highlights of the week
Home » NEW ARTICLES » ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න.

ඔබත් මගඵල ලබනු කැමති ද? එසේ නම් මෙයත් දැනගන්න.

මෙකල ලෝකයේ කිසිම බෞද්ධ රටක අඛණ්ඩව පැවතගෙන එන රහත් සඟපරපුරක් නැත්තේ ය. එසේ ම අවශේෂ මගඵල ලාභී සඟ පරපුරක් ද නැත්තේ ය. මේ හේතුව නිසා ම මගඵල ලැබීමේ අදහසින් භාවනා කරන යෝගීන් නොයේක් ආකාරයේ මුළාවන්ට පත්වීමට බොහෝ සෙයින් ඉඩකඩ තිබේ. එය අවංකව ධර්මයේ හැසිරෙන යෝගීන්ගේ වරදක් නොවේ. ශාස්තෘ ශාසනය වන ධර්මයටත් විනයටත් මුල්තැන දීම වෙනුවට පුද්ගලික මගපෙන්වීම්වලට මුල් තැන දීමෙන් සිදුවන හානියකි.

මේ කාලයේ භාවනා වැඩසටහන්වලට සහභාගී වන ලෝකයේ බොහෝ අයට ශාස්තෘ සම්පත්තිය වන ධර්ම-විනය පිළිබඳව නිවැරදිව වටහාගත් දැනුමක් නැත්තේ ය. මෙනිසා ම බොහෝ දෙනෙකු තුළ ඇත්තේ තරඟයකට මෙන් තම තමන්ට ලකුණු දමාගැනීමේ ආශාවකි. මෙනිසා පෞද්ගලික මගපෙන්වීම් කෙරෙහි බුද්ධ වචනයටත් වඩා දැඩි විශ්වාසයක් ඔවුන් තුළ ඇති වී තිබේ. ධර්මය ගැන නොදන්නාකම හේතුවෙන් ඔවුහූ සුළු සමාධි තත්වයක් ඇති වූ පමණකින් ධ්‍යාන නොලබා ම ධ්‍යාන ලැබූ බවට රැවටෙති. මග-ඵල නොලබා ම මගඵල ලැබූ බවටත් රැවටෙති. මෙවැනි අවස්ථා ධර්මයෙහි සඳහන් වන්නේ අධිමාන්නයට පත්වීමක්, උපක්ලේශයන්ට හසුවීමක් වශයෙනි. භාවනා කරන අයෙක් සම්පූර්ණයෙන් ම රැවටී මුළාවට පත්වන්නා වූ උපක්ලේශ දහයක් ඇත්තේ ය. එයින් කොයියම් ම හෝ උපක්ලේශයක් භාවනා දියුණුවක් වශයෙන් රැවටී පිළිගෙන මුළාවකට පත්වුවහොත් ඒ අය තුළ නිසියාකාරව ප්‍රඥාව දියුණු වෙන තුරු ම ඒ මුළාවෙන් නම් ගැලවීමක් නැත්තේ ය. මෙවැනි අවස්ථාවල බොහෝ විට සිදුවන්නේ ඒ උපක්ලේශයන් ම තදින් ග්‍රහණය කරගැනීම යි. ධර්ම-විනයට මුල්තැන නොදීමේ, පුද්ගලික මගපෙන්වීම්වලට මුල් තැන දීමේ අනතුර එය යි.

භාවනාවේදී යෝගීන් මුළාවට පත්වෙන දසවැදෑරුම් උපක්ලේශයෝ මොනවාද?

1. (ඕභාසෝ) ආලෝකයක් ඇති වෙයි.
2. (ඤාණං) අධිෂ්ඨාන කළ දේ වැටහීගෙන යන සෙයක් හැඟේ. විශේෂ ඤාණයක් ඇති වූ සෙයක් හැඟේ.
3. (පීති) සිතේ බලවත් ප්‍රීතියක් ඇති වේ.
4. (පස්සද්ධි) කායික සැහැල්ලුවකුත් මානසික සැහැල්ලුවකුත් ඇති වේ. කිසි අපහසුවක් නැතිව භාවනා කරන්ට පුළුවන්කම ඇති වේ.
5. (සුඛෝ) සිතට මහත් සැපයක් දැනේ.
6. (අධිමොක්ඛෝ) සිත ලාමක අරමුණුවලට නොගොස් භාවනා අරමුණේ ම ස්ථිරව පිහිටා සිටින බවක් හැඟේ.
7. (පග්ගහෝ) තමන්ගේ සිත නිරායාසයෙන් ම භාවනා අරමුණට උත්සාහවත්ව පවතින සෙයක් හැඟේ.
8. (උපට්ඨානෝ) බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවක් ඇති වී තිබෙන සෙයක් දැනේ. එමෙන්ම ධර්මය ගැනත් ශ්‍රාවක සංඝයා ගැනත් එවැනි ම හැඟීම් ඇති වේ.
9. (උපෙක්ඛාවජ්ජනෝ) දහම් කරුණු මෙනෙහි කිරීමේදී මනාව පිහිටි උපේක්ෂාවකින් යුතුව ඒවා ආවර්ජනා කළ හැකි සෙයක් හැඟේ.
10. (උපෙක්ඛාය නිකන්ති) ඒ උපේක්ෂාවට ම සිත නැඹුරු කොට පවත්වා ගැනීමේ තදබල ආශාවක් ඇති වේ.

(සාරත්ථප්පකාසිනී – සංයුත්ත නිකායට්ඨකථා)

දස උපක්ලේශයෝ මේවා ය. බැලූ බැල්මට මේවා පෙනෙන්නේ භාවනාවේ දියුණු අවස්ථාවන් ලෙස ය. එමෙන් ම මේවා මුලින්ම සිතට එන්නේ සත්‍ය ම වූ දේවල් හැටියට ය. භාවනා කරද්දී මුල් අවදියේ පැමිණෙන මේ උපක්ලේශයන් සම්පූර්ණයෙන් ම ව්‍යාජ ඒවා ය. සත්‍ය ඒවා නොවේ. එහෙයින් නුවණැති යෝගියා කළයුත්තේ මේ කිසිවක් නොපිළිගෙන, මේවායින් උද්දාමයට පත්නොවී දිගට ම විදර්ශනා කිරීමයි. ප්‍රඥාව නියමාකාරයෙන් දියුණු වූ විට සත්‍යය, අසත්‍යය තමන්ට ම වැටහෙන්නේ ය. එය ප්‍රඥාවේ ඇති ආනුභාවයකි.

“ඉමානි දස ඨානානි – පඤ්ඤායස්ස පරීචිතා
ස තත්ථ කුසලෝ හෝති – න ච සම්මෝහං ගච්ඡති.”

“මේ දස උපක්ලේශයන් උපදින අවස්ථාවන්වලදී යමෙකු තුළ ඒ පිළිබඳ ප්‍රඥාව ප්‍රගුණ කොට ඇත්නම්, එම උපක්ලේශයන් හඳුනාගන්ට ඔහු දක්ෂ වෙයි. ඒ ගැන මුළාවටත් නොයයි.”

එසේ නම් මුලින් ම කරගත යුත්තේ උපක්ලේශයන් ඇති වන විට ඒවා හඳුනාගෙන, ඒවා සැබෑ දියුණුවක් නොව ව්‍යාජ ඒවා බව තේරුම් ගැනීම යි. එසේ නැතිව ඒවා සත්‍යය යි අදහාගෙන ග්‍රහණය කරගතහොත් තමන් පෘථග්ජනභාවයේ රැඳී සිටියදී ම මෙපමණකින් ම නිවන් මග අවසන් වනු ඇති.

මේ විපතට තවත් හේතු කාරණා ඇත්තේ ය. විශේෂයෙන් පුද්ගලික මග පෙන්වීම් කරන භාවනා ගුරුවරු මේ උපක්ලේශයන් ගැන සැලකිල්ලක් නොදක්වති. ඔවුහු භාවනා කරන අය ලබන අත්දැකීම් ධ්‍යාන මගඵල ලෙස පැවසීමට ඉක්මන් වෙති. මේවා සැබෑ දේ ලෙස පිළිගනිති. මෙයින් සිදුවන්නේ දෙපාර්ශවය ම තව තවත් නොමග යාම යි.

එමෙන්ම කවුරුත් අවධානය යොමු නොකරන තවත් බරපතල අනතුරක් ඇත්තේ ය. එය පැමිණෙන්නේ නොපෙනෙන ලෝකයෙනි. අප අවට ලෝකයේ සිටින සාමාන්‍ය පෘථග්ජන දේවතාවරු සාමාන්‍ය මිනිසුන් සෙයින් ම ඉතා පහසුවෙන් රැවටෙන, මෝඩකමින් යුක්ත වූවෝ ය. ඇතැම් අයට භාවනා කරද්දී මෙබඳු අමනුෂ්‍යයන් පෙනෙන්ට පටන් ගනී. දෙවිවරු ඇවිත් තමන්ට වැඳුම් පිදුම් කරන අවස්ථා පෙනේ. ඇතැම් භූතයෝ එබඳු යෝගීන්ගෙන් පින් ඉල්ලා සිටිති. ‘අසවල් භික්ෂුව මගඵල ලාභී ආර්ය උතුමෙකි. උන්වහන්සේට දන් පැන් පුදා පින් දෙන්ට’ කියා මිනිසුන්ට ආවේශ වී කියා සිටිති. ඇතැම් අවස්ථාවල ඤාතිභූතයෝ පවා එසේ කරති. ඇතැම් විට මාරපාක්ෂික භූතයෝ යෝගියාව නොමග යැවීමේ අදහසින් ද මෙබඳු දෑ කරති; කරවති.

එකල්හි යෝගියාත් තමන් අසවල් අසවල් මගඵලයන්ට පැමිණි ආර්ය පුද්ගලයෙකැයි තදබල විශ්වාසයක් ඇති කර ගනී. මෙලෙසට අමාරුවේ වැටුනු පසු යෝගීහු තම තමන් ගත් මතවාද තුළ තව තවත් දරදඬු වෙති. බුද්ධ වචනයටවත් හිස නමන්නේ නැත. තමන් නිවැරදි ම යි කියා සිතේ. මෙය වත්මන් ලෝකයේ ධර්මයෙහි හැසිරෙන අය මුහුණපාන අතිශයින් ම සංකීර්ණ වූ, අතිශයින් ම අපැහැදිලි වූ වටපිටාවකි.

මෙයින් බේරෙන්නේ කෙසේ ද?

මෙයින් බේරීමට එක ම මගක් ඇත්තේ ය. එනම්, තථාගත ශාස්තෘ ශාසනය වන ධර්ම-විනයට මුල් තැන දිය යුත්තේ ය. පුද්ගලික මගපෙන්වීම් ඒකාන්ත සත්‍යය යි පිළිනොගත යුත්තේ ය. තමා තුළ ද යහපත් ගුණධර්ම දියුණු වී තිබිය යුත්තේ ය.

මේ ගැනත් සිතා බලන්න.

අපගේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා අවස්ථාවෙහි මහා කස්සප මහරහතන් වහන්සේ වැනි අතිශයින් ම සම්භාවනීය වූ ශාසනභාරධාරී රහතන් වහන්සේලාටවත් බුදු සසුනේ හරය වන ධ්‍යානමාර්ගඵලාදිය ලබාදෙනු පිණිස ශාසනයේ මූලිකත්වය නොපැවරූ සේක. උපවර්තන සල්වනයේ පිරිනිවන් යහනේ සැතපී සිටි අපගේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.

“ආනන්දයෙනි, ඔබට මෙබඳු අදහසක් ඇතිවන්ට පුළුවනි. ‘බුද්ධ වචනය අතීතයට ගිය ශාස්තෘවරයෙකුගේ ය. ශාස්තෘන් වහන්සේ දැන් අපට නැත්තාහ’ කියා ය. ආනන්දයෙනි, මෙකරුණ එසේ නොදැක්ක යුත්තේ ය. ආනන්දයෙනි, මා විසින් යම් ධර්මයකුත් දෙසන ලද්දේ ද, විනයකුත් පනවන ලද්දේ ද මාගේ ඇවෑමෙන් ඔබගේ ශාස්තෘන් වහන්සේ වන්නේ ඒ ධර්ම-විනය යි” යනුවෙනි. වරක් සහම්පතී මහා බ්‍රහ්මයා පවා පවසා සිටියේ රහතුන් දහසක් බිහිකිරීමට එක් බුද්ධ වචනයකට හැකි බවයි.

එසේ නම් සසර දුකින් මිදී මගඵල ලබනු කැමති අය මුලින් ම කළ යුත්තේ ශාස්තෘ සම්පත්තිය වන ධර්ම-විනය කෙරෙහි පූර්ණ ගෞරවයක්, විශ්වාසයක් ඇතිකරගැනීම නොවේ ද? ඕනෑම නුවණැතියෙකුට ශාස්තෘන් වහන්සේගේ ඒ උතුම් බුද්ධ වචනය තුළින් බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය ගැන අවංක පැහැදීමක් ඇතිකරගැනීමට හැකියාවක් තිබ්බ යුත්තේ ය.

තමන් තුළ ධර්මාවබෝධයට උපකාරී වන ගුණධර්ම ඇතිකරගත යුත්තේ ය.

උඩඟු නැතිකම, පුහු මාන්නය නැති කම, නිහතමානීකම, අනවශ්‍ය වාදවිවාදවලට නොකැමතිවීම, ප්‍රසිද්ධියට ආශා නොකිරීම, පිරිසට අධිපති වෙන්ට ආශා නොකිරීම, ගුණධර්මයන්ට හිස නැමීම, අන්‍යයන්ට තමාගේ දියුණුව පෙන්නීමට හදිස්සි නොවීම, තමාව හුවාදක්වන්ට ආශා නැතිකම, කෙළෙහිගුණ දක්නා බව යනාදිය යි. විශේෂයෙන් ම නිහඬව කලබල නැතිව සිටීමත්, ඉවසීමත් බෙහෙවින් ම උපකාරී වේ. මෙවැනි ගුණධර්ම දිගට ම පවත්වා ගන්ට හැකි වුවහොත් තමන්ට මේ වූයේ කුමක් ද? මේ අත්දැකීම සැබෑවක් ද? මුළාවීමක් ද? මනෝ විකාරයක් දැයි කියා තේරුම් ගැනීමේ අවස්ථාවක් සෙමින් සෙමින් උදාකරගත හැකිය. එයත් ශාස්තෘ සම්පත්තිය වන ධර්මයේ පිහිටෙන් මිස පුද්ගලික මගපෙන්වීම්වලින් නම් නොවේ.

ඒ සඳහා කළ යුත්තේ මෙය බව සංයුත්ත නිකායට්ඨකථාවේ සඳහන් වේ.

එනම් තමා අත්දකින යම් ආලෝකයක් ඇද්ද, යම් ඤාණයක් ඇද්ද, යම් දෙයක් ඇද්ද ඒ සියල්ල ගෙවීයන ස්වභාවයෙන් යුතු (ඛයධම්මං) දෙයක් බවත්, නැසී වැනසී යන අස්ථිර ස්වභාවයෙන් යුතු (වයධම්මං) දෙයක් බවත්, ඇල්ම දුරුකරගත යුතු ස්වභාවයෙන් යුතු (විරාගධම්මං) දෙයක් බවත්, ඇල්ම නිරුද්ධ කරගතයුතු ස්වභාවයෙන් යුක්ත (නිරෝධම්මං) දෙයක් බවත් නුවණින් මෙනෙහි කිරීමයි. ඊළඟට ඒ සෑම උපක්ලේශයක් ගැන ම ඒ ඒ අවස්ථානුකූලව හොඳින් සිහිය පිහිටුවාගෙන ඒවා මාගේ නොවන බවත් (නේතං මම) ඒවා මම නොවන බවත් (නේසෝ හමස්මි) ඒවා මාගේ ආත්මය හෙවත් තමා වශඟයෙහි පවත්වා ගන්ට නොහැකි දේ බවත් (න මේසෝ අත්තා) වශයෙන් ඒ උපක්ලේශයන්ගේ සත්‍ය ස්වභාවය ම නුවණින් මෙනෙහි කළ යුත්තේ ය. විදර්ශනා වැඩීම යනු මෙය යි. ප්‍රඥාව දියුණු කිරීම යනු මෙයයි. සෑම දෙයක ම යථා ස්වභාවය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණය මැනවින් වැටහී යන විට උපක්ලේශයන්ට රැවටී මුලාවට පත්වීමක් නොවන්නේ ය.

එසේ නැතිව කලබල වී උපක්ලේශයන්ට මුළාවී භාවනා දියුණුවක් ලෙස පිළිගතහොත් යෝගියාට දැනෙන්නේ ම තමා ආර්ය උත්තමයෙකු බවයි. නමුත් සත්‍යය නම් ඔහු තවමත් පෘථග්ජනයෙකි. ඒ උපක්ලේශයන්ට මුළාවන ඔහු එයින් කම්පා වෙයි. කම්පාවීම යනු තමන් කලින් සිටි ප්‍රකෘති ස්වභාවයෙන් සිටින්ට නොහැකි වීමයි. තමාගේ අත්දැකීම ඒකාන්ත සත්‍ය බවත්, තමා නිවන් අවබෝධ කළ බවත් අන්‍යයන්ට හඬගා කියන්ට සිතෙයි. තමා ආර්ය උතුමෙකැයි හුවා දක්වන්ට සිතෙයි. එසේ ම කරයි. මගඵල සඟවාගෙන සිටීම වරදක් බවත්, කළයුත්තේ ඒවා හෙළිදරව් කොට අන්‍යයන්ව ද මේ මාර්ගයේ උත්සාහවත් කොට සැනසීම ලබාදීම බවත් කියමින් අපගේ ශාස්තෘන් වහන්සේ විසින් අවසන් මොහොතේ දී ශාස්තෘ තනතුරේ තබා වදාළ ධර්ම විනය නමැති ශාස්තෘ සම්පත්තිය පවා ඉක්ම යයි. ධර්ම විනය නමැති ශාස්තෘන් වහන්සේ යටතේ සිටින්ට නොහැකි වෙයි. මෙයට ප්‍රධාන හේතුව වන්නේ ධර්ම විනයට මුල්තැන දී ඒ යටතේ සිටිය හැකි ආකාරයේ ගුණධර්ම දියුණුවක් තමන් තුළ ඇතිවී නැති නිසා ය.

මෙකී දුර්වලතාවන්ට හසුවුවහොත් පළමුව නොමග යන්නේ ධර්ම විනයට නොව තම අත්දැකීමට මුල් තැන දුන් තැනැත්තා ය. අනතුරුව නොමග යන්නෝ ඒ තැනැත්තාගේ පුද්ගලික මගපෙන්වීම ඒකාන්ත සත්‍යය යැයි අදහාගෙන සිටින්නෝ ය. කෙනෙකු තුළ උඩඟුකමත් මෝඩකමත් බලවත්ව තිබුණහොත් එබඳු අය දැනුවත් කිරීම අසීරු වෙයි. එබඳු අය පහසුවෙන් නොමග යති. මෙය මෙකල මේ ලෝකයෙහි ධර්මයේ හැසිරෙන අයට පොදු වූ ස්වභාවයකි.

මෙහි ප්‍රතිඵලය වන්නේ ශාස්තෘ සම්පත්තිය වන ධර්ම විනය මුල්කරගැනීම වෙනුවට උපක්ලේශයන්ගෙන් මුළාවට පත්වූවෙකු මුල් තැනට පැමිණීම යි. මෙවන් පුද්ගලයෝ ධර්ම විනයට මුල්තැන නොදෙති. ධර්ම විනයේ ශාස්තෘත්වය බැහැර කරති. තමාගේ මතය සනාථ කරගැනීමට අවශ්‍ය තැනේදී පමණක් සූත්‍රපාඨ උපුටා දක්වති. තම මතයට බාධා පමුණුවන සූත්‍රයක් දුටු කල්හි ‘පස්සේ කාලේ වැරදුනු තැන් නොවැ, බුද්ධඝෝෂ තෙරුන් කළ විකෘතියක් නොවැ’ කියා බැහැර කරති. මෙවැන්නන්ගේ අනුගාමිකයෝ ද ධර්ම විනය මුල්කොට ගත් තිසරණය අහිමි කරගත්තෝ ය. උපක්ලේශයෙන් නොමග ගිය පුද්ගලයන් සරණ කොට සිටින්නෝ ය. එකී පුද්ගලයන්ව ම හුවාදක්වන්නෝ ය. මග වරදවා ගත්තෝ ය.

මෙවන් පරිසරයක් තුළ සැබෑ ශාස්තෘ සම්පත්තිය වන ධර්ම විනය මුළුගැන්වෙයි. උපක්ලේශයන්ගෙන් මුළාවට පත්වූවන්ගේ නායකත්වය නිසා ශාසන විලෝපයක් ඇතිවේ. සාරත්ථප්පකාසිනී නමැති සංයුත්ත අටුවාවෙහි මෙවැනි අභාග්‍යසම්පන්න තත්වයට පත්වූ අය හඳුවන්නේ ‘අධිගම ප්‍රතිරූපකයෝ’ හෙවත් ‘ව්‍යාජ මගඵලලාභීහු’ වශයෙනි. ධර්ම විනයට මුල්තැන නොදී තම තමන්ගේ ධර්මාර්ථ විග්‍රහයන් මතුකරන හෙයින් මෙබඳු අයගෙන් ‘සද්ධර්ම ප්‍රතිරූපක’ හෙවත් ‘ව්‍යාජ ධර්මය’ පහළ වේ. මෙය ද හේතුවන්නේ බුදු සසුනෙන් පිළිසරණ ලබාගැනීමට නොවෙයි. තව තවත් සසුන් මග අවුල් වී යාමට ය. මෙනිසා ම බොහෝ දෙනෙකුට මගඵල පමණක් නොව සුගතියෙහි ඉපදීමට ඇති අවස්ථාව පවා අහිමි වී යනු ඇත.

එනිසා නුවණැති ශ්‍රාවකයන් කළයුතු වන්නේ ශාස්තෘ සම්පත්තිය වන ධර්ම විනයට මුල්තැන දීම ම යි. තම අත්දැකීමට දෙවෙනි තැන දීමයි. නිහතමානීව, නිහඬව, ඉවසීමෙන් යුතුව ධර්මය ම පුරුදු කිරීම යි. මගඵල ලබාගත හැකි අයුරින් ශාස්තෘ සම්පත්තිය නොඅඩුව පිහිටා ඇති ධර්ම විනයට පළමුකොට ගරු බුහුමන් දැක්විය යුත්තේ ය. මනාකොට ඉගෙනගත යුත්තේ ය. පිළිපැද්ද යුත්තේ ය. තමා ද ඊට සුදුස්සෙකු වන අයුරින් ගුණධර්ම දියුණු කරගත යුත්තේ ය. මක් නිසා ද යත්; සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් මගඵල ලබාදෙන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාස්තෘ ශාසනයෙන් පමණක් නිසා ය. අප භාග්‍යවතුන් වහන්සේ ධර්මස්වාමී වන සේක. නිවන් මග මැනවින් අවබෝධ කරගත් මග්ගඤ්ඤූ වන සේක. නිවන් මග පිළිබඳ මහා නුවණැතිව මග්ගවිදූ වන සේක. නිවන් මගෙහි අතිශයින් ම දක්ෂව මග්ගකෝවිදෝ වන සේක.

අපගේ ධර්ම සේනාධිපති සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පටන් වර්තමාන කාලය දක්වා සියලු භික්ෂූන් වහන්සේලා කරනු ලබන්නේ ඒ ශාස්තෘ සම්පත්තිය වන ධර්ම විනය ම මැනවින් දක්වාලීම ය. ශ්‍රාවකයෝ වනාහී මගඵල තීරණය කරන්නෝ නොවෙති. ඔවුහු ශාස්තෘන් වහන්සේ වදාළ ධර්ම විනය පිළිසරණ කොට ශාස්තෘන් වහන්සේ පසුපසින් යමින් නිවන් මග යන්නෝ ය.

මගඵල යනු ධර්මයේ හැසිරීම හේතුවෙන් ශාස්තෘ සම්පත්තිය තුළින් ම පමණක් ශ්‍රාවකයන්ට ලැබෙන දායාදයකි. එය පෞද්ගලික මගපෙන්වීම්වලින් නොලැබිය හැකි දෙයකි. නුවණැත්තෝ මෙය වටහාගනිත්වා! ශාස්තෘ සම්පත්තිය වන ධර්ම විනය තුළ උතුම් තිසරණය රැකගනිත්වා!

“ඛණෝ වෝ මා උපච්චගා!”

“ඉතා දුලබව ලද ක්ෂණ සම්පත්තිය ඔබව ඉක්ම නොයේවා!”

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන පූජාවන් නිෂ්ඵල වන්නේ ද?

අසමසම වූ සම්බුදුවරයන් වහන්සේලාට දෙව් මිනිසුන් විසින් පූජාවෝ පවත්වනු ලබති. ඒ පූජා සත්කාරයන් උන්වහන්සේලා නොඉවසති. මෙය බුදුවරුන්ගේ ධර්මතාවයකි.