“අප්පුවෝ…. අප්පුවෝ… සුවඳෝ… උඹලා කොහෙද ඉන්නේ?”

“මේ එනවා ලොකු හාමුදුරුවනේ…”

“උඹල දෙන්නා හොඳ පුතාල වගේ කෝපි කඬේට ගිහිං පොල්තෙල් භාගයක් ඇන්න වරෙල්ලකො. බුදු පහන තියන්නවත් පොල්තෙල් කඳුලක් නෑ පන්සලේ. උන්දැලත් හැමදාම ලයිෆ්බෝයි යි සිග්නලුයිනෙ පූජා කොරන්නේ.

හොයලා බලලා අවශ්‍ය දෙයක් පූජා කොරන්ඩ තරං මොළයක් අපේ අම්මණ්ඩිලාට තියනවා කියලයැ…. උඹලටත් රෑට පාන් රාත්තලකුත් ගනිල්ලා. අන්න ලාච්චුවෙ සල්ලි කොළ ටිකක් ඇති.”

“එහෙමයි…. එහෙමයි ලොකු හාමුදුරුවනේ….. හිහි හිහි… යමං යමං.”

“අප්පුවො… ආං.. අර අර බලාපං ගුරුන්නාන්සෙ නේ ද මේ පැත්තට එන්නෙ?”

“කෝ කෝ… ඔහෙ පලයං. මේ යෝදයා පෙරේදා ගියේ මැරෙනකල් පන්සලේ පස් පාගන්නෑ කියල. ඕං අද ම එනවා…”

“මේ… ලොකු හාමුදුරුවන්ට අදත් බණී ද දන්නෑ.”

“නෑ. එව්ව කොහෙද අපි ඉන්නකං. හැබැයි අද නං මූඞ් එක හොඳයි වගේ… සුවඳෝ… මා කියන්ඩ ද වැඩක්. උඹ බණ්ඩත් ඇහැරෝගෙන ලොකු හාමුදුරුවො ළඟින් ම හිටහං. මං කෝපි කඬේට ගිහිං සුටුස් ගාලා එන්නං…..”

එහෙම කියලා අප්පුවා දිව යන්නට වුණා.

“මේ….. පාං රාත්තල අමතක වෙයි ඈ….”

සුවඳා කෑ ගැහුවා.

“හරි හරී…”’ කියලා දිව්ව අප්පුවා කෝපි කඬේට ඇතුල් වෙනකොට ම ඩිංගි මහත්තයා කථා කළා.

“ආ….. අප්පුවො. කොහොමද ලොකු හාමුදුරුවො සනීපෙන් ඉන්නව ද?”

“කියන්ට තරං අසනීපයක් නෑ. හොඳින් වැඩ ඉන්නවා. හැබැයි මං එද්දි ම ගුරුන්නාන්සෙත් පන්සලට ආවනෙ.”

එහෙම කියද්දි ම සොමි නෝනා “අයි අයියෝ… අදත් රණ්ඩු අල්ලයි ද දන්නෑ. ඇයි උඹ ලොකු හාමුදුරුවන් ව දාල ආවෙ. පන්සලට වෙලා ඉන්ඩ එපැයි..” කියලා කිව්වා.

එතකොට අප්පුවා “නෑ නෑ බයවෙන්ඩ දෙයක් නෑ. ගුරුන්නාන්සෙ අද නිකං පූස් පැටිය වගෙයි. කෝකටත් බණ්ඩටයි, සුවඳටයි ළඟින් ම ඉන්ට කියලයි මං ආවෙ. ඔව්…” කිව්වා.

“ආ….එහෙනං කමක් නෑ.” දයාවතී කිව්වා.

එතකොට සෝමදාස ළමයා, “හරි ඩිංගි මහත්තයො, මං අද උදේ කෙහෙල් කොටුවෙ ඉන්දෙද්දි ගුරුන්නාන්සෙ මඩුවට යන ගමන් මට කථා කළා. උන්දැගෙ කේන්තිය නිවිලා. වෙච්චි ඔක්කෝම අගක් මුලක් නැතුව මට කිව්වා. අපිට ආරංචි වුණ තරං ලොකු දෙයක් වෙලා නෑ…

ඕන් පළමුදා ලොකු හාමුදුරුවො මුදලාලි මහත්තයගේ ගෙදරට වැඩල කථා කර කර ඉඳල තියෙනවා. පාල කොලුවත් වැඩකරන ගමන් කන් දීල තියෙනවා. ඌට තේරිල තියෙන්නෙ ලොකු හාමුදුරුවො ගුරුන්නාන්සෙගෙ දොස් කියනව කියලා. මූ මඩුවට ගිහිං එක හැත්තෑ හත කරල ගුරුන්නාන්සෙව අවුස්සලා. උන්දැත් වැඩිය හොයන්නෙ බලන්නෙ නැතුව පන්සලට ගිහිං ලොකු හාමුදුරුවන්ට ටිකාක් දොස් කියලා තියෙනවා.

පුදුමයි කියන්නෙ එන්සිනෝ, ගුරුන්නාන්සෙ කිව්වා ලොකු හාමුදුරුවො බැණල ඉවර වෙනකම් ම හිනාවෙලා අහගෙන හිටියලු. කලබල වෙලත් නෑ. මූණ ඩිංගක්වත් වෙනස් වෙලත් නෑ. බැබළි බැබළි හිටියලු. ගෙදරට ආවට පස්සෙ ගුරුන්නාන්සෙට ම පුදුමයිලු ලොකු හාමුදුරුවො හැසිරිච්චි විදිහ ගැන. පස්සෙ, හැබෑවටම මොකක්ද උනේ කියල හොයලා බලන්ඩ හිතිල මුදලාලි හම්බෙන්ඩ ගිහිං. අනේ කිව්වලු ලොකු හාමුදුරුවො එක වචනෙකින් ගුරුන්නාන්සෙට දොසක් කිව්වෙ නැතෙයි කියලා. අර පාල කොලුව අහරෙං මෙහෙං ඇහිච්ච වැරදිවට අරංලුනෙ. ඕං ඇත්ත සිද්ධිය..” කියලා විස්තරේ කිව්වා.

එතකොට ඩිංගි මහත්තයා කියනවා,

“දැක්කනෙ අපි හැමදාම බුදු බණ අහනවා විතරයි. ප්‍රායෝගිකව අපේ ජීවිතයට ගළපා ගැනිල්ලක් නෑනෙ. වෙන මොකවත් නෙමේ, මේ හැම ප්‍රශ්නෙකට ම හේතුව ඕකයි. ඔන්න බලන්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා

‘න පරේසං විලෝමානි – න පරේසං කතාකතං
අත්තනෝව අවෙක්ඛෙය්‍ය – කතානි අකතානි ච’

අනුන් කරන කියන දේවල් හොයන්නැතුව, තමන්ගෙ ක්‍රියාව හොඳ ද නරක ද කියල බලාගත්තහම ඇති කියලා. අපි හොයන්නෙම අනුන්ගෙ කුණුනෙ. එව්වගෙ විපාක තමයි මේ…

ඊළඟට බුදුරජාණන් වහන්සේ අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේදී වදාළනෙ “රාහුලය, කයින් වචනයෙන් මනසින් යමක් කරන්ඩ කියන්ඩ හිතන්ඩ කලිනුයි, කරන වෙලාවෙයි, කළාට පස්සෙයි කියන අවස්ථා තුනේ ම හොඳට හිතල බලන්ඩ මං මේ කරන දේ හරි ද, කියන දේ හරි ද, හිතන දේ හරි ද, තමන්ට හිත සුව පිණිස පවතිනව ද, අනුන්ට හිත සුව පිණිස පවතිනව ද කියලා….

දැං පාල කොලුව ගුරුන්නාන්සෙගේ කනේ තියන්ඩ කලිං ඔය විදිහට කල්පනා කළා නං කිසි අර්බුදයක් තියෙනවැයි. නෑනෙ.. අපි බණ අහනව වගේ ම ක්‍රියාත්මක කොරන්ඩත් ඕන.”

එතකොට සෝමදාස ළමයා “හැබැයි මොනව උනත් ගුරුන්නාන්සෙ හිත හොඳ මනුස්සයා. මාත් එක්ක කථා කළේ අඬ අඬා. කිව්වා අද ම ගිහිල්ලා ලොකු හාමුදුරුවන්ගෙන් සමාව ගන්නවා කියලා. ලොකු හාමුදුරුවන්ගෙ ඉවසීම ගැන හරියට පැහැදිලා..”

එතකොට දයාවතී, “මේ මොන මල සමයමක් ද. හිතෙනකොට බයින්ඩයි, හිතනකොට සමාව ගන්ඩයි…”

ඩිංගි මහත්තය කියනවා “නෑ නෑ දයාවතී, එහෙම කියන්ඩ එපා. අපි මිනිස්සුනෙ. වරදින්ට පුළුහං. අර කියන්නෙ වැරදීම මිනිස් ගතියක්, සමාව දීම දේව ගතියක් කියල.”

එතකොට සෝමදාස ළමයා කියනවා “කොහෙද… අපේ උං හැමදාම සිල් ගන්නවා. ඒ උනාට ගෙදර මිනිහගේ පොඩි දේකට සති ගණං මූණ බලන්නෑ… කන්ඩ උයන්නෙත් නෑ. පරණ කෝන්තර හිතේ තියං පුපුර පුපුර ඉන්නවා.”

දයාවතියි, සොමි නෝනයි දෙන්න ඒ කථාව කියද්දි ඇහෙන්නෑ වගේ අහක බලා ගත්තනෙ.

ඒ වෙලාවෙ ඩිංගි මහත්තය “අනික භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයේ මෝඩයො දෙන්නෙකුයි, නුවණැත්තො දෙන්නෙකුයි ඉන්නව කියලා. තමන්ගෙ වැරදි වරදක් හැටියට දකින්නැති කෙනා පළමුවෙනි මෝඩයා. කාගෙ හරි අතින් වරදක් වෙලා සමාව ගනිද්දි සමාව දෙන්නැත්නම් එයා දෙවෙනි මෝඩයා. වරද වරද හැටියට දකින කෙනයි, වැරැද්දට සමාව දෙන කෙනයි කියන දෙන්න ම ප්‍රඥාවන්ත ගණයෙ මිනිස්සු. බලන්නකො නුවණෙ තියෙන අසිරිය.”

සෝමදාස ළමයා කියනවා “මටත් ධම්මපදේ එන ලස්සන ගාථා රත්නයක් මතක් උනා…

‘අභූතවාදී නිරයං උපේති
යෝ චාපි කත්වා න කරෝමීති චාහ
උභෝපි තේ පෙච්ච සමා භවන්ති
නිහීන කම්මා මනුජා පරත්ථ’

අනුන්ට අභූතයෙන් නින්දා අපහාස කරන කෙනයි, යම් පවක් කරල හිට ඒක කළේ නැතෙයි කියන කෙනයි දෙන්න ම මැරිල නිරයෙ යනවා. හීන ගුණ ඇති ඒ දෙන්න ම පරලොවදි සමානව නිරයෙ දුක් විඳිනවා කියනවා.

රං රිදී මුතු මැණික්වලට වඩා වටින මේ උතුම් ධර්මය අහල අපි කට තියෙන පලියට කියවන්නැතුව අපේ ජීවිතේ වෙනස් කර ගන්ට ඕන. තමන්ගෙ අඩුපාඩු හදාගන්ඩ ඕනෙ. වැරදි වුණා කියල මිනිසුන්ට ගරහන්ට හොඳ නෑ. අපි ගරහ ගරහ පවුකරගෙන නිරයෙ යයි. ඒ මනුස්සය වැරදි නිවැරදි කරගෙන සුගතියෙ යයි. මේ බුදු බණ අහලත් හැදෙන්නැත්තං ඉතිං ආයෙ මකලවත් මේ කපේ නං හදන්ඩ බෑ. නේද දයාවතී අක්කෙ?”

එතකොට දයාවතී හිනා වෙලා බිම බලා ගත්තා.

“අපි යං. කාටත් බුදු සරණයි.” කියපු ඩිංගි මහත්තයයි, සෝමදාස ළමයයි එළියට බැස්සා. අප්පුවා තෙලුයි පානුයි අරං පන්සලට දිව්වා. අනිත් අයත් පිටත් වුණා. කෝපි කඬේ ලෑලි දොරත් වැහුනා.

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි