තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීම ලෝකයේ සිදුවන ඉතාමත් දුර්ලභ වූත්, ආශ්චර්යවත් වූත් සිදුවීමක්. දස පාරමී, දස උප පාරමී, දස පරමත්ථ පාරමී යන සමතිස් පාරමී ධර්මයන් සපුරමින් උන්වහන්සේගේ මෙලොව පහළ වීම සිදු වනවා. එලෙස පහළ වන ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණයන් ප්‍රමාණ කොට අවසන් කළ නො හැකි යි. එම නිසා ම උන්වහන්සේ අප්‍රමාණ ගුණයන්ගෙන් යුක්තයි කියා පවසනවා.

බුදුරජාණන් වහන්සේ තුළ තිබෙන තවත් බුදුවරයෙකු කෙරෙහි පමණක් පිහිටන, අන් අය කෙරෙහි නොපිහිටන විශේෂිත වූ ඤාණයන් තිබෙනවා. එවැනි සුන්දර වූ ඤාණයක් ගැන මෙහි සඳහන් වෙනවා. එය තථාගතයන් වහන්සේගේ ‘පුරිසින්ද්‍රිය ඤාණය’ ලෙස හැඳින්වෙනවා.

තථාගත බුදුරජාණන් වහන්සේගේ පුරිසින්ද්‍රිය ඤාණයෙන් උන්වහන්සේ තම සිතින් තවත් අයෙකුගේ සිතෙහි කුසල අකුසල ධර්මයන් පිහිටා ඇති ආකාරය දකිනවා. ඒ වගේ ම පසුකාලීන ව එම ධර්මයන්ගේ ඇතිවන වර්ධනයත්, පිරිහීමත්, දකිනවා. එපමණක් නොව එම පුරුෂයා තුළ පිහිටි ඒ කුසල අකුසල ධර්මයන් අනාගතයේ කෙබඳු ආකාරයෙන් වෙනස් වීමට ලක් වෙනවා ද යන කරුණ ද තථාගතයන් වහන්සේ ඒ ආකාරයෙන් ම, යථාර්ථයක් වශයෙන් ම අවබෝධ කරනවා. මේ සියල්ල තථාගතයන් වහන්සේගේ පුරිස ඉන්ද්‍රිය ඤාණයට අයත් වෙනවා.

බුදුරජාණන් වහන්සේ දේවදත්ත ගැන මෙබඳු ප්‍රකාශයක් කොට වදාළා. එනම් “දේවදත්ත තෙමේ අපායෙහි උපදින්නෙකි, නිරයෙහි වැටෙන්නෙකි, කල්පයක් විඳවන්නෙකි. පිළියම් කළ නො හැක්කේ ය.” වශයෙන්. බුදුරජාණන් වහන්සේගේ මෙම ප්‍රකාශය මුල් කොට එක්තරා භික්ෂුවකගේ සිතෙහි මෙබඳු සිතුවිල්ලක් හටගත්තා. ‘භාග්‍යවතුන් වහන්සේ මෙම ප්‍රකාශය කළේ භාග්‍යවතුන් වහන්සේ තම සිතින් දේවදත්ත ගැන හොඳින් ම විමසා බලා ද එසේත් නැත්නම් වෙනයම් අයුරකින් වත් ද?’ මෙසේ කියා ඒ භික්ෂුවට තථාගතයන් වහන්සේගේ අවබෝධය ගැන සැකයක් හටගත්තා. එය මුල්කොට ගෙන තථාගතයන් වහන්සේගේ පුරිස ඉන්ද්‍රිය ඤාණය පිළිබඳ විග්‍රහය සිදු කෙරුණා.

මෙහි දී විවිධාකාර වූ පුද්ගල ස්වභාවයෙන් යුතු ලෝකයෙහි ඒ ඒ පුද්ගලයන් තුළ ඉන්ද්‍රිය ධර්මයන් පිහිටා ඇති ආකාරයට අනුව ධර්මාවබෝධය කරා යන අයුරු විස්තර වෙනවා.

01. තථාගතයන් වහන්සේගේ පුරිස ඉන්ද්‍රිය ඤාණය තුළින් දකින පළමු පුද්ගල ස්වභාවය ගැන බුදුරජාණන් වහන්සේ මේ අයුරින් විස්තර කළා.

බුදුරජාණන් වහන්සේ යම් විටක යම් පුද්ගලයෙක් ගැන විමසා බලයි ද එකල්හී ඔහු තුළ පිහිටා ඇති කුසල අකුසල ධර්මයන් තථාගතයන් වහන්සේගේ සිතින් පිරිසිඳ දකියි. එනම් ‘මේ පුරුෂයා තුළ කුසල් දහම් ද අකුසල් දහම් ද දකින්නට තිබේ ය’ කියා. පසු කලක තථාගතයන් වහන්සේ එම පුරුෂයා ගැන විමසා බලන කල්හි ඔහු තුළ කුසල අකුසල ධර්මයන්හි සිදු වී ඇති වෙනස දකියි, ‘මේ පුද්ගලයා තුළ තිබූ කුසල් දහම් පිරිහී ගොසින් ය. අකුසල ධර්මයන් වර්ධනය වී ඇත. අකුසල ධර්මයන් වර්ධනය වුවත් මොහුගේ කුසල මූලයන් නො නැසී ඇත. මොහුගේ කුසල මූලයෙන් කුසල් මතුවන්නේ ය, මොහු කුසල් දහම් තුළ නැවත නොපිරිහෙන ස්වභාවයට පත්වන්නේ ය’ යැයි තථාගතයන් වහන්සේ ඒ පුරුෂයාගේ චිත්තභ්‍යන්තරයේ තිබූ ධර්මාවබෝධයට ඇති හැකියාව යථාර්ථයක් වශයෙන් ඒ අයුරින් ම දකියි. මෙයත් තථාගතයන් වහන්සේගේ පුරිසින්ද්‍රිය ඤාණයට යි අයත් වන්නේ.

02. ඉහත සඳහන් කළ ආකාරයට ම සියල්ලන් තුළ ම එක ම අයුරින් ම ඉන්ද්‍රිය ධර්මයන් පිහිටීම සිදුවන්නේ නහැ. එය ඒ ඒ පුද්ගලයන් තුළ විවිධාකාර ස්වභාවයන්ගෙන් යුක්ත වෙනවා. මෙම පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්මයන් පිහිටා තිබෙන්නේ ඊට වඩා වෙනස් ආකාරයකට යි. ඇතැම් පුද්ගලයෙක් පිළිබඳ ව තථාගතයන් වහන්සේගේ සිතින් ඔහුගේ සිත පිරිසිඳ දකියි. එනම් ‘මේ පුරුෂයා තුළ කුසල් දහම් ද අකුසල් දහම් ද දකින්නට තිබේ ය’ කියා. පසු කලෙක ඔහු පිළිබඳ ව තථාගතයන් වහන්සේ තම සිතින් පිරිසිඳ දකියි. ‘මේ පුද්ගලයා තුළ තිබූ අකුසල ධර්මයන් නැති වී ගොසින් ය. කුසල් දහම් පෙරට පැමිණ තිබෙයි. එනමුත් මොහුගේ අකුසල මූලයන් නො නැසී පවතියි. මොහුගේ ඒ අකුසල මූලයෙන් අකුසල් මතුවන්නේ ය. මෙසේ මේ පුද්ගලයා මත්තෙහි පිරිහෙන ස්වභාවයට පත්වන්නේ ය’ යැයි තථාගතයන් වහන්සේගේ පුරිසින්ද්‍රිය ඤාණයෙන් මේ පුද්ගලයාගේ ස්වභාවය යථාර්ථයක් වශයෙන්ම පිරිසිඳ දකියි.

03. තථාගතයන් වහන්සේගේ පුරිසින්ද්‍රිය ඤාණය පිළිබඳ විග්‍රහයේ දී තවත් පුද්ගලයෙක් ගැන විස්තර වෙනවා. තථාගතයන් වහන්සේ තම සිතින් ඔහුගේ සිත පිරිසිඳ දකියි. එනම් ‘මොහු තුළ කුසල ධර්මයන් ද අකුසල ධර්මයන් ද දකින්නට තිබේ ය’ කියා. පසු කල්හී බුදුරජාණන් වහන්සේ මේ පුරුෂයා ගැන විමසන කල්හී ඔහු තුළ අස්ලොම් අග තැවරෙන පමණවත් කුසල ධර්මයන් මාත්‍රයක්වත් දකින්නට නො ලැබෙයි. ඒ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් කළු පැහැ ගත් අකුසල ධර්මයන්ගෙන් සමන්විත වෙයි. ඔහු ඒකාන්තයෙන් ම කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ, විනිපාත නම් වූ නිරයෙහි උපදින ස්වභාවයට පත්ව සිටියි.

මෙහි දී පුද්ගල ස්වභාවයන් තුනක් පිළිබඳ විග්‍රහ වෙනවා. පළමු පුද්ගලයා කුසල හා අකුසල ධර්මයන්ගෙන් සමන්විත වුණා. පසු කල්හී අකුසල ධර්මයන් වර්ධනය වී තිබුණි. එහෙත් කුසල මූලයන් නොවැනසී තිබුණ හෙයින් එයින් කුසල් මතු වී කුසල ධර්මයන් තුළ ස්ථාවර භාවයට පත් වූවා. දෙවන පුද්ගලයා ද කුසල අකුසල ධර්මයන්ගෙන් සමන්විත වුණා. පසු කාලීන ව කුසල් වැඩී තිබුණා, එහෙත් අකුසල මූලයන් නොනැසී තිබුණා. එහෙයින් අකුසල මූලයෙන් අකුසල් මතු වී පිරිහෙන ස්වභාවයට පත් වුණා. තෙවන පුද්ගලයා ද එම ධර්මයන් දෙකෙන් ම සමන්විත වුවත් පසු කාලීන ව විමසන කල්හී මුළුමනින් ම කුසල් දහම්වලින් පිරිහී ඒකාන්තයෙන් ම නිරයේ උපදින ස්වභාවයට පත් වී තිබුණා.

දේවදත්තයන් කෙරෙහි ද මුල් කාලයේ කුසල් දහම් වර්ධනය වී තිබුණා. ධ්‍යාන සමාපත්ති, ඉර්ධි ප්‍රාතිහාර්ය දැක්වීම් ආදී කුසලතා උපදවා ගත්තා. එහෙත් චිත්තාභ්‍යන්තරයේ අකුසල් මූලයන් නො නැසී පැවතීම නිසා එම අකුසල් මූලයන්ගෙන් අකුසල් හටගෙන කුසල් දහම් මුළුමනින් ම අතුරුදහන්ව ගොස් ඒකාන්තයෙන් නිරයෙහි උපදින කෙනෙක් බවට පත්වුනා.

මෙහි දී අපට තේරුම්ගත හැක්කේ පුද්ගලයෙකු කුසල් දහම් තුළ බලවත් ව නොපිහිටීමත්, ඒවා තුළ ස්ථාවර ස්වභාවයට පත් නොවීමත්, එමෙන් ම කෙලෙස් සහිත ව සත්වයන් සසරේ ගමන් කිරීම හේතුවෙනුත්, ඔවුන්ට ඉතාමත් බිහිසුණු විපත්වලට පවා මුහුණ දීමට සිදුවන බවයි.

බුදුරජාණන් වහන්සේ මේ අයුරින් තථාගතයන් වහන්සේගේ පුරිසින්ද්‍රිය ඤාණ පිළිබඳ විග්‍රහය වදාළ කල්හී ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවා.

“ස්වාමීනී, මේ පුද්ගලයන් තිදෙනා හා සැසඳෙන්නා වූ වෙනත් පුද්ගලයන් තිදෙනෙකු පැනවිය හැකි සේක් ද?”

“හැකිය ආනන්ද…” යැයි වදාළ බුදුරජාණන් වහන්සේ තවත් විග්‍රහයන් තුනක් පිළිබඳ දේශනා කොට වදාළා.

04. මෙම පුද්ගලයා ද කුසල අකුසල යන ධර්මයන් දෙකෙන් ම යුක්තයි. පසු කලෙක තථාගතයන් වහන්සේ ඔහු පිළිබඳ ව තම සිතින් විමසා බලන කල්හී, ඔහුගේ කුසල් දහම් නැති වී ගොසින් අකුසල් දහම් පෙරට පැමිණ තිබෙයි. එනමුත් මොහුගේ කුසල මූලයන් නොනැසී තිබෙයි. එහෙත් මොහුගේ කුසල මූලයන් ද සර්වප්‍රකාරයෙන් සමූල ඝාතනයට පත්වන්නේ යැයි, තථාගතයන් වහන්සේට අවබෝධය ඇත. සවස් වරුවෙහි හිරු බැස යන කල්හී ආලෝකය අතුරුදහන් වීමත්, අන්ධකාරය පහළ වීමත් සිදු වන දෙයක් ම ය. එලෙසින් ම මෙම පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීම අනුව මේ පුද්ගලයා මත්තෙහි පිරිහෙන ස්වභාවයට පත් වන්නේ යැයි තථාගතයන් වහන්සේ යථාර්ථයක් වශයෙන් ම අවබෝධයෙන් යුක්ත වෙනවා.

05. එමෙන්ම මෙහි දී ඇතැම් පුද්ගලයන් මෙවැනි වූ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීමෙන් ද යුක්ත වෙනවා. ‘මෙම පුද්ගලයා තුළ කුසල ධර්මයන් ද අකුසල ධර්මයන් ද පිහිටා තිබේ ය’ යැයි තථාගතයන් වහන්සේ සිය සිතින් පිරිසිඳ දකිනවා. පසු කලෙක ඔහු පිළිබඳ ව තථාගතයන් වහන්සේ සිය සිතින් මෙසේ පිරිසිඳ දකියි. ‘මේ පුද්ගලයා තුළ තිබූ අකුසල් දහම් නැති වී ගොසින් ය. කුසල් දහම් පෙරට පැමිණ තිබෙයි. එනමුදු මොහුගේ අකුසල මූලයන් නො නැසී ඇත්තේ ය. එය ද සර්වප්‍රකාරයෙන් සමූල ඝාතනයට පත් වන්නේ ය. මෙසේ මේ පුද්ගලයා මත්තෙහි නොපිරිහෙන ස්වභාවයට පත්වන්නේ ය’ යැයි මෙම පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීම පිළිබඳ තථාගතයන් වහන්සේ අවබෝධයෙන් යුක්ත වෙනවා. උන්වහන්සේ එය උපමාවකින් වදාළා.

එනම් ගිනි ගත්, දැල්වෙන, ගිනි දැල්ලෙන් යුතු අඟුරු, වියළි තණකොළ ගොඩකට, එසේත් නැත්නම් ලී ගොඩකට දැමූ කල්හී එය විපුල බවට, අභිවෘද්ධියට පත්වන්නේ යම් සෙයින් ද එසෙයින් ම මෙම පුරුෂයා මත්තෙහි කුසල් දහම් තුළ නොපිරිහෙන ස්වභාවයට පත් වන්නේ යැයි තථාගතයන් වහන්සේ යථාර්ථයක් වශයෙන් ම ඔහුගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ පිහිටීම පිළිබඳ ව අවබෝධයෙන් යුක්ත වෙනවා.

06. මෙහි දී තවත් පුද්ගලයෙකු සිටියි. ඔහු ද කුසල අකුසල ධර්මයන්ගෙන් සමන්විත යැයි බුදුරජාණන් වහන්සේ සිය සිතින් ඔහුගේ සිත පිරිසිඳ දකියි. පසු කල්හී තථාගතයන් වහන්සේ ඔහු පිළිබඳ ව විමසා බලන කල්හී මෙසේ සිය සිතින් පිරිසිඳ දකියි. මේ පුද්ගලයා තුළ අස්ලොම් අග තැවරෙන පමණවත් අකුසල ධර්ම මාත්‍රයක් නැත්තේ ය. මේ පුද්ගල තෙමේ ඒකාන්තයෙන් සුදු පැහැයෙන් යුතු නිරවද්‍ය ධර්මයන්ගෙන් යුතුව මෙලොව දී ම පිරිනිවීමට පත් වන්නේ ය වශයෙනි.

මෙහි කලින් සඳහන් කළ පුද්ගලයන් තිදෙනාගෙන් කෙනෙක් නොපිරිහෙන ස්වභාවයෙන් යුක්තයි. අනිත් කෙනා පිරිහෙන ස්වභාවය ඇති කෙනෙක්. අනිත් කෙනා අපායෙහි උපදින, නිරයෙහි උපදින කෙනෙක්.

පසුව පැවසූ පුද්ගලයන් තිදෙනාගෙන් කෙනෙක් පිරිහී යන ස්වභාවය ඇත්තෙක්. අනිත් කෙනා නොපිරිහෙන ස්වභාවය ඇත්තෙක්. අනිත් කෙනා පිරිනිවන් පාන ස්වභාවයෙන් යුතු කෙනෙක්.

බුදුරජාණන් වහන්සේගේ මේ විස්මිත වූ අවබෝධය පිළිබඳ ව සියල්ලෝ ම සිත් පහදවා ගනිත්වා. එය සියලු සතුන්ට බොහෝ කල් හිතසුව පිණිස ම පවතින්නක්.

“යේ බුද්ධේ පසන්නා, අග්ගේ තේ පසන්නා. අග්ගේ ඛෝ පන පසන්නානං අග්ගෝ විපාකෝ හෝතීති.”

“යමෙක් වනාහී ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙරෙහි අචල ශ්‍රද්ධාවට පැමිණ සිටිත් නම්, ඔවුන්ගේ ඒ චිත්ත ප්‍රසාදය පවතින්නේ තුන්ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ය. තුන්ලෝකාග්‍ර වූ බුදුරජාණන් වහන්සේ කෙරෙහි සිත පහදවා ගත්තවුන්ගේ පුණ්‍ය විපාකය ද ඒකාන්තයෙන් ම අග්‍ර වන්නේ ය.”

(මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි)