‘‘ලයිට් බිල වැඩි වෙන්නලූ යන්නෙ…”
‘‘කොච්චරකින් ද?”
‘‘සියයට හැටකින්… යුනිට්වලට වෙන වෙනම අය කරන්නලූ හදලා තියෙන්නෙ…”
‘‘බුදු අම්මේ…! එච්චර…???”

හැමෝගෙම ඇස් නළලට ගෙන ගියපු ප‍්‍රවෘත්තියක් බවට මෙවර සිදු කළ විදුලිය ගාස්තු සංශෝධනය පත් වූ බව නො රහසක්.
දැන් අපට ඔබෙන් අසන්නට ප‍්‍රශ්න කිහිපයක් තිබෙනවා.

‘‘මේ විදුලි බිලෙන් ඔබටත් කරන්ට් වැදුණ ද? මේ ගාස්තු සංශෝධනය ඔබටත් තදින් ම දැණුන ද? ඔබේ පසුම්බිය මේ බර දරා ගන්න සූදානම් ද?”

අපේ රටේ බහුතරය මේ ප‍්‍රශ්නවලට ලබා දෙන්නේ ‘‘ඔව්”, ‘‘ඔව්” සහ ‘‘නැහැ” කියන උත්තර කියලත් අපි දන්නවා. ඒ නිසාමනේ වැඩි වුණ විදුලි බිල අඩු කරන්නට කියලා බල කරමින් දවසක් පුරාවට මුළු රටක් වැඩ වරන්නට පෙළ ගැසුණෙ… මේ දවස්වලත් ?ට ?ට පන්දම් පත්තු කරගෙන පෙළපාලි යන්නෙ… ඒ විදිහට වැඩ වැරුවත්, පෙළපාලි ගියත් විදුලිය ගාස්තු නම් තව ම අඩු වුණේ නැහැ. ඒ දෙයින් සංශෝධිත විදුලි ගාස්තුවට කිසි ම බලපෑමක් වුණෙත් නැහැ. හෙට දවසේ අපි සංශෝධිත මිල ගණන් යටතේ අපේ විදුලි බිල ගෙවිය යුතු ම යි.

ඒ නිසා නැවත වරක් ඔබේ විදුලි බිල ගැන සිතා බලන්නට අපි ඔබට යෝජනා කරනවා. හැබැයි ඒ විදුලි ගාස්තු අඩු කරන්නට රජයට බලපෑම් කරන අයුරක් ගැන නෙමෙයි. තර්ජන, ගර්ජන, වර්ජනවලින්, පෙළපාළිවලින් කරන්න බැහැ කියලා පැහැදිලි ව තහවුරු වුණ ‘විදුලි බිල අඩු කර ගැනීම’, ඊට වඩා වෙනස් ක‍්‍රියා මාර්ගයකින් අපට කරන්න පුළුවන්…! හැබැයි මේක රුපියල් 7500ක පඩියකින් පවුලකට මාසයක් පුරාවට කන්න දෙන්න පුළුවන් කියල කිව්ව විහිළු කථාව වගේ එකක් නම් නෙවෙයි.

හිත ඇත්නම් පත කුඩා ද…? – අභියෝගය ජය ගත්තෙක්…!

විදුලිය ගාස්තු වැඩි කෙරෙනවා කියලා නිල නො ලත් ආරංචි පැතිර යමින් තිබෙනකොට, ඒ වෙනුවෙන් වාද විවාද, චෝදනා රාශියක් ගොනු වෙමින් තිබෙනකොට, ආණ්ඩුව මේ සියල්ලට ම වග කිව යුතු යි කියලත් නො හොඳ නෝක්කාඩු පැතිරෙමින් තිබෙනකොට…. ඒ කිව්වේ පෙබරවාරි මාසයේ අපේ රටේ එක්තරා විදුලි පාරිභෝගිකයෙකුගේ විදුලි පරිභෝජනය බිල්පතේ දැක්වුණේ ඒකක 102ක් විදිහට.

මාර්තු මාසයේ ඒ අගය ඒකක 108ක් වුණා. රට ම කාර්යබහුල වන අපේ‍්‍රල් මාසයේ ඒ ගණනෙ වැඩි වීමක් ම මිස කොහොම ද අඩුවීමක් ගැන හිතන්නෙවත්?

එහෙත් පුදුමයක්….! අපේ‍්‍රල් මාසයේ ඒ අගය දැක්වුණේ ඒකක 78ක් කියලයි… ආලෝක පූජාවෙන් තථාගතයන් වහන්සේ ව පුදනු ලබන වෙසක් මාසයේ විදුලි පරිභෝජනය ඒකක 56යි…! සාමාන්‍යයෙන් පරිභෝජනය කරන්නට යෙදුන විදුලි ඒකක ප‍්‍රමාණයෙන් හරි අඩක් ම මාස තුනක් ඇතුළත අඩු කර ගන්නට ඔවුන් සමත් වෙලා. මේ සත්‍යය කතාවක්. එකී පාරිභෝගිකයා වෙත ලංකා විදුලිබල මණ්ඩලයෙන් නිකුත් කරන ලද නිවැරදි බිල්පත් සහිතවයි අපි මේ සටහන ඔබ හමුවේ තැබුවේ.

ඒ තැනැත්තා විදුලිය වංචා කළේ නැහැ. මණ්ඩලයට විදුලි බිල වැරදුනෙත් නෑ. විදුලියෙන් වෙනදා ඉටු කරගත් එකදු හෝ අවශ්‍යතාවයක් කපා හැරියේත් නැහැ. එහෙත් ඔහුගේ විදුලි බිල වැඩි නො වූවා විතරක් නෙමෙයි; සැලකිය යුතු මට්ටමකින් ඒ අගය අඩු වෙලා තිබුණා.

ඔහු කළ එකම දෙය විදුලිය සම්පතක් ලෙස සලකා පරිභෝජනය කිරීම පමණයි….!

විදුලිය සම්පතකි

දකුණු ආසියාවේ අන් රටවල් හා සසඳා බලන විට අප රටේ විදුලිය සැපයුම 88%ක් පමණ ඉහළ අගයක පවතිනවා. සංවර්ධනය වෙමින් පවතින රටක් නිසාවෙන් රටේ විදුලි ඉල්ලූම දිනෙන් දින ඉහළ යන බව ප‍්‍රායෝගිකව සලකා බැලීමෙන් පමණක් වුණත් පෙනී යන කරුණක්. ඒ වගේ ම 2013 වර්ෂය අවසන් වන විට සියලූ ශී‍්‍ර ලාංකිකයන් හට විදුලිය සපයා දෙන්නට පරිපාලන මට්ටමෙන් කෙටුම්පත් සැකසී අවසන්.

විදුලි බල උත්පාදනයේ සාමාන්‍ය ඒකකයක් සඳහා වන වියදම 2011 වසරේදි රු. 16.21ක් වුණා. ඒ කාලයේ සාමාන්‍ය ඒකකයක් සඳහා අය කළ මුදල රු. 13.22ක්. ජල විදුලියෙන් අපේ රටේ 50%ක පමණ විදුලි අවශ්‍යතාවයක් සපුරනවා. එහෙත් එය සැම විට ම එක ම ආකාරයට සපිරෙන්නේ නැහැ. ඒ අගය තීරණය වෙන්නේ අපට වර්ෂාව ලැබෙන ආකාරය අනුව. ජල විදුලිය තමයි ආර්ථික වශයෙනුත්, පාරිසරික වශයෙනුත් වාසිදායක වෙන්නේ. එහෙත් නියං සමයක දී ජල විදුලි උත්පාදනය ශීඝ‍්‍රයෙන් බිඳ වැටෙනවා. එතකොට තාප බලාගාර තුළින් ඒ හිඟය පියවා ගන්න සිදු වෙනවා. එවැනි අවස්ථාවක එක් විදුලි ඒකකයක නිෂ්පාදන පිරිවැය සෘජුව ම වැඩි වෙනවා. එක්කෝ ඒ වියදම පාරිභෝගිකයන් විසින් දරන්න ඕනේ. නැතිනම් විදුලි බල මණ්ඩලය පාඩු ලබන්න ඕනේ. එහෙමත් නැති නම් විදුලිය කප්පාදු කරන්න වෙනවා. ඒකකයක මිල වැඩි කිරීම, තවදුරටත් අප ලෝකයට ණය වීම සහ විදුලි කප්පාදුවකින් රටක වැඩ කරන පැය ගණනාවක් කාලාන්තරයක් පුරා නිෂ්ඵල කරවීම අතුරෙන් රටක ඉදිරි ගමනට වඩාත් ම අහිතකර වන්නේ ණය වීම සහ විදුලි බල කප්පාදුව බව අපට පිළිගන්න වෙනවා.

අපේ විදුලි බිල තීරණය වන්නේ ලෝක වෙළඳපළ හරහා අපට බොර තෙල් බැරලයක් ලැබෙන මිල ගණන්වලට සාපේක්ෂව. එය නිතර විචලනය විය හැකි අගයක්. එහෙම නම් විදුලි බිල අඩු කරන්නට යැයි කිසිවෙකුටවත් බල කරනවාට වඩා ප‍්‍රායෝගික වන්නේ දුර්ලභ සම්පතක් වශයෙන් ම හඳුනාගෙන විදුලිය අරපිරිමැස්මෙන් යුතු ව භාවිත කිරීම නො වෙයි ද?

ඉදිරියේ ලෝකය මොන විදිහකින් වෙනස් වෙයි ද? කියන එක අපි දන්නේ නැහැ. තාප බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන අපට නො ලැබෙන තත්ත්වයක් උද්ගත වුණොත් අපටත් ‘විසි හතර පැය පුරා අඛණ්ඩ විදුලි සැපයුම’ කියන දේ කලාපයේ අන් සෑම රටක් ම දැනටමත් මුහුණ දී සිටින ආකාරයේ සිහිනයක් පමණක් ම වේවි. අඛණ්ඩ විදුලි සැපයුම තුළින් අපි තවමත් කලාපය තුළ ඉදිරියෙන් සිටිනවා. එහෙත් ගිගා වොට් පැය 12000ක් පමණ වන සමස්ත වාර්ෂික විදුලි බල උත්පාදනයෙන් මොන තරම් නම් ප‍්‍රමාණයක් අප අපතේ හරිනවා ද? ඒ අපතේ යැවීම් වළක්වන්න පුළුවන් නම් විදුලි බිල අඩු කර ගන්න පමණක් නෙමෙයි, බලශක්තිය සංරක්ෂණය කරගෙන අනාගතය වෙනුවෙන් සුබදායී ආයෝජනයක් කරන්නත් අපට පුළුවන්. ඒ නිසා අපිත් විදුලිය සම්පතක් විදිහට තේරුම් අරගෙන සංරක්ෂණය කරන්නට පෙළ ගැසෙමු.

මෙන්න විකල්පය

විදුලි බිල අඩුකර ගැනීමට දැන් දැන් ම වැඩ ඇරඹිය යුතු යි. වෘත්තීය ක‍්‍රියාමාර්ග වැනි බැරෑරුම් කාර්යයන් හෝ තර්ජන, ගර්ජනවලට වඩා ඵලදායී වන සහ අපි හැමෝට ම බොහොම පහසුවෙන්, තනි තනිව අනුගමනය කළ හැකි විකල්පය ගැන කිසි කෙනෙක් කතා කරන්නේ නැහැ. අපි මේ කියන්න යන දේ අතිශයින් ධනාත්මකයි. ඒ වගේ ම 100%ක් ප‍්‍රායෝගික යි. ප‍්‍රත්‍යක්‍ෂ යි. කිසිදු මුදලක් වැය වෙන්නෙත් නැහැ. වැය වන මුදලත් අඩු කරන ක‍්‍රමයක් මේ. ඒත් කිසි කෙනෙක් ඒ කරා යොමු වන බවක් පේන්නත් නැහැ.

ක‍්‍රමය මේකයි. අපි හඳුනා ගන්න ඕන විදුලිය අපතේ යන්නේ කොහොම ද? කියන එක. ඒ වගේ ම අපතේ යන විදුලිය සුරකින්නේ කොහොම ද? කියන එක. මේක අමාරු දෙයක් නෙමෙයි. අරපිරිමැස්ම කියන්නේ කරන්න බැරි දෙයකුත් නෙමෙයිනේ. අනික අතීතයේ ඉඳල අපි අරපිරිමැස්මට බොහොම හපන් ජාතියක්.

රාතී‍්‍ර අඳුර දුරු කරලන්න දල්වන විදුලි පහන දහවලේත් දැල්වී තිබෙන්නට ඉඩ හැරීමේ පටන් සාක්කුවට දැනෙන බර හිතටත් බරක් වෙන මට්ටමට එනකල් අපි සිදුකරන විදුලිය නාස්ති කිරීම් මොන තරම් ද? අද අපි ඒ දේවල් ගැන කතා කරන්නේ විදුලි බිලේ අභියෝගය ජය ගන්නට ඔබට උපකාර කරන්න වගේ ම බලශක්ති සංරක්ෂණය කෙරෙහි ඔබව යොමු කරවීමේ යහපත් අපේක්ෂාවකුත් ඇතිවයි.

ඔබේ නිවසත් විදුලිය ගිල දමනවා ද?

රෑ දවල් නැතිව විදුලි පහන් දැල්වෙනවා නම්, යන එන ගමනෙදිත් ශීතකරණය ඇර බලන නාස්තිකාර පුරුදු නිවැසියන්ට තිබෙනවා නම්, ගමනක් යන්න පිටත් වෙන හැම මොහොතෙම ඇඳුම් මදින්න වගේ ම තෙත ඇඳුම් මැදීමෙන් වියළා ගන්නත් යොමු වෙලා ඉන්නවා නම්…… ඔබේ ගෙදරත් විදුලිය ගිල දමන තැනක් බව තමයි කියන්න වෙන්නේ.

ඒ විතරක් නෙමෙයි, දහවල් සූ ර්යාලෝකයෙන් ඔබේ නිවස ආලෝකවත් වෙන්නේ නැති නම්, වර්ණ සහ තිර රෙදි භාවිතයේ දී ආලෝකය මනා කොට හැසිරවීම ගැන ඔබ සලකා බලා නැති නම් ඔබටත් පුළුවනි විදුලිය ගිල දමන නිවසක අයිතිකරුවෙකු වන්න.

තවදුරටත් අපි පහතින් දක්වන කරුණුත් ඔබේ නිවසේ දකින්න පුළුවන් නම් අවිවාදිතව ම ඔබට තිබෙන්නේ විදුලිය ගිලින නිවසක්.

x දුරස්ථ පාලකයකින් පමණක් රූපවාහිනිය ක‍්‍රියා විරහිත කරවීම
x විදුලි හීටරය නිතර නිතර භාවිත කිරීම
x සිවිලින් විදුලි පංකා භාවිත කිරීම
x වායුසමනය කර ඇති කාමරවල වාතය කාන්දු වීම
x සූත‍්‍රිකා පහන් භාවිතය
x යල් පැන ගිය විදුලි උපකරණ භාවිතය
x අනවශ්‍ය විටත් විදුලි පහන් හෝ පංකා ක‍්‍රියා විරහිත නො කිරීම
x උණුසුම් ආහාර පාන ශීතකරණය තුළ ගබඩා කිරීම
x ජංගම දුරකථන ආදිය සම්පූර්ණයෙන් ම විද්‍යුත් ආරෝපණය (charge) වූ පසුව ද තවදුරටත් විදුලි සැපයුමට සම්බන්ධ කර තැබීම
කොහොම ද ඔබේ නිවසේ තත්ත්වය???

වෙනසක් කරමු…! අපි හැදෙමු – රට හදමු

ඉහතින් දක්වපු ආකාරයන්ගෙන් සිදුවන විදුලිය අපතේ යෑම් නවත්වන්න පුළුවන් නම් විදුලි බිලට අභියෝගයක් වෙන්න ඔබටත් පහසුවෙන් ම පුළුවන්. ඒ නිසා,
ඔබේ ශීතකරණය ගැන සැලකිලිමත් වෙන්න.
– නිතර නිතර ශීතකරණය විවෘත කරන්න එපා (නිතර දොර ඇරීම, වැසීම වගේ ම බොහෝ වෙලාවක් විවෘත කරගෙන සිටීම නිසාත් ශීතකරණයට බාහිර තාපය වැඩි වශයෙන් ගලා යනවා. එය නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කරවන්නට විදුලිය වැය වෙනවා. විවර කරන වාර ගණන සහ ඇරගෙන සිටින කාල සීමාව අවම කිරීමෙන් එයට වැය වන විදුලි එ්කක ප‍්‍රමාණයත් අඩු කරන්න පුළුවන්.)
– ශීතකරණයේ දොර නිසි ලෙස වසා තබන්න.
– ශීතකරණයට උණුසුම් ආහාර දමන්න එපා. (සාමාන්‍ය කාමර උෂ්ණත්වයට පැමිණීමට පෙර ආහාර ශීතකරණයට දැමීමෙන් එහි විදුලි පරිභෝජනය ඉහළ දැමෙනවා)
– හොඳ වාතාශ‍්‍රයක් ශීතකරණයේ පිටුපසට ලැබෙන ලෙස ස්ථානගත කරවන්න (එයින් තාපය පහසුවෙන් ඉවත් වීම සිදු වෙනවා. බිත්තියෙන් අඟල් 10ක් පමණ ඈතින් වගේ ම සෘජුව ම සූර්යාලෝකය පතිත නො වන ආකාරයෙනුයි ශීතකරණය තැබිය යුත්තේ.)
– එයට දමන ආහාර පොලිතින් දවටනවල අසුරන්න. දියර වර්ග වසා තබන්න (එමගින් ආහාරවලින් තෙතමනය මුදා හැරීම සීමා වෙනවා.)
– ශීතකරණය පිළිවෙළකට තබා ගන්න (එයින් අවශ්‍ය දෙය ඉක්මනින් තෝරා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ශීතකරණය විවෘත කර තබන කාල වේලාවත් අවම වෙනවා.)
විදුලි ස්තී‍්‍රක්කය නිසි ලෙස භාවිත කරන්න
– නිවසේ රෙදි එක් වර මැද ගන්න (දින කිහිපයකට වරක් රෙදි වැඩි ප‍්‍රමාණයක් මැද ගැනීමෙන් ඔබේ විදුලිය බිල විශාල වශයෙන් අඩු කර ගන්න පුළුවන්.)
– මුලින් ඝන, කපු රෙදි මදින්න. පසු ව සාමාන්‍ය රෙදි මැද ගන්න. (ස්ත‍්‍රීක්කය මැනවින් රත්වන නිසා අවසානයේ ස්විචය නිවා දමා ඉතිරිවී ඇති සිනිඳු රෙදි මැද ගන්නටත්, එයින් විදුලි පරිභෝජනය අඩු කර ගන්නටත් පුළුවන්.)
– තෙත රෙදි මදින්න එපා (එයින් ඇඳුමෙහි තෙත ඉවත් කිරීමටත්, යළි එය මැදීමටත් වශයෙන් වැඩි විදුලි ප‍්‍රමාණයක් වැය වෙනවා. එය විශාල විදුලි නාස්තියක්.)
– රෙදි මදින විට ඇඳුමට යටින් තුනී ඇලූමිනියම් කොළයක් තබන්න (එයින් උෂ්ණත්වය පරාවර්තනය සිදු වෙනවා. ඇඳුමේ දෙපස ම මැදෙන්නට එය උපකාරී වෙනවා.)
– ඇඳුම් තෝරා ගත් පසු ස්ත‍්‍රීක්කය ක‍්‍රියාත්මක කරවන්න (ස්ත‍්‍රීක්කය රත් වෙමින්, නිවෙමින් තිබෙන්නට හැර ඇඳුම් තෝරන්නට යෑමෙන් විදුලිය අපතේ යැවෙනවා)
– විදුලි ස්තී‍්‍රක්කයේ මුහුණත වාතයට නිරාවරණය වන ආකාරයෙන් සිරස් අතට තබන්න එපා (සුළං වැදීමෙන් ස්ත‍්‍රීක්කයේ තාප හානිය වැඩි වෙනවා. එවිට එය නැවත රත් වීම පිණිස අමතර විදුලියක් වැය වෙනවා.)
– මැද ගත් රෙදි පිළිවෙළකට තබා ගන්න (නැතහොත් පොඩි වී තිබීම නිසා නැවත මදින්න සිදු වේවි.)
විදුලි පහන් සහ පංකා භාවිතය ගැන වඩාත් සැලකිලිමත් වන්න
– අවම බල ශක්තියක් වැය කෙරෙන, බොහෝ කාලයක් භාවිතා කළ හැකි, අනෙක් බල්බ මෙන් පිච්චී නො යන, කල් ඉකුත් නො වන, ආරක්ෂාකාරී, පරිසරහිතකාමී  LED විදුලි බුබුළු භාවිත කරන්න (සූත‍්‍රිකා පහන් භාවිතය තුළින් විදුලිය බොහෝ සෙයින් අපතේ යැවෙනවා. එයින් තාපය වශයෙන් සිදුවන බලශක්ති හානිය ඉතා විශාල යි. දැනට මේ සඳහා ඇති හොඳම විසඳුම LED විදුලි බුබුළු භාවිත කිරීම යි.)
– අනවශ්‍ය සෑම විදුලි පහනක් ම නිවා දමන්න (නිවසේ පමණක් නො වේ මග තොටේ වූවත් අනවශ්‍ය ආකාරයෙන් දැල්වෙන විදුලි පහන් නිවා දමන්නට පැකිලෙන්න එපා. කාමරයෙන් නැගිට යන විට විදුලි පහන හා පංකාව නිවා දැමීම පුරුද්දක් කර ගන්නත් පුළුවන්.)
– මේස පංකා භාවිතය, සිවිලින් පංකා භාවිතයට වඩා බොහෝ වාසිදායක බව මතක තබා ගන්න.
– විදුලි පහන් පිසදමා පිරිසිදු කරන්න (එයින් දීප්තිමත් ආලෝකයක් ලබා ගැනීම පහසු වෙනවා)

නිවසක් ගොඩනගද්දි මේ ගැනත් හිතන්න.
– නිවසට දිවා කාලයේ ස්වභාවික ආලෝකය උපරිම ලෙස ලබා ගැනීම (දකුණට හා උතුරු දෙසට ෙදාර, ජනෙල් තැබීමෙන් මේ වුවමනාව ඉටු කර ගන්නට පුළුවන්.)
– බිත්ති ආලේපයට හා තිර රෙදි සඳහා ලා වර්ණ යොදා ගැනීම (එවිට රාත‍්‍රී කාලයේ දී අඩු වෝල්ටියතාවයකින් යුතු විදුලි පහන් භාවිත කරන්නට පුළුවන්. විදුලි පරිභෝජනය අවම කරවීමට එය ඉවහල් වනවා.)
මීට අමතර ව කළ හැකි දේවල් තව බොහොමයක් තිබෙනවා. අප එයින් කිහිපයක් සටහන් තබන්නේ ඔබේ දැනුවත්භාවය පිණිසයි.
– රූපවාහිනිය දුරස්ථ පාලකයෙන් පමණක් ක‍්‍රියා විරහිත කරන්න එපා. ස්විචයෙන් ම ක‍්‍රියා විරහිත නො කළහොත් විදුලිය අපතේ යැවෙනවා. එය ඔබේ විදුලි බිලට අමතර ව එක්වන භාරයක්.
– ශීතකරණ හා වායුසමීකරණ යන්ත‍්‍ර වායු කාන්දු නො වන ලෙස හොඳින් අලූත්වැඩියා කරන්න.
– නිවසට හොඳින් වාතාශ‍්‍රය හා ආලෝකය ලැබෙන ආකාරයට කවුළු විවෘත කර තබන්න.
– දුරකථන ආදිය ආරෝපණය සම්පූර්ණ වූ පසු විදුලි සැපයුමෙන් විසන්ධි කර තබන්න
– වහලයට සවි කරන ලද ආලෝක කවුළු තුළින් සූර්යාලෝකය ලබා ගැනීමට කටයුතු කරන්න.
මේ ක‍්‍රම නිසි ලෙසින් ක‍්‍රියාත්මක කර ගන්න ඔබට පුළුවන් වුණොත් භාවිත කරන ලද විදුලි එ්කක ගණනේ වාර්තාගත අඩු වීමක් ඉදිරි විදුලි බිල තුළ දැක ගන්නට ඔබට ඉඩ සැලසෙන බව අපට විශ්වාසයි.

ලාභ බඩුවේ හිලක් ඇත.

මෙහි දී සිහිපත් කළ යුතු තවත් වැදගත් කාරණයක් තමයි විදුලි උපාංග තෝරා ගැනීමේ දී ලාභයට යට නො වී සිටීම කියන කාරණය. මුදලින් ලාභ භාණ්ඩවල විදුලි පරිභෝජනයේ ගුණාත්මක බව අතිශයින් පහළ අගයක පවතින්න වැඩි ඉඩකඩක් තිබෙනවා. මේ වාණිජ සමාජය යටිකූට්ටු වාණිජ අරමුණු මුදුන් පමුණුවා ගන්නට භාවිත කරන එක් ක‍්‍රියාමාර්ගයක් පමණයි එය. ගුණාත්මක භාවයෙන් වැඩි උපකරණයක් වෙනුවෙන් යෙදවිය හැකිව තිබූ මුදල් අවසානයේ විදුලි බිලට යට වෙනවා. එ් නිසා එවන් අවස්ථාවල දී ලාභ දෙයට කැමති නො වී ගුණාත්මක බවින් යුතු උපකරණ මිල දී ගන්නට පෙළඹෙන එක දූරදර්ශී තීරණයක් වන බව නිසැකයි.

විදුලි අභියෝගයට ඔබත් සූදානම් ද?

බලශක්ති ජනනය සම්බන්ධයෙන් අප යම් තරමකට වාසනාවන්ත යි. ජල විදුලි උත්පාදනයට අපට සම්පත් තිබෙන නිසයි අපි එහෙම කියන්නේ. එහෙම වුණත් ජලපෝෂක ප‍්‍රදේශ නඩත්තු කිරීම ගැන හෝ ජලාශවල සම්පූර්ණ ධාරිතාවයෙන් ම ජලය රඳවා ගැනීම ගැන අපේ අවධානය තවමත් ප‍්‍රමාණවත් නැහැ. ඒකාකාර ජල ප‍්‍රවාහයක් හා ජල විදුලි උත්පාදනයක් පවත්වා ගන්න නම් මේ කාරණා දෙක ම ගැන අප සැලකිලිමත් විය යුතු ම යි.

ජල සැපයුම ප‍්‍රමාණවත් නො වුණ විට අපට සිදුවන්නේ ෆොසිල ඉන්ධන භාවිත කරලා විදුලිය නිපදවන්න යි. පොළවේ සංචිතව තිබෙන කාබන් ඒ ආකාරයට දහනය කෙරෙන වේගයෙන් ම පොළවේ කාබන් සංචිත බිහි වන්නේ නැහැ. අනාගතයේ ෆොසිල ඉන්ධන දුර්ලභ විය හැකි බවට අපට ඉඟි කරන සාධකයක් තමයි ඒ.

ඒ නිසා ඉදිරියේ දී විදුලි ඒකකයක් වෙනුවෙන් අප දැරිය යුතු පිරිවැය තව තවත් වැඩි වේවි. ඒ අනාගත අවදානම ද ඇති ව සිටින නිසාවෙන් අද දවසේ විදුලිය අපතේ නො යවා ඵලදායී ව යොදා ගන්නට අප නැඹුරු වී සිටීම වඩාත් ප‍්‍රතිඵලදායක වේවි.

ඒ වෙනුවෙන් අහසට, පොළවට හෝ රජයට දොස් නො කියා, අපි වෙනුවෙන් අපි හරි දෙය හරි තැනදි කරනා හරි මිනිසුන් විය යුතු ම යි. ඒ නිවැරදි දේ වෙනුවෙන් ඔබ කළ යුතු ව තිබෙන්නේ විදුලි බිලට අභියෝග කරන ‘අරපිරිමැස්මේ තුන් කාලීන රහස’ දස දිග පතුරුවා හරිමින් එකී ජීවන රටාවට යළි අනුගත වීම පමණයි. ඒ වෙනුවෙන් මෙයටත් වඩා සුදුසු කලක් යළි කිසිදා නොම එළඹෙනු ඇති.

මෙම ලිපිය පිළිබඳ ඔබේ අදහස් අපට SMS කරන්න
071 555 66 66

අභියෝගයේ සටහන
උදුලා පද්මාවතී