායක ලෙස ලේසියෙන්ම ගෙදරදීම අපට සදා ගතහැකි බටර් කුකීස් හදන විදිහ ගැන මේ ලිපියෙන් ඔබව දැනුවත් කිරීමට අපි උත්සහ කරන්නෙමු. මේ සඳහා විස්තර සපයා දුන් ප්‍රජාපති විජේසිංහ මහත්මියද මෙත් සිතින් පුණ්‍යානුමෝදනාපූර්වකව මතක් කර සිටිමි.

අවශ්‍ය ද්‍රව්‍ය:

බටර් ග්‍රෑම් 140 ක්
ලුණු තේ හැඳි ½
සිනි කෝප්ප ½
වැනිලා තේ හැඳි ½
පාන් පිටි ග්‍රෑම් 180 ක්

1. පළමුව මේ සඳහා අවශ්‍ය සීනි කෝප්ප 1/2 ය ග්රයින්ඩරයකට දමා පිටි වන තුරු අඹරා ගන්න. දැන් එය පසෙකින් තබා ගන්න. අපට අවශ්‍ය කරන 140g පමණ බටර් ප්‍රමාණය තරාදියකින් මැන ගන්න. කාමර උෂ්ණත්වයේ ප්‍රමාණයට බටර් වල සිසිලස අඩු වී තිබිය යුතුය. ඉක්මනින් ක්‍රීම් ගතියට ගැනීම සඳහා මෙය වඩාත් උපකාරී වේ. ගැඹුරු වැඩි භාජනයකට බටර් ටික දමා ගෙන Beater එකක් හෝ Hand beater එකක් ආධාරයෙන් හොඳට cream ගතිය එනතුරු beat කර ගන්න. මේ අතර වාරයේදී ලුණු තේ හැඳි ½ හෝ මදක් අඩුවෙන් මේ බටර් මිශ්‍රණයට එකතු කර ගන්න.

2. මෙසේ මිශ්‍ර කරන අතර වාරයේදී කලින් පවුඩර් කරගත් සීනි කෝප්ප ½ ද ටික ටික මිශ්‍ර කරන්න. Beater එක ආධාරයෙන් හොඳින් මිශ්‍ර කරන්න. දැන් වැනිලා තේ හැඳි ½ ද මෙම මිශ්‍රණයට එකතු කරමින් මිශ්‍ර කරන්න.

3. අවසාන පියවර වශයෙන් පිටි 180g ප්‍රමාණය මෙම මිශ්‍රණයට එකතු කළයුතු වේ. Beater එකේ වේගය අඩුකර සෙමෙන් සෙමෙන් බටර් මිශ්‍රණයට පාන් පිටි ටික එකතු කර ගත යුතු වේ. සම්පුර්ණයෙන්ම පිටි ටික මිශ්‍ර කිරීමෙන් පසු Beater එකෙන් හොඳට මිශ්‍ර කර ගන්න. මේ සඳහා අඩු වේගයක් භාවිතා කරන්න.

4. ඉන්පසු පිරිසිදු මතුපිටක් ඇති ලෑල්ලක් ගෙන එය මතට පාන් පිටි ටිකක් ඉස ගන්න. දැන් එම ලෑල්ල මතට සාදා ගත් මිශ්‍රණය දමා ගන්න. රොටි අනන ආකාරයට හොඳට පදම් කරමින් අනාගන්න. මිශ්‍රණය හොදට ඝන ස්වභාවයට පැමිණි පසු පසෙකින් තබා ගන්න.

පොලිතින් එකකට හෝ ලන්ච් ෂීට් එකකට පිටි ටිකක් ඉසගන්න. දැන් අප සාදා ගත් සම්පුර්ණ මිශ්‍රණය එයට දමා ඍජුකෝණාශ්‍ර හැඩයට නැතිනම් අප කඩෙන් මිලදී ගන්නා බටර් කැබලි වල හැඩයට සමාන්තරව සකසා ගන්න. මෙහිදී පොලිතින් එක භාවිතා කර මිශ්‍රණය අතේ තවරාගන්නේ නැතිව එම හැඩය සකසා ගැනීමට භාවිතා කරයි.

දැන් එම පොලිතීන් ආවරණයෙන්ම ඍජුකෝණාශ්‍ර හැඩැති මිශ්‍රණය ඔතා ගන්න. මෙහිදී මෙම හැඩය කුකීස් සෑදීමට අවශ්‍ය හැඩය කපා ගැනීමට පහසු කරවයි. දැන් එය ශීතකරණයේ තබන්න. මිශ්‍රණය හොදින් ඝන වනතුරු ශීතකරණයේ තැබිය යුතුවේ. සාමාන්‍යයෙන් පැය 5ක 6ක පමණ කාලයකින් එය ඝන වී යයි.

5. මෙසේ තද ගතිය යුතු මිශ්‍රණය ශිතකරණයෙන් ඉවතට ගෙන පොලිතින් ආවරණය ඉවත් කර ගත යුතු වේ. මෙහිදී හොඳින් කැපෙන පිහියක් භාවිතා කරන්න. අප ගත් මිශ්‍රණයේ ප්‍රමාණයට කුකීස් 12ක් පමණ කපාගත හැකිවේ.

6. ඔබගේ oven එක විනාඩි 5ක් පමණ 180°C ක් පමණ රත්කරගෙන තිබිය යුතු වේ. කේක් තැටියක් ගෙන එයට බටර් පොඩ්ඩක් ගාගන්න. දැන් එම බටර් මතට පාන්පිටි ටිකක් ඉසගන්න. මෙසේ සකසා ගත් තැටිය මතට කපාගත් කුකීස් ටික අතුරා ගන්න. මඳක් එකිනෙක අතර ඉඩ පවතින ආකාරයට අතුරා ගතයුතු වේ. ටූත් පික් එකක් ගෙන එම කුකීස් එකින් එක මදක් සිදුරු කර ගන්න. එක කුකීස් එකක් මත සිදුරු 8 හෝ 10 එන පරිදි සමාන්තරව විදගන්න. මෙය කුකීස් bake වෙන විට පිපීමට උදව් වේ.

මෙසේ සාදා ගත් කුකීස් oven එකට දමා 170°C ක පමණ උෂ්ණත්වයක විනාඩි 10ක් පමණ bake කරගන්න. ඔබට ඉක්මනින්ම රසවත් කුකීස් එකක රස විඳිය හැක. බෝතලයක දමා තබා ගැනීමටද පුළුවනි.

හවස තේ බොන වේලාවට පවුලේ අය සමඟ හෝ අමුත්තන් පැමිණි විට සංග්‍රහ කිරීමට ඔබටම සකසා ගත හැකි ඉතා කදිම රසවත් කුකීස් එකකි. ඉඩ ලැබුණු අවස්ථාවක සංඝයාටද පූජා කොට පින් රැස් කර ගන්න.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං”

“තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං”

“මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්!

ඔබේ හිතාදර

අෂාන් ඉමල්ක.