යතුරු පැදිය පන්සල් දොරටුව අසල නැවතූ දිවාකර ගුරු මහතා සුදුවැලි පාර දිගේ පියවර තැබුවේ සෙමෙනි. භක්තියෙනි. වැල්ලෙන් උඩට නැගී එක පෙළට ගමන් කරන කූඹි රෑන් කිසිවකට ඔහුගේ පියවරින් හානියක් නොවන්නට හෙතෙම වග බලා ගත්තේ විය.

“ලොකු හාමුදුරුවනේ අවසරයි”

ආවාසයට ඇතුළු නොවී ම ඔහු කටහඬ අවදි කළේය. මඳ කලෙකින් ම දෙවුර වසා සිවුරු පොරවාගෙන නායක හිමියෝ ආලින්දයට වැඩියහ.

“සභාපති මහත්තයට පණිවිඩයකුත් එව්වා. හම්බ වුනා ද?”

“එහෙමයි ලොකු හාමුදුරුවනේ, ඒ පණිවිඬේටයි තවත් පණිවිඬේකටයි දෙකට ම යි මං ආවේ”

දිවාකර මහතා කීවේ දෑත් බැඳ වන්දනා කරගෙන ම ය.

“තව පණිවිඩයක් කිව්වෙ?”

“ලොකු හාමුදුරුවනේ, වජිරසිරි මල්ලිගේ දරුවා අමාරුවෙලා ඉස්පිරිතාලේ දැන් සතියකට වැඩියි. වෙලාව බැලුවාම කියලා සතියක් එක දිගට බෝධි පූජාවක් තියන්න කියලා. මිනිහා හිතලා තියෙන්නේ ලොකු හාමුදුරුවෝ උදේ ම පිටත් වෙන්න ඇති කියලා. කෙලින්ම මාව හොයාගෙන ඇවිත් කාරණේ කිව්වා. ඒකට මොකද කරන්නේ කියලා දැනගන්නත් එක්කයි මං ආවේ.”

“හරි වැඬේ තමයි… දැන් මොකද කරන්නෙ?”

නායක හිමියෝ කල්පනා කරන්නට වූහ. දිවාකර මහතා නායක හිමියන් වෙත ම දෑස් දල්වා සිටියේ විසඳුමක් අවශ්‍ය ම යි කියන්නාක් මෙනි.

“මම නැතුව වෙන පන්සලකින් වඩම්මන්නත් බැහැ. වැඬේ කෙරෙන්නත් ඕනෙ. සභාපති මහත්තයට පුළුවන් ද බෝධි පූජාව තියන්න. මම පොතක් දීලා යන්නම්. මාව එයාපෝට් ගෙනියන්න කාර් එකත් ඇවිත් තියෙන්නේ.”

දායක සභාවේ සභාපති දිවාකර ගුරු මහතාට ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ ඉඩකඩක් නොවන ලෙසට නායක හිමියෝ කීහ. එහෙත් ඉල්ලීම භාරගන්නට තරම් හිතක් දිවාකර මහතාට නොවුනි.

“අනේ ලොකු හාමුදුරුවනේ, මට තේරෙන්නෙ නැහැ.” දිවාකර මහතා කීවේ අවංකව ම ය.

“තේරෙන්න දෙයක් නෑ. මෙන්න මෙතන පොත තියෙනවා. ඒකෙ තියෙන පිළිවෙළට කීවා ම කළා ම හරි. වජිරසිරි මහත්තයා දන්නවනෙ මම දඹදිව වන්දනාවේ වඩිනවා කියලා.”

“එහෙමයි හාමුදුරුවනේ.”

දිවාකර මහතා එකඟ වූයේ නොකර බැරිකමට මිස පුළුවන්කමකට නොවේ.

“දරුවට ගොඩක් අමාරුයි කිව්වා.”

“ඒක නේන්නං… ඒකත් ආවෙ හරි වෙලාවට. එහෙනම් මහත්තයා දොර වහලා යතුර ගන්න. මං ළඟ තව එකක් තියෙනවා. මේ මාසේ ඉස්කෝලෙ නිවාඩු නිසා පුළුවන් හැම වෙලාවක ම පන්සලට ඇවිත් යන්න. හදිසියෙවත් අවමඟුලක් වුනොත් දඹරෙ පන්සලට මහත්තයා ම ගිහින් මතක් කළා ම හරි. මං කියලයි තියෙන්නේ.”

දිවාකර මහතා නායක හිමියන්ගේ දෙපා අල්ලා වැන්දේය. කරබෑගය අතට ගත් නායක හිමියෝ මිදුලේ නවතා තිබූ මෝටර් රථයට ගොඩ වෙද්දිත් දිවාකර මහතා සිටියේ දෙදණ බිම තබා වන්දනා කරගත් ඉරියව්වේ ම ය.

දිවාකර මහතා නිවසට යන විට බෝධි පූජා පොතත් රැගෙන යාමට අමතක නොකළේය. සංගීත ගුරුවරයෙකු වූ ඔහුට කවි කීම අපහසු නොවීය. එහෙත් හෙතෙම කිහිප විටක් ම ඒවා තාලයට ගායනා කොට බැලුවේය.

“මොකද… මහණ වෙන්න යන්න ද කල්පනාව..?”

“ලොකු හාමුදුරුවො දඹදිව වැඩිය නිසා බෝධි පූජාව තියන්නත් වුනේ මට. ඔයත් හවසට පන්සල් යන්න එනව නේද..?”

“යමු.”

ශාන්තිනී ස්වාමියා දිගු කළ බෝධි පූජා පොත අතට ගනිමින් කීවාය.

බෝධි පූජාව සාර්ථකව සිදුකෙරිනි. දිනෙන් දින පිරිස වැඩි වූයේ පුදුම සහගත ලෙසිනි. වජිරසිරිගේ දරුවා ද ඊටත් වඩා පුදුම සහගත ලෙස සුව වෙමින් සිටී. හත්වෙනි දවස වෙද්දී ගමේ එක් ගෙදරකින් එක් අයෙකුවත් නෑවිත් සිටියේ නැත. දිවාකර සර් සතිය අවසන් වනවිට දිවාකර උපාසක ලෙසට ගම්මු අතර ප්‍රචලිත විය.

“උපාසක මහත්තයා මේ පින්කම නම් නවත්තන්න හිතන්නෙපා. අපි දිගට ම තියමු.” සත්දින බෝධි පූජාව අවසන් බව කියා සියල්ලන්ට ම පිංපෙත් දී අවසන් වෙන්නටත් පළමුව මැගී අම්මා නැගිට කීවාය. එහෙත් දිවාකර මහතාට එවන් අපේක්ෂාවක් නොවුනි.

පත්මසිරි තම සත් හැවිරිදි දරුවාවත් ඇදගෙන සෙනඟ අතරින් දිවාකර මහතාට සමීප විය. “උපාසක මහත්තයො, මේන් මේකා කියන එකත් අහන්නකෝ. මමත් මුලදි විශ්වාස කළේ නෑ. කාටවත් කීවෙත් නැත්තේ ඒ නිසා ම යි.”

“මොකක්ද?” දිවාකර මහතා ඇසුවේ පත්මසිරිගෙනි.

“අදත් ආවා කියන්නෙ…”

“කව්ද..?”

එවර පැනය යොමුවූයේ කුඩා දරුවාට ය. සියල්ලෝ ම මේ තිදෙන දෙස නෙත් දල්වා බලා සිටින්නට වූහ.

“විෂ්ණු දෙයියො…! තුන්වෙනි දවසෙ තමයි මුලින් ම ආවේ. මහත්තයා ළඟට ම වෙලා ඉඳලා ඉවර වුනාට පස්සෙදි යනවා.”

දරුවා කීවේ විශ්වාසයෙනි. සියල්ලෝ ම පුදුමයට පත් වූහ. ගම්මුන් වෙතින් නැඟුණු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ සිතක් දිවාකර මහතාට ද නොවූයෙන් බෝධි පූජාව දිගට ම පැවැත්වෙයි. ගමෙන් ම ඊට අකැමති එක්කෙනෙකි. ඒ ශාන්තිනී ය.

“ඕවට ගිහින් දැන් හැමදේම පාඩු වෙලා. මිනිස්සුන්ටත් පිස්සු. ඔහේටත් පිස්සු…!”

ඕ කුමක් කීවද බෝධි පූජාව නතර නොවී පැවැත්වෙයි. පිරිස ද වැඩිවෙයි. ඊටත් වඩා බෝධීන් වහන්සේගේ අතුවල එල්ලෙන කොඩි ද වැඩිවෙයි. විවාහයන් සඳහා වූ යැදීම් ද ඒවා අතර නොවුනා නොවේ. දෙවියන්ව දකින පිරිස ද වැඩිවෙයි.

දිවාකර උපාසක ශාන්තිනීටත් නොකියා ම උදෙන් ම පන්සල බලා පිටත් විය. ඔහුගේ යතුරු පැදියේ රෝදවලින් නැඟුන කාණුව පන්සලේ සුදු වැලි පාර දිගට ආවාසය තෙක් ම මතුව පෙණින. යතුරු පැදියෙන් බැසගත් හෙතෙම දොර හැර කුමක්දෝ සෙව්වේය.

සෙව්වේ පොත් අල්මාරියේ යතුරයි. එහෙත් හසුවෙන තැනක නොවිනි. ඔහු ඊළඟට කළේ අල්මාරියේ අගුල වේගයෙන් ඇදීම යි. දොර නෑරිනි. අල්මාරිය ගැස්සී ගියේය. ත්‍රිපිටක පොත් වසා සිටි දූවිලි අල්මාරිය ඇතුළත වලා නංවා ආයෙම සීරුවට තැන්පත් විය. එහෙත් දිවාකර උපාසකගේ සිත නොසන්සුන් විය.

‘කියවන එකෙකුටවත් කියවන්න දෙන්නෙත් නෑ.’ ජීවිතයේ පළමු වරට නායක හිමියන් පිළිබඳ නොසතුටු සිතුවිලි නැගෙන්නට විය.

ලොකු හාමුදුරුවන්ගේ කුටියත් වසා ඇත. ඔහු ගබඩා කාමරයක් වශයෙන් තිබූ අඳුරු කාමරයකට ඇතුල්ව බල්බය දැල්වූයේය. ඇඳ යට කාඞ්බෝඞ් පෙට්ටියක පිරෙන්නට පොත් තිබේ. ඔහු එයින් පොත් කීපයක් ම තෝරා ගත්තේය.

දිවාකර උපාසක නික්ම ගියේ දහවලත් ඉක්ම ගිය සැඳෑවේ ය. කෑම මේසයට වතුර තැබූ ශාන්තිනී කිසිත් නොකියා ම කාමරයට වැදුනාය.

“මීට පස්සේ මං මස් මාළු කන්නෙ නෑ. ඔයාට විතරක් හදාගන්න.” දිවාකර උපාසක ශාන්තිනීට ඇසෙන සේ කීවේය. ශාන්තිනී නිහඬ ය. මඳ වේලාවකින් සිහින් ඉකි බිඳුමක් කාමරයෙන් නැගෙනු දිවාකර උපාසකට නොඇසුනා නොවේ.

මස්මාළු නැති කෑම එක දිය රස ය. ඔහු සිත දැඩි කරගත්තේය. මස්මාළු එපා ම ය.

දිවාකර උපාසක දවසේ වැඩි කාලයක් ගතකළේ පන්සලේ ය. ඔහු පෙට්ටියේ තිබූ පොත් සියල්ල ම වාගේ කියවා අවසන් කළේය. පද්මසිරි, මැගී අම්මා ආදීන් ඔහුව දිරිමත් කළෝ වූහ.

“පද්මසිරි… අපේ ගෙදරට ගිහින් එමු ද..?”

“එහෙමයි උපාසක මහත්තයා, ඒත් මොකද කාරණාව..?” පද්මසිරි ඇසුවේ මඟට බසිමිනි.

“ස්ටෑන්ඞ් ෆෑන් එකක් තියෙනව අරගෙන එන්න.”

හදිස්සිය වැඩිකමට දිවාකර උපාසක යතුරු පැදිය කෙටි පාරකින් පදවා වත්තට ඇතුල් කළේ පෑල දොර දෙසිනි. ශාන්තිනී එවෙලෙහි දර පලමින් උන්නාය.

“මේ හැටි දර ගොඩක්..!” දිවාකර උපාසක ඇසුවේ ඇත්තටවත් උවමනාවකටවත් නොවේ. නිකමට මෙනි.

“මට ගිනි තපින්න… එහෙමයි මට දැන් සිද්ධ වෙලා තියෙන්නේ…” ශාන්තිනී ගස්සාගෙන ගෙට ගියාය. දිවාකර තමාට පිටුපා ගිය බිරිඳ ගැන නොතකා ගෙට පිවිසියේය. පද්මසිරිගේ ඇතුලට ගිලී තිබූ කෙටි දෑස් දීප්තිමත්ව නැටවිණ.

දිවාකර උපාසක තව තවත් පොත් කියෙව්වේය. සමහර දාට හෙතෙම බෝධි පූජාව අවසන් කොට පන්සලේ ම නතර වෙයි. ශාන්තිනීගෙන් ද දැන් දැන් බාධා කිරීමක් නැත. ඔහු දිගටම එළවළුයි බතුයි කෑවේය. ශාන්තිනී වෙනදා ප්‍රමාණයෙන් මස් – මාළු – බිත්තර මිලදී ගත්තාය.

ගබඩා කාමරයේ තිබූ පොත් සියල්ල කියවා අවසන් විණි. අවසානයට කියෙව්වේ විශ්‍රාමික ගුරුවරයෙකු ලියා තිබූ දසධම්ම සූත්‍රය සහ සඟ පරපුර නමැති පොතයි. පොත කියවා අවසන් වෙද්දී දිවාකර උපාසකට සිතුනේ නායක හිමියන් ගිහියෙකු බවයි. තමා පැවිදිව ඇති බව යි.

දැන් දැන් හෙතෙමේ බෝධි පූජාව අවසන භාවනාවත් කරවයි. බණ ටිකක් ද කියන්නට අමතක නොකරයි. මස්මාළු නොකන ලෙසට කී දිනට පසු දින සිට කිහිප දෙනෙක් අඩු වුව ද ගම ම එක පොදියට පන්සල් එති.

දින විසිඅටක දඹදිව වන්දනා ගමන නිමවා නායක හිමියන් ආපසු වැඩම කරන විට බොහෝ දේ සිදුව තිබිණි. පන්සල් බිමේ සුදු වැලි පාර පුරා ම රෝද පාරවල් විය. බෝධීන් වහන්සේගේ පහළ අතු කොඩි බරින් වැලි මළුව තෙක් ම නැමී තිබිණි. යමක් සිදුවී ඇත. ඒ කුමක්දැයි සිතා ගැන්ම නායක හිමියන්ට අසීරු විය.

“සභාපති මහත්තය පන්සල හොඳට බලාගෙන තියෙනවා.” හවස පන්සලට පැමිණි දිවාකර මහතාට නායක හිමියෝ කීහ.

“එහෙමයි හාමුදුරුවනේ…”

‘ලොකු’ යන විශේෂණයත්, දෑත් බැඳ වන්දනාවන් දිවාකර මහතාගෙන් ගිලිහී තිබිණි. නායක හිමියන් තුළ ඒ ගැන වෙනසක් ඇති නොවීය.

“මේ මහත්තයට” නායක හිමියෝ දෙළුම් සහිත බෑගය දිවාකර උපාසක වෙතට දිගු කළේය.

“ඒක හොඳයි. ගිලන්පසට ගන්න පුළුවනි.”

“නෑ… මේක මහත්තයට ගෙදර ගෙනියන්න.”

“හොඳමයි හාමුදුරුවනේ…”

දිවාකර උපාසක කතා කරන්නේ අඩුවෙනි. තමා රාත්‍රී කෑම වේල අත්හළ බවක් ඔහු කීවේ ද නැත. ඒ ගැන දන්නේ ශාන්තිනීත්….

සිහින් පොදක් ව ඇරඹි වැස්ස හෝ ගා වහින්නට විය.

“මහත්තය බෝධි පූජාව හොඳට තියල තියෙනව වගේ….”

“එහෙමයි හාමුදුරුවනේ, ගම ම එනවනෙ. මං ඉතුරු කාලෙදි බණ පොත් ටිකක් කියෙව්වා.” නායක හිමියන් කියා අවසන් කරන්නටත් පෙර ම දිවාකර උපාසක කීවේ සතුටු සිතිනි. නායක හිමියන් තුළ වූයේ විමතියකි.

“බණ පොත්…? මං යතුර අරන් තියලනෙ ගියේ…!’ යතුර තමාට අමතකව ගියාවත් දෝයි සිතූ නායක හිමියෝ පොත් අල්මාරිය දෙස හැරී බැලූහ. අමතකවීමක් නැත.

“ඕව නෙවෙයි හාමුදුරුවනේ, අර ගබඩා කාමරේ ඇඳ යට පෙට්ටියෙ තිබුණු පොත් ටික. අපරාදෙ ඒව නාස්ති වෙලා යනවා. මං ගමේ කිහිප දෙනෙකුටත් දුන්න කියවල ගෙනත් දෙන්න කියල.”

“ඒ පොත් ද කියෙව්වෙ…!” නායක හිමියෝ දකුණත තම නළල් තලයේ ගසාගෙන ඇසූහ.

“එහෙමයි”

“උපාසක මහත්තයෝ, ඒවයෙ තියෙන්නෙ ධර්මය නෙවෙයිනෙ. ධර්මය වගේ ඔය තමන්ට හිතෙන හිතෙන දේවල් ලියලා තියෙන්නෙ. ඕව කියෙව්වොත් ඔළු නරක් වෙන එක මිසක් වෙන දෙයක් නැහැ.”

“ඒ වුනත් හාමුදුරුවනේ…”

“මොනව උනත් කමක් නැහැ. දැන් ඉතිං සිද්ධ වෙච්ච දේට මක්ක කරන්න ද? මහත්තයා ඔය දීපු පොත් ටික ඉක්මනට එකතු කරල දෙන්න. ඊට කලියෙන් අපි මේ බෝධීන් වහන්සේගේ එල්ලලා තියෙන කොඩි වැල් ටික ලිහල ඉමු. දැන් ඉතින් බෝධි පූජාවත් ඉවරයිනෙ.” නායක හිමියෝ දිවාකර උපාසකගේ සිත නොරිදෙන ලෙස කීහ.

“එහෙම බෑ හාමුදුරුවනේ… බෝධි පූජාව තාම තියෙනවා. මිනිස්සුන්ට ප්‍රතිඵලත් තියෙනවා. පායල පායල මේ දැන් වහින්න ගත්තේ බෝධි පූජාවට පස්සේ” නායක හිමියෝ දිවාකර උපාසක දෙස බලා හිස කිහිප විටක් සැලුවේය. දැන් දැන් නායක හිමියන්ට සිදුව ඇති දේ වටහා ගැන්ම අසීරු නොවේ. නායක හිමියන් තුළ උපන්නේ ශෝකයකි.

සුළු අවකාශයක් තුළ මාර සේනාව අහිංසක සිත් තුළට පිවිස තිබේ. වැස්සෙන් බර වූ කොඩිවැල් දරාගත නොහුණ, මරසෙන් පැරදවීමට බෝසතුන්ට සෙවණ දුන් බෝධීන් වහන්සේගේ අතු පොළොවට ම බරව ඇත. ගලන බොර දියෙන් පන්සලේ සුදු වැලි තලාව වැසී ගොසිනි.

“මහත්තය… ඉක්මනට දායක සභාව කැඳවන්න වෙයි වගේ.” නායක හිමියෝ කුටියට පිවිස දොර වසා ගත්තේය. එළියේ පුපුරන අකුණු හඬ උන්වහන්සේට නෑසුනා ම නොවේ.

බෝධි පූජාව ද දිවාකර උපාසකගේ පන්සල් ගමන ද නතර විය. දානයට කරවල කෑල්ලක් හෝ ලැබුණේ කලාතුරකිනි. සමහර දවස්වලට දානයත් වැරදුනි. නායක හිමියන් තුළ වෙනසක් නොවුනි.

වධන්තිකයන්ගේ සත්පුරුෂ භූමිය නම් විමුක්තිකාමීන්ගේ සංවිධානයක දිවාකර පළිහවඩන මහතා අනුශාසකව අන්‍යයන්ට ධර්මය ද භාවනාව ද කියා දෙයි. තම බුද්ධිය සරණයාම ඔහුගේ දර්ශනය වී තිබේ. විකාලයේ ආහාර නොගත් හේ ගන්නා ආහාර කඩෙන් ම කෑවේය. පද්මසිරිගේ දෙවියන් දුටු දරුවාට මාස කිහිපයකින් තම පියාව දකින්නට නොලැබුනි.

-නිමි-

මහමෙව්නාව අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි