ද අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ආයතන අනිත්‍ය භාවනාව. ආයතන කියලා කියන්නේ මේ ඇස, කන, නාසය, දිව, කය, මනස කියන හයට. මේ හය ඔස්සේ තමයි සම්පූර්ණයෙන්ම පටිච්ච සමුප්පාදය හැදෙන්නෙත්. පංච උපාදානස්කන්ධය හැදෙන්නෙත්. මේ භාවනා ක්‍රමය කාලාන්තරයක් තිස්සේ කෝටි සංඛ්‍යාත පිරිසක් අනුගමනය කරලා, පුරුදු කරලා ප්‍රතිඵල ලැබූ දෙයක්.

බුදුරජාණන් වහන්සේ වදාළා යම් තැනක ඇසක් තියෙනවද, යම් තැනක කනක් තියෙනවද, යම් තැනක නාසයක් තියෙනවද, යම් තැනක දිවක් තියෙනවද, යම් තැනක කයක් තියෙනවද, යම් තැනක මනසක් තියෙනවද එතැන දුක ඇත කියලා. යම් තැනක ඇස, කන, නාසය, දිව, කය, මනස කියන හයේ උපතක් තිබේද, එතන තමයි දුකේ උපත. එතන තමයි රෝගයන්ගේ පැවැත්ම. එතන තමයි ජරා මරණයේ පහළවීම.

ආයතන හයේ අනිත්‍ය දකින්නෙ මෙහෙමයි…

මේ ආයතන හයට ආසාවෙන් බැඳිලා ඉන්න කෙනා තමන්ගේ ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරීත්වයට සිහිය පිහිටුවලා හොඳ සිහියෙන් බලනකොට එයාට පේන්නේ අනිත්‍ය වූ ඇහැක්. අනිත්‍ය වූ ඇහැක් කියන්නෙ මේ ඇස කියන එක නාමරූප ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්. ඒ වගේම එයාට පේනවා අනිත්‍ය වූ කනක්. මේ කන නාමරූප ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්. සමහරු හිතාගෙන ඉන්නෙ මේ ඇස සතර මහා ධාතූන්ගෙන් විතරක් හටගත්තු එකක් කියලා. එහෙම නම් අපට පුළුවන් වෙන්නට ඕනෙ කෘතිම විදිහට ඇහැක් හදලා, ඒ ඇහැ තුළ විඤ්ඤාණයක් උපද්දවන්න. එහෙම පුළුවන්කමක් නෑ.

නාමරූපයන්ගෙන් හටගත්තු නිසා මේ ඇහැ තුළ නාමරූපයන්ගෙන් හැදෙන සෑම දෙයක්ම හැදෙනවා. ඒකට හේතුව තමයි මේ ඇහැ නාමරූපයන්ගෙන් හටගත්තු දෙයක්. කන නාමරූපයන්ගෙන් හටගත්තු දෙයක්. නාසය නාමරූපයන්ගෙන් හටගත්තු දෙයක්. දිව නාමරූපයන්ගෙන් හටගත්තු දෙයක්. කය නාමරූපයන්ගෙන් හටගත්තු දෙයක්. මනස නාමරූපයන්ගෙන් හටගත්තු දෙයක්. ඒ නිසා තමයි පටිච්ච සමුප්පාදයේ පැහැදිලිවම විග්‍රහ කොට වදාළේ අපගේ ශාස්තෘ වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් මේ ආයතන හය හටගන්නේ නාමරූපවලින් කියලා. (නාමරූප පච්චයා සළායතනං)

නාමරූප අනිත්‍ය නිසා ආයතන හයත් අනිත්‍යයයි. මේ ගැන නුවණින් විමසන කොට අන්න එයා ඇස ගැන දන්නවා. ඒ වගේම රූපත් දැනගත යුතුයි. අනිත්‍ය වූ ශබ්ද, අනිත්‍ය වූ ගඳ සුවඳ, අනිත්‍ය වූ රස, අනිත්‍ය වූ පහස, අනිත්‍ය වූ අරමුණු දැනගත යුතුයි. හිතට එන සෑම අරමුණක්ම නිත්‍ය නෑ. ඒ ඔක්කොම අනිත්‍යයයි. මෙන්න මේ විදිහට දැනගන්න කොට අනිත්‍ය වූ ඇසත්, අනිත්‍ය වූ රූපත් නිසා යම් බන්ධනයක් හටගන්නවාද, අන්න ඒක අවබෝධ කරගන්නවා. මෙන්න මේ විදිහට අනිත්‍ය වූ ආයතන හය අවබෝධ කරනවා.

ආයතන භාවනාව ගැන තවදුරටත්…

බුදුරජාණන් වහන්සේ වදාළ සූත්‍ර දේශනා එකතුවක් තියෙනවා ඔක්කන්ති සංයුත්තය කියලා. ඔක්කන්ති කියන්නේ බැසගන්නවා. මෙතන බැස ගන්නවා කියන්නේ ධර්මය තුළට බැසගන්නවා කියන අර්ථය. ධර්මයට බැසගන්නට නම්, නිවන් මඟට බැස ගන්නට නම්, ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගන්නට නම්, ඉස්සෙල්ලාම උවමනයි ශ්‍රද්ධාව. ශ්‍රද්ධාව නැතිව නම් කවදාවත් ඒක කරන්ට බැහැ.

දැන් මේ අසන්නා වූ ධර්මය බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා ඔබට අවබෝධ වෙනකොට, ඔබට ශ්‍රද්ධාවක් ඇතිවෙනවා. ශ්‍රද්ධාවක් ඇතිවෙලා ඔබ තුළ විශ්වාසයක් ඇතිවෙනවා ඇත්ත තමයි, මේ නාම රූපයන්ගෙන් හටගත්තු ඇස අනිත්‍ය දෙයක්මයි. නාම රූපයන්ගෙන් හටගත්තු කන අනිත්‍ය දෙයක්මයි. නාම රූපයන්ගෙන් හටගත්තු නාසය අනිත්‍ය දෙයක්මයි. නාම රූපයන්ගෙන් හටගත්තු දිව අනිත්‍ය දෙයක්මයි. නාම රූපයන්ගෙන් හටගත්තු කය අනිත්‍ය දෙයක්මයි. නාම රූපයන්ගෙන් හටගත්තු මනස අනිත්‍ය දෙයක්මයි කියලා ඔබ ශ්‍රද්ධාවෙන් අදහාගන්නවා.

ඒ වගේම බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, අරමුණු අනිත්‍යයි කියලත් අදහාගන්නවා. මේ ඇහේ, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ හටගන්නවා විඤ්ඤාණය. මේ විඤ්ඤාණයත් අනිත්‍යයි කියලම ඔබ ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා. ඒ වගේම ඇහැයි, රූපයි, විඤ්ඤාණයයි එකතු වීමත් අනිත්‍යයයි කියල ඔබ ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා. කනයි, ශබ්දයයි, විඤ්ඤාණයයි එකතු වීම (කනේ ස්පර්ශය) අනිත්‍යයි කියල ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා. නාසයයි, ගඳ සුවඳයි, විඤ්ඤාණයයි එකතු වීම (නාසයේ ස්පර්ශය) අනිත්‍යයි කියල ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා. දිවයි, රසයයි, විඤ්ඤාණයයි එකතු වීම (දිවේ ස්පර්ශය) අනිත්‍යයි කියල ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා. කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතු වීම (කයේ ස්පර්ශය) අනිත්‍යයි කියල ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා. මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතු වීම (මනසේ ස්පර්ශය) අනිත්‍යයි කියලා ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා.

මේ විදිහට ඒ ස්පර්ශය නිසා හටගන්න විඳීම්, හඳුනාගැනීම් (සඤ්ඤා), චේතනා, තණ්හා ආදී මේ සෑම දෙයක් ම අනිත්‍යයි කියලා ශ්‍රද්ධාව පිහිටුවා ගන්නවා. හොඳට බලන්න හිතලා ඔබ ඉස්සර ආසා කරපුවට දැන් ආසා කරන්නෙ නෑනෙ. දැන් ආස නොකරන ඒවට ඉස්සර ආසා කළා. අනාගතයේ ඔබ මොනවට ආසා කරයි ද දන්නෙ නෑ. අනාගතයේදී ඔබ ආසා කරපු මොනතරම් දේවල් අත්හරියි ද දන්නෙ නෑ. මේ නිසා ආසාව කියන එකත් වෙනස් වෙලා යන එකක්. අනිත්‍ය වූ දෙයක්. මේ අනිත්‍ය වූ දෙය අනිත්‍ය වූ දෙයක්මයි කියලා ඔබ ශ්‍රද්ධාව පිහිටුවා ගත්තු ගමන් ඔබ ආර්ය
අෂ්ටාංගික මාර්ගයට බැසගන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට බැසගත්තු ඒ කෙනාට කියනවා ශ්‍රද්ධානුසාරී කියලා. බුදුරජාණන් වහන්සේ වදාළා අන්න ඒ ශ්‍රද්ධානුසාරී කෙනා ශ්‍රද්ධාව මුල්කරගෙන තවදුරටත් ඒ විදර්ශනා ප්‍රඥාව තුළ බැසගන්නට මහන්සි ගන්නවා කියල.

බැසගන්න කොට ඒ කෙනාට කියනවා ධම්මානුසාරී කියලා. අන්න ඒ ධම්මානුසාරී කෙනා තවදුරටත් ඒ ධර්ම මාර්ගය දියුණු කරනවා. එතකොට ශ්‍රද්ධානුසාරී, ධම්මානුසාරී කියල දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්නම අයිති වෙන්නේ සෝවාන් මාර්ගය වඩන ශ්‍රාවකයෝ හැටියටයි.

සෝතාපන්න ශ්‍රාවකයා…

මේ සෝවාන් මාර්ගය වඩන කෙනාට ඒ ධර්ම මාර්ගය දිගටම දියුණු කරගෙන ගියොත් සෝවාන් ඵලය සාක්ෂාත් කරන්නට පුළුවන්කම තියෙනවා. යම් දවසක ඒ ධර්මය දියුණු වීම තුළ, විදර්ශනා ප්‍රඥාව දියුණු වීම තුළ, අනිත්‍ය දේ අනිත්‍ය වශයෙන්ම තමන්ට අවබෝධ වීම තුළ, මේ ඔක්කොම හේතූන් නිසා හටගන්නා ඵල ධර්මයන්, හේතු නැතිවීමෙන් නැතිවී යන ස්වභාවයෙන් යුක්තයි (යං කිංචි සමුදයධම්මං සබ්බං තං නිරෝධධම්මං) කියලා අවබෝධ කරගන්නවා. මෙන්න මේ අවබෝධය එන්නේ ආර්ය සත්‍යය අවබෝධය ඉලක්ක කරගෙනයි. අන්න ඒ කෙනාට කියනවා සම්මා දිට්ඨියට පැමිණි ශ්‍රාවකයා කියල. අන්න ඒ කෙනාට කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනාගත්තු ශ්‍රාවකයා කියල. අන්න ඒ කෙනාට කියනවා ආර්ය
අෂ්ටාංගික මාර්ගයට පැමිණිච්ච ශ්‍රාවකයා කියල. අන්න ඒ කෙනාට කියනවා ආර්ය දර්ශනයෙන් සමන්විත වූ ශ්‍රාවකයා කියල. අන්න ඒ කෙනාට කියනවා දහම් සැඩ පහරට පැමිණිච්ච ශ්‍රාවකයා කියල. අන්න ඒ කෙනාට කියනවා අමා නිවන් දොරේ හැපී සිටින ශ්‍රාවකයා කියල.

සියල්ලෙන්ම නිදහස් වෙන්න….

ඒ නිසා මේ ආයතන හය තුළ මනාකොට සිහිය පිහිටුවා ගැනීමේදී එයා දකිනවා අනිත්‍ය වූ ආයතන හයක්. ඇතිවීම නැතිවීම දකිනවා. ඒවා කිසිවක් මම කියල ගන්නෙ නෑ. මගේ කියල ගන්නෙ නෑ. මාගේ ආත්මය කියල සලකන්නෙ නෑ. එයා මේකෙන් නිදහස් වීමක්මයි සකස් කරන්නෙ. ඒ නිසා එයා ඒකෙන් නිදහස් වෙනවා. ඒ නිසා එයා ඇසින් නිදහස් වෙනවා. කනින් නිදහස් වෙනවා. නාසයෙන් නිදහස් වෙනවා. දිවෙන් නිදහස් වෙනවා. කයෙන් නිදහස් වෙනවා. මනසින් නිදහස් වෙනවා. මෙලොවෙන් නිදහස් වෙනවා. පරලොවෙන් නිදහස් වෙනවා. සියලුම දෙයින් නිදහස් වෙනවා. අන්න එයා තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගත්තු ශ්‍රාවකයා වෙන්නෙ.

– ආයතන අනිත්‍ය භාවනාව –

ඇස

  • මේ ඇස හේතූන්ගෙන් හටගත් හෙයින්, හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින්, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. මේ ඇස මම නොවේ…. මගේ නොවේ…. මගේ ආත්මය නොවේ.
  • ඇසට පෙනෙන රූප හේතූන්ගෙන් හටගත් හෙයින්, හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින්, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. ඇසට පෙනෙන රූප මම නොවේ…. මගේ නොවේ…. මගේ ආත්මය නොවේ.
  • ඇසේ ඇතිවන විඤ්ඤාණය හේතූන්ගෙන් හටගත් හෙයින්, හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින්, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. ඇසේ ඇතිවන විඤ්ඤාණය මම නොවේ…. මගේ නොවේ…. මගේ ආත්මය නොවේ.
  • ඇසයි, රූපයි, විඤ්ඤාණයයි එකතුවීම (ඇසේ ස්පර්ශය) හේතූන්ගෙන් හටගත් හෙයින්, හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින්, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. ඇසේ ස්පර්ශය මම නොවේ…. මගේ නොවේ…. මගේ ආත්මය නොවේ.
  • ඇසේ ස්පර්ශය නිසා හටගන්නා වූ යම් විඳීමක් ඇද්ද, ඒ සියලු විඳීම් හේතූන්ගෙන් හටගත් හෙයින්, හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින්, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා සියලු විඳීම් මම නොවේ…. මගේ නොවේ…. මගේ ආත්මය නොවේ.
  • විඳින රූප හඳුනාගැනීම හේතූන්ගෙන් හටගත් හෙයින්, හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින්, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. විඳින රූප හඳුනාගැනීම මම නොවේ…. මගේ නොවේ…. මගේ ආත්මය නොවේ.
  • හඳුනාගත් රූපයට අනුව චේතනා ඇතිවීම හේතූන්ගෙන් හටගත් හෙයින්, හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින්, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. හඳුනාගත් රූපයට අනුව චේතනා ඇතිවීම…. මම නොවේ…. මගේ නොවේ…. මගේ ආත්මය නොවේ.
  • රූප කෙරෙහි ඇතිවන තණ්හාව හේතූන්ගෙන් හටගත් හෙයින්, හේතු නැතිවීමෙන් නැති වී යන හෙයින්, අනිත්‍යයි…. අනිත්‍යයි…. අනිත්‍යයි…. රූප කෙරෙහි ආශා ඇතිවීම මම නෙවෙයි…. මගේ නොවේ…. මගේ ආත්මය නොවේ.

කන

  • කන…..
  • කනට ඇසෙන ශබ්ද…..
  • කනේ ඇතිවන විඤ්ඤාණය…..
  • කනයි, ශබ්දයි, විඤ්ඤාණයයි එකතු වීම (කනේ ස්පර්ශය)…..
  • කනේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම….
  • විඳින ශබ්ද හඳුනාගැනීම….
  • හඳුනාගත් ශබ්දයට අනුව චේතනා ඇතිවීම….
  • ශබ්ද කෙරෙහි ඇතිවන තණ්හාව….

නාසය

  • නාසය….
  • නාසයට දැනෙන ගඳ සුවඳ ….
  • නාසයේ ඇතිවන විඤ්ඤාණය….
  • නාසයයි, ගඳ සුවඳයි, විඤ්ඤාණයයි එකතු වීම (නාසයේ ස්පර්ශය)….
  • නාසයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම…
  • විඳින ගඳ සුවඳ හඳුනාගැනීම….
  • හඳුනාගත් ගඳ සුවඳට අනුව චේතනා ඇතිවීම…
  • ගඳ සුවඳ කෙරෙහි ඇතිවන තණ්හාව….

දිව

  • දිව….
  • දිවට දැනෙන රස…
  • දිවේ ඇතිවන විඤ්ඤාණය….
  • දිවයි, රසයයි, විඤ්ඤාණයයි එකතු වීම (දිවේ ස්පර්ශය)….
  • දිවේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම….
  • විඳින රස හඳුනාගැනීම…
  • හඳුනාගත් රසයට අනුව චේතනා ඇතිවීම…
  • රසය කෙරෙහි ඇතිවන තණ්හාව….

කය

  • කය…
  • කයට දැනෙන පහස…
  • කයේ ඇතිවන විඤ්ඤාණය….
  • කයයි, පහසයි, විඤ්ඤාණයයි එකතු වීම (කයේ ස්පර්ශය)….
  • කයේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම…
  • විඳින පහස හඳුනාගැනීම…
  • හඳුනාගත් පහසට අනුව චේතනා ඇතිවීම…
  • පහස කෙරෙහි ඇතිවන තණ්හාව….

මනස

  • මනස….
  • මනසට සිතෙන අරමුණු….
  • මනසේ ඇතිවන විඤ්ඤාණය….
  • මනසයි, අරමුණුයි, විඤ්ඤාණයයි එකතු වීම (මනසේ ස්පර්ශය)….
  • මනසේ ස්පර්ශය නිසා ඇතිවන විඳීම….
  • විඳින අරමුණු හඳුනාගැනීම….
  • හඳුනාගත් අරමුණුවලට අනුව චේතනා ඇතිවීම….
  • අරමුණු කෙරෙහි ඇතිවන තණ්හාව….

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ ‘සිතට සුව දෙන භාවනා’ ග්‍රන්ථය ඇසුරිනි.