අතීතයේ  ගොවිකම, ගොවිබිම ගැන කතා කරන විට හිරු දෙවියන් වන්දනා කරලා කුඹුරෙ ම කොටසක හදා ගත්ත කමතක තමයි දුක් මහන්සි වෙලා වගා කර ගත්තු බුද්ධ භෝගය වෙන් කර ගත්තේ. එදා අතීතයේ ගමක බිම සරසන ‘අළු සනක්’ හෙවත් අළු සටහනක් හදන්නත් අපේ පුරාණේ ගොවියෝ අමතක කළේ නැත්තේ එ්  ඇත්තන්ගේ මේ ගොවිකමට තිබුණ ආදරේ නිසා ම යි. ඔය අළු සන තුළ සිරිපතුල, කොහොඹ ලෑල්ල, බෝලත්ත, තිරුවානා ගල, පෙති ලෑල්ල, කටු හක බෙල්ලා, දැහැන, යතුර, උදැල්ල දෑකැත්ත වගේ ගොඩක් දේවල් මේ කමතෙ සිතුවම් කරලා බොහොම ගෞරවයෙන් තමයි වී ටික වෙන්කර ගන්නෙ.

මේ කමත හදන්නේ කුඹුරෙ ම නිසා මේ තුළින් ඉවර වෙන පිදුරු ටික අපේ ගොවි මහත්තුරු බිම් හීයට පෙර, බිම් හීයට පස්සේ වගේ ම අතීතයේ කැකුළමට වගා කරන කොට වපුරන විදියටත් භාවිත කරා.

මෙදා කන්නෙ වගා කෙරෙන එ් ඉසව්වෙ තියෙන හොඳ ම බිත්තර වී හොයාගෙන ඇවිත් මෙම කුඹුරට යොදලා උජාරුවට කුඹුර නිල්ල පිරෙන්න ගොයම් කොළ සෙලවෙන එක දිහා බලලා දිග සැනසුම් සුසුමක් හෙළන අපේ ගොවි මහත්තුරු ඊ ළඟට දුවන්නේ  තෙල් ටික, පොහොර ටික හොයාගෙන. එ්වා මේ ගොයමට පොවලා අස්වැන්න අහිමි කර ගන්නවා. දහදුක විඳලා රැකගත්ත මේ අස්වැන්න එකතු කරලා ගොයම් කොළය හදලා බුද්ධ භෝග වෙන්කරගෙන පිදුරු ටිකටත් ගින්දර දාලා තමයි අද කාලේ ගෙදර ගිහින් හාල් ටික තම්බගෙන කන්නේ.

රසායනික පොහොර, කෘෂි රසායන ද්‍රව්‍යවලට අද මේ ලෝකෙ අන්ධ වෙලා. එ් වෙනුවෙන් විශාල පිරිවැයක් වැය කරනවා. අපේ සම්පත් පෑළ දොරෙන් අපට නො දැනී පිටවෙලා යනවා. එක වී කරලක් හැදෙන්න පසෙන් අසීමිත ලෙස පෝෂක, ජලය උරා ගන්නවා. මේ විදියට අපිට නො දැනී ගොයම් ගස කරන මේ  විපර්යාසයේ අවසාන ප‍්‍රතිඵලයක් විදියට තමයි සරු කරලක් හටගන්නේ. මේ ගොයම් ගසට තමයි අන්තිමේ පිදුරු කියන්නේ. වී කරල හදන්න ගන්න පොහොරවලින් කොටසක් මෙන්න මේ අපි පුළුස්සලා අළු කරලා දාන පිදුරු ගහේ තියෙනවා. අපි එ් පිදුරු පුළුස්සලා දැම්මා කියන්නේ අපට වටිනා සම්පත අපෙන් ගිලිහිලා යනවා.

අපි මේ විදියෙන් පිදුරු ටික විනාශ කරලා දාලා ගොවිබිමේ තිබුණා  පෝෂකවලින් කොටසක් ගෝනිවල පුරවගෙන ගෙදර ගෙනියනවා. අක්කරයකට ඉතිරිවෙන පිදුරු කිලෝ 2000කට අධික ප‍්‍රමාණයක් අපේ ගොවිබිමෙන් පුළුස්සලා විනාස කරනවා. මේ විනාශ කරන්නේ ඊ ළඟ කන්නෙට පණ දෙන්න, අත දෙන්න ඉඳපු හොඳ ම ශක්තිය. ඉවතලන පිදුරු කිලෝ දහස් ගණන තුළ මහා මාත‍්‍ර මූලද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක් අඩංගු වෙලා තියනවා. මේ විදියට අපි විනාශ කරන පිදුරු අක්කරයකින් අපට අහිමි වන පොහොර ප‍්‍රමාණය පර්යේෂණවලට අදාළ ව යූරියා 38ණට. පොස්පරස් 8ණට. පොටෑසියම් 72ණට ප‍්‍රමාණයක් බව සඳහන් වෙනවා අපි කොයිතරම් පෝෂක ප‍්‍රමාණයක් පරිසර දුෂණයකුත් එක්ක ම මේ මහා පොළොවට අළු කරල දානව ද? මොහොතක් කල්පනා කරල බලන්න. මේ වරද ආයෙ නම් කවදාවත් කරන්න එපා. පිදුරු පිළිස්සීම ජාතියට කරන ලොකු අපරාධයක්. අපේ කුස පුරවන මේ බුද්ධ භෝගයට කරන නින්දාවක්. ගොවිකමට ආදරේ කරන මිනිස්සු එ් කාලෙ මේ වගේ දේවල් කළේ නෑ. එ් මිනිස්සුන්ට පර්යේෂණවලින් තොරතුරු නැති වුණාට එ් මිනිස්සු දැනගෙන හිටියා කොපමණ පොහොරක් ද මේ කියන පිදුරුවල තියෙන්නෙ කියලා.

පසේ තෙතමනය ඇතිකර ගන්න,  කාබනික ද්‍රව්‍ය උත්පාදනයට යොදන රසායනික පොහොර වලට දක්වන ප‍්‍රතිචාරය වැඩි කිරීමට මෙන් ම ඉදිරි කන්නයේ වගාව කෘමි පළිබෝධවලින් ආරක්ෂා කරන්න මේ කියන පිදුරු පොහොරවල මහිමය අපට ලොකු රුකුලක් වෙනවා.

ඉතින් මේ අපට නො දැනී අපෙන් නික්මී යන මෙවන් වූ සරුසාර, කෙත්වතු අටුකොටු පුරවන්නට වෙර දැරූ පිදුරු පුවත පුළුස්සා දැමීමට ඉඩ නො තබවමින් ඔබේ යුතුකම ඉටු කරන්නට ගොවිකම ගොවිබිමට පෙම් බැඳි ඔබ සැමට ආරාධනා කරනවා. එ් වගේ ම අමතක කරන්න නරකයි මේ  මහපොළව, ගහ කොළ, සතා  සිවුපාවා අපිට දීපු මහඟු සම්පතක් කියලා. මේ  දේවල් මර්ධනය කරලා අපි අපේ ගොවිතැනට මුල්තැන දෙනවට වඩා  සුන්දරත්වය පිරුණු සොබාදහමත් එක්ක මේ ගමන යන එක තමයි සුදුසු ම දේ. මොකද මේ සොබදහමෙන් ම අපේ ගොවිතැන ආරක්ෂා කරනවා අප එයට අනුගත ව සිටිනතාක් කල්…

– ගොවියා –