සමස්ත ලෝකය පුරා ම දිනපතා ම පාහේ කුහුල දනවන සිදුවීම් ජාත්‍යන්තර මාධ්‍ය මඟින් අනාවරණය කරයි. ඇතැම් ඒවා සිය ගණන් මිනිස් ජීවිත බිලි ගත් විෂවායු ප්‍රහාරයන්, බෝම්බ පිපිරීම්, ස්වභාවික විපත් ආදී ඛේදජනක සිදුවීම් ය. ඇතැම් විට සිනමාව, ක්‍රීඩාව, නව සොයාගැනීම් ආදී දැනුම විනෝදය ගෙනෙන දේ ය. මේ අතර පසුගිය ජූනි මස අග භාගයේ තායිලන්ත ළමා පාපන්දු කණ්ඩායමක් කෙරෙහි සමස්ත ලෝකයාගේ ම අවධානය යොමු වන්නට විය.

මනුෂ්‍ය වර්ගයා තුළ තවමත් මිනිස් ගුණ දහම් ශේෂව තිබෙන බව ලොවට හඬගා කීමට ලොව ම සංවේදී වූ මෙම සිදුවීම සමත් වූවා නිසැක ය.

තායිලන්තය ථේරවාද බෞද්ධ සම්ප්‍රදායේ වැඩිම බෞද්ධයන් ජීවත් වන රටයි. ථේරවාද සම්ප්‍රදායේ බලකොටු රාජ්‍ය වන්නේ ශ්‍රී ලංකාව, තායිලන්තය හා මියන්මාරය යි. තායිලන්තයේ ජනගහනය කෝටි 6.75 ක් වන අතර ඉන් කෝටි 6.5 ක් ම බෞද්ධයන් ය. එය ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස 93% කි. දහස් ගණන් ඉපැරණි බෞද්ධ විහාරාරාමවලින් සමන්විත එරට දැනට විහාරස්ථාන 40000 ක් පමණ ඇති අතර 360000 ක් පමණ වූ භික්ෂූන් වහන්සේලා ඒවායෙහි වැඩ වාසය කරති.

නොදුටු අනතුර

චැන් මායි ප්‍රාන්තය උතුරු තායිලන්තයේ පිහිටා තිබෙන අතර එය බැංකොක් අගනුවර සිට කිලෝ මීටර 687 ක් දුරකින් පිහිටා තිබේ. චැන් මායි සිට උතුරින් කිලෝ මීටර 198 ක් දුරින් චැන් රායි නගරය පිහිටා තිබේ. මෙම ප්‍රදේශ මුළුමනින් ම බෞද්ධයන්ගෙන් පිරී ගිය ප්‍රදේශයන් ය. චැන් රායි හී තායිලන්තයේ දිග ම ගල් ගුහා අතර එකක් වන තාම් ලුආන්ග් නාන් නොත් ගුහා සංකීර්ණය කිලෝ මීටර 10ක් පුරා මියන්මාර් දේශසීමාව දක්වා විහිද යයි. හුණුගලින් ස්වභාවිකව නිමවුන මෙම ගුහා සංකීර්ණය දැක බලා ගැනීමට දෙස් විදෙස් සංචාරකයෝ නිතර පැමිණෙති. එහි ඉදිරිපස ජූලි සිට නොවැම්බර් දක්වා වැසි සහිත මාසයන්හි එහි නොපිවිසෙන ලෙස දන්වා අවවාද කෙරුනු දැන්වීම් පුවරු සවි කර ඇත. ඊට හේතුව නම් වැසි කාලයන්හී සම්පූර්ණයෙන් ම මෙම ගුහා සංකීර්ණය ජලයෙන් යට වී යන බැවිනි.

නඬේ ගුරෙක් සමඟ චාරිකා යෑමේ වැදගත්කම

Wild boars හෙවත් ’මුපා’ (වල් ඌරෝ) පාපන්දු ක්‍රීඩා සමාජය මෙම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ක්‍රීඩා සමාජයකි. මෙහි ළමා පාපන්දු කණ්ඩායම පසුගිය ජූනි 23 වන දින උදෑසන පුහුණුවීම් කටයුතු අවසන් කර දහවල් 1. 00 ට පමණ තාම් ලුආන් නාන් නොත් ලෙන් ගුහාව නැරඹීම සඳහා පැමිණ තිබේ. වයස අවුරුදු 11 ත් 16 ත් අතර වන දරුවන් දොළොස් දෙනා සමඟ 25 හැවිරිදි පුහුණුකරු විය. ගුහා දොරටුවේ තමන් පැද ආ බයිසිකල් රඳවා ආහාර හා විදුලි පන්දම් ආදිය රැගෙන ඔවුන් ගුහාව තුළට පිවිස ඇත. ඔවුහු ගුහාව තුළට පිවිස මඳ වෙලාවකින් එම ප්‍රදේශයට මහ වැසි ඇද හැලෙන්නට විය. අත්දැකීම් නොමැති ගුහාව තුළ සිටින දරුවන්ට ඒ කෙරෙහි අවධානය යොමු නොවුණි. ගුහාවෙන් පිටවීමට උත්සහ කරන විට ගුහාව සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වෙමින් පවතින බව දක්නට ලැබිණි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පිහිනීමට නොදන්නා අතර ජලය මඩ සහිතව සැඩපහරක් සේ ඇතුලට ගලා එයි. කෙමෙන් කෙමෙන් ගුහාව තුලට ජලය ගලා එද්දී ජීවිතය බේරා ගැනීම පිණිස මුළුමනින්ම අඳුරු පටු ගුහාව තුලට ම පිවිසීම හැර අන් මගක් නොවීය.

ලොවට අනාවරණය වූ විපතක සේයාව

දරුවන්ගේ ප්‍රමාදය හේතුවෙන් දෙමාපියෝ ඒ බව බලධාරීන්ට දැනුවත් කළෝය. දරුවන්ගේ බයිසිකල් ගුහාව දොරටුවේ තිබී හමු විය. මේ වන විට කිසිවකුට ගුහාවට පිවිසීමට නොහැකි තරම් ගුහාව ජලයෙන් වැසී තිබිණ. මේ පිළිබඳව දෙස් විදෙස් මාධ්‍ය තුලින් ලොවට අනාවරණය වීමත් සමඟ ජාත්‍යන්තර මට්ටමින් මේ පිළිබඳව කතා බහ කරන්නට විය.

මිනිසත්කමේ නාමයෙන් ගොඩ නැගුනු මිනිස් පවුර

තායි රජ පවුල ප්‍රධාන තායි රජය මගින් දරුවන් ගලවා ගැනීමේ මෙහෙයුම ජූනි 24 වන දින ආරම්භ කෙරිනි. තායි නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් ජූනි 25 ගුහාව තුළට පිවිස වරින් වර ජලයේ කිමිදෙමින් බැලුවද කිසිදු තොරතුරක් හමු නොවීය. ජල මට්ටම ක්‍රමයෙන් ඉහල නැගි නිසා දින ගණනක් පුරා මෙහෙයුම් කටයුතු අඩපණ විය. ජාත්‍යන්තර මාධ්‍ය තුලින් දිගින් දිගටම පියවරෙන් පියවර මෙම සිද්ධිය වාර්තා කෙරුණු අතර ජූනි 27 වන විට ඇමෙරිකා නාවික හමුදා නිලධාරීන් 30ක් හා විශේෂයෙන්ම ලෙන් ගුහාවලට කිමිදීම් කටයුතුවල හසල දැනුමක් ඇති බි්‍රතාන්‍ය ජාතිකයන් තිදෙනෙක් අලුතින් මෙහෙයුමට එක් විය. දිගින් දිගටම ජලය පොම්ප කර ඉවත් කිරීම සිදු විය. හිත් පිත් නැති මිනිසුන් කිසිදු වග විභාගයකින් තොරව මහා මිනිස් සංහාරයන් කරමින් මිනිසත්බවේ වටිනාකම නිගාවට පත් කරන මෙවන් යුගයක මේ ගැටවරයන් 13 දෙනා ගලවා ගැනීමට සමස්ත ලෝකය ම රොද බැඳ ගන්නට විය. මේ වන විට ඔවුන් ගැන කිසිදු තොරතුරක් නොමැතිව දින 7ක් ගත වී තිබිණි. බි්‍රතාන්‍යය, ඇමරිකාව, ජපානය, ඕස්ටේ්‍රලියාව, චීනය, ඉන්දියාව, ප්‍රංශය, බෙල්ජියම, පින්ලන්තය ඇතුළු දෙස් විදෙස් හමුදා සෙබළුන්, ස්වේච්ඡා සංවිධාන සාමාජිකයන් 1000 කට වැඩි පිරිසක් පුරා පැය 24ම මුදා ගැනීමේ කටයුතු වල නිරත විය. හෙලිකොප්ටර් 4ක් යොදාගෙන තාම් ලුආන් කඳු පන්තිය ම නිරීක්ෂණය කරමින් දරුවන් මුදවා ගැනීමට අන් මඟක් ඇද්දැයි සෙවීය. හමුදා සෙබළුන් 300ක් පමණ කඳු පන්තිය පුරා ඒ මේ අත ඇවිදිමින් මහ වැස්සේ ම දරුවන් පිළිබඳ තොරතුරක් හෝ ගලවා ගැනීමට අන් මගක් ඇත්දැයි සෙවූහ.

මේ දකින්නේ බුදු සසුනෙන් ලත් දායාදය යි.

තායි රජ පවුල, තායි රජය හා අවට වැසියන් ස්වේච්ඡා සංවිධාන මෙහෙයුමේ නිරත සියලු දෙනාට ආහාර, නවාතැන්, ප්‍රවාහන පහසුකම් හා ඖෂධ නොමිලයේ ම ලබා දෙන්නට විය. මහ දන්සැල් පැවැත්වීය. රට පුරා පාසල්, පන්සල්වල බුද්ධ වන්දනා, භාවනා ආදී විවිධ පුණ්‍යකර්මයන් සිදු කරමින් දෙවියන්ට පින් අනුමෝදන් කරමින් දරුවන් බේරා දෙන ලෙස දෙවියන්ගෙන් ඉල්ලුවෝය. කරුණාව, දයාව, මිත්‍රත්වය, ත්‍යාගය, ආගන්තුක සත්කාර ආදී ගුණ දහමින් සුපෝෂිත මේ බෞද්ධයන්ගේ ජීවිත පිළිබඳව මේ සියල්ල පිළිබඳව විමසිල්ලෙන් සිටි බටහිර ලෝකයා මවිතයෙන් යුතුව කතා බහ කරන්නට විය. මන්ද ඒ බොහෝ දෑ ඔවුනට ආගන්තුක වූ මිහිරි අත්දැකීම් විය.
වාද – භේද කුමටද..? අප හට අප සැම මනුෂ්‍යයෝ ය

වාද භේද, උනුන් පරයා යෑම්, උස් මිටි භේද ආදී පටු ආකල්පවලින් බැහැරව මිනිස්කමේ නාමයෙන් ඔවුන් මේ යුධ වදින්නේ මිනිස් ජීවිතයන් බේරා ගැනීම වෙනුවෙන් නොවේද? දහස් ගණන් මිනිසුන්ගේ කාලය, ශ්‍රමය, මිලියන ගනන් මුදල් වැය කරමින් මේ ලොවට හඬගා කියන්නේ මිනිස්කම ම නොවේදැයි මා සිත මගෙන් අසන්නට විය. අවාසනාවන්ත, ශෝචනීය පසුබිම් කතාවන් තුළ සාරධර්ම ගුණධර්ම මතින් ගොඩනැගුනු එකම මිනිස් පවුරක් ලෙස එය ලොවට පෙනෙන්නට විය. ජූලි මස 2 වන දින විට දරුවන් අතුරුදහන් වී දින 10ක් ගත වී තිබුණත් දරුවන් පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොවීය. මේ අතර ගුහා දොරටුවේ සිට කිලෝ මීටර 3ක් දුරින් දරුවන්ගේ බෑග් හා සපත්තු හමු විය. ගලවා ගැනීමේ මෙහෙයුම් තව තවත් ශක්තිමත්ව හා සංවිධානාත්මකව සිදු කරන්නට විය. ජාත්‍යන්තර මට්ටමින් රටවල්, සංවිධාන, ධනවතුන්ගෙන් උදව් උපකාර හා දිරිගැන්වීම් ගලා එන්නට විය. බොහෝ දෙනා දැන් දරුවන් ජීවත්ව සිටිනවා යන අදහස අතහැර මළ සිරුරු හෝ ලැබේවි යන අදහසින් සොයන්නට වූහ.

ජූලි මස 2 වන දින රාත්‍රී 10 වෙනි පැය උදා විය. දින 10ක් පුරා ඒ දරුවන් ජීවත් වූ කෑලි කැපිය හැකි ගණ අඳුර නිමා වී ආලෝකය උදා විය. අත්හල ජීවිත අපේක්ෂා නැවත ඇති කර ගන්නට විය. මෙතෙක් නිහඬව සිටි ලොව ඔවුන් හා කතා කරන්නට විය. සා පිපාසා දුක් ගිනි, සීතල, භය, සංකා නිමා විය. මේ සිදුවීම හා ඒකාත්මිකව සිටි ලෝකයා නව සුසුම් පොදක් හෙලන්නට විය. ලෙන් ගුහාවල විශේෂයෙන් කිමිදුම් කටයුතුවල නිරතව සිටින බි්‍රතාන්‍ය විශිෂ්ඨයන් දෙදෙනෙකු විසින් ගුහාවේ කිලෝ මීටර 4ක් ඇතුලත උස් පටු බිමකදී දරුවන් නිරුපද්‍රිතව සොයා ගත්හ. මේ තාක් කුමක්දෝ හාස්කමකින් මේ කුඩා දරුවෝ නොමැරී ජීවත් වෙමින් සිටියහ.

කායිකව, මානසිකව දුර්වලව සිටි දරුවන්ට මූලික ප්‍රතිකාර ජූලි 3 සිට වහා ලබා දෙන්නට විය. මීළඟ ප්‍රධාන අභියෝගය වූයේ දරුවන් ගුහාවෙන් පිටතට ගැනීම ය. දිගින් දිගටම ඇදහැලෙන වර්ෂාපතනය නිසා ගුහාවේ බොහෝ ප්‍රදේශ මඩ සහිත ජලයෙන් අඩි 16ක් දක්වා පිරී තිබුණි. ගුහාව තුළ ඔක්සිජන් මට්ටම 15% දක්වා පහත යමින් තිබිණි. දරුවන් ගලවා ගැනීමට විකල්ප 3ක් විය.

01. වැසි සමය අවසන් වන තුරු ඉදිරි මාස 4 ම ගුහාව තුළ රඳවා තැබීම හා අවශ්‍ය ආහාර, ඖෂධ, වාතය ආදිය ලබා දීම.

02. කඳු මුදුනේ සිට තනි ගල් තට්ටුව හරහා සිදුරක් හාරා නව පිවිසුම් මාර්ගයක් සැකසීම (එය කල්ගන්නා හා අනතුරුදායක විය)

03. ගුහාවේ ඇති ජලය හැකිතාක් පොම්ප කර දරුවන්ට පිහිනීම හා කිමිදීම පුහුණු කර ගුහාව හරහා ළමුන් පිටතට ගැනීම.

අතිශයින්ම අනතුරුදායක වූවත් තායි බලධාරීන් විසින් තිබුණු තත්ත්වය සැලකිල්ලට ගෙන 03 වන විසඳුම තෝරා ගැනින. අති දක්ෂ ප්‍රවීන කිමිදුම්කරුවන්ට පවා එම ස්ථානයට ළඟා වීමට පැය 5ක් පමණ ගත වේ. මේ අතර තායිලන්තයේ හිටපු නාවික හමුදාවේ සීල් නිලධාරියෙකු ගුහාව තුල ඔක්සිජන් ටැංකි ප්‍රවාහනය කරමින් සිටියදී ජූලි 4 දින පාන්දර 2. 00 ට පමණ ඔහුගේ ටැංකියේ ඔක්සිජන් අවසන් වීමෙන් මරණයට පත් විය. ඔහු ස්වේච්ඡාවෙන් ම මේ සඳහා පැමිණි අයෙකි. මෙම කර්තව්‍යයේ බරපතල බව මින් පැහැදිලි වේ. දිගින් දිගටම ජලය පොම්ප කිරීම කළ අතර එම ප්‍රමාණය ජලය ලීටර මිලියන 250 ක් පමණ විය. මේ අතර දරුවන්ට පිහිනීමට හා ජලයේ කිමිදීමට දින 07ක් ඇතුලත පුහුණු කරන ලදී.

දයානුකම්පාව ඇති මිනිසුන්ගේ උර මතින් ජීවය ලද්දෝ

මේ අතර විවිධ සංවිධාන සහ නිලධාරීහු දරුවන් ගලවා ගැනීමට විවිධ විකල්ප ඉදිරිපත් කළෝය. අවසානයේ ජූලි මස 08 වන දින තායි නාවික සීල් නිලධාරීන් 40 දෙනෙකු හා විදේශීය විශිෂ්ඨ කිමිදුම්කරුවන් 50කගේ සෘජු මැදිහත්වීම මත දරුවන් 04 දෙනෙකු ද, ජූලි 9 වන දින දරුවන් 4 දෙනෙකු ද, ජූලි 10 වන දින ඉතිරි දරුවන් 5 දෙනා ද මුදවා ගන්නා ලදී. එක ළමයෙකු පිටතට ගෙන ඒමට පැය 8 ආසන්නව ගත විය. ඔවුහු හෙලිකොප්ටර මඟින් වහාම රෝහල්ගත කෙරුණි. දින 18ක් අඳුරේ ම සිටි නිසා ඔවුනට එළිය බැලීම අපහසු විය. දින 10 ක් ආහාර නොලද නිසා ආහාර දිරවීම ප්‍රමාද විය. අධික සීතලේ සිටි නිසා ශරීරයේ උෂ්ණත්වය පහත වැටී තිබිනි. කෙසේ නමුත් ලොව නන් දෙසින් මෙම සිදුවීම දෙස දෑස් අයා බලා සිටි මිලියන ගණන් මිනිස්සු නිම් හිම් නැති සතුටින් මෙහි අවසානය දෙස බලා සිටියෝය.

දින 08 ක් රෝහල්ගතව සිටි දරුවෝ සම්පූර්ණයෙන් ම කායිකව මානසිකව සුවපත්ව නිවෙස් බලා පිටත් වූහ. තායිලන්තයේ සාමාන්‍ය සම්ප්‍රදාය අනුව සැම දෙනා ම පාහේ තාවකාලික පැවිද්ද ලබා ගනිති. මෙම දරුවන් බේරාගැනිමේ මෙහෙයුමේ නිරතව සිටියදී මියගිය ‘සමන් ගුනාන්’ නම් වූ නාවික නිලධාරියා වෙනුවෙන්, ඔහුට පින් අනුමෝදන් කිරීම පිණිස මේ දරුවන් සියලු දෙනා ම එකට පැවිදි බිමට පත්වීමට ඔවුන් ඒකමතිකව තීරණය කොට ඇත.

බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව විමසා බලද්දී කුමක් හෝ කර්ම විපාකයක් ඔවුන් පිටුපස පැමිණියාදැයි අපට හැඟේ. බුදුරජාණන් වැඩ සිටි කල ද මෙවැනි ම සිදුවීමකට එක්තරා භික්ෂු පිරිසකට මුහුණ දීමට සිදු වී තිබේ. ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව වදාළ සේක.

“යම් තැනක සැඟවිලා, පව්වල විපාකයෙන් ගැලවෙන්න පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නෑ, මුහුදෙත් නෑ, කන්දක් අස්සේ ගුහාවක හැංගුණත් නෑ. එබඳු තැනක් ලෝකේ කොහේවත් නෑ.
(ධම්මපදය – පාප වර්ගය)

ඒ නිසා සියලු සත්වයෝ එළිපිට හෝ රහසේ හෝ පව් කිරීමට ලැජ්ජා භය උපදවා ගනිත්වා!