මව් කුසේ ඉන්දෙද්දී ඔයාට ඕන වුණා ඉක්මනට ම එ් අඳුරු, ගඳ ගහන වතුර පිරුණු කළයක් වගේ එකෙන් එළියට එන්න. එ්කෙ ඇතුළට වැටුනු දවසෙ ඉඳන් ම ඔයාට ඕන වුණා එ් පීඩාවෙන් මිදෙන්න. ටික කාලයක් ගියාට පස්සෙ හරිම අමාරුවෙන් බොහොම දුකසේ ඔයාට පුළුවන් වුණා එ්කෙන් එළියට එන්න. එළියට ආපු ගමන් ම කෑ මොර ගහලා ඔයා ඇඬුවා. ඔයාගෙ ‘දුකට’ ද ‘සතුටට’ ද කියන්න අපි දන්නෙ නැහැ…..

පුංචි ම කාලේ ඔයාට හුඟාක් බඩගිනි වුණාම ඔයාට ඕන වුණා එ්ක කියන්න. කියන්න හැදුවා හැදුවා, ඔයාට වචන ආවෙ නැහැ. බඩගිනි වැඩිකමට ඔයාට සිද්ධ වුණා මහ හයියෙන් අඬන්න. එ් ඇඬුවේ නම් සතුටෙන් නෙමෙයි කියලා අපිට පුළුවන් කියන්න. ඔයාට චූ බරයි, ඔයාට ඕන වුණා කියන්න. කියන්න වචන නැහැ. ඔයා ඇඳුම තෙමා ගත්තා. අම්මා ළඟ නැහැ. ඔයාට අපහසුයි, ඇඟට වේදනයි, ඔයාට සිද්ධ වුණා අඬන්න.

හුඟාක් ම අඬ අඬා, ටිකෙන් ටික හිනහා වෙවී ඔයා ලොකු වෙද්දි ඔයාට ඕන වුණා ලෝකය හඳුනගන්න, උඩු බැලි අතට ඉඳලා ඉඳලා එපා වෙලා ඔයාට ඕන වුණා මුනින් අතට වැටෙන්න, උත්සාහ කරලා කරලා ඔන්න ඔයා දණ ගාන්න ගත්තා. ඔයාට ඕනෙ මෙහෙනුත් පනින්න, ලෝකය දකින්න. ඔයාගෙ අම්මට ඕනෙ වුණා ඔයාව ඉක්මනට ඇවිද්දවන්න. බැරි බැරි ගාතෙ පැද්දි පැද්දි අම්මගේ ඇඟිලිවල එල්ලිලා ඔයාට සිද්ධ වුණා ඇවිදින්න. ‘‘අබුන් කටයි, බත් දෙකටයි” කිය කියා අමාරුවෙන් ඔයාගෙ අම්මා ඔයාට රළු කෑම කන්න පුරුදු කළා. අඬ අඬා අකමැත්තෙන් ඔයාට සිද්ධ වුණා එ්වට පුරුදු වෙන්න. ඇවිදගන්න පුළුවන් වෙද්දි ම ඔයාට ඕන වුණා ඔයා හිරවෙලා ඉන්න ඔය ලෝකෙන් එළිය බලන්න. එ්වා කොහේ කරන්න ද? ඔයාට දණ ගාන්න බැරි විදිහට ලී හරස් කරලා ෙදාර ළඟ, ඔයා එ්වයෙ එල්ලිලා බලන් හිටියා එ් ලෝකෙ දිහා. මතක නෑ නේ ද?

යම්තම් තේරෙන කියන වයසෙ ම ආවා බෑග් එකක්, වතුර බෝතලයක්, මේස්, සපත්තු, අමුතු ඇඳුම්, ටයි, කෝට්… ඔයාගෙ නිදහස තව තව නැති වුණා. ඇඳුමෙන් පවා ඔයා හිර වුණා, මොන්ටිසෝරි, ස්කෝලෙ, ස්කූල් වෑන්වල ගෙවන්න වුණා ජීවිතය. පංතියේ වැඩ, ගෙදර වැඩ අතරේ ඔයා කායිකව මානසික හිරවුණා හොඳට ම. ඔයා ආසයි එළි වෙනකම් ම නිදා ගන්න. එ්ත් එ්ක බැහැ. යාළුවො එක්ක පණ යනකම් සෙල්ලම් කරන්න. කැමති තරම් චිත‍්‍රපටි බලන්න ඔයා කැමතියි. එ්ත් එ්වා බැහැ. ඔයාට ඕනෙ නිදහස. ඔයා එ් නිදහස වෙනුවෙන් කෑ ගැහුවා, ඇඬුවා, වැළපුනා, සමහර විට එ්වට ඔයාට ගුටි, නැත්නම් ගිවිසුම්, සුළු වේලාවකට නිදහස ලැබෙන්න ඇති… ඔයා අම්මට ආදරෙයි. එනිසා ඔයා අකමැත්තෙන් ම හරි අම්මාට ඕන දේ කළා. එ්ත් හිතේ තිබුණ දේ කරන්න බැරි වුණා. කායික පීඩා, මානසික පීඩා, මතක් වෙනව ද? තාමත් ඔයා හරියකට සෙල්ලම් කරපු දවසක් මතක් කරන්න බැහැ නේ ද?

වසර කීපයක් ගියා. එ් වසර කිහිපය තුළ එළි වුණා, රෑ වුණා. ජීවිතේ එක ම දේ, ජීවිතේ එක ම විදිහයි. ස්කෝල යනවා, පංති යනවා, පාඩම් කරනවා… ඔය අතරතුර කාලවල වෙනසකට ටි‍්‍රප් එක්ක ගියා. විශේෂ වැඩසටහන් සිද්ධ වුණා. එ් වුණාට හීනෙන් ඔයා හිර වෙලා. ඔයාට කැමති විදිහකට දෙයක් කරන්න බැහැ. නීති… ඔයා නීතියට එරෙහි වුණා. දඬුවම්… ඔයාට ආසයි ඔයා කැමති විදිහට ඉන්න. බැඳීම්, යුතුකම්, වගකීම්… කවද ද නිදහස් වෙන්න කියලා හිතුවා. ඔයා උසස් පෙළ අන්තිම පේපර් එක ලියලා එළියට ආවා ‘‘අප්පා.. ඇති යන්තම්…. එ් වදේ ඉවරයි..”

එ් වුණාට එ් වදේ ඉවර වුණේ නැහැ. එක එක තැන්වල ඔයා හිර වුණා. හොයන නිදහස ලැබුණේ නැහැ. රස්සාවට ගියා. හිර ෂර්ට්, හිර කලිසම්, හිර සපත්තු, හිර මේස්, ටයි පටි, එ්වට පවා ඔයා හිර වුණා. හිර වෙලා යන බස්, වාහන හිර වුණු පාරවල සතුටු වෙන්න ගත්ත ෆෝ්න් එකට පවා ඔයා හිර වුණා. හැමතැනම ඔයා හිර වුණා. ටිකෙන් ටික වයස මෝරද්දි සල්ලිවලට ඔයා හිර වුණා…. පොරොන්දුවලට හිර වුණා. බැදීම්වලට හිර වුණා. මුද්දකට හිර වුණා. ළමයින්ට හිර වුණා. තාප්පෙකට හිර වුණා. ගේකට හිර වුණා. කායිකව වෙහෙසයි. මානසිකවත් වෙහෙසයි. එ් වුණාට ඔයා අහපු සින්දුවල, ඔයා බලපු චිත‍්‍රපටිවල, ඔයා බලපු පොත්වල, චරිත කථාවල, ඔයාට අහන්න ලැබුණා ‘‘ජීවිතය විඳවන්න එපා. විඳින්න. ඔය ලස්සන ජීවිතය නිකම් ම විඳවලා නාස්ති කර ගන්න එපා.. ජීවිතය විඳින්න. ඔය හිතේ හැඟුම් හිර කරන් ඉන්න එපා. හිතේ තියෙන කැමැත්තට ඉඩ හරින්න. නටන්න. ගයන්න. වයන්න. විනෝද වෙන්න. හිනාවෙලා ඉන්න. ආයෙ ජීවිතය දෙපාරක් ලැබෙන්නෙ නැහැ. හෙට ආවත් හරි, හෙට නාවත් හරි අද දවසෙ හිනා වෙලා ඉන්න. දෙවියො දීපු ජීවිතේ. දෙවියො ම ආපහු ගනියි. එතකල් ප‍්‍රීති වෙලා සතුටින් ඉන්න. බැඳීම් කියන්නෙ සතුට දෙන දෙයක්. ආදරය කියන්නෙ ජීවිතේට ඕන දෙයක්.. ආදරේට ඉඩ දෙන්න… ආදරේට වයස් භේද නැහැ. එ් හැඟීම්වලට ඉඩ දෙන්න. ජීවිතේ ආයෙ දෙපාරක් නැහැ. ලැබුණු වෙලාවේ සතුටින් ඉන්න. විඳින්න ලැබුණු ජීවිතේ විඳවන්න එපා. හැමදාටම ඔයා හිනාවෙලා ම ඉන්න.”

හිනාවෙලා ම ඉන්න හිතන් ඔයා කරපු සමහර දේවල් නිසා ම දැන් ඔයාට වෙලා තියෙනවා ජීවිතේ පුරා ම අඬන්න. ඇත්තටම හිතල බලන්න පුංචි කාලෙ ඉඳන් ම අපේ හිත් හොයපු එ් නිදහස, එ් සතුට, සැපය අපිට හොයා ගන්න ලැබුණ ද? එ්ක අපිට අත් දකින්න ලැබුණ ද? අපිට තාම එ් ‘හිතේ නිදහස’ ලැබුණේ නැහැ නේ ද? අපිට එ් ‘හිතේ නිදහස’ නො වුණාට එහෙම නිදහසක් මේ ලෝකෙ නැද්ද? නැහැ… නැහැ…. එහෙම හිතන එක වැරදියි නේ ද? අපිට එ් නිදහස විඳින්න තාම බැරි වුණාට හැම දෙයින් ම නිදහස් වෙලා. සදහට ම නිදහස් වුණු උතුමන් වහන්සේලා මේ ලෝකෙ හිටියා. එ් උතුමන් වහන්සේලා අපි වගේ නෙවෙයි. අපි හිතෙන් දේවල් අල්ලගෙන, එ් අල්ල ගන්න දේ තුළින් නිදහසක් හොයනවා. එ් වුණාට එ් උතුමන් වහන්සේලා හිතින් දේවල් අත් හැරලා එ්කෙන් සතුටු වුණා. එ් අත් හැරපු දේවල් නිසා ටිකෙන් ටික ටික උන්වහන්සේලා සදාකාලිකව ම නිදහස වෙත ගියා.

ඔව්… මහා රට රාජ්‍යය පාලනය කරපු රජවරු, මහා වෙළහෙළඳාම් කරපු සිටුවරු, මහා කෙත් වතු කරපු ගොවියෝ, එ් විතරක් නෙවෙයි, අනුන්ගෙ බැල මෙහෙ කරපු කම්කරුවෝ… එ් හැම දෙනෙක් ම වාගේ, මේ ජීවිතේට විතරක් නෙවෙයි සදහට ම හැම දුකින් ම නිදහස් වුණා. උන්වහන්සේලා සමහර දාට හිටියේ ගහක් යට, සොහොනක, එළිමහන් තැනක. උන්වහන්සේලා සමහර විට ඇන්දේ කුණු ගොඩින් අහුලපු, දිරා ගියපු රෙදිවලින් කරපු සිවුරු. සමහර දාට එක වේලයි වැළඳුවේ. සමහර දාට එ්කත් නැහැ. එ් වුණාට උන්වහන්සේලා හදවතින් ම වින්දා සදාකාලික නිදහස. එ්කයි උන්වහන්සේලාව නිතැතින් ම මුවින් කියවුණේ ”අහෝ සැපයි… අහෝ සැපයි…!” කියලා.

අපි එ් ගැන වැඩි විස්තර කියන්න යන්නෙ නැහැ. මොකද අපිට ඕන වුණේ ඔයාට මේක කියන්න විතරයි. ‘‘අපි, ඔයා යම් කායික, මානසික පීඩාවලට යටවෙලා එ්වයෙන් නිදහසක් හොයනවා නම්, කායික මානසික පීඩා නැතිව හරි, ‘මේ ජීවිතේ මීට වඩා දෙයක් තියෙන්න ඕන’ කියලා හිතනවා නම්, ‘මේ ලෝකෙ සැබෑ ම නිදහසක් තියෙනව ද? කොහෙද?’ කියලා නිකමට හරි හිතෙනවා නම්, ඔව්… එහෙම නිදහසක් තියෙනවා… මේ ජීවිතේ දී ම අත් දකින්න පුළුවන්, මැනවින් පෙන්වා දීපු, ඕනම කාලෙකට අයිති, ඇවිත් බලන්න පුළුවන්, තමාගෙන් ම දකින්න පුළුවන්, තම තමන්ගෙ නුවණ හැසිරීම අනුව අවබෝධ කර ගන්න පුළුවන් සදාකාලිකව ම නිදහස ලබන්න පුළුවන් මඟත් තියෙනවා. උතුම් ධර්මයෙන් නිදහස අත් විඳින අයත් ලෝකෙ ඉන්නවා. හැබැයි ඕක සැඟවිලා තිබුණේ. එක එක්කෙනා තම තමාගේ අදහස් දාලා විකෘති කරලයි තිබුණේ. එ්ත් ඔන්න ලෝකයාට කරුණාවන්ත ම කෙනෙක්, ලෝකයාට ආදරේ කරන උතුම් මනුස්ස ගුණධර්ම තියෙන කෙනෙක් එ් ධර්මය විවෘත කරලා දීලා තියෙනවා. ඔයාට තේරෙන භාෂාවෙන් තේරෙන විදිහට ම. එ නිසා ඔයාට පුළුවන් තරම් ඉක්මනට ඔයා කියවන්න අර ගන්න එ් ‘නිදහසේ දහම’. හදවතින් ම විඳගන්න එ් ‘නිදහසේ සුන්දරත්වය’. එ් උතුම් ත‍්‍රිපිටක පොත් වහන්සේලා කියවන්න. දැන්ම අරගන්න. වන්දනා කර කර කියවන්න. ඔයාට එ් හොයන නිදහස බොහෝ දුරක නම් නො වෙයි. කවදා හරි ඔයාට එ්ක ප‍්‍රයෝජනවත් වෙයි. එ් නිසා තව තව ප‍්‍රමාද වෙන්න එපා. ‘නිදහසේ මඟ’ විවර වෙලා තියෙන්නේ. ඔයාගෙ සැබෑ උනන්දුව විතරයි ඕන වෙන්නේ.”

එහෙම නම් ඔයාට එ් නිදහස් මඟ විවර වේවා කියා සුභ පතනවා.

මහාමේඝ 2016 නවම් කලාපය
WWW.MAHAMEGHA.LK

සටහන
චාමල් පුබුදු ජයවික‍්‍රම