‘‘කලට වැසි වසීවා!
කෙත්වතු සාර වේවා!
ලොව සෞභාග්‍යයවත් වේවා!
රජය දැහැමි වේවා!”

මෙම පැතුම අප රටේ දැහැමි ගොවිතැනෙහි එක් වටිනා පැතිකඩක් පෙන්නුම් කරයි. පාරම්පරික ගොවියා තම ගොවිතැන සාර්ථක වීම සඳහාත්, සෞභාග්‍යය සඳහාත් පිහිට පැතුවේ, විශ්වාසය තැබුවේ බුද්ධ, ධම්ම, සංඝ යන ත‍්‍රිවිධරත්නය කෙරෙහි ය. මෙම ගාථාවෙන් කියැවෙන්නේ තිසරණ බලයෙන්, තිසරණ ආනුභාවයෙන් කලට වැසි වැස කෙත්වතු සාරවීම සහ එතුළින් සෞභාග්‍යය උදා වීමත්, රජය දැහැමි වීමත් පිළිබඳව ය.

එසේ තිසරණ ආනුභාවයෙන් පණ නැගූ අපගේ පාරම්පරික උරුමයක් වන දැහැමි ගොවිතැනට යොමු වීමට බෙහෙවින් බාධා විය හැකි වාතාවරණයක් දැන් නෛතික වශයෙන් නිර්මාණය වෙමින් පවතින බව පෙනේ.

නවීන යයි කියාගන්නා රසායනික විෂ මත පදනම් වූ ගොවිතැන ගැටලූ විසඳනවාට වඩා ගැටලූ අලූතින් නිර්මාණය කරන ලද බව පසුගිය කලාප රැසක දී ඔබට විස්තරාත්මකව පැහැදිලි කළෙමි. මෙම ගැටලූවල මූලාරම්භය අන් කිසිවක් නොව ඔබ වගා කරන බීජ ය.

කෘෂිකර්මය ආරම්භ වූවා යැයි සලකන දැනට වසර 10000කට පමණ පෙර සිට ම තමන් වගා කරන බීජවල තීරණය ගැනීමේ අයිතිය රැඳී තිබුණේ ගොවීන් අත ය. වනගතව වැවුණු, එමෙන් ම ආහාරයට ගත හැකි යයි අත්දැකීමෙන් දැන ගන්නට ලැබූ ඇතැම් පැළෑටි වර්ග තෝරා තම ගෙවත්තේ හෝ වගා බිමේ වගා කරගන්නට මිනිසා පෙළඹුන දා සිට කෘෂිකර්මය උපත ලැබූ බව කියැවේ. අද අප ප‍්‍රධාන ආහාරය වශයෙන් ගන්නා වී, මුලින් කැළෑවල වැවුණ ‘වල් වී’ හෝ ‘ඌරු වී’ යැයි හඳුන්වන ශාකවලින් තෝරා ගන්නා ලදුව පසුව වැඩි දියුණු කරගන්නා ලද භෝගයකි. සත්ව පාලනය සඳහා ඔවුන් තෝරා ගත් සතුන් මුල දී වන සතුන් වූ අතර අල්ලා ගෙන හීලෑ කරගත් පසු ගෘහාශ‍්‍රිත සතුන් බවට පත් විය.

පාරම්පරික ගොවීන් එලෙස වනගතව වැවුන ශාක තම ගෙවත්තේ වගා කරගත්තා පමණක් නො වේ. ඔව්හු ඒවා සම්බන්ධව පර්යේෂණ කළහ. පරිසරයට සහ දේශගුණයට ගැළපෙන ලෙස වැඩි දියුණු කළහ. හඳුනා ගත් නිර්ණායක අනුව අභිජනනය කළහ. ශ‍්‍රී ලාංකික ගොවියා මෙලෙස අඩු වශයෙන් වසර 3000ක් තුළ කරන ලද පර්යේෂණවල ප‍්‍රතිඵලය වූයේ දළ වශයෙන් වී වර්ග 2000ක් පමණ තෝරා ගෙන ඒවා අප රටේ ක්ෂුද්‍ර දේශගුණික කලාපවලට ගැළපෙන අන්දමට වගා කරමින් රටේ සෞභාග්‍යය උදා කර ගැනීමට දායක වීම ය. ගොවියා පරිසරය සමග අනුගත වෙමින් බීජ සංරක්ෂණය සහ වගා කිරීම කළ හෙයින් එය සත්ව ඝාතනවලින් තොර කර්මාන්තයක් විය. බුදු දහම විසින් පෝෂණය කරන ලද්දේ මෙබඳු දැහැමි කර්මාන්තයකි.

ලොව කොතැනක සිටිය ද, තමා වගා කළ බීජවල නෛතික සහ සදාචාරාත්මක අයිතිය හිමි විය යුත්තේ වගා කරන ගොවියාට ය. එහෙත් අද දින යථාර්ථය නම් මේ සියල්ල වෙනස් වී ඇති බව ය.

සියල්ල වාණිජකරණය වූ ගෝලීය පසුබිමක දී ගොවීන්ගේ බීජ අයිතිය ඔවුන් වෙතින් ගිලිහීමට පටන් ගත්තේ හරිත විප්ලවය සමග ය. එනම් ‘වැඩි දියුණු කරන ලද බීජවලින්’ අනාගතයේ වැඩි වන ජනගහණයට ආහාර සැපයීමේ වගකීමක් කෘෂි විද්‍යාඥයන් විසින් සහ පරිපාලකයන් විසින් ගොවීන්ට බලහත්කාරයෙන් පැටවීමත් සමග ය. තමනට අවශ්‍ය බීජ තමන් විසින් සංවර්ධනය කර ගන්නවා වෙනුවට කෘෂි විද්‍යාඥයන් විසින් වැඩි දියුණු කරන ලද බීජ මත යැපෙන ලෙස ගොවීන්ට බල කෙරුන දා පටන් ය. එලෙස පැමිණි තාක්ෂණය සමග එක්ව පැමිණි රසායනික පොහොර සහ කෘෂි රසායන පැකේජය මුල් කාලයේ දී ගොවීනට එතරම් ගැටලූවක් නො වූයේ රජයන් මගින් සහන මිලකට ලබා දීම නිසා ය. එහෙත් හරිත විප්ලවය බලාපොරොත්තු වූ තරම් සුන්දර විප්ලවයක් නො වී ය. රසායනික ගොවිතැන නිසා සිදු වූ පාරිසරික අසමතුලිත බව සහ විනාශය පිළිබඳව යළි යළි සඳහන් කිරීම අනවශ්‍ය ය. එය අපි ඇස්පනාපිට අත්දකින්නෙමු.

බීජ අයිතිය ගොවීන්ගෙන් වඩාත් සාහසික ලෙස පැහැර ගැනීම සිදුවන්නේ 1980 දශකයේ දී ‘ජාන වෙනස් කිරීමේ තාක්ෂණයේ’ ආගමනයත් සමග ය. සම්ප‍්‍රදායික බීජ අභිජනනයේ දී ගොවීන්ගේ ප‍්‍රධාන නිර්ණායකය වූයේ බීජය පරිසරයට කෙතරම් ගැළපෙනවා ද යන්න ය. එහෙත් ජාන වෙනස් කිරීමේ තාක්ෂණයේ දී මුල් තැන ගත් නිර්ණායකය වූයේ අස්වැන්න වැඩි කිරීම පමණකි. වසර මිලියන ගණනක දී සිදු වූ ස්වාභාවික අනුවර්තනය වෙනුවට, රසායානාගාරයක දී එක් රැයකින් ජාන වෙනස් කිරීම ඇරඹින.

මෙහි ප‍්‍රතිඵලය අද වනවිට බීජ අයිතිය ගොවීන්ගෙන් පැහැරගෙන බහුජාතික සමාගම් කීපයක ග‍්‍රහණයට යටත් වී තිබීම ය. ගොවීන්ගේ බීජ සංවර්ධන ක‍්‍රියාවලිය පසෙකට දමන ලද අතර බීජ සංවර්ධනය විද්‍යාඥයන් අතරට ගියේ ය. මෙම විද්‍යාඥයන් බහු ජාතික සමාගම්වල වැටුප් ලබන්නෝ ය. මෙම ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵල අපට ඇස් ඉදිරිපිට ම දක්නට ලැබේ.

ඔබ වගා කරන බීජ වර්ගය දැන් ඔබ විසින් ම නිපදවා ගන්නා ලද්දක් නො වේ. අධික මිලක් දී වෙළඳ පළෙන් ලබාගත් ආනයනය කරන ලද ඒවා ය. බහුජාතික සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද ඒවා ය. බහුජාතික සමාගම් විසින් ඒවා ඔබට ආදරයෙන් නිපදවන ලද ඒවා නො වේ. ඔබ ඔවුන්ගේ උගුලට සදාකාලික ලෙස ම අමුණා ගැනීම සඳහා නිපදවන ලද ඒවා ය.

ඒ කෙසේ ද?

මුල්ම කාරණය වන්නේ ඒවා වන්ධ්‍යකරණ තාක්ෂණයට අනුව නිපදවන ලද ඒවා බව ය. ඒ අනුව එම බීජ පැළ කිරීමෙන් ලබා ගන්නා භෝගයෙන් හෝ ඵලවලින් ඔබට නැවත බීජ සකස් කරගන්නට ඉඩක් නැත. වෙනත් වචනවලින් කියනවා නම් ඊළඟ කන්නයේ වගා කිරීමට අවශ්‍ය බීජ නැවතත් එම සමාගමෙන් ම මිළ දී ගැනීමට සිදු වේ. වඩා ඉහළ අස්වැන්නක් ලබා දෙනු ලබන්නේ යයි එම බීජවලට හුරු වූ ඔබ දේශීය බීජ මේ වන විට අමතක කර දමා ඇති අතර නැවත ඒවා සොයා ගැනීම ද ලෙහෙසි නැත. ඔබගේ ගොවිපළ නව බීජවලට ගැළපෙන ලෙස ඔබ විසින් ම සකස් කරගෙන ඇති හෙයින් සම්ප‍්‍රදායික බීජ සොයා ගත්ත ද ඒවාට අදාළ තාක්ෂණය ඔබ ළඟ නැත.

දෙවැනි කාරණය නම් ඔබට ලැබෙන බොහෝ බීජ ජාන වෙනස් කරන ලද ඒවා බව ය. ජාන වෙනස් කිරීම යනුවෙන් අදහස් කරනු ලබන්නේ එකිනෙකට වෙනස් ගති ලක්ෂණ ඇති භෝග වර්ග දෙකක් හෝ කීපයක් එක් කොට වෙනත් ගුණාංගවලින් යුතු භෝගයක් නිපදවීම ය. මේ සම්බන්ධව අප පෙර කලාපයක දී විස්තර වශයෙන් සාකච්ඡා කර ඇත. ජාන වෙනස් කරන ලද ආහාරවල ඇති සෞඛ්‍ය ගැටලූ පිළිබඳව ද එහි දී අප සඳහන් කර ඇත.

උගුලේ අනෙක් පැත්ත බලමු. වෙළඳ පළෙන් මිල දී ගන්නා එම බීජවලින් ප‍්‍රශස්ත අස්වැන්නක් ගැනීමට ඔබට තාක්ෂණ උපදෙස් ලැබී ඇත්තේ, රසායනික පොහොර සහ කෘෂි රසායන භාවිතා කිරීම අත්‍යවශ්‍ය වන ලෙසට ය. රසායනික යෙදවුම් නොමැතිව ඔබට ඉහළ අස්වැන්නක් ලබා ගත නො හැක. බීජ මිල දී ගැනීම සමග ම රසායනික යෙදවුම් මිල දී ගැනීම ද ඈඳී ඇත. දැන් ඔබ බීජ උගුලේ මෙන් ම රසායන උගුලේ ද පැටලී ඇත.

බහුජාතික සමාගම් මගින් කෘෂිකර්මය තම පාලනයට ගනු ලබන්නේ මුලින් ම ගොවියා බීජ උගුලට හසු කර ගනිමිනි. හසු වූ පසු ඔබට ඉන් ගැලවිල්ලක් නැත. කෙතරම් මිල ඉහළ නැංවූව ද ඔබට වෙනත් විකල්පයක් නැති හෙයින් ණය වී හෝ බීජ මිල දී ගැනීමට සිදු වේ. බීජ සමග අමුණා එවන රසායනික යෙදවුම් ද ඔබට අනිවාර්යයෙන් ගැනීමට සිදු වේ. බීජ ව්‍යාපාරය දැනට ලොව ඇති බලවත් ම වාණිජ ව්‍යාපාරය යි. ධනවත් සමාගම්වලට සහ ධනවත් රටවලට මුදල් අදින ව්‍යාපාරයයි.

රසායන උගුලේ ඔබ පැටලෙනවා යනු ඔබ දැහැමි ගොවිතැනෙන් ඈත් වෙනවා යන්න ය. රසායන පොහොර යෙදුව ද, වල් නාශක දිලීර නාශක හෝ කෘමි නාශක යෙදුව ද, ඔබ කරන්නේ සත්ව ඝාතනයකි. එක් සතෙකු දෙදෙනකු නොව මිලියන බිලියන ගණනක සත්ව ඝාතනයකි.

රසායනික ගොවිතැනෙහි ප‍්‍රධාන ම ගැටලූව ඇත්තේ සෞඛ්‍යය සම්බන්ධව බව ද පෙර කලාපයක දී සාකච්ඡා කළෙමි. ඉන් දරුණු ම ප‍්‍රතිඵලය වන්නේ පිළිකා මෙන් ම අනාගත පරපුර වඳ බවට පත් කරන රෝග තත්ත්වයන් බව එම ලිපිවලින් සඳහන් කළෙමි. 1960 ගණන්වල ආරම්භ වූ හරිත විප්ලවය සහ 1980 ගණන්වල මුල් බැස ගත් ජාන වෙනස් කිරීමේ තාක්ෂණය මගින් ඇති කරන ලද භයානක සෞඛ්‍ය ගැටලූ සම්බන්ධව විද්‍යාඥයන් අධ්‍යයනය කර කරුණු තහවුරු කරන්නේ දැන් ය. එම තාක්ෂණය පැමිණි මුල් අවදිවල එම සමාගම් මෙන් ම රාජ්‍යයන් ද ප‍්‍රකාශ කළේ ඒවා ඉතා සෞඛ්‍යාරක්ෂිත බව ය. අද ඔබට ලැබෙන නව තාක්ෂණයේ අහිතකර ප‍්‍රතිඵල දක්නට ලැබෙන්නේ ඔබගේ දුවා දරුවන් තුළ බව මෙයින් ඔබට වැටහිය යුතු ය.

බෞද්ධ සමාජයක් තුළ රසායනික ගොවිතැන තම අධ්‍යාත්මික සංවර්ධනය සමග ගැටෙන බව අවබෝධ කරගත් එකල ගොවීන් යම් ප‍්‍රමාණයක්, හරිත විප්ලවය අන්ධයන් මෙන් වැළඳ ගත්තේ නැත. මෙම උගුලට හසු නො වී තම සාම්ප‍්‍රදායික ගොවිතැන ආරක්ෂා කරගනිමින් දැහැමි ගොවිතැනෙන් දිවි ගෙවු ගොවීන් යම් සංඛ්‍යාවක් තාමත් මෙරට ඉතිරිව සිටිති. තම සම්ප‍්‍රදායික ගොවිතැනෙහි අත්‍යවශ්‍ය අංගය දේශීය බීජ බව දන්නා ඔවුන් තම දිවි නො දෙවෙනි කොට බීජ ආරක්ෂා කර ගත්තේ රාජ්‍ය අනුග‍්‍රහය යටතේ වැඩි දියුණු කළ බීජ අඩු මිලට ගොවීන් වෙත බෙදා හරින ලද පසුබිමක ය. ඔවුන්ගේ කැපවීම නිසා අද ද යම් ප‍්‍රමාණයක දේශීය බීජ මෙම රටෙහි ආරක්ෂිතව පවතී.

එහෙත් මෙම තත්ත්වය අද නෛතික වශයෙන් ම තර්ජනයට ලක්වීමට ඉඩ සැලසෙමින් පවතී. ඒ යෝජිත නව ‘බීජ පනත’ මගිනි. මහජන සාකච්ඡාවට යොමු කිරීම සඳහා මෙම කෙටුම්පත කෘෂිකර්ම අමාත්‍යංශය මගින් 2013 වසරේ දී ඉදිරිපත් කර ඇත.

මෙම යෝජිත පනතෙහි විධි විධාන අනුව දෙපාර්තමේන්තුව යටතේ ඇති කරනු ලබන ‘බීජ සහතික කිරීමේ සේවය’ විසින් සහතික කරනු නො ලැබුවේ නම් ඔබට කිසිදු සම්ප‍්‍රදායික බීජයක්, පැළයක්, තම හිතවත් ගොවියකු සමග හුවමාරු කර ගැනීමට, සුළු මුදලකට විකිණීමට නීතිමය අවසරයක් නැත. (බීජ සහතික කිරීමේ සේවය අති තාක්ෂණික නිල මඬුල්ලක් වන අතර ගොවීන්ගේ නියෝජිතයකු හෝ නොමැත). නීතිමය අවසරයක් නොමැතිවා පමණක් නො වේ; රුපියල් 50000 ක දඩයක් සහ මාස 6ක සිර දඬුවමකට ද ඔබට ලක් වීමට සිදු වේ. එම පනත මගින් කෘෂි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිලධාරීන්ට පොලිස් බලතල පවා ලබා දීමට යෝජිත ය.

ඔබගේ දේශීය බීජ අනිවාර්යයෙන් ම දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි විය යුතු ය. එසේ ලියාපදිංචි වීමට නම් කෘෂිකර්ම අධ්‍යක්ෂ විසින් තීරණය කරනු ලබන නිර්ණායකවලට එම බීජ ඇතුළත් විය යුතු ය. එම නිර්ණායක තීරණය කරනු ලබන්නේ අධ්‍යක්ෂවරයා විසින් පත් කරනු ලබන තාක්ෂණ කමිටුවක් මගිනි. එහි ගොවි මහතුන් නැති හෙයින් ගොවීන්ගේ නිර්ණායක අඩංගු වේ යයි බලාපොරොත්තු විය නො හැක. ඉතා අහිංසක ලෙස තම අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා බීජ ප‍්‍රමාණයක් රැක ගත් ගොවියකුට මෙම තාක්ෂණික කමිටුවල සංකීර්ණ නිර්ණායක සපුරා පෙන්වීම කිසිසේත් පහසු කරුණක් නොවනු ඇත.

ඔබ විසින් ඔබ නිවසේ දුම් මැස්සේ හෝ අටුවේ ගබඩා කරගෙන තිබෙන ඕනෑම බීජ වර්ගයක් පරීක්ෂා කිරීමට, නිදර්ශක ලබා ගැනීමට මෙම පනතෙන් අදාළ නිලධාරීන්ට බලය ලැබේ. ගොවි මහතුන් විසින් වසර ගණනක් තිස්සේ සංවර්ධනය කරගන්නා ලද බීජවලට කිසිදු නීතිමය අයිතියක් මෙම නව නීතිය විසින් පිළිගන්නේ නැත.

‘අනුරාධපුර ගොවි මහතෙකු වන කිරිබණ්ඩා මහතා මාස හයක සිර දඬුවමකට සහ රුපියල් 50000ක දඩයකට යටත් කොට ඇත. ඔහු විසින් කරන ලද අපරාධය වනුයේ දේශීය බීජයක් වන කලූ හීනටි තවත් ගොවියකුට බීජ වශයෙන් විකුණා මුදල් ලබා ගැනීම ය.’

යෝජිත නව ‘බීජ පනත’ සම්මත වුවහොත් මෙබඳු පුවත්පත් වාර්තාවක් ඔබට දකින්නට සිදුවන අනාගත කාලය එතරම් ඈත නොවනු ඇත.

මෙම පනත මගින් සේවය සලසන්නට බලාපොරොත්තු වන්නේ වාණිජ මට්ටමේ ගොවීන් සහ බීජ සමාගම්වලට බව සැකයක් නැත. තාක්ෂණ කමිටුව මගින් බලාපොරොත්තු වන සංකීර්ණ බීජ සංරක්ෂණ ක‍්‍රියාවලිය අනුගමනය කිරීමට වුවමනා නිර්ණායක සැපිරීමට හැකි වනු ඇත්තේ ඔවුනට පමණක් වන බැවිනි. මෙම සමාගම් මගින් සපයන බීජ සම්බන්ධව සහ එහි ප‍්‍රතිවිපාක සම්බන්ධව ඉහත දී සාකච්ඡා කර ඇත.

දැහැමි ගොවිතැන සඳහා අත්‍යවශ්‍ය සාධකය වන පාරම්පරික බීජ තව දුරටත් ජනතාවගෙන් ඈත් කොට අවසාන කර දැමීමට මෙම පනත අවසාන ඇණය ගසනු ඇත. කලියුගය අසුර බලයේ යුගය නො වේ යයි කාට කිව හැකි ද?

මෙරට පාරම්පරික ගොවීන් ශත වර්ෂ ගණනාවක් ආරක්ෂා කරගෙන එන දැහැමි ගොවිතැන තව දුරටත් කර ගෙන යාමට අපට තුනුරුවන්ගේ පිහිට ලැබේවා!

‘දේවෝ වස්සතු කාලේන – සස්ස සම්පත්ති හේතු ච
පීතෝ භවතු ලෝකෝ ච – රාජා භවතු ධම්මිකෝ’

සටහන – කේ. ඒ. ජේ. කහඳව