ලොව්තුරු අමා දහම ලොවට දායාද කළ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දහමෙහි පිළිසරණ සොයා යන්නන් හට නිරතුරු කර්මය ගැන සිහි කිරීමට අනුදැන වදාළා. “කම්මස්සකෝම්හි කම්මදායාදෝ කම්මයෝනි කම්මබන්ධු කම්මපටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්‍යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි”

“මම කර්මය තමාගේ දෙය කරගෙන සිටිමි. කර්මය දෑවැද්ද කරගෙන සිටිමි. කර්මය උප්පත්ති ස්ථානය කරගෙන සිටිමි. කර්මය ඥාතියා කරගෙන සිටිමි. කර්මය පිළිසරණ කරගෙන සිටිමි. එහෙයින්, යහපත් වූ හෝ අයහපත් වූ හෝ යම් කර්මයක් මා විසින් කරනු ලැබුවහොත් එහි විපාක මට දායාදය හැටියට ලැබෙන්නේ ය.”

(ඨාන සූත්‍රය – අං. නි. 5 වන නිපාතය)

මෙලෙසින් සිහි කිරීමට අපගේ ශාස්තෘන් වහන්සේ දේශනා කොට ඇති මුත් අප නිරතුරුවම හුරුව ඇත්තේ එම අනුශාසනාව පසෙකලා, ලොවෙහි ඇති අනෙක් ප්‍රශ්නයන් හිස් මුදුනේ තබාගෙන, ඒවා සාධාරණ අසාධාරණ තරාදියෙන් කිරා බලමින් සිත් අවුස්සා ගැනීමටය. එනමුදු විශාඛා මහෝපාසිකාව හට කොසොල් රජ්ජුරුවන් ලවා කර ගත යුතු කිසියම් වැඩකටයුත්තක් තිබී, කොසොල් රජ්ජුරුවෝ ඇගේ අදහසට අනුකූල පරිදි එය ඉටුකර නොදීම ගැන, ඇය බුදු සමිඳුන් සමඟ පැවසූ කල මහා කාරුණිකයන් වහන්සේගේ මුව මඬලින් නික්මුණේ මෙවන් උදානයක්.

සබ්බං පරවසං දුක්ඛං – සබ්බං ඉස්සරියං සුඛං
සාධාරණේ විහඤ්ඤන්ති – යෝගා හි දුරතික්කමා

“අනුන්ගේ යටතේ තියෙන හැමදෙයක්ම දුකක්. සියලු ලොව්තුරු ඉසුරුමත් බව සැපයි. සාධාරණය ඉටු කරගන්න යන හැම දෙනෙක්ම පීඩා විඳිනවා. මේ කෙලෙස් බන්ධනවලින් නිදහස් වෙන එක නම් ලේසි දෙයක් නොවෙයි.”

(විශාඛා සූත්‍රය – ඛුද්දක නිකාය, උදාන පාළි)

සත්‍යය මෙසේ තිබියදී සමාජය තුළ සාධාරණ අසාධාරණ බව පිළිබඳව නිතර කතාබහට ලක්වන බැවින් මේ ගැන තව විපරම් කිරීම වටීවි යැයි සිතුණි. මේ, ඒ පිළිබඳ විමසුමකි.

අසාධාරණයට පාඩම…

බොහොම ඈත අතීතයේ අති දක්ෂ වෛද්‍යවරයෙක් සිටියා. ඔහුට දවසක් දුබල වූ ඇස් ඇති කාන්තාවක් මුණගැසුණා. ඇය තමන්ගේ ඇස් දෙක සුව කරලා දුන්නොත් දරුවොත් එක්කම දාසයින් වෙනවා කියලා පොරොන්දු වුණා. මොහු අභියෝගය බාරගත්තා. තමන් ළඟ තිබුණු වටිනා බෙහෙතක් ලබා දීලා ඇස් දෙක සුව කළා.

ඒත් ඈ කපටියි. ‘මං මොකටද අනුන්ට බැල මෙහෙවර කරන්නේ.’ කියලා ලෙඩේ තව වැඩි වුණු විදිහට රඟපෑවා. වෙදාට බෙහෙත්වලට ගිය වියදමයි මහන්සියයි සියල්ලම දරාගෙන බැණුම් අහන්නත් සිද්ධ වුණා. දැන් මේ අසාධාරණයට මොකද කරන්නේ?

සාධාරණ අසාධාරණ තරාදියක දාලා හිත වනස ගන්නවා ද? කර්ම කර්මඵල ගැන හිතලා හිත සනස ගන්නව ද? මොහුගේ හිත ගියේ සාධාරණ අසාධාරණ තරාදියට. ඔහු කපටි ස්ත්‍රියට පාඩමක් උගන්වන්න තීරණය කරා. ඇස් දෙක අන්ධ වෙන බෙහෙතක් ලබා දීලා ඇගේ දෙනෙත් සදහටම අන්ධ කළා. ‘වංචාකාරයින්ට මේවා හොඳ පාඩම්.’ කියලා ඔහු සිතින් හිනා වුණා.

හැබැයි ඔහු දැනන් හිටියේ නෑ තමන් කරපු කර්මය ගවයා පිටිපස්සෙන් එන කරත්ත රෝදෙ වගේ තමා පසුපස පන්නගෙන එන විත්තිය. මොකක්දෝ පිනකට ඔහු බුදුරජාණන් වහන්සේ වැඩසිටි යුගයේ මනුස්ස ලෝකෙ උපත ලැබුවා. සද්ධර්මය අහල හිත පැහැදිලා බුදු සසුනේ පැවිදි වුණා. හැකි හැම වීරියක්ම දාලා සසර අසාධාරණයෙන් මිදෙන්නට මහන්සි ගත්තා. අන්න එතකොට හාංකවිසියක්වත් මතක නැති අතීත කර්මය උන්වහන්සේගේ ඇස් දෙක අන්ධ කරල දැම්මා. ඒත් ඉතිං උන්වහන්සේගේ උත්සාහය අපතේ ගියේ නෑ. පොළොවට පස්වෙලා යන මසැස අන්ධ වෙද්දී ලොව්තුරු දහම දකින ප්‍රඥා ඇස උන්වහන්සේට පහළ වුණා. අසාධාරණ සසර ගමනට තිත තබමින් චක්ඛුපාල රහතන් වහන්සේ පරම සත්පුරුෂ නුවණැතියන්ට පමණක් සාධාරණ නිවන් පුරයට වැඩම කළා.

උරුමය රැකුමට කළ යුතු දේ…

අපි හැමෝටම අපට ලැබුණු උරුමය රැක ගැනීමේ භාරදූර වගකීමක් තියෙනවා. හැබැයි, ඒ වෙනුවෙන් වුණත් කරන කියන දේ අපිට සංසාරෙට ම උරුම වෙනවා…

අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර මේ ලෝ තලයේ පසේබුදුරජාණන් වහන්සේලාගේ යුගයක් තිබුණා. එකල බරණැස් නුවර රජෙක් තම පිය පරපුරෙන් ලැබුණු රාජ්‍යය ආරක්ෂා කරමින් වාසය කළා.

වෙනත් රජෙක් මෙම රාජධානිය ගැන ලෝභ සිත් උපදවා ආක්‍රමණයකට කඳවුරු බැඳ ගත්තා. රජතුමා තම මෑණියන් සමඟ සාකච්ඡා කරල රට රැක ගැනීමට සැලසුමක් දියත් කළා. ඒ අනුව කඳවුරු නුවර සියලු දොරටු වසා දැම්මා. කිසිවෙකුට බැහැරට යා නොහැකි විදිහට හිර කළා. ආහාරපාන සියල්ල ලැබෙන මාර්ග අවහිර කළා. එයින්, පිඬුසිඟා වැඩ සිටි පසේබුදුරජාණන් වහන්සේලා පිරිසත් අපහසුතාවයට පත් වුණත් රජු ඒ සියල්ල නොසලකා හැරියා. මේ උතුම් පසේබුදුරජාණන් වහන්සේලා දින හතකට කඳවුරු නුවර සිරවී වැඩසිටියා. රජු සතුරු සේනා පරදවලා උරුම රාජ්‍යය නම් රැක ගත්තා. හැබැයි, කර්මය නැමැති සතුරා රජු මරණින් මතු නිරයට ඇද දැමුවා. කොහොම නමුත් මෙතුමා අතීත සංසාරයේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලා පුදල මහා පින් රැස් කරගත් කෙනෙක්. හිතමිතුරු කර්මය නැමැති ඥාතියා මෙතුමන්ව මනුස්ස ලෝකයේ ඉපැද්දුවා. හැබැයි කරපු පාපකර්මයේ විපාකය ඔහුව අවුරුදු හතයි දවස් හතක් මව් කුස තුළ හිර කළා. ඒ පාපකර්මයට අනුබල දුන් මෑණියන්ට ඒ මව්කුස දරාගෙන අවුරුදු හතයි දවස් හතක් කර්කෂ දුක් විඳින්න සිද්ධ වුණා. ඒත් අවසානයේ සීවලි මහරහතන් වහන්සේ සම්බුදු සසුනේ පිහිට ලබල අසාධාරණ සසර ගමනේ නිමාව සනිටුහන් කොට වදාළා. සුප්පාවාසා මෑණියනුත් කර්මයට දෙන්න පුළුවන් හිමාල කන්ද පරදන දුක් කන්දරාව අබ ඇට හතකටත් අඩු ප්‍රමාණයකට ලුහු කරලා සෝතාපන්න ශ්‍රාවිකාවක් ලෙස දෙව්ලොව උපත කරා ගියා.

හැඟීම්බර වුණා කියලා…

කර්මය කියන්නේ පුදුම විෂයක්. සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පමණක් ගෝචර වූ අචින්තනීය දෙයක්. “ඒ කර්මය කළේ මෙයා නිසා, මේක නිසා” කියලා ගැලවීමක් ලබන්න බෑ. දෙමව්පියන්ගේ සිත්වල හටගන්න දරු සෙනෙහස කියන්නේ ඇස් ඉස් මස් ලේ විදගෙන ඇට ඇටමිදුලුවලට ම කිඳා බැහැපු දෙයක්. තමා ඇහැ වගේ හදාපු දුවව කෙනෙක්ට විවාහ කරලා දුන්නම ඒ කෙනා ඇයව අත්හැරල දාල ගියොත් ඒක තාත්තා කෙනෙකුට වාව ගන්න අමාරුයි. රජ කෙනෙක්ට ඒක ඊටත් වඩා අමාරුයි. නමුත් මේ කණ්ණාඩිය දාගෙන බුදුරජාණන් වහන්සේ දෙස බැලීම වැරදියි. ඒත් සුප්පබුද්ධ ශාක්‍ය රජ්ජුරුවන්ගේ සාධාරණ අසාධාරණකම් මනින තරාදිය නම් කීවේ හරිම කණ්ණාඩිය ඒක කියලා. ඒ කණ්ණාඩිය දාගත්ත ඔහුට අසිරිමත් සම්බුදු ගුණ නොපෙනී ගියා. ඔහු බුදුරජාණන් වහන්සේ සමඟ වෛර බැඳගත්තා. තමන්ගේ සුන්දර යශෝධරා දූ කුමාරිව අතහැරලා ගියා කියන තරහින් බීමත්ව බුදුරජුන් වඩින මග හරස් කළා. සර්වඥයන් වහන්සේ ඒ කර්මයේ බැරෑරුම්කම ගැන දේශනා කොට තිබිය දී පවා ඔහු ඊට අභියෝග කරන්න කල්පනා කරා. මහා කාරුණිකයන් වහන්සේගෙන් සමාව ගෙන කර්මයෙන් ගැලවීමට ඉඩකඩ තිබුණත් ඔහුගේ සාධාරණ අසාධාරණ තරාදිය ඊට හරස් වුණා. කර්ම – කර්මඵල ගැන පිරිපුන් අවබෝධයකින් හෙබි බුදුරජාණන් වහන්සේ මොහු සම්බුදුරජුන් කමා කර නොගතහොත් හරියටම දින හතකින් රජ මාළිගයෙහි පහළ මාළයේ පඩිපෙල පාමුල පොළොවෙහි ගිලී මරණයට පත් වන බව දේශනා කොට වදාළා. රාජ්‍ය මාන්නයෙන් තෙද ගෙන සිටි රජු කර්මයෙන් ගැලවීමට උපාය යෙදුවා. එනමුදු කිසිම ලෙසකින් මුළාවට පත් කළ නොහැකි කර්මය විසින් බුදුරජාණන් වහන්සේ වදාළ අයුරින්ම ඔහු මරණයට පත්කොට නිරය කරා ගෙන ගියා. සැමට සාධාරණ කර්මයේ අසාධාරණයට ඔහුව ලක්වෙද්දී, සාධාරණ අසාධාරණ තරාදිය අහකට විසි වී ගියා.

කවුරු නිසා කෙරුවත්…

සමාජයේ ජීවත්වන අපව නොයෙකුත් අය නොයෙකුත් දේට පොළඹවනවා. අපිට පෙනෙන බලවේග විතරක් නෙමෙයි; නොපෙනෙන බලවේගත් අප ව නොයෙකුත් දිශානතීන්ට යොමු කරනවා. එවැනි එක්තරා බලවේගයක් තමයි මාර බලවේගය.

කකුසඳ බුදුරජාණන් වහන්සේගේ කාලයේ පිළිවෙළින් බොහෝ භික්ෂු පිරිසක් අමා මහ නිවන කරා වැඩම කළා. මාර විෂය ඉක්මවා වදාළා. ඒ කාලයේ මාර තනතුරෙහි සිටි දුසී මාරයාට මේක රිස්සුවේ නැහැ. මිනිසුන්ගේ සිත්වලට ඔහු සංඝරත්නය ගැන කිපෙන විදිහේ අරමුණු දෙන්න ගත්තා. සතර සතිපට්ඨානයෙන් තොරව හිටපු මිනිස්සු ඒ වැරදි අරමුණු හිතට අරගෙන සිල්වත් ගුණවත් භික්ෂූන්ට ගරහන්න පටන් ගත්තා.

“මීයෝ අල්ලන්න බලන් ඉන්න බකමූණො ටිකක් වගේ”, “මීයන්ට කුරුමානම් අල්ලන බළල්ලු වගේ” ආදී පරුෂ වචනයෙන් සඟරුවනට නින්දා කළා. භික්ෂූන් වහන්සේලාට පිණ්ඩපාතේ වැඩල දානෙ නැතුව හිස් පාත්‍ර අතැතිව ආපිට වඩින්න සිද්ධ වුණා. හැබැයි උන්වහන්සේලා එයින් සැලුනේ නෑ. සම්බුදු අනුශාසනාව මත පිහිටලා සතර බඹ විහරණ වඩා අසාධාරණ සසරින් එතෙරටම වැඩම කොට වදාළා.

ඒත්, නොපෙනෙන බලවේගවලට අහුවෙලා මහ සඟරුවනට දොස් කියපු බොහෝ දෙනෙක් නිරයේ උපත කරා ගියා. දුසී මාරයාත් නිරයේ උපන්නා. හැබැයි නැවත මනුලොව උපත ලබලා ගෞතම බුදුසසුනේ වමත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේ බවට පත් වී වදාළා.

සංසාරගත කර්මයේ අසාධාරණය කෙළපිඬක් මෙන් විසි කොට වදාළා. හැබැයි අද්භූත කාරණය නම් උන්වහන්සේ දුසී මාරයා කාලයේ කළ පෙළඹවීමෙන් පව් කර නිරයේ වැටුණු ඇතැම්හු තවමත් සතර අපා දුක විඳිනවා. අසාධාරණයි වගේ තමයි. හැබැයි මේක තමයි නිවන් දකින තාක් ම කර්මයෙන් බැට කන්න තියෙන සසරේ ස්වභාවය.

හොඳ පැත්තත් එහෙම තමයි…

කර්මයෙන් බැට කනවා කිව්වට අපේ පිටිපස්සෙන් එන්නේ පාපකර්මය විතරක්ම නෙමෙයි. උදාහරණයකට අපි හැමෝම මනුස්ස ලෝකෙ උපතක් කරා ආවේ පුණ්‍ය කර්මයක විපාකයකින්. පුණ්‍ය කර්මය උනත් කාගේ බලපෑමෙන් කළත් සෙවණැල්ල වගේ පිටිපස්සෙන් එනවා.

අර දුසී මාරයා සම්බුද්ධ ශ්‍රාවකයන්ව නින්දා ගැරහීම් ආදියෙන් මඩින්න බැරි වුණාම ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදියෙන් මඩින්න උත්සාහ කළා. එයාගේ පෙළඹවීමෙන් නමුත් මිනිස්සු සංඝරත්නයට සිව්පසයෙන් පිදුවා. දුටු තැන වැඳ වැටුණා. කෙනෙක්ගෙ බලපෑමෙන් වුණත් මිනිසුන්ට සසරේ පිළිසරණ පිණිස මේ දේවල් තුළින් බොහෝ පුණ්‍යකර්ම රැස් වුණා. ඒ කාලේ මැරුණු අයගෙන් අති බහුතරය සුගතිගාමී වුණා. ඒ භික්ෂූන් වහන්සේලා නම් කකුසඳ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව මත පිහිටලා ශරීරයේ අසුභය, ආහාරයේ පිළිකුළ, ඒ සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය බව දකිමින්, සිත වඩමින් අමා මහ නිවන කරාම වැඩම කළා. මේ විදිහට, යහපත් වූ හෝ අයහපත් වූ හෝ යම් කර්මයක් රැස් කර ගත්තා.ද ඒකේ විපාකය අපිත් එක්ක එනවා. කර්මයට අදාළ වෙන්නේ චේතනාව මිසක් ඊට හේතුපාදක වුණු පසුබිම නොවෙයි.

“චේතනාහං භික්ඛවේ කම්මං වදාමි, චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා.”

“මහණෙනි, මම චේතනාව කර්මය කියමි. චේතනා පහළ කොට කයින් වචනයෙන් මනසින් කර්ම කරයි.”

(නිබ්බේධික සූත්‍රය, අං. නි. 6 වන නිපාතය)

ඉතින්, “මෙයා නිසා, මේ නිසා.” කියලා කර්මයෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා, කර්මය ගැන නිතර සිහි කරමින් යහපතෙහි හැසිරෙන්න. ගෞතම බුදු සසුනේ පිහිට ලබා මේ අසාධාරණ සසර ගමන නිමා කරන්න මහන්සි ගන්න. ඒ පිහිට පිණිස මේ දහම් පඬුරත් හේතු උපකාර වේවා!

මහමෙව්නාව භාවනා අසපුවාසී ස්වාමීන් වහන්සේ නමක් විසිනි.