ශ්‍රී ලංකාව යනු මුහුදින් වට වූ දිවයිනකි. ඒ නිසා ඈත අතීතයේ සිටම මුහුදු ආහාර ශ්‍රී ලාංකික ජනයාගේ ආහාරවලට එක්කර ගැනුණි. ප්‍රවාහන පහසුකම් දියුණු වීමත් සමඟ මත්ස්‍ය ආහාර වෙරළට පමණක් සීමා නොවී රට තුළ ප්‍රචලිත වීමත් සිදු ව ඇත. එනිසා ඉස්සෝ දැල්ලෝ ආදී මත්ස්‍යයන් ද දැන් දැන් රට මැද ප්‍රධාන නගරවලින් මිලදී ගත හැක.

මෙසේ ඉස්සෝ ආදී මත්ස්‍යයන් මිලදී ගැනීමට තිබුන ද එහි මිල ගණන් සමඟ බොහෝ දෙනෙක් එදිනෙදා කෑම වේලට එකතු කර ගැනීමට අපහසුතාවයක් දක්වති. නමුත් සුවිශේෂී උත්සව ආදිය හා දානමය පුණ්‍ය අවස්ථාවලදී කෑම වේලට ඉස්සෝ ව්‍යංජනය සෑදීමට බොහෝ දෙනා ප්‍රිය කරති. නිතර සාදන්නේ නැති නිසාම බොහෝ දෙනෙකුට රසවත් ආකාරයට සාදාගැනීමට දැනුමක් නැත්තේය. ඒ නිසා මේ ලිපිය තුළින් ඉස්සෝ කන්න කැමති අයට රසවත් විදිහකට ඉස්සෝ සාදාගන්නා ආකාරය ගැන දැනුමක් ලබාදීමට උත්සාහ කරන්නෙමු.

වෙළඳ පොළේ දී ඉස්සෝ දෙවර්ගයක් මිලදී ගැනීමට ඇත. එක් වර්ගයක් නම් කලපුවල වගා කරන කලපු ඉස්සෝ ය.

නැත්නම් ටයිගර් ඉස්සා කියා ද කියයි. අනෙක් වර්ගය කිරි ඉස්සා නැත්නම් මුහුදු ඉස්සා ය. මොවුන්ගේ පැහැය සුදු පාට නිසා පහසුවෙන් හඳුනාගත හැකිය. කලපු ඉස්සා අඳුරු පැහැති පුල්ලි ගතියකින් දිස්වේ. මේ අතරින් මුහුදු ඉස්සා වඩාත් රසවත් වේ.

ඉස්සෝ 1 kg ප්‍රමාණයකට අවශ්‍යය කුළුබඩු වර්ග බලමු.

1. අමුමිරිස් කරල් 4ක් 5ක්
2. ලූනු ගෙඩි 2
3. සුදුළුණු ගෙඩි භාගයක්
4. තක්කාලි ගෙඩි 4
5. ලීක්ස් ගසක්
6. පොල් අඩලයක පොල්
7. සියඹලා ස්වල්පයක්
8. ගම්මිරිස් ඇට අහුරු භාගයක්
9. වියළි මිරිස් කරල් 10ක් පමණ
10. උළුහාල් ඇට කිහිපයක්
11. බැදපු තුනපහ සාදා ගැනීම සඳහා සූදුරු හා මහදුරු ස්වල්පයක්
12. කොත්තමල්ලි මේස හැඳි 4ක් පමණ
13. කුරුඳු හා එනසාල් ස්වල්පයක්
14. රම්පේ හා කරපිංචා
15. පොල්තෙල්
16. ලුණු රස පදමට

මුලින්ම කළ යුත්තේ ඉස්සෝ ටික හොඳට පිරිසිදු කරගැනීමය. කතාවටත් කියනවනේ ඉස්සෙක් වගේ ඔළුවෙ ජරාව තියාගන්න එපා කියලා. ඒ කියන්නේ ඉස්සාගේ හිස ප්‍රදේශයේ තමයි බහිස්‍රාවිය දේවල් එකතු වෙලා තියෙන්නෙ. එම අපිරිසිදු කොටස් මුලින්ම හිස සමඟම ඉවත්කර ගන්න. ඉතිං මේ හිස කොටස හොදින් සෝදලා තමයි චිලීපේස්ට් සෑදීමට ගන්නේ.

තමාගේ රුචිකත්වය අනුව පිට කොන්ද දිගේ තිබෙන පොතු ආවරණය තබාගැනීම හෝ ඉවත්කර ගැනීම සිදුකළ හැකිය. පොතු ඉවත් කළ ඉස්සා පිසින විට ගොඩාක් පොඩි වීමක් සිදු වෙනවා. ඒ නිසා අපි පොත්ත සමඟම හොඳින් පිරිසිදු වතුරෙන් සෝදා තමයි අපේ ව්‍යංජනය හදන්න ගන්නේ. එය පසෙකින් තබාගන්න.

දැන් අපි කළ යුත්තේ අපට අවශ්‍ය තුනපහ ටික සාදා ගැනීම යි.

මුලින්ම තාච්චියක් ගෙන වියළි මිරිස්කරල් ටික බැදගන්න ඕනි. ඒ සඳහා ලිප මත තබන තාච්චියට ගින්දර දමා මඳක් රත්කර ගන්න. නැටි ඉවත්කරන ලද මිරිස් කරල් ටික දමා ගින්දර පාලනය කරමින් මිරිස් කරල් ටික බැදගන්න ඕනි. පොල්කටු හැන්දක් හෝ ඊට සමාන හැන්දක් ගෙන නිතර මිරිස් කරල් පෙරලිය යුතුය. ගින්දර ටිකක් වැඩිකර දුම දමන විටම ගින්දර සැර අඩුකර බැදගන්න ඕනි. ඒ වගේම නැවත නැවත ගින්දර අඩු වැඩි කර මඳක් කළු පැහැ වන තුරු බැදගන්න ඕනි. මෙසේ හොඳින් බැදුනු මිරිස් කරල් ටික පැත්තකින් තබාගෙන නිවෙන්නට අරින්න.

ඊළඟට මේ තාච්චියට ම ගම්මිරිස් ඇට දමා ඉහත ආකාරයට ම හොඳින් බැදගෙන පසෙකින් තබාගන්න.

ගම්මිරිස් ටික බැදගත් පසු එම තාච්චියේ ම බැදපු තුනපහ සාදාගත හැක. මෙ⁣හිදී සූදුරු, මහදුරු, කොත්තමල්ලි, අබ ආදිය වෙන වෙනම හෝ එකටම බැදගත හැකිය. වඩා පහසු ක්‍රමය නම් එකටම බැද ගැනීමය. ඒ සඳහා මුලින්ම තාච්චියට කුරුඳු පොතු කෑල්ලක් දමන්න. ඉන්පසු එනසාල් ඇට 5-6ක් පමණ දමා මඳක් බැද ගන්න. ඉන්පසු එයටම කොත්තමල්ලි ඇට දමා බැදගත හැකිය. එයත් හොඳින් බැදගත් පසු එම මිශ්‍රණයට ම සූදුරු හා මහදුරු එක්කළ හැකිය. සූදුරු හා මහදුරු ඉක්මනින් බැදෙන නිසා වැඩිවෙලා ලිප මත මෙම මිශ්‍රණය තබාගත නොහැක. සූදුරු මහදුරු කළු වීමට පෙර තාච්චියෙන් බාගෙන වෙනත් භාජනයකට දමා ගන්න.

ඊළඟට ගාගත් පොල් ටික තාච්චියට දමා බැදගන්න ඕනි. එයටම සෝදාගත් කරපිංචා සහ සෝදා සිහින්ව කපාගත් රම්පේ තමාගේ රුචිකත්වය පරිදි දමා බැදගත හැකිය. කලින් ආකාරයට ම ගින්දර අඩු වැඩි කරමින් හොඳින් බැදගන්න. හොඳින් බැදුනු පසු වෙනත් භාජනයකට දමන්න.

මෙසේ බැදගත් සියලුම දේවල් ටික බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳට කුඩු කරගන්න. මිරිස් ගලේ වුනත් අඹරා ගන්න පුළුවන්. පොල් ටික අඹරා ගන්නාවිට මඳක් වතුර එක්කර ගැනීමට සිදුවේ. මෙසේ අඹරා ගන්නා ලද මිරිස්, ගම්මිරිස්, බැදපු තුනපහ හා බැදගත් පොල් මිශ්‍රණය ටිකක් විශාල භාජනයකට දමා මිශ්‍ර කර ගන්න.

තක්කාලි ගෙඩි 4 පමණ ගෙන බ්ලෙන්ඩරය ආධාරයෙන් පල්පයක් විදිහට බ්ලෙන්ඩර් කරගන්න. දැන් එම තක්කාලි ඉස්ම ටික තුනපහ දැමූ භාජනයට දමා හොඳින් මිශ්‍ර කර ගන්න. එයට ම අපි කලින් පිරිසිදු කරගත් ඉස්සෝ ටිකක් දමා හොඳට පදම් වෙන්න තබන්න. අවශ්‍ය නම් ලුණු ද දමන්න.

අමුමිරිස් ටික ද සෝදා ගන්න. එය සිහින්ව කපා ගන්න. බී ලූනු හා සුදුලූනුවල පොතු ඉවත් කර සිහින්ව කපා ගන්න. ලීක්ස් ගස ද ගෙන හොඳින් සෝදා සිහින්ව එයත් කපා ගන්න.

දැන් ලිප මත තාච්චියක් තබාගෙන පොල්තෙල් ටිකක් දමන්න. ලිපෙහි ගින්දර මදක් වැඩිකර තෙල්ටික හොඳින් රත්කර ගන්න. තෙල් රත් වූ පසු ගින්දර මඳක් අඩුකර කපාගත් අමුමිරිස්, බී ලූනු, සුදුලූනු හා ලීක්ස් ටික වෙන වෙනම තෙලෙන් බැද ගන්න. මෙහිදී අවශ්‍ය පරිදි පොල්තෙල් යොදාගන්න. අමුමිරිස්, බී ලූනු, සුදුලූනු හා ලීක්ස් ටික බැදගත් පසු වෙනත් භාජනවලට දමමින් මඳක් සිසිල් වෙන්න ඉඩහරින්න. ඉන්පසු ඒවාද බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොඳට බ්ලෙන්ඩර් කරගන්න. බ්ලෙන්ඩර් කරගත් මිශ්‍රණය පසෙකින් තබාගන්න.

දැන් ඉස්සෝ ව්‍යංජනය සෑදීමට සරිලන මැටි හට්ටියක් හෝ තාච්චියක් ගෙන ලිප මත තබාගන්න. එයට පොල්තෙල් ස්වල්පයක් දමා තෙල් රත් වූ පසු උළුහාල් ඇට කිහිපයක් දමන්න. උළුහාල් ටික මඳක් බැදෙන විට බී ලූනු සහිත මිශ්‍රණය එයට දමන්න. සියඹලා ටිකත් දමන්න. ටික ටික එක්කර හොඳින් කලවම් කරන්න. ඉන්පසු ඉස්සෝ මිශ්‍රණය පරිස්සමින් ලිප මත ඇති භාජනයට එක්කරන්න. එයත් හොඳින් මිශ්‍ර කරන්න. අවශ්‍ය නම් ජලය එක්කළ හැක. ගින්දර දමමින් හොඳට පිසගන්න. ටිකෙන් ටික ඉස්සෝ රතු පැහැ වෙනවා දැකගත හැක. මෙසේ හොඳින් පිස ගන්නා ඉස්සෝ ව්‍යංජනයට ඔබේ රස ප්‍රමාණයට ලුණු බලා එක්කර ගන්න. සීනි ටිකක් ද දැම්මොත් තවත් රස වැඩි වේ. සීනි එක්කළ යුත්තේ හොඳින් ඉස්සෝ පිසුණු පසුය.

සාමාන්‍යයෙන් පැය 1/2 ක පමණ කාලයකදී හොඳින් පිසගත හැකිය. මේ ආකාරයට ඉස්සෝ ව්‍යංජනයක රස බැලුවොත් ඔබට නැවත හදන්න ඕනෑ වෙනවාම යි. ඉතිං ඔබත් අවස්ථාවක් ලැබුනොත් පවුලේ අයට සාදා දෙන්න. උත්සව අවස්ථාවකට ඉතා කදිමය. දහවල් දානයකට පොල්සම්බෝල සමඟ මේ ඉස්සෝ ව්‍යංජනය පමණක් වුවත් සෑහේ. ප්‍රණීත දේ දන් දී බොහෝ පින් රැස්කරගත හැකිය.

“දත්වා ච භුත්වා ච යථානුභාවං
අනින්දිතෝ සග්ගමුපේති ඨානං”

“තමාගේ ශක්ති පරිදි ප්‍රණීත දන් දී, ප්‍රණීත ආහාර තමාත් අනුභව කොට නින්දා රහිත සුගතියෙහි උපදී”

“මනාපදායී ලභතේ මනාපං”

“මනාප දේ දෙන්නා මනාප දේ ලබයි” යනු බුදු වදන් ය. ඒ අනුව බලන විට ආහාරයට ගැරහීම නුසුදුසු ය.

ඔබට ජය ශ්‍රී. සුභ දවසක්! ඔබේ හිතාදර

අෂාන් ඉමල්ක