highlights of the week
Home » NEW ARTICLES » සුන්දර දිවියකට නොවරදින අත්වැලක්

සුන්දර දිවියකට නොවරදින අත්වැලක්

ලස්සනට ඉන්න කැමති තරුණ දුවල පුතාල කරන්නෙ නිතර ම කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා අඩුපාඩු සකසා ගන්න එකනේ. කොණ්ඩෙ අවුල්වෙලා නම්, අපි කරන්නේ කොණ්ඩෙ පිළිවෙළකට සකසා ගන්නවා. ඇස්වල කබ තියෙනවා නම්, නාසයේ සොටු තියෙනවා නම් ඒවා ඉවත්කර ගන්නවා. ඇඳගෙන සිටින ඇඳුම පිළිවෙළකට සකස් කර ගන්නවා. මූණේ පවුඩර් ගාලා තෙල් ගතිය ඉවත් කර ගන්නවා.

අන්න ඒ වගේ ම යි නුවණ තියෙන කෙනෙක් කටයුතු කරන්න ඕනෙ තමා ළඟ මුල් බැසගෙන තියෙන අකුසල් ඉවත් කර ගන්නයි. ඒ අකුසල් තිබුණොත් අපි බුද්ධිමත් ගිහි පැවිදි උදවියගේ අවවාද, අනුශාසනා ලබන්න සුදුසු වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක දරුවන් වන අපි සඟ පිරිස අනුව යමින් මේ අකුසල් හඳුනාගෙන ප්‍රහාණය කරන ආකාරය ගැන අද කතාබස් කරමු.

ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා, පසුපස හඹායාමේ ආශාව

ලාභ සත්කාර, කීර්ති, ප්‍රශංසා ලබාගන්නට ඇති වන ළාමක ආශාව හිතේ තියෙනකොට, ඒකෙ ආස්වාදය ම යි නිතර සිහිවෙන්නෙ. එතකොට ඒකෙ ම හිත බැස ගන්නවා. ඊට පස්සේ ලාභ, සත්කාර ලබා ගන්න ම කල්පනා කර කර ඉන්නවා. එතකොට ගුණධර්ම දියුණු කර ගන්න ප්‍රමාද වෙනවා. ඊටපස්සේ දියුණු නොකළ ගුණධර්ම තමා තුළ ඇති බව පෙන්වීමට බොරුවට රඟපානවා. එතකොට ලැජ්ජා බය නැතිවෙනවා. එතකොට එයා අතින් සිල්පද කැඩිල දුස්සීල කෙනෙක් බවට පත්වෙනවා. එතකොට එයා බුද්ධිමත් ගිහි පැවිදි උදවියගෙන් කොන්වෙනවා.

එතකොට එයාගෙ දියුණුවට බුද්ධිමත් ගිහි පැවිදි උදවියගෙ අවවාද අනුශාසනා නො ලැබී යනවා.

ඒ නිසා අපි මෙහෙම හිතමු. ‘යම් කෙනෙක් ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා පසු පස ම හඹා යන ළාමක ආශාවෙන්ගෙන් යුක්ත නම්, මට එයාව පිළිකුල්, අප්‍රසන්නයි. ඒ වාගේ ම, මේ ළාමක ආශාව මා තුළත් පවත්වන්න ගියොත් මාවත් අනික් අයට පිළිකුල් වේවි. අප්‍රසන්න වේවි’ කියලා මේ ළාමක ආශාව අනිත්‍ය වශයෙන් සිහිකරල මේ අකුසලය දුරුකර ගන්නයි මහන්සි ගන්න ඕනෙ.

අනුන් ව පහත් කරමින් තමන්ව ම හුවා දක්වන කෙනා හුළං බෝලයක් වගේ….

කීර්ති, ප්‍රශංසා ලබන්න තියෙන ළාමක ආශාව හිතේ තියෙන කෙනාට ම යි තමා ව හුවා දක්වන්නත්, අනුන් ව පහත් කරන්නත් හිතෙන්නේ. මේ ස්වභාවය අප ළඟ තියෙනවා ද කියලා හොඳට කල්පනා කරලා බලමු. එහෙම තියෙනවා නම්, අපි මෙහෙම හිතල ඒ අකුසලය දුරු කරමු.

අනුන් ව පහත් කරමින් කතා කරන, තමන්ව හුවා දක්වමින් උඩ යන්න උත්සාහ කරන හුළං බෝල වගේ අභ්‍යන්තරයේ ගුණධර්මවලින් හිස් පුද්ගලයෝ ඕන තරම් සමාජයේ ඉන්නවා. අපට ඒ අය පිළිකුල් නේ ද. අපි එහෙම අයට දොස් කියනවා නේ ද. අන්න ඒ වගේ ම, අප ළඟත් ඒ අඩුපාඩු ම තිබුණොත් අපි ව සමාජයේ පිළිකුලට භාජනය වෙනවා නේ ද, සමාජයේ නින්දා අපහාස ලබන්න සුදුසු වෙනවා නේ ද කියලා හිතලා ඒ අකුසලය දුරු කරගන්නයි මහන්සි ගන්න ඕනේ.

එතකොට බුද්ධිමත් ගිහි පැවිදි උදවිය අපට අවවාද අනුශාසනා කරාවි. එවිට දියුණුව කරා යන්න අපටත් හැකියාව ලැබේවි.

ක්‍රෝධයට යට වුණු ජීවිතයක් ගතකළහොත්….

අපි හරි ම ආසයි අපේ හිතත්, ශරීරයත් අපි කැමති විදිහට තියෙනවා නම්, අපි අකමැති විදිහකට පවතින්නේ නැති නම්. බාහිරව අපි ඇසුරු කරන අය, අපි භාවිත කරන උපකරණ, වෙනස් නොවී අපි කැමති විදිහට ම තියෙනවා නම්, නමුත් ඒ සියල්ල අනිත්‍ය නිසා ඒවා වෙනස් වෙලා යනවා. එතකොට අපේ හිතේ ගැටීමක් ඇතිවෙලා අපට තරහ හිතක් ඇති වෙනවා. මේ තරහ හිත දිගට ම පවත්වන්න ගියාම එය ක්‍රෝධයක් බවට දියුණු වෙනවා. ක්‍රෝධ හිත තව දුරටත් වැඩෙනකොට අපි ක්‍රෝධයට ම යටවෙනවා. ඒ නිසා ම රණ්ඩුවලට නිතර පැටලෙනවා. අමිහිරි අප්‍රසන්න වචන පිටකරනවා. ක්‍රෝධය ඇවිස්සෙන්න කතා කරනවා. බද්ධවෛරය පවත්වනවා.

මේ විදිහේ කෙනෙක් අපට ප්‍රසන්න යි ද? ඇසුරු කරන්න කැමති ද? නැහැ නේ ද? අපි කරන්නේ දකිනකොට ම මඟ හැරල යන එකයි. මොකද ඒ අය සමඟ එකතුවෙලා හිටියොත් අපිත් අමාරුවෙ වැටෙනවා. අන්න ඒ වගේ ම අපිත් එවැනි ක්‍රෝධ හිතක් පවත්වන කෙනෙක් නම්, අපිත් ඒ විදිහට ම සමාජයෙන් කොන් වෙනවා. සමාජය පිළිකුල් කරනවා. බුද්ධිමත් ගිහි පැවිදි උදවියගෙන් ඈතට යනවා. පිරිහීම ළඟා කර ගන්නවා. ඒ නිසා ම බුද්ධිමත් ව අප දෙස ම බලමින් මේ අකුසල ධර්මයන් ප්‍රතික්ෂේප කරමු.

තමන්ගේ ඇහේ මෝල් ගහක් තියාගෙන, අනුන්ගේ ඇහේ තියෙන කොහු කෙන්ද පෙන්නන කෙනෙක් වෙන්න එපා…..

අපි වටේ ගොඩාක් ඉන්නේ අපව රවටලා සතුටු කරන උදවිය. මේ අය නිතර ම කරන්නේ අපි කරන හොඳ නරක දෙක ම විමසීමකින් තොර ව ප්‍රශංසා කරන එකයි. මේ අය හරි ම භයානකයි. කපටියි. කෛරාටිකයි. ඒ වුණාට දුටු වැරදි පෙන්නලා දෙන, වරදට ගරහන, වරදෙහි භයානකකම පෙන්නලා දෙන, වැරදි හදාගන්න උපදෙස් දෙන සත්පුරුෂයන්වයි අපි ඇසුරු කරන්න කැමති වෙන්න ඕන.

දැන් හිතන්න කෙනෙකුගේ වරද දැකල පෙන්නලා දෙන්න හදනකොට ඒ කෙනා අපට විරුද්ධ වෙනවා නම්, අපට අපහාස කරනව නම්, එයා අපේ අඩුපාඩු පෙන්නලා දෙන්න එනව නම්, අපට ඒ අය ව පිළිකුල් නේ ද? ඒ අයට උපකාර කරන්න යන්න හිතෙන්නෙ නෑ නේ ද? අන්න ඒ විදිහ ම යි, ඒ අඩුපාඩු අප ළඟත් තිබුණොත් අපේ වැරදි පෙන්නලා දෙන්න බුද්ධිමත් ගිහි පැවිදි උදවිය ඉදිරිපත් වෙන්නේ නැහැ. එතකොට වෙන්නෙ අපේ තියෙන ගුණධර්මත් පිරිහිලා යන එකයි.

ආඳෙක් වාගෙ වැඩ කරන්න එපා……

ආඳා ගැන හොඳට ම අපි දන්නවනේ. ඌව අල්ලන්න අමාරුයි, ලිස්සලා යනවා. ඒ වගේ ම කෙනෙක්ගේ වරදක් පෙන්නා දෙනකොට ඒ කෙනාත් හීන් සීරුවෙ එතනින් ලිස්සල යනවා. එහෙම නැත්නම් වෙන කතාවක් ඇදල අරගෙන අර පරණ කතාව යටපත් කරනවා. මේ ක්‍රියාව සිහියෙන් ඉන්න ඕන ම කෙනෙකුට තේරෙනවා. ඉතින් හිතන්න අපි කෙනෙකුට ඒ වගේ වරදක් පෙන්නලා දෙන්න හදනකොට, එයත් එහෙම කළොත්, එහෙම කළ කෙනා අපට පිළිකුල් වෙනවා නේ ද? ඒ වගේ ම යි ඔය වරද අප ළඟත් තිබුණොත්, අපිත් කපටි, කෛරාටික කෙනෙක් බව බුද්ධිමත් අය තේරුම් ගන්නවා. එතකොට අපේ තියන වැරදි පෙන්නලා දෙන්න ඒ අය ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒක අපේ දියුණුවට, සිදුවන විශාලතම අලාභයක්. මේ නිසා එම අකුසලය අප ළඟ තියෙනවා නම් අපි ඒකත් මහන්සියෙන් මඟ හරවා ගනිමු.

ඔබත් Eraser එකක් වගේ ද?…..

මකන කෑල්ලකට පුළුවන් හොඳ දේත්, නරක දේත්, මකන්න. හැබැයි එතකොට Eraser එකත් ගෙවෙනවා. අපි ළඟ තියෙන නරක පුරුද්දක් තමා අනුන්ගේ දියුණුව දැකලා සතුටු වෙන්න බැරි බව. අනුන්ට ප්‍රශංසාවක් ලැබෙනකොට ඒකට සතුටු වෙන්න බැරිකම. මේ ඊර්ෂ්‍යාව නිසා අපි කරන්නේ ඒ අය තුළ පවතින හොඳ ගුණ මකල කතාකරනව. ගුණධර්ම ඇතිවීම එයාගෙ දුබලතාවයක් බව පෙන්වලා ඒවට විහිළු තහළු කරනවා.

හිතන්න, කිසිවෙකු විසින් අපේ හෝ අපේ හිතවත් කෙනෙකුගෙ පවතින ගුණධර්මවලට නින්දා අපහාස කරනව නම්, ඒ ගුණ මකා දමා කතාකරනව නම්, අපටත් ඒ කෙනා ව පිළිකුල් වෙනව නේ ද. අපි විහින් පිළිකුලට ලක්වෙන්න ඕන නැහැනෙ. ඒ නිසා අපි මුදිතා ගුණය ඇතිකරගෙන කෙනෙකුගෙ පවතින ගුණධර්මවලට සතුටින් ප්‍රශංසා කරමු. එතකොට තමයි අපි ඊරිසියා නැති කෙනෙක් කියල බුද්ධිමත් ගිහි පැවිදි උදවිය අඳුර ගන්නෙ.

කණුවක ගැට ගහපු බල්ලෙක් වගේ නො වෙමු.

කණුවෙ ගැට ගහපු බල්ලා කරන්නෙ ම කණුව වටේ ම කැරකි කැරකී ඉන්න එකයි. ඒ වගේ ම අපි මොකක් හරි මතවාදයක් හිතල ඒක ම හරි කියල පෙන්නන්න කරුණු එකතු කරනවා. කරුණු ගළපනවා. එහෙම වුණාම බුද්ධිමත් අය අපට අවවාද නොකර අතහරිනවා. නමුත් කරුණු සහිතව පෙන්නලා දෙනකොට අපේ මතය අතහරින්න අපි නිහතමානී නම්, මෘදු නම්, අපට පුළුවන් දියුණුවක් කරා යන්න. අපි අපි දිහාත් බලන්න ඕනි. අපිත් ඒ වගේ වැරදි මත අල්ලගෙන ඒ වටා ම කැරකි කැරකී ඒවාට ම බැඳිලා ඒවා අතහැර ගන්න බැරිව ඉන්න කෙනෙක් ද කියලා. අපි එහෙම ඉන්න කෙනෙකුට අවවාද කරන්න ගියා කියල හිතමු. එතකොට අපි එයාට කරුණු පෙන්නලා දෙනකොට, වරද ඉස්මතු කරල දෙනකොට, එයා ඒ මතයේ ම නම් ඉන්නේ අපට තව දුරටත් අවවාද කරන්න හිතෙන්නේ නැහැ. ඒ වගේ ම ඔය වරද අප ළඟත් තිබුණොත් අපටත් බුද්ධිමත් උදවිය අවවාද කරන්නේ නැහැනෙ නේ ද කියල වරදින් මිදෙන්න හික්මෙන්න ඕනෙ.

මුහුණ ඉතා ම පිරිසිදු නම්….

අපි මේ කතා කරපු ධර්මතාවයන් අප තුළ නැති නම් අපට ප්‍රහාණය වෙලා නම්, දිවා රාත්‍රී දෙක ම ඒ ගැන සිහි කරමින් සතුටින් ඉන්න පුළුවන් නේ ද? අනේ මගේ ළඟ බුද්ධිමත් ගිහි පැවිදි උදවියගෙන් ප්‍රතික්ෂේප වන කිසිම කාරණයක් නැහැ නේ ද කියල සතුටින් වාසය කරන කොට හිත ප්‍රමුදිත වෙනවා. හිත ප්‍රමුදිත වෙනකොට සිතත් කයත් සැහැල්ලු වෙනවා. එයා සැප සේ වාසය කරන කෙනෙක් වෙනවා.

හරියට ලස්සනට ඉන්න කැමති දුවෙක් හරි පුතෙක් හරි කණ්ණාඩියක් ළඟට ගිහින් බලනකොට තමාගේ මුහුණේ කිසි ම අපවිත්‍ර ස්වභාවයක් නැහැ කියලා පේනවා. එතකොට එයාට හරිම සතුටුයි ‘ෂා මගේ මුහුණ දැන් හරි ම ලස්සනයි නේ ද…’ කියලා. ඉතින් අපි සියලු දෙනාමත් මේ අකුසල් හඳුනාගෙන දුරු කරන්න ම යි මහන්සි ගන්න ඕන. මේ අකුසල් දුරුකරගෙන දිවා රාත්‍රී දෙකෙහි ම මේ සදහම් පිළිවෙතේ ප්‍රීතියෙන් සතුටින් වාසය කරමු.

ආර්. එස්. පින්නපොල ගුරු පියාණන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

x

Check Also

පිරිහෙන ලොවක නොපිරිහෙන සැබෑ ශ්‍රාවකයෝ

"තාක්ෂණයේ දියුණුවත් සමඟින් මුළු ලෝකය ම එක ම විශ්ව ගම්මානයක් ලෙස කටයුතු කරන යුගයක රූපවාහිනී, ගුවන්විදුලි, අන්තර්ජාලය වැනි විවිධ මාධ්‍ය ඔස්සේ දිවා රාත්‍රී ධර්ම ප්‍රචාරය වුව ද ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක ශ්‍රාවිකාවන් සිටිය ද සැබැවින් ම යථාර්ථය අවබෝධ කර ගැනීමට උත්සාහ දරන්නේ ඉතාමත් අල්ප වූ පිරිසකි. "