සුන්දර හදවත් ඇති, සුන්දර ගුණ ඇති සොඳුරු මිනිසුන් නිසා මුළු ලෝකයටම අමිල මෙහෙයක් සිදුවෙනවා. පරම සත්පුරුෂ වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම නිසා ගණනින් ප්‍රමාණ කොට කියන්නට බැරි තරම් පිරිසක් සසර දුක සම්පූර්ණයෙන්ම දුරු කොට අවිද්‍යා අන්ධකාරය විනිවිද දකින ප්‍රඥා ඇස උපදවා ගත්තා. ඒ සඳහා උන්වහන්සේ සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් ගත් වෙහෙස ප්‍රමාණ කරන්නට බෑ.

අපගේ බුදුරජාණන් වහන්සේ සිවි රජුව සිටි අවධියේ අන්ධ බ්‍රාහ්මණයෙකුගේ වේශයෙන් පැමිණි සක්දෙවිඳුන්ට (සක් දෙවිඳු බව නොදැන ම) කිසිදු පැකිලීමකින් තොරව දෙනෙත් දන් දුන් අයුරු අතිශයින් ම පුදුම සහගතයි. තමන්ට පෙනීම නැති වන බව දැන දැන ම කලින්ම දන් දෙන්ට හිත පහදවාගෙන, එක් ඇසක් ගලවපුවා ම එන තියුණු වේදනාව ඉවසාගෙන, හිතේ පැහැදීම ඒ විදිහට ම රැකගෙන දෙවෙනි ඇසත් දන් දුන්නු බෝසතාණන් වහන්සේගේ සිත ආශ්චර්යයි. ඇස් දෙකම දන් දීලා කිසිවක් නොපෙනෙන ලෝකයට ශාප නොකරමින්, ඇස් කුහරවලින් එන තියුණු වේදනාව ඉවසාගෙන, පසුතැවීම් මාත්‍රයකින් තොරව දුන් දානය ගැන පැහැදුණු සිතින් උන් අප මහා බෝසතාණන් වහන්සේ වන්දනීයයි.

මේ විදිහට අප මහා බෝසතාණන් වහන්සේ ඇස් දන් දුන්නේ එක් වතාවක් නොවෙයි. අහසේ තරු ගණනට අප මහා බෝසතාණන් වහන්සේ තම ඇස් දන් දීලා තියෙනවා. ඒ විදිහට පෙරුම් පුරලා දහම් ඇස උපදවාගත් අපගේ සම්බුදුරජාණන් වහන්සේ සසර ගමනේ කෙළවර සනිටුහන් කොට වදාළා. අන් අයට දහම් ඇස ලබා දෙන සදහම් ඔසු බුද්ධිමත් දෙව් මිනිසුන් හට දන් දී වදාළා.

මේ කියන්න යන්නේ ඒ ගැන නම් නොවයි. නමුත්, මෙතුමාත් ඇස් දන් දුන්නු කෙනෙක්. බෝසතාණන් වහන්සේ වගේ අපරිමිත ජීවිත පරිත්‍යාගයෙන් නොවුණත්, මරණින් පසු පොළොවට පස් වෙලා යන ඇස් දෙකට යළි පණක් දෙන්න මඟක් විවර කළ සොඳුරු මිනිසෙක් ගැනයි මේ කියන්න යන්නේ. බෝසතාණන් වහන්සේගේ අපරිමිත දාන පාරමිතාව පිළිබඳව සිත් පහදවාගෙන එයින් තෙදගත් මෙතුමා නමින් දේශබන්ධු……. වෛද්‍ය එෆ්. ජී. හඩ්සන් සිල්වා මැතිතුමා යි. 1929 දී, සුදු අධිරාජ්‍යවාදී සමයේ දෙසැම්බර් 18 වන දිනක උපත ලද මෙතුමා අධ්‍යාපනයට දැක්වූ සුවිශේෂී දක්ෂතා නිසා 1950 වසරේ දී වෛද්‍ය විද්‍යාලයට තේරී පත් වුණා.

ඒ විදිහට අධ්‍යාපනය ලබමින් සිටි මේ නව යොවුන් වෛද්‍ය සිසුවාට මහාචාර්ය ආර්. සුබ්‍රමනියම් මහත්මාගේ අක්ෂි සැත්කම් පිළිබඳව දේශනයකට සවන් දීමට අවස්ථාව යෙදුණා. ඒ දේශනාව අතරතුර දී ලංකාවේ අක්ෂි කුණිත (Cornea) බද්ධ කිරීම්වලින් සුවපත් කළ යුතු රෝගීන් සුවපත් කිරීමට අවශ්‍ය ඇස් ලබා ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැතිකම ගැන කියවුණා. මේ යුගයේ එල්ලුම් ගසට නියම වූ සිරකරුවන්ගෙන් පමණක් ඇස් ලබා ගැනීම සිදු වූ නිසා ලැබෙන ඇස් ප්‍රමාණය රෝගීන්ට කිසිසේත් ම ප්‍රමාණවත් වුණේ නෑ. මේ කරුණ ගැන හිත සංවේගයට පත් හඩ්සන් සිල්වා වෛද්‍ය සිසුවාට ඊට අවුරුදු කිහිපයකට පසු 1958 දී විදේශ පර්යේෂණායතනයක ඩිප්ලෝමාවක් හැදෑරීමට අවස්ථාව සැලසුණා. එහි දී වඳුරන් වැනි අහිංසක සතුන්ගේ ඇස් ලබාගෙන ඇස් බද්ධ කිරීමේ පර්යේෂණ සිද්ධ කරනු දැකීමට මෙතුමාට සිද්ධ වුණා. අනුන්ගේ දුකේ දී කම්පාවන සංවේදී හදවතක් තිබූ මෙතුමා මේ සිදුවීමෙන් බෞද්ධයෙකු වශයෙන් බොහෝ සෙයින් කම්පා වුණා.

අසිරිමත් සම්බුදු දහම ප්‍රචලිත, දන් දෙන්ට නැමුණු සිත් ඇති මිනිසුන් වසන ලංකාද්වීපයේ මේ කරුණට විසඳුමක් සෙවිය යුතු යැයි මෙතුමා අදිටන් කර ගත්තා. ඒ අධිෂ්ඨානයට පණ පොවන්නට එතුමා ‘ලංකාදීප’ පුවත්පතට ‘මළ නෙතට පණ’ මැයෙන් ලිපියක් ලිව්වා. ඒ ලිපිය 1958/01/05 දින ‘මළ ඇස්වලට පණ දෙන්නට’ යන මැයෙන් පළ වීමෙන් පසු තමන් මැරිලා පොළොවට පස් වෙන ඇස් දෙකෙන් කාට හරි පෙනීමක් ලබා දෙන්න පුළුවන් ය කියලා ලංකාවාසී බොහෝ පිරිසකට දැන ගන්න ලැබුණා. පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු බොහෝ සත්පුරුෂ මිනිස්සු තමන්ගේ මරණින් මත්තේ ඇස් දන් දෙන්න කැමැත්ත පළ කළා.

1958 වසරේ දී ම කළුතර නාගොඩ රෝහලේ වෛද්‍යවරයකු ලෙස සිය පළමු පත්වීම ලැබ සිටි මෙතුමා ඉදිරි පියවරක් වශයෙන් 1958/12/30 වන දින වස්කඩුවේ ශ්‍රී සුධර්මාරාම ධර්ම ශාලාවේ දී අක්ෂිදාන සංගමය ඇරඹීමේ මූලික පියවර තැබුවා. මේ අතර 1961 දී මෙතුමාට කොළඹ නයනා රෝහලේ දී (ජාතික අක්ෂි රෝහල) නව පත්වීමක් ලැබීම ඔහුට මහත් පිටුවහලක් වුණා. ඒ අනුව 1961/06/11 දින විධිමත් අයුරින් අක්ෂිදාන සංගමය ආරම්භ කළා.

මුල් යුගයේ දී ප්‍රමාණවත් පහසුකම් නොතිබීම නිසා මෙතුමාට ඇස් ගබඩා කිරීමට තම නිවසේ ශීතකරණය භාවිත කිරීමට සිදු වුණා. අවම පහසුකම් ගැන නොසැලුණු එතුමා සිවි ජාතකයේ දී අප මහා බෝසතාණන් වහන්සේ ඇස් දන් දුන් අයුරු සිහිපත් කරමින් තව තවත් මිනිසුන් අක්ෂිදානයට දිරිමත් කළා. ටික කාලයකින් ම ඔහුගේ අහිංසක ආයාචනයට සංවේදී වුණු මිනිසුන්ගේ දායකත්වයන් වැඩි වීම නිසා දේශීය අවශ්‍යතාවයන් ඉක්මවා අක්ෂි ලැබෙන්නට වුණා.

මේ අතර මෙතුමාට සිංගප්පූරු වෛද්‍යවරයකුගෙන් අක්ෂි ලබා දෙන ලෙස ඉල්ලීමක් ලැබුණා. සිංගප්පූරුවට විධිමත් අයුරින් අක්ෂි යැවීමට තාක්ෂණික පහසුකම් නොතිබුණත් ගෙදර තිබූ උණු වතුර බෝතලයකට අක්ෂි පහක් ඇතුළත් කොට එරටට යැවීමට මෙතුමා කාරුණික වුණා. එම අක්ෂි බද්ධ කිරීමේ සැත්කම් සාර්ථක වීමත් සමඟ BBC ලෝක සේවයෙන් මෙම සිදුවීමට ප්‍රසිද්ධියක් ලබා දුන්නා. ඒත් සමඟම ලෝකය පුරා දෙනෙත් අහිමි මිනිසුන්ට දෙනෙත් ලබාගැනීම පිණිස අනේක ඉල්ලීම් මෙතුමා කරා ගලා එන්නට පටන් ගත්තා. ඒ අනුව මේ වනවිට මෙතුමා විසින් ආරම්භ කරන ලද ‘ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය’ විසින් ලංකාවේ පමණක් මිනිසුන් 75,000ක පමණ අක්ෂි කුණිත (Cornea) බද්ධ කිරීම මඟින් පෙනීම ලබා දී තිබෙනවා. ඊට අමතරව රටවල් 57ක නගර 114ක රෝහල් සඳහා නොමිලේ ඇස් 100,000ක් පමණ ලබා දී තිබෙනවා.

මේ සියලු දෙය මෙතුමාට කළ හැකි වූයේ මෙතුමාගේ හදවතේ පිහිටි සොඳුරු අධිෂ්ඨානය නිසාවෙනුයි. ඒ අදිටන ඔහුගේ ජීවිතයට කොතරම් ප්‍රතිබද්ධ වූයේ ද කිවහොත් 1960 දී මෙතුමා විවාහ වෙද්දී මංගල කේක් ගෙඩිය ද ඇසක් හැඩයට නිර්මාණය කොට තිබුණා. මෙතුමාගේ අදිටනට මනා පිටුවහලක් වුණ සිය මව මෙතුමාගේ ඇස් දන් දීමේ මූලික අදහස මතු වුණු මුල් කාලයේ දී ම දෑස පූජා කිරීමට ඉදිරිපත් වුණා. මෙතුමා පසු කලෙක සඳහන් කොට තිබුණේ, තම මෑණියන් කළුරිය කළ පසු දෙනෙත ලබාගෙන තමන්ගේ දෑතින් ම රෝහලට ගෙන ගොස් භාර දුන් අවස්ථාවේ තම හදවතේ වචනයෙන් කිව නොහැකි ගෞරව සම්ප්‍රයුක්ත සංවේගයක් හටගත් බවයි.

1993-96 කාලයේ දී පිහිටවනු ලැබූ ‘ආසියා ශාන්තිකර කලාපයේ ආදර්ශ මිනිස් පටක බැංකුව’ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට අනුබද්ධව ලංකාවේ පිහිටුවීමටත් මූලික වශයෙන් ම මෙතුමා මැදිහත් වුණා. මෙතුමාගේ සේවය අගයනු වස් ලංකාවේ දී මෙතුමා ‘දේශබන්ධු’ සම්මානයෙන් පිදුම් ලැබුවා. නමුත් එතුමාගේ සේවය ශ්‍රී ලංකාද්වීපයට සීමා වූයේ නෑ. මෙතුමා පසුකලෙක තමන් විසින් ඇමතූ විදේශ සම්මන්ත්‍රණ ගැන මෙසේ සඳහන් කොට තිබුණා.

“ලෝකයේ රටවල් රාශියක පැවති ජාත්‍යන්තර සමුළුවල දී සිවි ජාතක කථාවේ හරයෙන් ඇස් දන් දීමේ බෝධිසත්ව ගුණාංග වඩාත්ම ප්‍රචාරය කළ පුද්ගලයා මා විය හැකි ය.”

මෙතුමා විසින් සිදුකරන ලද සේවය අගයනු වස් ඇතැම් ජාත්‍යන්තර සඟරාවල මෙතුමාව ලෝක වීරයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කොට තිබුණා. පකිස්ථානයේ ලාහෝර් නුවර ‘දොස්තර හඩ්සන් සිල්වා සිංහ ඇස් රෝහල’ (Hudson Silva Lions Eye Hospital) නමින් රෝහලක් අදටත් පවත්වාගෙන යනවා. ඒ සියලු දේ මැදින් තම ජීවිතයේ අත්විඳි සොඳුරු සතුට ගැන මෙතුමා මේ අයුරින් පවසා තිබුණා.

“විවිධ ජාතීන්ට අයත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අක්ෂිදාන සංගමය වටා සංවිධානය කිරීමට 40 වසරක් මුළුල්ලේ මා දැරූ පරිශ්‍රමයේ ප්‍රතිඵල ලොව පුරා අන්ධ රෝගීන්ට ලැබෙන සැටි දැනගැනීම මගේ මෙලෙස මෙතුමාගේ හදවතේ පිපුණු සොඳුරු පියුම බඳු වූ ‘ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය’ නිසා අදටත් රට ලෝකවාසී බොහෝ දෙනෙකුට අනේක යහපත උදා වනවා. අක්ෂි බද්ධ කිරීම්වලට අමතරව නොයෙකුත් අක්ෂි රෝගවලින් පෙළෙන්නන්ට ප්‍රතිකාර ලබා දීම මෙම සංගමය මගින් සිදුකෙරෙනවා. 1999. 10. 22 දින තම සොඳුරු මිනිස් ජීවිතයට සමු දුන් මේ අතිජාත මනුෂ්‍ය රත්නය තම ජීවිතයේ සැඳෑ සමය ගත කරමින් සිදු කළ ආයාචනය හදවත කම්පනයට පත් කරනවා.

“ලෝකයේ අන්ධ රෝගීන්ගේ අඳුරු ජීවිත ආලෝකමත් කොට ඔවුනට පිහිට සලසා දීමේ අභියෝගය භාර ගත හැක්කේ අපට බැවින් කවදා වුවත් සොහොනක දමන හෝ පසට යට කරන ඔබේ දෑස දන් දීමට ඉදිරිපත් වන්න. මගේ එක ම ආයාචනය එයයි.”

මෙයින් වසර 22කටත් පෙර දැයෙන් සමුගත් මේ සොඳුරු මිනිසාට කරන ගෞරවයක් වශයෙන් එතුමාගේ ජන්ම දිනය යෙදෙන දෙසැම්බර් 18 දින “ජාතික අක්ෂිදාන දිනය” වශයෙන් නම් කොට තිබෙනවා. ඉදින් අප සියලු දෙනා, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයෙන් කරන මහඟු සේවයෙන් රැස්වෙන සියලු පින් ද අප විසින් රැස් කළ සියලු පින් ද මෙතුමාට නුදුරු භවයක දී සියලු සසර දුක් නිමාකරවන දහම් ඇස උපදවා ගැනීමට උපකාර වේවායි ප්‍රාර්ථනා කරමු.