1897 ඔක්තෝබර් මස 06 වෙනි දින මීගමුව ප්‍රදේශයේ කහව නම් කුඩා ග්‍රාමයේ සොහොයුරන් 8 දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැන්නා ලෙස පින්වත් කුල කුමරුවකු මෙලොව එළිය දුටුවේ ය. ඔහුගේ මාපියෝ ඔහුට වලිමුනි සෝලියස් මැන්දිස් යන නම තැබූහ. දේශීය වෛද්‍යවරයෙකු වූ කුඩා සෝලියස්ගේ පියාට අවැසි වූයේ තම පාරම්පරික වෛද්‍ය උරුමයේ ඊ ළඟ පියවර වෙත තම පුතු ඔසවා තැබීමට ය. එහෙත් මේ කුලකුමරුවාට ඊට හාත්පසින් වෙනස් වූ උරුමයක් උපතින් ම ලැබී තිබිණි. එය මිට මොළවාගෙන ම මෙලොව එළිය දුටු සෝලියස්ට අනාගතයෙහි වූ යම් සොඳුරු භාරදූර කටයුත්තක වගකීම පැවරෙනු ඇතැයි එකල ඔහු හෝ අන් කිසිවෙකුත් සිතන්නට නැත.

කුඩා කල පටන් බුදු දහම කෙරෙහි දැක්වූ නැඹුරුතාවය නිසා සෝලියස් නිතර පන්සල ඇසුරේ වැඩිනි. මාදම්පේ විද්‍යාලයෙන් 8 වෙනි ශ්‍රේණිය දක්වා පමණක් උගත් හෙතෙම වැඩි දුර අධ්‍යාපනය ලැබීම පිණිස උනන්දුවක් නො දැක්වූ අතර නිතර විහාර චිත්‍ර දෙස මහත් උනන්දුවෙන් බලා සිටියේ ය. ඔහුගේ අධ්‍යාත්මය තුළ සැඟවී ගිය කුසලතාවය, රුචිකත්වය හා අනාගත අපේක්‍ෂාවන් එක්ව එකට මුසුවෙමින් මෙතෙක් කල් ඔහු වෙත නො පැමිණි ඔහුගේ සැබෑ උරුමය සමඟ පන්සල් බිත්තිය මත දී මුණගැසෙන විට විහාර චිත්‍ර ශිල්පියෙකු යටතේ ආධුනිකයෙකු ලෙස සිතුවම් කලාවට අත්පොත් තැබීමේ වරම ඔහුට උදාවිය. මෙය සෝලියස්ගේ සිහිනය සැබෑවීමක් බඳු විය. එතැන් පටන් ඔහුගේ ජීවිතය හා තෙලිතුඩෙහි ඇති සබැඳියාව අපූර්ව එකක් වූයේ සහජ කුසලතාවය ද මඳින් මඳ ඔප්නැංවෙන්නට වූ කල ය. ඔහු එකල ජනප්‍රියව පැවති යුරෝපීය ආභාසය ලත් විහාර චිත්‍ර කලාව ඇසුරු කරමින් විහාර කිහිපයක ම සිතුවම් නිර්මාණය කළේ ය. එමෙන් ම බොහෝ සෙයින් එකල විහාර චිත්‍ර ශිල්පීන් අතර ජනප්‍රියව පැවති එම්. සාර්ලින් සිත්තරාණන්ගේ සිතුවම්කරණ සම්ප්‍රදාය ද ඔහු සිත් ගත් බැවින් එහි අක්මුල් සොයා ගන්නටත් හෙතෙම වෙහෙසිනි. එහෙත් එහි යම් සුවිශේෂීත්වයක් දක්නට තිබිණි. එනම් ඒ තුළ සෝලියස් තම ප්‍රතිභාව තමන්ට අනන්‍ය වූ ලක්‍ෂණ සහිතව එළිදක්වා තිබීම ය. ඒ බොහෝ සිතුවම් තුළ අග්‍රගන්‍ය මහා ශිල්පියකු තුළ විද්‍යමාන වන ගුණයන්හි අංකුර ලක්‍ෂණ ගැබ්වී තිබිණි. එබැවින් සෝලියස්ගේ සිතුවම් සෙසු ශිල්පීන්ගේ සිතුවම් හා සම නො වී ය. දෙවැන්න වූයේ දිනෙන් දින එහි සිදු වූ ගුණාත්මක වර්ධනයයි. බොහෝ ශිල්පීන්ට තම හැකියාවන් පිළිබඳ සීමාවන් පැනවෙත්දී තරුණ සෝලියස් සීමාව තම හැකියාවන්හි අණසකට යටත් කළේ ය. මේ සියල්ල පසුබිමෙහි සෝලියස් වෙත පැවරෙන උත්කෘෂ්ට ශාසනික කර්තව්‍ය ඇරඹීමට අවැසි පරිසරය ද නිහඬ ව සැකසෙමින් තිබිණි.

ඩී. සී. විජේවර්ධන මැතිතුමා කැලණි විහාරයේ නව චිත්‍ර නිර්මාණය සඳහා දක්‍ෂ චිත්‍ර ශිල්පියෙකු සොයමින් සිටියේ මේ යුගයේ දී ය. ඔහුට අවැසි වුයේ සුවිශේෂී ලක්‍ෂණයන්ගෙන් හෙබි හෙළ සිතුවම් කලාවට යළිදු ප්‍රවිෂ්ට විය හැකි ආසියානු මහා සම්ප්‍රදාය (අජන්තා සම්ප්‍රදාය) ගුරු කර ගත් සිතුවම්කරණයක් කැලණි විහාරය තුළ ප්‍රතිනිර්මාණය වනු දැකීමට ය. ඒ සඳහා සිත්තරෙකු සොයාගැනීම ද ඉතා දුෂ්කර කටයුත්තක් විය. මන්ද යත් ඊට පවතින යුරෝපීය ආභාසයට මුළුමනින් ම බැහැර සිතුවම් සම්ප්‍රදායකට ඉතා කෙටි කලක දී අපේක්‍ෂිත සිත්තරා හට ප්‍රවේශ වීමට සිදු වීම ය. දෙවැන්න නම් මෙකී සිත්තරා විසින් අතීත හෙළ සිතුවම් කලාවට නොදෙවෙනි නිර්මාණයන්ගෙන් කැලණි බිතුසිතුවම් හැඩ වැඩ කළ යුතු වීම ය. සැබැවින් ම මෙය දැවැන්ත අභියෝගයකි. ඒ අනුරාධපුර, පොලොන්නරු යුගවලින් පසුත් ක්‍රි. ව. පස්වන සියවසෙහි සීගිරියෙත් තවත් ස්ථාන කිහිපයකත් හැරුනු කොට පසුකාලීනව හෙළ සිතුවම් කලාව ප්‍රකටව භාවිත නොවීම හේතුවෙනි. එබැවින් මෙය සිතුවම් නිර්මාණ ආරම්භයේ සිට අවසන් අදියර දක්වා ම පරිපූර්ණ වශයෙන් අතීත සම්ප්‍රදාය නැවත උට්ඨානය කිරීමක් බඳු විය. මේ භාරදූර වගකීම දැරීමට සමත් සිත්තරෙකු ලක් බිමෙන් මුණගැසේදෝයි යන සැකයක් සමඟින් භාරත සුප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ නන්දලාල් බෝස් ශිල්පියාණන්ගෙන් යම් අස්වැසිල්ලක් ලබන්නට ඩී. සී. විජයවර්ධන මැතිඳුන් තීරණය කළේ ය. හෙතෙම අති දක්‍ෂ චිත්‍ර ශිල්පියකු වුවත් ඔහුගේ තීරණය ඊට මඳක් වෙනස් විය. ඔහු ඩී. බී. ධනපාල මැතිතුමන් සමඟින් ලංකාවේ බොහෝ විහාර වෙත සංචාරය කරමින් ඊට සුදුසු චිත්‍ර ශිල්පියෙකු ලංකාවෙන් ම සොයා දීමට ඉදිරිපත් විය.

සෝලියස්ගේ සිතුවම් නෙත ගැටුනු කල්හි ම බෝස් සිත්තරා හට තම සංචාරය අවසාන අදියරට පැමිණ ඇති බව හැඟී ගියේ ය. ඩී. සී. විජේවර්ධන මැතිඳුන්ගේ බලාපොරොත්තු ඉටුකරමින් තරුණ සෝලියස් වෙත සියලු වගකීම් පැවරුනු අතර නන්දලාල් බෝස් ශිල්පියාගේ මැදිහත් වීම මත ඉන්දියාවේ සංචාරයක් ද සෝලියස් වෙත නිර්දේශ කෙරිනි. එහි අරමුණ වූයේ අජන්තා, එල්ලෝරා සහ භාග් ගුහා චිත්‍ර නිරීක්‍ෂණය කිරීමයි. එමෙන් ම ශාන්ති නිකේතනයෙහි ඇසුර ලබන්නට ද කෙටි කාලයක් තුළ සෝලියස්ට අවස්ථාව ලැබිණි. යළි මව්බිමට පා තැබූ ඔහු වෙත තමා කළ ගවේෂණයේ ප්‍රතිඵලය උරගා බැලීමටත්, එළිදැක්වීමටත් සුදුසු පරිදි මල්වාන ලෙනගම්පල විහාරය සූදානම්ව තැබුණේ ඩී. සී. විජේවර්ධන මහතාගේ හා හෙලේනා විජේවර්ධන මැතිනියගේ පූර්ණ මග පෙන්වීම යටතේ ය. එහි දී සෝලියස්ට යුරෝපා සම්ප්‍රදායෙන් ආසියානු මහා සම්ප්‍රදායට (අජන්තා සම්ප්‍රදායට) මුළුමනින් ම මාරුවීමට අවැසි වේදිකාව තැනවී තිබිණි. මෙය සෝලියස් චිත්‍ර ශිල්පියකු ලෙස ස්වකීය ආධ්‍යාත්මයෙහි වඩාත් අභියෝගාත්මක චින්තනමය විප්ලවයකට හා පෙරලියකට මුහුණ දී එය ඉතා සාර්ථකව ජයගත් අවස්ථාව ලෙස හැඳින්විය හැකි ය. මෙම විහාරයෙහි ප්‍රතිමා නිර්මාණය ද සිතුවම් නිර්මාණය ද පරිපූර්ණ වශයෙන් ආසියානු මහා සම්ප්‍රදායට අනුව නිර්මාණය කිරීම පිණිස සෝලියස් තම අසාමාන්‍ය කුසලතාවය මැනවින් උපයෝගී කර ගත්තේ ය. එහි දී ඔහු සම්ප්‍රදායන් දෙක තුළ අතරමං වූ බවක් මොහොතකට හෝ සිතුවම් රසවිඳින්නන් වෙත දක්වා නැත. එය චිත්‍ර ශිල්පයෙහි බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තවුන්ගේ ග්‍රහණයට ද හසු නොවන්නක් ලෙසින් පැවතීම සැබැවින් ම විස්මයජනක ය. ලෙනගම්පල විහාරයේ දී ඔහු දැක්වූ දක්‍ෂතාවය මත කැලණි විහාරයේ සැබෑ ම කලාත්මක නිර්මාණකරණයේ හිමිකරුවා ඔහු ම බව නැවත නැවතත් සනාථ කෙරිනි.

සෝලියස් කැලණි විහාරයේ අලුත් කොටසේ නිර්මාණ කටයුතු ආරම්භ කළේ 1930 වර්ෂයේ ය. වසර දහ අටක කාලයක් සිතුවම්කරණයෙහි යෙදුනු ඔහු අතින් කැලණි වෙහෙරේ ප්‍රතිමා නිර්මාණයන්, ගෘහ නිර්මාණයන්, අලංකාර සහිත කැටයමින් යුතු විහාර අංගයන් ද ලියකම් මල්කම් ආදී සොඳුරු සිතුවමින් අලංකෘත වූ වියනින් ද හැඩ කෙරුනේ ඇඳි සිතුවම්වල නිසි වටිනාකම තව තවත් අගයමිනි. ලාංකේය ඉතිහාසයේ හෙළ බොදු සිතුවම් කලාවේ උච්චතම ස්ථානය ස්පර්ශ කිරීම දක්වා සෝලියස් තම ජීවිතයේ හොඳ ම කාලය කැප කළේ ඉමහත් ගෞරවයෙනි. ඒ බුදු සසුන වෙනුවෙන් තම හැකියාව ප්‍රදානය කිරීමට තිබූ අති මහත් කැමැත්ත ද හද තුළ රුවා ගනිමිනි. හෙතෙම නිතර පිරිත් කියමින්, භාවනානුයෝගීව හිඳිමින් සිතුවම්කරණයෙහි යෙදුන බව එකල ඇතැමුන්ට රහසක් නො වුණු බව සඳහන් ය. මෙහි දී තවත් විශේෂිත කරුණක් ප්‍රකට වන බව පැහැදිලි ය. එනම් මේ සිතුවම් සඳහා මිනිස් හැකියාවන් ඉක්මවා ගිය කිසියම් අනුග්‍රහයක් ලැබී ඇති බව ය. ඒ බව මෙකී සිතුවම් දෙස සියුම්ව බලන අයෙකුට වටහා ගත හැකි ය. පර්යාවලෝකනය, මානව රූප සම්පිණ්ඩනය, ත්‍රිමාන බව හා අසිරිමත් භාවමය සුන්දරත්වය ස්වාභාවිකත්වය හා සංකලනාත්මක ව පැවැතීම මෙම සම්ප්‍රදාය තුළ ප්‍රකට කෙරෙන ඉතා අසීරූ හැකියාවකි. මන්ද යත් මෙහි රේඛාව ප්‍රධාන වන බැවිනි. එහෙත් මේ සියල්ල මේ සම්ප්‍රදායට නවකයෙක් ලෙස මැනවින් ජය ගැනීමට සෝලියස් දැක්වූ ශිල්පීය දක්‍ෂතාවය සාමාන්‍ය තත්ත්වයෙහිලා සැලකිය නො හැකි ය. එය නිසැකව ම අසාමාන්‍ය කුසලතාවයකි. එබැවින් ඔහුගේ තෙලිතුඩෙහි දිව්‍යමය සලකුණක් තිබුණා යැයි සැලකීම අතිශයෝක්තියක් නොවනු ඇත. ඔහු සිතුවම් නිර්මාණයේ දී දැක්වූ අතිශය සියුම් බව හා තාත්වික බව ද ලෙහෙසියෙන් චිත්‍ර ශිල්පියකුට ළඟා විය හැකි ස්ථානයක නො තිබිණි. ඔහු සමස්ත සිතුවම කෙරෙහි ම පූර්ණ අවධානය දක්වමින් සියල්ල විශිෂ්ටත්වය වෙත යොමු කළේ ය. සිතුවම රස විඳින්නා වෙත අල්පමාත්‍ර හෝ අතෘප්තිකර භාවයක් ඇති වීම ඔහු ප්‍රිය නො කළා විය යුතු ය. එසේ ම බොදු සිත්සතන් බුද්ධාලම්භන ප්‍රීතිය කරා යොමු කරමින් නිවී සැනසී ගිය සිතකින් යුතුව බුද්ධ චරිතයේ සහ හෙළ ශාසනික සිදුවීම්හි පහස ලැබීමට ජනයා පෙළගස්වන තමන්ට ම අනන්‍ය වූ සිතුවම් ශෛලියත්, වර්ණ භාවිතයත් මැනවින් හසුරුවා ඇති අයුරු ද ඔහුට ම විශේෂිත ය.

බුදුරදුන් කැලණියට, නාගදීපයට, ශ්‍රී පාදයට සහ මහියංගණයට වැඩමවීම, දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීම, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීම ඇතුළු බුද්ධ චරිතයේ සුවිශේෂී අවස්ථා ඔහු කැලණියේ දී සිතුවමට නැගී ය. මීට අමතරව තවත් හෙළ ශාසනික සිදුවීම් රැසක් ද අපට කැලණි විහාරයේ දී ඔහුගේ සිතුවම් වෙතින් දැක ගත හැකි ය. එසේ ම වර්ණ සකසා ගැනීම ද ඉතා විශේෂිත ස්වාභාවික ක්‍රමවේදයකට සිදුව ඇත. රත් පැහැය සාදලිංගම් හා ගුරු ගල් අඹරා ගැනීමෙන් ද කහ පැහැය ගොකටු කිරි හා හිරියල්වලින් ද නිල් පැහැය නිල් අවරිය ශාකයේ යුෂ භාවිතයෙන් ද කොළ පැහැය මදටිය කොළ මිරිකා ගත් යුෂ යොදා ගැනීමෙන් ද කළු පැහැය කොහොල්ලෑ කැකුන තෙල් සහ හල්දුම්මල එකට ගෙන අඹරා කපුරෙදි කැබලි පුළුස්සා ගත් දැලි සමඟ එකට මිශ්‍රකොට මැටි භාජනයක දමා තවත් මැටි භාජනකයින් වසා මඳ ගින්නේ තැබීමෙන් උඩ බඳුනෙහි රැස්වෙන දැලි භාවිත කරමින් ද සුදු පැහැය මකුළු මැටි භාවිතයෙන් ද සකසාගෙන ඒවා විශේෂිත ක්‍රමවේදයකට අනුව තැඹිලි වතුරෙන් පෙරා බිත්තර සුදු මදය, කුරුඳු ඉස්ම, කජු මැලියම් ආදිය ද අවශ්‍ය පරිදි මුසු කරමින් පිළියෙල කොටගෙන ඇත. මේ සඳහා සෝලියස්ට ම විශේෂිත වූ ක්‍රමවේදයක් පැවති බව ද ප්‍රකට කරුණකි. සිතුවම් අඳිනු ලබන පෘෂ්ඨයෙහි කපරාරුව ද විශේෂිත ලෙස සැකසුන අතර එහි පූර්ණ අධීක්‍ෂණය ද ඔහු අතින් ම සිදුව ඇත. සිතුවම් ඇඳීමෙන් පසුව සාමාන්‍යයෙන් ආලේප කරනු ලබන වලිත්ති ආලේපය කවර කරුණක් නිසා හෝ සිදුව නොමැති අතර කාලය පිළිබඳ ගැටලුවක් හෝ නැතහොත් මේ අසහාය නිර්මාණයන් රසවිඳීමට දිලිසෙනසුලු බව බාධාවක් ලෙස සලකා බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි එය බැහැර කරනු ලැබුවේදැයි නිසැකව ම ප්‍රකාශ කළ නො හැකි ය. කෙසේ වෙතත් සීගිරියේ දී භාවිත කරනු ලැබූ ප්‍රෙස්කෝබුවනෝ ක්‍රමය මෙහි දී භාවිත නො කෙරිනි. එහෙත් සීගිරි චිත්‍රවලින් පසු බිහි වූ විශිෂ්ටතම හෙළ සිතුවම් නිර්මාණ රැස ලෙස කැලණි විහාර සිතුවම් දැක්විය හැකි ය. එහෙත් වසර 18ක දැඩි කැපවීමකින් පසුව සෝලියස් මැන්දිස් කැලණි විහාරයට සමුදුන්නේ යළි කිසිදු දිනක පින්සලක් අතට නො ගන්නා අදහසිනි. ඊට බලපෑ ප්‍රධාන කරුණ වූයේ විහාරයේ ප්‍රධාන බුදු පිළිමය පිටුපස බිත්තිය සිතුවම් කිරීම සඳහා කාල් කැස්මාන් නම් විදේශීය චිත්‍ර ශිල්පියකු කැඳවීමට පාලන අධිකාරිය විසින් තීරණය කිරීම බව සඳහන් ය. කෙසේ වෙතත් සෝලියස් නාමය ලෝ පතල කරමින් විප්ලවීය හැරවුම් ලක්‍ෂයක් හෙළ බොදු සිතුවම් කලාව තුළ ඔහු සටහන් කළේ ඔහුගේ නාමය විහාරයේ එක් කොණක ඉතා කුඩාවට හා අප්‍රකට ව සඳහන් කිරීමෙනි. ඒ අල්පේච්ඡ බවත් ඔහුගේ සාර්ථකත්වයට ආශීර්වාදයක් වන්නට ඇත. වැඩි කථාබහක් නැති මේ නිහඬ කලාකරුවා නිර්මාංශ ව දිවි ගෙවූ අයෙක් වූවා සේ ම අවිවාහකයෙක් ද විය. සුරා සූදුවෙන් ද තොර දැහැමි දිවිපෙවෙතක් ගත කළ ඔහු තමා වෙත ලැබුණු බොහෝ සම්පත් ලාභ සත්කාර පවා ලෝ හිත පිණිස යොදවා හුදෙකලා අප්‍රකට දිවියක් ගත කළේ ය. ඔහු බොහෝ තිරිසන්ගත සත්වයන්ට පවා පිහිට වූවෙකි.

ජීවිතයේ අවසාන කාලයේ බොහෝ සෙයින් ඔත්පලව සිටි හෙතෙම අවු. 78ක් ආයු වළඳා 1975 සැප්තැම්බර් 02 දින ලෝකයෙන් සදහට ම සමුගත්තේ සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් හා සෝ සුසුම් වැලපීම් කිසිවක් නොමැති ගුණ වැයුම් කිසිවක් නොමැති සුළු අවමගුල් චාරිත්‍ර කිහිපයකින් අනතුරුව මළ හිරු බැසයන සැඳෑ සමයක දී සුසානයක සැතපෙමිනි. ලෝකයේ අනියත ස්වභාවය මනාව ප්‍රකට කරමින් අපෙන් සමුගත් මේ අසහාය කලාකරුවා මිය ගිය ද අප හදවත් තුළ නොමියෙන සේ තැන්පත් වූයේ විශ්ව සම්භාවනාවට පත්වූ මේ සිතුවම් නිසා ම ය. සෝලියස් මැන්දිස්ගේ සිතුවම් තරම් මෑත ඉතිහාසයේ කථා බහට ලක්වූවාවූත්, ජනමාධ්‍යය තුළ විවිධ ලෙසින් ප්‍රකාශනයට පත්වුවා වූත් අන්‍ය සිතුවම් පෙළක් තවත් ඇතිදැයි කැලණි සිතුවම් ගැන ලියැවුණු පොතපතත්, රූපවාහිනී ගුවන්විදුලි වැඩසටහන් ප්‍රමාණයත් විමසුමට ලක් කිරීමේ දී සිතේ. එහෙත් ඒ පසුපස තිබූ අසාමාන්‍ය කැපකිරීමත්, ඒ ශිල්පියාත් තවමත් නිසි ඇගයීමට, උපහාරයට ලක්වී ඇතිදැයි අප අපගෙන් ම විමසිය යුතු ය. සෝලියස් මැන්දිස් නම් අග්‍රගණ්‍ය සිත්තරා සේ ම අප රටත්, සම්බුද්ධ ශාසනයත් වෙනුවෙන් නොයෙක් අයුරින් තම දිවි කැප කළ යුග පුරුෂයන් විටින් විට අප රටට අහිමි වෙද්දී අප නෙතගින් ගලා ගිය කඳුළු බිඳු කිහිපයකින් පමණක් කෙළෙහි ගුණ දක්වා අවසන් කළ බව අප සිතන්නේ නම් රටක් වශයෙන් තවදුරටත් අපට නැගී සිටීමේ හැකියාවක් නැත. එබැවින් දැන්වත් කෙළෙහි ගුණ දන්නා ජාතියක් වශයෙන් නැගී සිටීම පිණිස තිරව අදිටන් කර ගත යුතු ය.

සටහන – රොහාන් ඉන්ද්‍රජිත්