අද මම ඔයා එක්ක ‘ඔයා කැමති’ දේවල් ටිකක් ගැන කථා කරන්න හිතුවා. ‘ඔයා කැමති’ දේවල් ගැන ඔයා ආසා විදියකට කථාව පටන් ගන්න හිතුවට, ඔයා ආසා විදියට කථාව ඉවර කර ගන්න පුළුවන් වෙයි ද කියන එක ගැන මට තියෙන්නේ කුතුහලයක්, කොහොම වුණත් මට හිතෙනවා, නුවණ තියෙන කෙනෙක් විදියට ඔයා එ් දේත් අහන් ඉඳියි. මාත් එක්ක හිතේ අමනාපයක් නැතුව ම… මේ ලෝකේ කොයිතරම් රූප තිබුණත් එ් හැම එකක් ම අතරේ ඔයා කැමති රූප තියෙනවා, මේ ලෝකේ ශබ්ද අතර ඔයා කැමති ශබ්ද තියෙනවා, එක එක ජාති තිබුණත් ඔයා කැමති රස ජාතිය වෙනස්, එක එක විදියට ලැබුණත් ඔයා කැමති පහස වෙනස්, එක එක අරමුණු තිබුණත් ඔයා ආස ම අරමුණු තියෙනවා. සමහර විට වෙන වෙන අය එ්වාට ආසා නැහැ, එහෙම කියලා ඔයාට ගාණක් නැහැ. ඔයා ආසා එ්කට, සමහර විට ඔයා ම අද ආසා කරපු දේ හෙට ආසාව අත් හරිනවා, ඊට වඩා වෙන දේකට ආසා කරනවා. කොහොම කොහොම වුණත් දවස දවස ඔයාගේ ආසා වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ…

හිතට සතුට ගේන රූප බලන්න ඔයා ආසයි, හිතට සතුට ගේන කථා අහන්න ඔයා ආසයි, හිතට සතුට ගේන ඕන දෙයකට ඔයා ආසයි, එ් ආසා දේවල් ලබාගෙන ඔයා ළඟ තියාගන්න, තියාගෙන එ්වායෙන් සතුටු වෙන්න ඔයා ආසයි, එ් ආසාව නිසා තමයි පුංචි කාලේ ඉඳන් ම ඔයා ඉස්කෝලෙ ගියේ, ඉගෙන ගත්තේ, ? නිදි තැතුව පාඩම් කළේ, හරියට කෑමක් නැතුව පන්ති ගියේ, විභාග ලිව්වේ, කැම්පස් ගියේ, රස්සාවකට ගියේ…
එ් ආසා දේවල් නිසා තමයි ඔයා හිමිදිරියෙ ම නැගිට්ටේ, රස්සාවට එන්නේ, මග දී ඔයාට ප‍්‍රිය අයව මුණ ගැහෙනවා නම් එ්කට ඔයා ආසයි. එ් අය එක්ක කථා කළේ ඔයා ආසා දේවල් තමයි. කෝච්චියේ, බස් එකේ බෑග් තියලා සීට් බුක් කළේ ඔයා ආසා අය එනකල් තමයි. ඔයා ආසා නැති අය පව්, එයාලා වාහනේ වහලේ එල්ලිලා තැලිලා, පොඩි වෙලා දුක සේ හිටගෙන ඉද්දීත්, ඔයා ආස කෙනාට විතරයි ඔයා සීට් එක දුන්නේ…

ඔයා ආසා රූපෙ ඔයා හෙව්වා ඔයාට ලැබුණා. ඔයාගේ ආසාව නිසා තමයි කසාද බැන්දේ, අලූත් තාලෙට – අලූත් කාලෙට හරියන්න, ජයට මඟුල් ගත්තේ, තාප්ප බැන්දේ, ළමයි හැදුවේ…

ඔෆිස් එකේ යාළුවො වට කරගෙන ඔයා කථා කරනවා, ඔයා ආසා දේවල්. ඔයා ආසා නැති දේවල් ඇහෙද්දී ඔයාගේ මුහුණ වෙනස් වෙනවා, ඔයා කරන්නේ ඔයා ආසා දේවල්. කවුරු හරි ඔයා ආසා නැති දෙයක් කළොත් ඔයාට තරහයි, කේන්තියි. තරහා නොගෙන, කේන්ති නොගෙන හොඳින් ඉන්න ඔයා ආසයි. එ්කයි ඔයා ත්‍ඵ චැනල්වලට කෝල් කළේ, ඔයා ආසා සින්දුව ඉල්ලූවේ. එ්කට ඔයා එකතු කර ගත්තේ ඔයා ආසා අයව යි. ඔයා මහන්සි වෙලා වැඩ කරනවා, එ් වැඩ කරන නිසා තමයි ඔයාට වියදමට මුදල් හම්බවෙන්නේ, එ් මුදල් ලබන්න නම් ඔයා වැඩ කරන්න ඕනෑ. වැඩියෙන් වැඩ කළොත් වැඩියෙන් ලැබෙනවා. එ් නිසා තමයි ඔයා වැඩියෙන් වැඩ කළේ… තව කොච්චරක් දේ තියේ ද නො කරපු, නො ගනිපු, නො දැකපු ඔයා ආස දේවල්….

ඔයා ආසයි හැමදාම හිනාවෙලා ඉන්න, එ් නිසයි ඔයා යාළුවො එක්ක විහිළු කර ගත්තේ, ඔයාලා එක්ක ඉන්නවා කෙනෙක්, එයා හරි ම විහිළුයි, එයාගේ විහිළුවලට ඔයා හරි ම ආසයි. එයා කියන එ්වාට ඔයා හරි ම ආසයි. ඔයා ආසා නිසා එයා හිත හිත, මව මව එක එක එ්වා කියනවා. එ්කටයි එයත් ආස. එ් ආස නිසා තමයි එයා මිනිස්සු ගැන කැත කථා කියන්නේ. එ් කැත කථා කියන්න එයා කැත විදියටයි හිතන්නේ, එ්ත් එ්වා ඇහුවම ඔයාට සතුටුයි. එ් නිසයි ඔයා එ්වා අහන්නේ. ටික ටික ඔයාගේ හිතත් කැත වෙලා. එ්ත් ඔයා ආසයි එ්කට… එ් හිතෙන කැත අදහස්වලට නේ ද…?

ඔයා ආසයි ලස්සනට ඉන්න. ඔයා ආසයි ඔයාගේ ලස්සන පෙන්නන්න, ‘‘ඔයා ලස්සනයි” කියලා අනික් අය කියනවාට ඔයා ආසයි. එ්කයි අලූත් ඇඳුම් ගත්තේ, එ්කයි ඇහි බැම පාට කළේ කඳුළු පනිද්දී, මේ වේදනාව දැනෙද්දී ඇහි බැම කැපුවේ එ්කයි. ඔයා මේකප් කළේ එ්කයි. මතක ද තෙල් ගාලා, පීරලා දිගට තිබුණු කොණ්ඩෙ? එ්ක වේළලා, පුම්බලා කොටට කැපුවේ ඔයා ආසයි ඔයා ආස අය ඔයා ගැන ලස්සන කියනවාට… එහෙම නේ ද….? මුහුණ සුදු කරන ක‍්‍රීම් ගෑවෙත් එකයි, සබන් වෙනුවට ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න ගත්තේ එ්කයි. ඔයා ආසයි ‘ඔයා ආස විදියට’ ඉන්න….

ඔයා ආස විදියට ඉන්න ඔයා කැමති වුණාට, හැමදාමත් ඔයාට ඔයා ආස විදියට ඉන්න ලැබෙයි ද? ඔයා ආසයි හැමදාම ඔයා තරුණයි කියලා කියන්න, එ්ත් දවස් ගෙවි ගෙවී අවුරුදු ගණන් ගෙවිලා ගිහින්, ඔයා ආසා වුණාට ඔය කෙස් සුදු නො වී තියෙනවාට, එ්ක එහෙම වුණේ නැහැ. කෙස් ගස් එක දෙක සුදු වෙන්න ගත්තා. ඔයා ආස නැහැ යාළුවො එ්ක දැන ගන්නවාට. එ් නිසා තමයි ඔයා එ්වා කළු කරන්න ගත්තේ. එ්වා කළු කරන් හිටියත් ඔයාගේ දත් දිර දිරා ගියා. අන්තිමේ දී එ්වා හැලිලා ගියා. එ්ක වහන්න තමයි ඔයා බොරු දත් දැම්මේ. එ්ත් ඔයා ආසා දේ වුණේ නැහැ. හම දිර දිරා ගියා, ලප කැළැල් ඇති වුණා, තැනින් තැනින් රැුලි ගැහෙන්න ගත්තා. එ්වා වහගන්න තමයි ඔයා එක එක ඔපරේෂන් කළේ.

ඔයා ආස වුණාට ඔයා ආස අය එක්ක ම ඉන්න, එ්ක වුණේ නැහැ. එයාලා වෙනස් වෙලා ගියා, හැමදාම ඔයාව හිනස්සලා තියන්නම් කියපු අය ම ඔයාව දාලා ගියා. එක්කෝ හදිසියේ මැරිලා ගියා. නැත්නම් වෙන වෙන නගරවලට, රස්සාවලට ගියා. හිනා වෙලා ඉන්න ආසා කළ ඔයාට කඳුළු දීලා එ් අය ගියා. ඔයා ආස නැති වුණාට එයාලා ආස තැන්වලට එයාලා ගියා නේ ද? ඔයා ආස නැති අය එක්ක ඔයාට ඉන්න වුණා, ඔයා ආස දේවල් එනිසා බලන්න බැරි වුණා. අහන්න බැරි වුණා. කියන්න බැරි වුණා. ‘අනේ මේ අයගෙන් දුරස් වෙන්න ඕනේ’ කියලා ඔයාට හිතුණා නේ ද?

එදා ඔයා ආසා කරපු, ආසාවෙන් ම ළං කර ගනිපු දේවල් නිසා ම අද ඔයා කොයිතරම් දුක් විඳිනවා ඇද්ද? එදා ඔයා දකින්න ආසා වුණු රූපය, අද ඔයා දකින්න ආසා ම නැති රූපය වෙලත් ඇති. එදා ඔයා එ් දේ නිසා හිනාවෙලා හිටියට අද එ් දේ නිසා ම ඔයා අඬ අඬා ඇති… එහෙනම් මේ ‘ඔයා ආස’ දේ ඔයාට යහපතක් කරලා නැහැ නේ ද? ඔයා ආස දේ ඔයා සතුටු වෙන්න හෙව්වට ඇත්තටම එ් ආසා දේ ඔයාට දුකට පත් කරලා නේ ද? එ් ආස දේ ඔයාව ‘භය’ට පත් කරලා නේ ද? එ් ආස දේ ඔයාට ජීවිතය එපා කරවලා නේ ද? එහෙනම් ඔයා රැවටිලා. මොකටද ඔයා රැවටුනේ? කවුද ඔයාව රැුවැට්ටුවේ? ඔයාගේ ආසාව තමයි ඔයාව රැවැට්ටුවේ. රැවටි රැවටී ඉද්දී තේරුම් ගන්න දෙන්නේ නැහැ මේ ඔයාව රවටනවා කියලා. ඇත්තටම ඔයා හරි ම පව් නේ ද? ඔයා විතරක් නෙවෙයි, මමත් ඔහොම තමයි. අපි ඔක්කොම ඔහොම තමයි. ‘හිත කැමති දේ’ කර කර, අපි රැවටි රැවටී ඉන්නවා. හිතේ ඇති වුණු සිතුවිලිවලට රැවටිලා ඉන්නවා. ඇයි එහෙම රැවටුණේ? ඇසට පෙනෙන රූප ගැන ඇත්ත දන්නේ නැති නිසා අපි රැවටුණා, කනට ඇහෙන ශබ්ද ගැන ඇත්ත දන්නේ නැති නිසා අපි රැවටුණා. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන ඇත්ත දන්නේ නැති නිසා අපි රැවටුණා. දිවට දැනෙන රස ගැන, කයට දැනෙන පහස ගැන, සිතට දැනෙන අරමුණු ගැන ඇත්ත දන්නේ නැති නිසා අපි එ්වාට රැවටුණා…
එ්ත් අපි වගේ ම මිනිස් මව් කුසකින් මෙලොව උපන් කෙනෙක් හිටියා, පුංචි කාලේ ඉඳන් ම එයා ආසා දේවල් ම විතරයි එයා දැක්කේ, ඇහුවේ, බැලූවේ. එ්ත් එ් කෙනා තමයි මේ ලෝකේ පහළ වුණු පින්වන්ත ම, උතුම් ම කෙනා, ප‍්‍රඥාවන්ත ම කෙනා, වීර්යවන්ත ම කෙනා, කරුණාවන්ත ම කෙනා, කවුරුත් කියන්නෙවත් නැතුව, කාගෙන්වත් අහන්නෙවත් නැතිව සොයා ගත්තා ‘මේ ආස දේ’ ගැන, එ්කට කිව්වා ‘කාමය’ කියලා. එ් ආස වෙන දේවල්වලට කිව්වා ‘කාම ගුණ’ කියලා. හොයා ගත්තා ඇයි මේ ඉපදුණු සත්වයෝ මේ දුක් විඳින්නේ කියලා. තේරුම් ගත්තා, මේ හිත කැමති දේ නිසා ආස්වාදයක් ලැබෙනවා තමයි, නමුත් එ් ආස්වාදය ලබන්න කරන දේවල් නිසා මේකෙන් ලැබෙන ආදීනව මහා විශාලයි. මේ ආස්වාදය ලබන්න තමයි පොඩි කාලේ ඉඳන් ම වයසට යනකල් ම දිවා රෑ නො බලා, අව් වැසි නො බලා දුක් මහන්සි වෙන්නේ. අන්තිමට මැරිලා යන්නෙත් මේ ආසා දේ ගැන තියෙන ආස්වාදයට ආසාවෙන් ම යි. නමුත් මේකේ නිස්සරණයකුත් තියෙනවා. අන්න එ් මිදෙන ක‍්‍රමය එ් උතුම් කෙනා තමයි හොයා ගත්තේ… මොකක්ද එ්? එ් තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය.

ඔයා කල්පනා කරලා බලන්න එ් කාලේ ඔයා කරපු දේවල්වලට දැනුත් ඔයා ආසයි ද? එ් කාලේ ඔයා ඉන්න ආසා කරපු විදියට තාමත් ඔයා ඉන්න ආසයි ද? එ් ආසාව වෙනස් වෙලා. එහෙම වෙනස් වෙන ආසාවක් නිසා තමයි ඔයාගේ පපුව බර වෙලා, ඉකි ගැහිලා, ඇස්වලින් කඳුළු පනින්නේ, එ් ආසාව නිසා තමයි අපි දුකට පත් වුණේ. ආයෙ ආයෙ හෙව්වත් ඔය හිතේ තියෙන කැමති දේ අපිට අත් කරලා දෙන්නේ ඔච්චරයි. දුක, ශෝකය විතරයි. ඔය ආසාව නිසා තමයි අපි හරි කියලා හිතාගෙන මහා වැරදි දේවල් කළේ. සමාදන් වෙලා හිටපු සිල් පද පවා කඩා ගත්තේ, ඔය හිතේ ඇති වුණු ළාමක ආසාවට රැවටිලා තමයි…

අද ගිහි ගෙදර ඉන්න ඔයා වට කරගෙන තියෙන්නේ ඔය හිත ඇදිලා යන දේවල් ම තමයි. ඔයාට එ්වා එක්ක ඉන්න වෙනවා, ඔයාගේ පැවැත්ම පිණිස. එ්ක ඇත්ත. එ් ඉන්න ගමන් ඔයා ඉගෙන ගන්න, අර කලින් කියපු උත්තමයාණන් වහන්සේ ගැන, ඔයා දන්නවා එ් උත්තමයාණන් වහන්සේ තමයි අපේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. එ් කරුණාවන්ත හද මඩලෙන් අපිට කියා දුන්නා ‘ඔය හිතේ ආසාව තමයි අපේ පපුව බර කළේ. අපිට ඉකි ගැහිලා, ඇස්වලින් කඳුළු පැන්නුවේ, ඇනුම්, බැණුම්, තාඩන පීඩන, දුක් සෝ තැවුල් ඔක්කොම උරුම කළේ. ආයෙ ආයෙමත් අපිට කඳුළ, සුසුම විතරයි උරුම වෙන්නේ’ කියලා…
නරක අය එක්ක ඉන්න වෙන්නේ, නරක එ්වා හිතන්න වෙන්නේ, නරක එ්වා කරන්න වෙන්නේ, ආයෙ ආයෙ නරක තැන්වල උපදින්න වෙන්නේ, එ් ඔක්කොම වෙන්නේ ඔය ආසා දේ නිසා. කියන තරම්, හිතන තරම් ඕකෙන් ගැලවෙන්න ලෙහෙසි නැහැ තමයි. එ්ත් අල්පයක් හරි ශ‍්‍රද්ධාවකින් විශ්වාස කර ගත්තොත් ලොවේ උතුම් මුනිරජාණන් වහන්සේ පෙන්නුව මගේ ගියොත් මේකෙන් මිදෙන්න පුළුවන් කියලා, එ් කෙනා තමයි එ් මගේ යන්න උත්සාහයක් හරි ගන්නේ. උත්සාහ කරන කෙනාට තමයි ප‍්‍රතිඵල පෙනෙන්න ගන්නේ. ප‍්‍රතිඵල පෙනෙද්දී තමයි එයාට තව තවත් විශ්වාසය ඇති වෙන්නේ මේ මග පිරිසිදුයි, පැහැදිලියි කියලා. එයා තමයි වීර්යය කරන්නේ. වීර්යය කරනකොට යාන්තම් හරි සැනසීමක් ලැබෙනවා කියන එක හරි දෙයක් නේ ද? එයාට කවදා හරි එය ම ප‍්‍රයෝජනවත් වෙනවා. එ් නිසා ඔන්න ඔයාටත් දැන් එ් මග මුණ ගැහිලා තියෙනවා. ආසා දේ නිසා විඳපු දුක දැන් ඇති නේ ද?

මහාමේඝ 2015 බක් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
ජේ. පී. මහේෂ් චාමල්