ගෞතම සම්මා සම්බුදු සසුනේ අග්‍ර ශ්‍රවක මහ රහතන් වහන්සේලා අග තනතුරු ලැබුවේ අද වන් නවම් පුන් පොහෝ දිනයක ය. ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දකුණත් සව් වශයෙන් තනතුරු ලද ප්‍රඥා බල සම්පන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේට ද වමත් සව් වශයෙන් තනතුරු ලද ඍද්ධි බල සම්පන්න මහා මොග්ගල්ලාන මහ රහතන් වහන්සේට ද අපගේ නමස්කාරය වේවා!

අනන්ත සසර පුරා රැස් කළ මහා පුණ්‍ය සම්භාරය නිසාවෙන් සම්බුදු සසුනක අගසව්වන් වන්නට උන්වහන්සේලා භාග්‍යවන්ත වූහ. පිනෙන් ලද එ් අභිමානය පුහුදුන් මාන්නයෙන් කිසිදිනක කෙලෙසුණේ නැත.

‘‘ස්වාමීනි, මං දැකලා තියෙනවා අං කැඩිච්ච ගොන්නු. මේ අං කැඩිච්ච ගොන්නු හරීම කීකරුයි. හරීම දමනය වෙලා ඉන්නෙ. හරීම අහිංසකයි. හන්දි ගානෙ ඉන්නවා. පාරේ ඇවිදගෙන යනවා. කවදාවත්, කාටවත් හිංසා කරන්නේ නෑ.

ස්වාමීනි, මං අං දෙක කැඩිච්ච ගොනෙක් වගේ. මම මහග්ගත වූ, ප්‍රමාණ රහිත වූ, අප‍්‍රමාණ මෙත් සිත පතුරුවමින් වාසය කරන්නේ.”
(සාරිපුත්ත සීහනාද සූත‍්‍රය – අං. නි.)

මෙසේ සිංහනාද කළේ එ් නිකෙලෙස් මුනිවරුන් සතු වූ නිහමානීත්වය යි. තනතුරු ලාභය විසින් එ් නිහතමානි ගුණ ශෝභාවන් යටපත් කෙරුණේ නැත.

එ් මුනිවරුන්ගේ ගුණ සුවඳින් සුගන්ධනීය වූ යුගයත්, වර්තමානයත් අතර වෙනස අහසට පොළොව මෙනි. වත්මන් ලෝකය තුළ තනතුරු ලාභය යනු ආඩම්බරයෙන්, මාන්නයෙන් ඔද වැඞී යන්නට හේතු වන්නකි. තනතුර නිසාවෙන් තමන් සතු වූ තේජස අන්‍යයන් කෙරෙහි බලපැවැත්වීම සැපතක් කොට සලකන පිරිස් ලෝකයේ බහුල ය. එවැන්නවුන් අනුන්ට සේ ම තමන්ට සිදු කරන්නේ අයහපතකි.

තනතුර බලයක් කරගත් විට පහත් තැනින් වතුර ගලා යන්නා සේ එකී බලය පහළ සමාජ මට්ටම් කරා ව්‍යාප්ත වේ. එය සමාජයට අනවශ්‍ය පීඩනයක් එල්ල කරයි. බලහත්කාරකමින් යටපත් කරගත් සමාජයක සුවදායී පැවැත්මක් නැත. තනතුරේ බලය අවියක් කරගත් තැනැත්තා එය අහිමි වීමට ඇති ඉඩකඩ ගැන නිරන්තරයෙන් අවදියෙන් සිටී. තනතුර අහිමි වූ කල්හි ස්වකීය බලපරාක්‍රමයන් ද අහිමි වන බව දන්නා නිසා කෙසේ හෝ තනතුර රැකගන්නට ඔවුහු වෙර දරති. ඔවුන්ගේ ජීවිත ද පීඩනයෙන් බැහැර වන්නේ නැත.

තනතුරු ලාභය විසින් තමන් වත්, අනුන් වත් පීඩාවට පත් කරන්නේ නම් එය මෙලොවටත්, පරලොවටත් අලාභයකි. එයට විසඳුම තනතුරු පිටුදැකීම නො වේ; තනතුර බලයක් හෝ මාන්නය පිණිස වූ දෙයක් බවට පත් කරගැනීම වෙනුවට එය සමාජයට සේවය කරමින් පින් රැස් කරගැනීමට ලද මහඟු අවස්ථාවක් කරගැනීම ය. තනතුරේ අභිමානය සිත්හි දරාගත යුතු බව සැබෑවකි. එ් අභිමානය තුළින් මඟ හෙළි විය යුත්තේ තනතුරේ වගකීම් ද වගවීම් ද නිසි ලෙස ඉටු කරන්නට ය.

තනතුරු හිමි වන්නේ පුණ්‍ය බල මහිමයෙනි. එ් පුණ්‍ය විපාකයන් ද කවර හෝ මොහොතක අහිමි වී යා හැකි ය. එය ලෝක ධර්මතාවය යි. එසේ වූ කල්හි ලාභයන් අබිමුව උසුලා ගත නො හැකි ප‍්‍රීතියෙන් හෝ අලාභයන් අබිමුව උසුලා ගත නො හැකි ශෝකයෙන් කම්පා වීමෙහි කවර ඵලක් ද?

මහා බල සම්පන්න මාර සේනා පරදවා පිහිටුවාලූ සම්බුද්ධ රාජ්‍යයක අග්‍ර ශ්‍රාවක තනතුරු හෙබවූ මහ රහතන් වහන්සේලා සිත් මඬලේ දරා වැඩ හුන් අටලෝ දහමට නො සැලෙන සත්පුරුෂ ගුණධර්මයෙන් අපිදු පන්නරය ලබන්නේ නම්, තනතුර අනතුරක් කරනොගැනීමේ වාසනාව අප සතු ය…!