දවසේ රාජකාරි කටයුතු නිසා ඇතිවූ තෙහෙට්ටුවත්, මගේ පාලනයෙන් තොරව හිතුවක්කාර ලෙසට සිතට එන සිතුවිලිත් නිසා මා තුළ ඇත්තේ බොහෝ වෙහෙසකර බවකි. දෑස් පියාගත් කල කිසියම් සහනයක් දැනෙන්නට වුවද ජීවිතය පිළිබඳ මගේ සෘණාත්මක ආකල්ප කෙසේවත් මසිතෙන් බැහැර නොවුණි. මට ජීවත්වෙන්නට තරම් ආශාවක් හෝ මියැදෙන්නට තරම් හැකියාවක් නොවිණි. එසේ නම් මවිසින් කළ යුතුව ඇත්තේ විඳවීම ද නොදනිතත් මා කරමින් සිටින්නේ එය බව මම දනිමි.

රෝගීන් බැලීම පිණිස ඥාතීන්ට වෙන්කර තිබූ කාලය අවසන් වීමත් රෝගීන් බොහෝ දෙනෙකු කෑම කා නින්දට වැටී සිටින නිසාත් වාට්ටුව තුළ කිසියම් නිහඬතාවක් විණිද අතරින් පතර නැගෙන කෙඳිරිලි හඬවල් සුසුම් හෙලීම් මගේ සිතුවිලි වඩ වඩාත් අවදි කරන්නේ විය.

මම සෙමෙන් දෑස් ඇර බැලුවෙමි. දෑස පුරාවට ම දකින්නට ලැබෙන්නේ මරණය අභියස අසරණව සිටිනා මිනිසුන් පමණකි. ළඟ ළඟ මරණය පැමිණෙන බව දන්නා ඔවුන් අතරින් බොහෝ දෙනෙකු තුළ ඇත්තේ ජීවත් වීම පිළිබඳ වියළී ගිය අපේක්ෂාවකි. තෘප්ත කර ගත නොහැකි වූ බලාපොරොත්තු නිසා හටගත් දොම්නස් හැඟීම් ය. හිස් ආකාශය දෙස හෝ සිවිලිම දෙස බලාගෙන ඔවුන් කුමක් කරන්නේදැයි මම නොදනිතත් කිසිවෙකුත් අල්පමාත්‍ර හෝ සතුටකින් පසු නොවන බව මම ඉඳුරාම දනිමි. සිනාවක් සතුටක් නොමැති මේ වටපිටාව මට තිත්තය. තිත්තම තිත්තය.

මේ දුක විඳින්නේ දෑස පමණක් ම නොවේ. කන ද මේ දුක විඳී. ඇසෙතොත් ඇසෙන්නේ ජීවිතය ඉල්ලා කරන ආයාචනාවන් ය. නැතහොත් මියැදෙන්නට නොහැකි බව කියමින් නගන අඳෝනාවන් ය.

නොවන්නේ නම් වේදනාව දරා ගන්නට උත්සහ කරමින් නැගෙන කෙඳිරිලි හඬවල් ය. ඒ කිසිවක් නොවන්නේ නම් වේදනා නාශක හෝ මියැදීමට වස ටිකක් ඉල්ලා කරන බැණ වැදීම් ය. පිළිකා වාට්ටුවල ඇති මෙම ස්වභාවය සැබවින් ම බාහිර කෙනෙකුට තේරුම් ගැනීම පහසු නැත.

“මේ නරා වළෙන් ගොඩ යන්න නම් හොඳට ඉගෙන ගනිං. දොස්තර විභාගෙ පාස් කරගත්තොත් හරි” මා ඉගෙන ගන්නා අවදියේ මාව දිරිමත් කිරීමට අම්මා නිතර නිතර පැවසුවාය. අම්මා අදටත් සිතන්නේ දොස්තර රස්සාව යනු මහා සැප සතුට ලබා දෙන හාස්කමක් ලෙසිනි.

“තාත්තා ඉන්න ඕනි කාලෙදියි නැති වුණේ. පුතේ, තාත්ත හැමදාම සැප සතුට අහිමි වුණ කෙනෙක්. උඹලා පුංචි කාලෙදි හොඳට ම දුක් වින්දා” ළඟකදී අම්මා එසේ පැවසුවාය. අම්මා සිතන්නේ සැප සතුට යනු හොඳ රස්සාවක්, තට්ටු නිවාසයක් හොඳ වාහනයක් දූ දරුවන් ඇති පවුල් ජීවිතයක් කියාය.

“අපි දුක් විඳපු කාලේ ඉවරයි” අම්මා ගමේ ඥාතියෙකුට දුරකථනයෙන් පවසනු මම දිනක් අසා සිටියෙමි. එය සත්‍යයක් නොවිණි. වාට්ටුව පුරා පැතිරෙන ක්ලෝරීන් ගඳට මුහුවුණ සැර බෙහෙත් ගඳත් රෝගීන් වෙතින් නැගෙන අපිරිසිදු ගඳත් නාස්පුඩු හකුළුවයි. නිවසට ගිය ද බොහෝ වෙලාවක් මට දැනෙන්නේ ඒ ගඳය. නම්බුවත් මුදලුත් නිසා මා විඳින දුක දන්නේ මා පමණකි. වෙලාවකට කෑම එක කාපු දිනයක් සේවා කාලයේ තවම නැත. කෑම එක ලිහා ගන්නා හැමදාම එය සීතලව ගොස් රසය වෙනස් වී ඇති බවය ඇත්ත. මේ වටපිටාව තුළ කයට දැනෙන දේද මිහිරි නොවේ. සියල්ලට ම වඩා පීඩාකාරී වන්නේ සිතට පිවිසෙන සිතුවිලි ය.

“මට සනීප වුන ගමන් මම ඉක්මනට කසාද බඳිනවා. බැඳලා මුලින් ම ඩොක්ටර්ව බලන්නත් එනවා.” විසිඅට හැවිරිදි තරුණයෙකු මාස කිහිපයකට පෙර මා සමඟ ඔහුගේ අවංක අදහස පැවසුවේ එලෙසිනි. ඔහු ජීවත් වූයේ එයින් පසු සති තුනක් පමණි. මහා බලාපොරොත්තු ගොන්නක් සමඟය ඔහු මරු තුරුළට ගියේ. ආශාව ඔහු සමඟ විය.

“තොපි එකෙක්වත් මාව බලන්න එන්නේ නැහැ. මං මැරිල ගිය දවසකදි හරි තොපෙන් පළිගන්නවා” එක් …රෝගියෙක් දුරකථනයෙන් ………බැණ …..වැදුණේ තම ……දරුවන්ට ය.

ඊට දින දෙකකට පසුව ඔහුගේ මරණය සිදු විය. ඔහුගේ අවසන් ඉල්ලීම වූයේ මළමිනිය ඥාතීන්ට භාර නොදී රජයෙන් වළ දමන ලෙසට ය. ඔහු මිය ගියේ තරහිනි. ද්වේශයෙනි.

අන්‍යාගමික රෝගීන් බොහෝවිට දවස පුරාවට ම කරන්නේ තමන් අදහන දෙවියන්ගෙන් තමාව සුවපත් කර දෙන ලෙස ඉල්ලා සිටීම ය. සුගතිය ඒකාන්ත වශයෙන් ලැබෙතැයි සිතන ඔවුන් මරණය ඉදිරියේ ජීවිතය ඉල්ලා සිටිනයුරු දකිද්දීත් මසිත උපදින්නේ අනුකම්පාවකි. වරෙක එය මගේ සරදමට ද හේතු විය.

“ඉතින් ඉක්මනට දෙවියන් අතරට ගිහින් සැප විඳින එක හොඳ නැද්ද මේ විදිහට විඳවනවාට වඩා” මම ඇසුවා නොව එය මවෙතින් ඇසුණි.

“ඒක ඇත්ත, ඒත් මම මැරෙන්න බයයි මහත්තයා” ඔහු පිළිතුරු දුන්නේ දැඩි අසරණ බවකිනි. ඔහු උපන් මුලාවෙන් ම මරණයට පත් වූයේ කිසිඳු හසරක් නොමැතිව ය. මරණයට පත්වන එක් අයෙක් නොව සියයක් දහසක් ලක්ෂයක් නොව කෝටි සිය ගණනක් මිනිසුන් ……… අහෝ පිළිසරණක් නොලබාම මිය යන්නමෝ නොවේද? ලොව ගැන තිබේවා මේ මොහොතේ මා මිය ගියහොත් ……
“ඩොක්ටර් බර කල්පනාවක. ලන්ච් එක ගත්ත ද” සහයක හෙදියක් මා අසලට පැමිණ පැවසුවාය. මම කල්පනාවෙන් මිදුනේ සෙමිනි.

“ආ මේකත් කියවන්න. ඩොක්ටර් මේව ගැන තරමක් උනන්දු නිසයි මං අරන් තිබ්බේ” ඕ කුඩා සටහන් පොතක් මවෙත දිගුකරමින් පැවසුවාය.
ඈ වෙතින් පොත ගත්තේ වුවද මසිත උනන්දුවක් ඒ කෙරේ නොවිණි.

“විසිවෙනි ඇඳේ හිටිය පේෂන්ට් අද අයි. සී. යූ. එකේදී මැරිලා. අයි. සී. යූ. දාද්දි කොට්ටෙ යට තිබිලයි මේක හම්බ වුණේ. පුදුම විස්තරයක් තියෙනවා කියවල බලන්න” යි කියූ හෙදිය සිනාසී මා අසලින් ඉවත් වුවාය. මසිත පොත කියවන්නට තරම් ආශාවක් නොවිණි ද මම එකින් එක පිටු පෙරළන්නට වීමි.

“මේ මගේ ජිවිතයේ අලුත් යුගයක සත්‍ය කථාවයි. සැබවින් ම මා මේ ලියන්නේ මගේ සිතෙහි ප්‍රීතිය රඳවා ගැනීම පිණිසත් ජීවිතයට මුහුණ දීමට ශක්තිය උපදවා ගැනීම පිණිසත් මිස මා පිළිබඳ ව ඔබට දැනගැනීමට නොවේ. මට එය වැදගත් නැත. මන්ද මා පිළිබඳව මමත් ලෝකපාලක දෙවියනුත් දන්නා නිසාවෙනි” ඔහු සටහන ආරම්භයේදී එසේ ලියා තිබිණි. ඉන්පසු තොරතුරු ඇත්තේ දින සටහන් වශයෙනි. කිසියම් අමුත්තක් දැනුනෙන් මම එය කියවන්නට සිතුවෙමි.

2015 සැප්තැම්බර් 26

“හැමදාම වගේ අදත් මම ලස්සනට මල් මාලයක් ගොතල දෙවියන්ට පළන්දල ගමේ හැමෝට ම යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කෙරුවා. මම දෙවියන්ව තදින් ම විශ්වාස කරනවා. මිනිස්සු දුක් විඳිනවා පුදුම විදියට. දවසක දෙවියන් ඒ අය දිහා බලාවි. මේ මම හිතපු විදිහ.

ටික වෙලාවකට පස්සේදී වීදුරු අඳුරු කරපු වෑන් එකක් කඩේ ඉස්සරහ නැවැත්තුවා. වාහනෙන් බැහැල ආව මහත්තය කලබලයෙන් වගේ හැසිරුනේ.

“පිච්ච පොට්ටු ගෝනියක් කීයද?” මහත්තය කලබලයෙන් අහපු විදිහට අනිවාර්යයෙන් ම සිද්ධවෙන විශාල ගනුදෙනුවක් බව මට ඉබේට ම තේරුණා.

“දෙදහස් පන්සීයයි. උදේම නිසා දෙදහස් තුන්සීයක් දෙන්න.” මම ඇත්තට ම රුපියල් තුන්සීයක් වැඩිපුර ගණනක් එකතු කරලයි ගාන කිව්වේ. මහත්තය එක පාරට ම පර්ස් එක අරගෙන සල්ලි ගණන් කරන ගමන් “බෑග් දහයක් ඉක්මනට වාහනයට දාන්න.” යි කිව්වම මාව පුදුම වුණා.

“මහත්තය මං ළඟ තියෙන්නේ අටයි. ටිකක් ප්‍රමාද වෙන්න පුළුවනිනම් ඉතිරි දෙක ගෙනත් දෙන්නම්.” මම කිව්වේ ලාභය ගැන හිතලමයි. එතකොට වාහනයෙන් බැහැල ආවේ සාධු කෙනෙක්.

“ස්වාමින් වහන්ස, බෑග් අටයිනෙ තියෙන්නේ” මහත්තය සාධුට කිව්ව.

“ඒක ගන්න පරක්කු වෙන්න බැහැ.”

“සාධුට ද මල්”

“එහෙමයි මුදලාලි, බුදුරජාණන් වහන්සේගෙ සෑයකට පුජා කරන්න”

සාධු එහෙම කිව්වහම මගේ හිතට මොකද්ද අමුත්තක් දැනුණා.

මගේ ඇඟම සීතල වෙලා නිවිල ගියා කිව්වොත් තමයි හරිම විදිය.

“සල්ලි එපා මහත්තය, මල් ටික වාහනේට දාමු.” මට එකපාරට ම කියවුණා.

“ඇයි මුදලාලි සල්ලි ගන්න.” සාධු කිව්වේ හිනා වෙලා.

“බුදුන්ට පුජා කරන්න සාධු ගන්න මල්වලට මට සල්ලි ගන්න බෑ.” සාධු පෙරැත්ත කෙරුවත් මම සල්ලි ගත්තෙ නැහැ.

මල් ටිකත් අරගෙන වාහනේ පිටත් වෙලා ගියාම මට දැනුනේ පුදුම තරමේ සැහැල්ලුවක් සතුටක්. එහෙම දෙයක් මම කවදාවත් අත් විඳල තිබුනෙ නැහැ.

සතියක් ගෙවිල ගියත් මගේ හිතේ ඒ මිහිරියාව තවම එහෙමයි. ඒ මල් අරන් ගිය මහත්තය අද හවස මාව මුණගැහෙන්න ආව.

“ස්වාමින් වහන්සෙ මේක මුදලාලිට දෙන්න කිව්ව” විශාල බඩු පාර්සලයක් දිගු කරමින් මහත්තයා කිව්ව. ගැනීමේ සිතක් මට ඇති නොවුණත් මම ඒක භාර ගත්තෙ අන්තිමට ආපසු දෙන අදහසින්. මම අවංකව ම කරපු දේ හෑල්ලු කර ගන්න මගේ හිතේ කැමැත්තක් ඇති වුනේ නැහැ.

“මුදලාලි ගොඩක් විශාල පිනක් කර ගත්තෙ. මෙන්න බලන්න ඒ මල්වලින් කරපු සැරසිලි පුජාව.”

මම මහත්තයගෙ ෆෝන් එකට එබුණ. ඒක හරිම පුදුමයි. පුදුම ලස්සන මල් සැරසිල්ලක්. උඩරට මල් අතරට පිච්ච පොට්ටුවලින් කරපු මල් මාල දාල තිබුනේ. මගේ හිතේ සතුට දෙගුණ තෙගුණ වුණා.

“ඔය මහියංගණ සෑය. බුදුරජාණන් වහන්සෙ මුලින් ම ලංකාවට වැඩිය තැන. ඔතනදි තමයි මිසදිටු යක්ෂයින්ව පලවා හැරල මේ රට මනුස්ස වාසයට සුදුසු තැනක් කෙරුවෙ.”

මම දෑත් එක්කොට වැන්දා. කිසියම් බලවත් සිතුවිල්ලක් විසින් මාව ක්‍රියාත්මක වෙන බව මට සිතුණ.

“මේ බණ පටි ටිකත් දෙන්න කිව්වා. සිංහල කියවන්න බැරි නිසා බණ පොත් තිබුණත් අරගෙන ආවෙ නැහැ.”

“මම ගියේ සිංහල ඉස්කෝලෙකට. මට දෙමළ තමයි බැරි” මම සිනාසී කී කල මහත්තය තුළ වූයේ පසුතැවිල්ලක්.

“දවසක එහෙ එන්න” මහත්තය මට ලිපිනයත් පාරත් ලියා දුන්නා. ඔහු යන්ට පිටත් වෙද්දි මම පාර්සලය ඔහුට දිගු කළා.

“සාධුට කියන්න මේ කිසිදෙයක් වෙනුවෙන් නෙවෙයි මං මල් දුන්නෙ කියල.”

“ඇත්තම කියන්නම් මුදලාලි. ඉතිරි බෑග් දෙක එදා ගත්තෙ අපේ කෙනෙක්ගෙන්. එයා රුපියල් පන්දාහක් ගත්ත. ස්වාමින් වහන්සෙ මුදලාලි ගැන පැහැදිලයි මාව මේ එව්වෙ.”

තවත් දින හතරක් ගෙවිණි. ඒ රාත්‍රී කිහිපය මට දිගු වූයේ මම එක දිගටම බණ ඇසූ නිසාවෙනි. හැමදෙයක් ම මට පැහැදිලි නොවුණත් අසා සිටීමේ බලවත් ඇල්මක් මසිත ඉපදී ඇත. සරෝජිනීගෙන් ද විරුද්ධත්වයක් නොවිණි. නැන්දම්මා නම් සිටින්නේ බලවත් කෝපයෙනි.

මම අද ස්වාමින් වහන්සේ මුණ ගැසීමට ගියෙමි. පැය හතරක් පමණ අප අතර කථාබහ පැවතුණි. මම දෙවරක් නොසිතා ම අවසානයේ බුදුරජාණන් වහන්සේ සරණ ගියෙමි. සිල් සමාදන් වුණෙමි. මම ද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකු යැයි සිතෙත් ම
දැනෙන සතුට මට ලිවිය නොහැක.

දින ගෙවිල යන්නේ වේගයෙන්. මම ඊට ආශා නොකරමි. මේ සතුට විඳින්නට දවස තව තවත් දිගු වන්නේ නම් නොවේද වඩා හොඳ.

ලොතරැයි වෙළෙන්දා කොතෙක් ඇවිටිලි කළ ද ලොතරැයි ගැනීමේ සිතක් දැන් මට නැත.

“මම මේ සූදුව නවත්තල දැම්ම” ඔහුගෙන් බේරෙන්න බැරිම තැන මම කීවෙමි. ඉස්සර මම දවසකට ලොතරැයි විසි පහක් පමණ මිලට ගත්තෙමි. ලැබූ සැලකිය යුතු දිනුමක් නොවිණි.

“ඇයි මොකද එක පාරටම”

“මේක සූදුවක්. මම ඒ සල්ලි එකතු කරලා සංඝයාට ටොෆියක් බිස්කට් එකක් අරන් පූජා කර ගන්නව. ඒක අපතෙ යන්නෙ නැහැ කවදාවත්.” තංගන් ගියේ තරහිනි.

මට විරුද්ධව පළමු වෙඩි මුරය තංගන් විසින් පසුදා ගමේ පත්තු කර තිබුණි. ආගම මාරු කිරීම සම්බන්ධයෙන් ගමේ කිහිප දෙනෙක් මට කඩේට ඇවිත් බැණ වැදුණි. මම සිනාසුනා පමණකි. ගමේ උන් ඕනෑ තරම් ක්‍රිස්තියානි වී ඇත.

ඊට තුන්වන දිනයේ නැන්දම්මා අපේ ගෙදරින් පිටව ගියාය. මම යක්ෂයාගේ පිළිමයක් ගෙදරට ගෙනා බවත් එවේලේ සිට ඇයගේ ඇඟ දැවිල්ල බවත් යන්නට පෙර ඇය සරෝජිනීට පවසා තිබුණාය.

මම බුදු පිළිමයට පෙරටත් වඩා භක්තියෙන් වන්දනාමාන කළෙමි. දරුවන් ද මා සමඟ එකතු වූ මුත් සරෝජිනී එකතු නොවුණාය. මම ඇයට බල නොකළෙමි.

පසුදා රාත්‍රියේ දේවාලයේ ස්වාමිත් සරෝජිනීගේ මල්ලි රාජනුත් මෙහෙ ඇවිත් මට තර්ජනය කෙරුවේ දැඩි කේන්තියෙනි.

“උඹේ මල් කඩේ වහන්න වෙයි”.

“මං කොහොමත් ඒක අත් හරින්නයි හිටියෙ. බොරු කියලා සල්ලි හොයන්න මං කොහොමත් කැමති නැහැ” මම ස්වාමිට කීවෙමි. ඔහු කේන්තියෙන් මදෙස බලා සිටියේ මට පහර දීමට නොහැකි නිසාය.

“උඹ මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ”

රාජන් මට පළමු වරට උඹ යනුවෙන් ආමන්ත්‍රණය කොට ඇසුවේය.

“මම රස්සාවක් හොයාගන්නවා. ඔයා කඩේ කරගෙන යන්න. මට කීයක්වත් එපා.” රාජන් එක්වරම ඊට කැමති විය. මම තීන්ත ගාන්න පටන් ගත්තෙමි. ස්වාමිව උසිගන්වා රැගෙන ආවේ රාජන් බව මම පසුව දැන ගතිමි.

සරෝජිනීගේ කැමත්ත ද ඇතිව මම ස්වාමින් වහන්සේලා අට නමක් ගෙදරට වැඩමවා දානයක් පූජා කළෙමි. ගමේ ගෙවල් කීපයකින් ද ඊට සහභාගි විය. රාජන් ද රුපියල් තිස් දහසක් ඒ වෙනුවෙන් වියදම් කිරීමට මට දුන්නේය. මුදල මම අතට ගත්තේ ඔහුට ද පින පෑදේවා යන අදහසින් පමණි. නැන්දම්මා ගමේ ගෙයක් ගෙයක් ගානේ මට බැණ වැදී තිබුණි.

දානයට පසුදින සරෝජිනී අසනීප විය. මායම් වූ ඇය කෙළත් සෙමත් පෙරාගෙන හිස වනමින් සිටියාය. කිසිදු වචනයක් ද නොකිව්වාය.

මෙවර මුළු ගමම මට විරුද්ධව නැගී සිටියේ විය. “ඕක අත ඇරපන්. මේ කෙල්ල මැරෙන්න යන්නෙ” මාමණ්ඩි මට තර්ජනාත්මකව පැවසුවේය.

“අදම අතෑරපන් වැඩ වරද්ද ගන්නැතිව” සරෝජිනීගේ මස්සිනා කෙනෙකු වු මහේෂ් මගේ කමිස කොලරයෙන් ඇද කීවේය. මම ඔහුව ගසා දැම්මේය.

“අයියා එහෙම කරන්න. අක්කා මැරෙන්නයි යන්නෙ” රාජන් ද කීවේ අමනාපයෙනි.

“එයාට මොකුත් වෙන්නෑ. ඒක මම බලාගන්නම් ” මම වගකීමෙන් කීවෙමි. කිසිවෙක් මගේ වචන පිළිගත්තේ නැත.

“මේක තමයි ගමේම තීරණය උඹව ගමෙනුත් පන්නනවා.” මහේෂ් ආයෙම මට සමීපව කීවේය.

“සරෝජිනී මගෙ ගෑනි. කවද හරි එයා මැරෙනව තමයි. මැරෙන කෙනෙක් වෙනුවෙන් මම බුදුරජාණන් වහන්සේව අත හරින්නෙ නැහැ. ඔයාල ඔක්කොම එකතු වෙලා වුනත් කියන්නෙ වැරදි දෙයක් නම් මං ඒක පිළිගන්නෙ නැහැ. ඇත්ත කියන්නෙ එක් කෙනෙක් නම් මම පිළිගන්නෙ ඒ එක ඇත්ත කියන කෙනාව”යි කියු මම ගෙයි දොර වසා දැම්මෙමි. කිහිප දෙනෙකු දොරට ගැසූහ. ටික වෙලාවකින් ඔවුන් පිටත්ව ගිය බව පැහැදිලි විය.

පසුවදා මම ස්වාමින් වහන්සේගෙන් අසා දැනගත් ආකාරයට පිරිත් පොත ගෙන සරෝජිනීට පිරිත් කීවෙමි. මාව ද පුදුමයට පත්කරවමින් ඕ සුවපත් වූවාය. පසුදා ඇය ද මා සමඟ ගොස් බුදුරජාණන් වහන්සේව සරණ ගියාය. මට තිබූ විශාල බරක් සැහැල්ලු විය. වාසනාව පිරී ඉතිරේයැ යි මට සිතේ.

මම ආමාශගත පිළිකා රෝගියෙකු බව දැන ගත්තේ ඊට මාස පහකට පසුවය. ඉනික්බිති ජීවිතය පහසු නොවිණි. කිසිවෙකු අපේ උදව්වට පැමිණියේ ද නැත. එහෙත් බුදුරජාණන් වහන්සේත්, ධර්මයත්, සංඝයාත් අපත් සමඟ සිටින බව මට පැහැදිලිව දැනෙන්නට විය. එහෙයින් මම දුබලයෙකු නොවුණෙමි.

මා පිළිකා රෝගියෙකු බව දැනගත් මොහොතේ මගේ මතකයට පැමිණියේ මරණය නොව බුදුරජාණන් වහන්සේව ය. උපන් සත්ත්වයා මරණය ඒකාන්තයෙන් ම උරුමකරගෙන සිටින්නේය යන ධර්මය ය. ඒ ධර්මය පුරුදුකොට මරණයෙන් නිදහස් වූ රහතුන්ව ය.

“අපිව අත හැරලා ඔයා ළඟදීම යන්න යාවි.” යි දිනෙක සරෝජිනී පැවසුවේ ශෝකයෙනි.

“ඔයාලගේ ආරක්ෂාවට තිසරණය තියෙනව. සුරේෂ්ට දැන් රස්සාවක් කරන්න පුළුවන්නෙ. එයා ඔයාලව බලා ගනීවි.”

“ඔයාට මැරෙන්න බය නැද්ද” මට සිනා ආවේ සරෝජිනී ඇසු දෙයට නොව ඇසූ ආකාරයට ය.

“මට මේ ශරීරය ගැන ආශාවක් නැහැ. මේ ලෝකේ මට අයිතිකරගන්න දෙයකුත් නැහැ. පොඩි කාලෙකදී උනත් මම ලොකු පින් කර ගත්ත. පව් කළේ නැහැ. මම බුදුරජාණන් වහන්සෙ සරණ ගියේ ඇත්තටම. මගේ ඊළඟ උපත ගැන මම දන්නවා. ඉතින් මොකටද මං බය වෙන්නේ” යි මම කීවෙමි.

ඇත්තටම මම මගේ දෑතින් මල්මාල ගොතා බෝධීන් වහන්සේට පළඳවා ඒ දෙස බොහෝ වෙලාවක් බලා සිට ඇත්තෙමි. චෛත්‍යය දෙස, සංඝයා දෙස බලා සිටියෙමි. නිතර නිතර බණ ඇසුවෙමි. පිරිත් කීවෙමි. ධර්මය පිළිබඳ සාකච්ඡා කළෙමි. සිත ආරක්ෂා කර ගතිමි. බුදු ගුණ සිතුවෙමි. මෙත් සිත පැවත්තුවෙමි. මම මේ ශරීරයෙන් වැඩක් ගත් අයෙක්මි.

“ඔයා ආගම මාරුකළ නිසා තමයි මේ ඔක්කොම කරදර ඔයාට වුණේ” ඊයේ මා ළඟ නවතින්නට පැමිණි මගේ සහෝදරයා පැවසුවේය. ඔහුගේ ඇසුර ලැබීම මට දැනුණේ පිළිකාවෙන් දැනෙන වේදනාවට වඩා වැඩි වේදනාවක් වශයෙනි.

“දුස්සීලව අවුරුදු සීයක් ජීවත් වෙනවට වඩා හොඳ නැද්ද සිල්වත්ව එක දවසක් ජීවත්වෙලා මැරිල යන එක..”

“ඔයාට ගොඩක් දේ අහිමි වෙනවා”

“රාජු ඔයා යන්න”

එසැණින් ඔහු පිටව ගියේය. මට සැහැල්ලුවක් දැනුණි.

“මනුස්ස ලෝකෙ අවුරුදු පනහට හැටට ආස කරන්න එපා.” මම පිටව යන ඔහුට කෑගසා කීවෙමි.

මට කිසිවක් අහිමි නැත. මට සියල්ල හිමිව තිබේ. ඒ සියල්ල එක වචනයකින් කියන්නේ නම් ශ්‍රද්ධාවයි. එයින් මට සියලු දේ ලැබෙන බව මම ඒකාන්ත කොට විශ්වාස කරමි. අදහමි. හෙට මා මරණයට පත්වන්නට ද පුළුවන. අහෝ! බුදුරජාණන් වහන්සේ සරණ ගොස් මරණයට පත්වීමට ලැබීම තරම් ජීවිතයේ තවත් කුමන භාග්‍යයක් ද? එහෙයින් මම මරණය ද සතුටින් වැළඳ ගන්නෙමි.

ඔහු අවසන් වරට එසේ ලියා තිබිණි. ඔහු අද උදෑසන ඔහුව පිළිගන්නට බලාසිටි ලෝකය වෙත නික්ම ගොස් තිබේ. උපතින් සිංහල බෞද්ධයෙකු වූ මා පිළිබඳව මසිත උපදින්නේ බලවත් ලැජ්ජාවකි. නාමමාත්‍ර බෞද්ධකමක් විනා මම තවමත් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙකු නොවෙමි. ඔහුට මෙන් මට ද මියැදෙන මොහොතේදී බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙකු ලෙස ඊට මුහුණ දීමට හැකිනම් ජීවිතයේ තවත් කුමන භාග්‍යයක් ද?

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේනමක් විසිනි.