2021 වර්ෂය අවසානයේ අපි හිඳින්නෙමු. නොසිතූවිරූ විපත් එළඹීමෙන් ජීවිතය අතිශයින් දුෂ්කර විය හැකි බවත්, උපයා ගත් ධනයෙන් හෝ උගත්කමින් හෝ රූපවත් බවින් හෝ ප්‍රසිද්ධියෙන් හෝ අන් කිසිවකින් ඒ දුෂ්කරතා ඉක්මවිය නොහැකි බවත් පසක් කර දෙමින් ගෙවී ගිය ව්‍යවහාරික වර්ෂයක් බවට 2021 පත් වනු ඇත. එහෙත්, ඒ පාඩම කොපමණ කාලයක් සිහියේ පවතීවි ද?

ව්‍යසන යනු අපට නුහුරු නුපුරුදු ඒවා නොවේ. තිස් වසරක් පුරා පැවති කුරිරු ත්‍රස්තවාදී අරගලයෙන් ද කලින් කල එළඹි විමුක්ති අරගලයන්ගෙන් ද සුනාමියෙන් ද ඒ අතරමැද නියඟයෙන් ද නාය යෑම්වලින් ද ගංවතුරින් ද එළඹි විපත් පසුගිය දශක හතර පුරා අපි අත්වින්දෙමු. ඒ බොහෝ ව්‍යසනයන් හමුවේ “සසර කොතරම් දුක් සහිත ද?” යන සිහි කැඳවීම අප කරා පැමිණි නමුත් කෙටි කලකින් ම ඒ පිළිබඳ උපන් සිහිය නැසී ගිය බව අප පිළිගත යුතු ය. කොරෝනා වසංගතය හමුවේ අප රටේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් ආසාදිත බවට පත්ව මේ වන විට දාහතර දහසකට අධික පිරිසකගේ ජීවිත ද අහිමි ව තිබීම නිසාවෙන් සසර යනු රැකවරණ නැති ගමනක් ය යන සිහි කැඳවීම යළිදු සිදු කෙරෙන්නේ නමුත් එය කොපමණ කලකට අප මතකයේ රැඳී තිබේවි ද? වෙනෙකක් තබා, කොවිඩ් වසංගතයේ පැතිර යාම පාලනය කිරීමට පිළිපැදිය යුතු බවට නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මතක තිබෙන්නේ, ඒවා නිසි ලෙස පිළිපදින්නේ කීයෙන් කී දෙනා ද? මරණය සහ මාරාන්තික බව පෙනි පෙනීත් එතරම් අවදානමක් ගැනීමට තරම් නොසැලකිලිමත් වන්නවුන් කෙසේ නම් සසරක දුක් ඉක්මවීම පිණිස සැලකිලිමත් වේවි ද?

සසර පුරා පැමිණි දිගු ගමනේ දී සසර දුක ගැන කියා දෙන සම්බුද්ධ ශාසනයන් සම්මුඛ වූ අති දුර්ලභ අත්භවයන්හි දී පවා අපට සිදු වන්නට ඇත්තේ මෙය ම ය. දුක්ඛිත ස්වභාවයන් අත්විඳිනා කල්හි උපදනා සංවේදනාවන් තුළ අප තාවකාලික කලකිරීමක් උපදවා ගත්තා මිස යළි යළිත් සසර සැරිසරා යාම වනාහී දුක ම ස්පර්ශ වන කටුක, දුෂ්කර ගමනක් බව අප අවබෝධ කොට ගත්තේ නැත. එනිසා ම, අල්ප වූ ආස්වාදය සතුටින් පිළිගනිමින් අපි සසර සැරිසරා පැමිණියෙමු. මේ ජීවිතය හෝ එයින් වෙනස් වූවක් කර ගැනීමට අප උත්සාහ කළ නොයුතු ද?

අගයකින් දැක්විය නොහැකි තරමේ දුර්ලභ බවකින් යුතුව මුණගැසෙන සම්බුද්ධ ශාසනය නිර්මලව තිබිය දී ම, සත්පුරුෂයන් වහන්සේලා සම්බුද්ධ වචනය ඒ අයුරින් ම ඉස්මතු කරලමින් සිටිය දී ම, ඉපදීම සමඟ බැඳී ගත් දුක් රැසෙහි ඛේදනීය බව ප්‍රකට වෙමින් පැවතිය දී ම සසර දුක් ඉක්මවීම පිණිස සිහිනුවණ බලවත් කර ගන්නට අප නොවෙහෙසෙන්නේ නම් අප ගැන කිව යුත්තේ ජීවමාන ශාසනයක මළකඳන් කියා ය.

සසර මග සුගති සැපය ද සියලු දිව්‍ය මානුෂීය සම්පත්තීන් ද හැම දුක් කෙළවර කරලන අමා නිවන් සම්පත්තිය ද උපදවා දෙන්නේ පුණ්‍ය විපාකයන්ගෙනි. පින වනාහී නිධානයකැයි සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබේ. සසර සැරිසරා යාම වනාහි සසර ඉක්මවීම පිණිස පුණ්‍ය වාසනාවන් බලවත් නොවූවන්ගේ දුක්ඛිත ඉරණම යි. බලවත් වූ පින් ඵල උපදවා ගැනීමට අත්‍යන්තයෙන් ම ගෝචර භූමිය බවට පත් වන සම්බුද්ධ ශාසනයක් මුණගැසුණු මේ ජීවිතයේ දී අපට ඒ පොදු දුක්ඛිත ඉරණමෙන් නිදහස් වීම පිණිස දැනුදු අවස්ථාව තිබේ.

කුසලධර්මයන්හි සිතක් ඉපදවීම පවා බොහෝ උපකාරක බව බුද්ධානුශාසනාව යි. ඉදින් අපි කුසල් උපදවමින් අකුසල් නසමින් සසර දුක් ඉක්මවන ඍජු මාවතේ පියනගන්නවුන් වන්නට අලුත් වෙමු…

ඒ වෙනුවෙන් වෙනස් වෙමු…!