“මහණෙනි, මෝහය නිසා (මනුෂ්‍යයා) ප්‍රාණඝාතය කරයි. සොරකම් කරයි. වැරදි කාමසේවනයේ යෙදෙයි. බොරු කියයි. කේලම් කියයි. දරුණු වචන කතා කරයි. නිසරු දේ කතා කරයි. අන්සතු දේට ආශා කරයි. ද්වේශ කරයි. වැරදි දෘෂ්ඨියට පැමිණෙයි. මෙසේ මහණෙනි, මෝහය යනු පාප කර්මයාගේ සම්භවයේ හේතුවයි. මෝහය ක්ෂය වීමෙන් පාප කර්මයාගේ හේතු නැති වී යයි.”

(කම්මනිදාන සූත්‍රය – අං. නි. 6)

යමක් කමක් තේරුම්ගත හැකි කුඩා වයසේ පටන් මියෙන තෙක් ම අවිද්‍යාවෙන් යුතු අනාර්ය පුද්ගලයා හසු වී යන්නේ මෝහයටයි. මේ කාලය තුළ ඔහු මෝහයට නොහොත් මුළාවට පත්වූ වාර ගණන ගිණිය නොහැකි තරම්. වරෙක කැමැත්ත නිසාත්, වරෙක ද්වේශය හෝ භය නිසාත් ඔහු මුළාවට පත්වෙනවා. නමුත් දන්නේ නෑ. ඒ නොදැනීම ම යි මෝහය. මේ නිසා ම ඔහු නිරයේ ගිනි දැලුත්, ප්‍රේත ලෝකයේ සෙම්, සොටු, මල මූත්‍රාත්, තිරිසන් ලෝකයේ රාග පරිදාහයත්, ද්වේශ ගින්නත් මහගෙදර කරගෙන නොනිමි සසරක ගමන් කරනවා. නමුත් නුවණින් සළකා සිහියෙන් කටයුතු කරන ආර්ය ශ්‍රාවකයා ඒ මෝහය හඳුනාගෙන ටික ටික නමුත් එය ක්ෂයකර දමමින් උතුම් නිවන අවබෝධ කරගන්නවා.

එසේ නම් ඔබව මුළාවට පත්කරන, ඔබ මුළාවට පත්වන සරළ ම තැනින් අපි පටන් ගනිමු. රූපවාහිනී වෙළඳ දැන්වීමකින් ඔබ මුළාවට පත්වෙලා නැතිද? චිත්‍රපට, නාට්‍ය, නවකතා, පුවත්පත්, අන්තර්ජාලය, ඔබව මුළාකරලා නැතිද? ඔබේ මිතුරන්, ඇදහිලි, විශ්වාස, ඕපදූප, කේලම්, ආගමික මතවාද, දේශපාලනය, නූතන විද්‍යාව, කොටින්ම ඔබේ ම ආත්ම දෘෂ්ටිය ඔබව මුළාකරලා නැතිද?

අපි තවත් සරළ කරගනිමු. ඔබ වෙළඳ දැන්වීමක් දකිනවා. “ෂා… හරි අගෙයි. මටත් මේකක් ඇත්නම්!” ඔවැනි සිතුවිලි ඔබට ඇතිවෙලා නැතිද? සිතුවිල්ලකින් නතර නොවී ඒවා මිලට අරගෙන හෝ අත්හදා බලා හෝ නැතිද? ඔබ නාට්‍යයක් නරඹනවා. එහි පෙන්වන දෙයට අදාළව ඔබ ප්‍රතිචාර දක්වනවා. ශෝක කරනවා. ද්වේශ කරනවා. බිය වෙනවා. තැති ගන්නවා. සතුටුත් වෙනවා. ඒ ජවනිකා තුළ ජීවත් වෙනවා. ඔබේ ම මනෝ ලෝකයක ඔබත් නළුවෙක් වෙලා, නිළියක් වෙලා. ඔබ ඔබේ ජංගම දුරකථනය අතට ගන්නවා. මිටෙන් හළ කුරුල්ලෙක් වගේ ඔබටත් නොදැනීමයි ඔබේ ඇඟිලි තුඩු එහි තිරය මත දිව යන්නේ. ඇමතුම් ලබාගැනීම දැන් එහි අවශේෂ කටයුත්තක්. එහි මූලික කාර්යය අනෙකක්. සමාජ ජාලා වෙබ් අඩවි ඇතුළු අන්තර්ජාල කූට මායා ඔබව සම්පූර්ණයෙන් ම ග්‍රහණයට අරන්. ඉන් ඔබ්බට ඔබ කියා කෙනෙක් නැති ගාණයි. ඔබ පියවි ලෝකයෙන් බොහෝ දුර ගිහින්.

“විභාගෙ පාස් වෙන්න බෑ පූජා වට්ටියක් තියලා බාරයක් නොවුණොත්…, රස්සාවක්, පරස්ථාවක් හරියන්න නම් පඬුරක් ගැටගහන්න ම ඕන…., නූලක් පන්න ගත්තොත්, වශියක් දුන්නොත් එයා මට කැමති වෙනවා ම යි…., මේ නැකතට ම උළුවස්ස තියා ගත්තොත්, අසවල් පිළිමේ, කාසි, පින්තූර, හක්ගෙඩි ගෙදරට ගෙනාවොත් ගඟ ගලන්නැහේ ධනය ගලන් ඒවි…, ග්‍රහයා මාරු වුණ නිසයි මේ ඔක්කොම කරදර….., අපලෙ ගෙවෙන්ට කොඩි වැලක් එල්ලමු.., දෙහි කපන්නේ නැතිව ඔය ප්‍රශ්නෙන් නම් ගොඩ එන්ට බෑ.., අසවල් මැණික පැළඳ ගත්තොත් නම් සම්පත් උතුරාවි…” ඔබේ අත්දැකීම් මේ අතර නැතිද? පිහිට පිළිසරණ පතාගෙන ඔබ සරණ ගියේ දේවාල, පේන බැලිලි, අංජනම්, සාස්තර, නැකැත්, නිමිති, කේන්දර, හදි හූනියම්, බිලි පූජා, යන්ත්‍ර මන්ත්‍ර, මැණික් ගල්, හක්ගෙඩි නොවෙයිද? දේශපාලන පක්ෂ, විපක්ෂ ඔබේ රුධිරයත් කොළ පාට, නිල්පාට, රතුපාට, කහ පාට…. වෛවර්ණ කරලා.

මඩ ගොහොරුවක් කියලා දැන දැනත් බැස ගත්තෙ ම ඔය මඩ ගොහොරුවේ ම නොවෙයි ද? ජීවිතයත් පරදුවට තියලා පක්ෂයක් වෙනුවෙන් නොවිඳිනා දුක් වින්දා. පමාවෙන් ම ජීවත් වුණා. මේ සියල්ල ම ඔබ තුළ රාගය, ද්වේශය සහ මෝහය බලවත් කරමින් අප්‍රමාණ අකුසල කර්ම ගොන්නක් කඳු ගැසූ බවවත්, ගවයා පසුපස අත්නොහැර එන කරත්ත රෝදය වගේ ඒ සියලු කර්ම, විපාක නොදී ඔබව අත් නොහරින බවවත්, ඔබට මෝහය හේතුවෙන් වැටහුණේ නෑ.

චිත්‍රපටයේ නළු නිළියන් කරන්නේ රඟපෑමක්. පිටපතකට අනුව ඔවුන් රඟපානවා. ඒවා දකින ඔබ බිය තැති ගැනීම්, ලොමුඩැහැ ගැනීම් මැද ඔවුන් දුක්වන විට දුක් වුණා. ඒ දුකට හේතු වූ කාරණය ගැන ද්වේශයක් ඇති කරගත්තා. “අරහෙම වුණා නම් මෙහෙම වෙන් වෙන්නේ නෑනේ” යි කියමින් තර්ක පිට තර්ක කළා. තිර පිටපතේ දුෂ්ටයා ඔබේ ජීවිතයේත් දුෂ්ටයා වුණා. එහි වීරයා ඔබේත් වීරයා වුණා. ඔබ දුෂ්ටයාවත් ‘මගේ’ කරගත්තා. වීරයාවත් ‘මගේ’ කරගත්තා. මෝහයෙන් මුළා වුණා. නැටුම්, ගැයුම්, ප්‍රේම ජවනිකා නැරඹූ ඔබ ඒ සියල්ලමත් සුභ වශයෙන්, අයෝනිසෝ මනසිකාරයෙන් යුතුව ‘මගේ’ කරගත්තා. නොනවත්වා ම සිහි කරමින් රාගයේ ම බැසගත්තා. පටිඝ නිමිත්තත් ‘මගේ’ කරගෙන සිටි ඔබ ද්වේශයේ ම බැස ගත්තා. වරද්දවා අල්ලාගත් මේ සියලු අරමුණු මම, මගේ, මගේ ආත්මය යැයි සළකමින් සුභයි, නිත්‍යයි, සුඛයි, ආත්ම යැයි සළකමින් මෝහයෙන් පෝෂණය වෙමින් අසංවර වූ ඇසේ, කනේ, නාසයේ, දිවේ, කයේ හා මනසේ උපකාරයෙන් සිත, කය, වචනය මෙහෙයවමින් ඔබ තුළ අකුසලය තව තවත් බලවත් කරගත්තා. චිත්‍රපට කතාවක්, හුදු රඟපෑම් මාත්‍රයක් ඔබගේ ම මෝහයේ පිහිටෙන් ඔබව සසරට ම ඇදලා දැම්මා.

ඔබේ දුරකථන තිරය මත නානා රූප මැවෙනවා. සභ්‍ය වූත්, අසභ්‍ය වූත් සියල්ල මැවෙනවා. අන්තර්ජාලයේ ගතවන සෑම තත්පරයක ම ආශ්වාදයේ මුවාවෙන් එකපිට එක නා නා පාපී අරමුණු ඔබට ලබා දෙනවා. රාගය, ද්වේශය අවුළුවන, පවතින මෝහය දියුණු තියුණු කරන එවන් අරමුණු සොය සොයා ඔබේ ඇඟිලි තුඩු වේගයෙන් තිරය මත එහා මෙහා යනවා. මකුළු දැලට හසුවන කෘමි පැටවෙක් වගේ රාගයෙන්, ද්වේශයෙන් වියා තිබෙන මෝහය නම් දැලේ ඔබ හොඳටම පැටලිලා. පැටලුන දැලෙන් ගැලවෙනවා වෙනුවට ඔබ කරන්නේ තව තවත් අසුභ, අනිත්‍ය, දුක සහ අනාත්ම වූ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හා අරමුණු සුභ, නිත්‍ය, සැප හා ආත්ම වශයෙන් ගෙන, ඒවාට ම ග්‍රහණය වෙමින් රාග, ද්වේශ, මෝහ බැඳුම් තව තවත් තර කිරීම ම යි. ඒ බැඳුම් ඔබව දරුණු ඝාතකයෙක් කරන්ට, සොරෙක්, සල්ලාලයෙක්, වංචනිකයෙක්, සුරාසොඬෙක් කරවන්ට ගතවෙන්නේ මොහොතයි. මෝහය ඒ තරම් ප්‍රබලයි.

ඔබ දේවාලයේ රාග, ද්වේශ, මෝහ පාසයන්ගෙන් කිටි කිටියේ බැඳිලා වසන අමනුෂ්‍ය ආත්මවල පිහිට පතාගෙන ඔවුන්ට ඔබේ දුක කියනවා. ප්‍රශ්නවලට විසඳුම් අයදිනවා. පූජා වට්ටි, පඬුරු පාක්කුඩම් තුළින් ඔවුන් හා සම්බන්ධයක් ඇති කර ගන්නවා. ඔවුන් ඔබේ ප්‍රශ්නය ඉල්ලූ ලෙසට ම විසඳලා දෙනවා. ඔබ දිනුවා වගෙයි. හරිම සතුටුයි. නමුත් ඇත්තටම දිනුවේ ඔවුනුයි. ඔබ නොවෙයි. අමනුෂ්‍ය ආත්මයේ පැවැත්ම වෙනුවෙන් ඔවුන් ඔබව අපූරුවට රවටා ගත්තා. ඔබ දැන් ඔවුන්ගේ දාසයෙක්. දෙලොවට ම දාසයෙක්. දැන් ඔබට ගැලවෙන්න පොටක් නෑ. තිසරණය අහිමි කරගෙන, යෝධ පවුරක් වගේ ඔබට ආරක්ෂාව සලසමින් තිබුන සරණ ශීලය කිළිටි කරගෙන අමනුෂ්‍ය ආත්ම සරණ යන්ට පොළඹවාපු ඔබගේ මෝහය ඔබව නතර කළේ ගැලවෙන්ට බැරි අමනුෂ්‍ය ආත්මයක දාස බන්ධනයකට යටත් කරලයි.

පාට පක්ෂ දේශපාලනය; බොරුව, පළිගැනීම, ද්වේශය, නින්දා, පරිභව, දූෂණ, මංකොල්ල, කලකෝලාහල කරපින්නාගෙනයි ඉන්නේ. ඒ තුළ කුසල් සිතිවිලි, යහපත් වචන, කුසලක්‍රියා ආදියට ඉඩක් නැතිම ගාණයි. පවට බයක් නැති, පාපය චණ්ඩිකමක් සේ සළකන ලැජ්ජා විරහිත දේශපාලන මඩගොහොරුවේ ඔබත් ගිලිලා නම් ඉන්නේ, ඒ ඔබ මෝහයටයි නතුවෙලා ඉන්නේ. සාධාරණය ගැන අසාධාරණ ලෙස වාද කරමින් ප්‍රමාදයේ ම සම්මාදම් කරවන පක්ෂ දේශපාලනය කෙරෙහි මෝහයෙන් බැඳුණු සිත ඔබේ අතට දෙන්නේ දඬු මුගුරු, අවි ආයුධ යි. ලේ වැකුණු අත් ඇති ඔබේ කය ඊළඟ මොහොතේ ක්‍රියාත්මක වන්නේ නපුරු හිංසකයෙක්, ඝාතකයෙක්, මංපහරන්නෙක්, වංචනිකයෙක්, කාම ලෝලියෙක්, සුරා සොඬෙක් ලෙසයි. අනුකම්පා විරහිත ඔබේ මනස සත්‍ය ගලපන්නේ අසත්‍යයෙන්. අවිහිංසනය සොයන්නේ හිංසනයෙන්. ධර්මය විමසන්නේ අධර්මයෙන්.

මේ සියල්ල කෙළවර ඔය මෝහ සිත ඔබව දස අකුසලයේ ම යොදවනවා. මිථ්‍යා දෘෂ්ටියේ සමාදන් කරවනවා. අධර්මය සරණ ගොස් ආර්ය ධර්මයට ගරහන්නෙක් කරවනවා. කර්ම – කර්මඵල විශ්වාසයෙන් බැහැර කරවනවා. හේතුඵල දහම ප්‍රතික්ෂේප කරවමින් අහේතුක දහමක ලබ්ධිකයෙක් කරවනවා. මෙසේ සියලු ධර්මයන් මෝහය තුළින් විකෘතිව දකින අශ්‍රැතවත් පෘථග්ජනයා කය බිඳී මරණින් මතු ඔසොවාගෙන පැමිණි බරක් බිමින් තබන්නැහේ …………….. ඒකාන්ත දුක් ඇති නිරයේ හෝ තිරිසන් යෝනියේ හෝ සතර අපායෙන් කවර හෝ උපතකට ගොස් මහා දුකකට පත්වෙනවා. නමුත් මෝහයෙන් මුළා නොවී නුවණින් සළකා ටික ටික නමුත් වීර්යය කරන ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයා ඒ මෝහය ම අවබෝධ කළ තැන උතුම් වූ අනාගාමී ඵලයට පත්වෙනවා. සියල්ල අවබෝධ ඤාණයෙන් යථාර්ථ වශයෙන් ම පිරිසිඳ දුටු කළ ඒ අමා මහ නිවන සාක්ෂාත් කරනවා.

“මහණෙනි, එකම දෙයක් අත්හැර දමන්න. එවිට ඔබ අනාගාමී වන බවට මම ඇප වෙනවා. ඒ එකම දෙය කුමක්ද? මහණෙනි, මෝහය කියන එකම දෙය අත්හරින්න. එවිට ඔබ අනාගාමී වන බවට මම ඇප වෙනවා.”

(මෝහ සූත්‍රය – ඉතිවුත්තක පාළි)

“මහණෙනි, මෝහය කියන දෙය විදර්ශනා ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තේ නම්, මුළුමනින් ම අවබෝධ කළේ නම්, සිතේ ඒ කෙරෙහි නොඇලීම ඇතිකර ගත්තේ නම්, ඇල්ම දුරුකළේ නම් ඔහුට දුක ක්ෂය කර දැමීම පුළුවන් දෙයක්”

(මෝහපරිඤ්ඤා සූත්‍රය – ඉතිවුත්තක පාළි)

මහමෙව්නාව අනගාරිකා අසපුවාසී මෑණියන් වහන්සේ නමක් විසිනි