තිසරණ සරණ ගිය අප අසරණ නැති බවත් – සරණ අපි ම සලසා ගත යුතු බවත් සිහි කර ගැනීම පිණිසත්, පුණ්‍යානුමෝදනා පිණිසත් මේ ලිපිය ලියන්න සිතුවා. මම බිරිඳක්. විවාහ වී වසර 6ක් ගත වුණත් මට දරුවන් සිටියේ නැහැ. ඒ කාලේ විඳින දුක මම අමුතුවෙන් කිව යුතු නැහැ. දරුවෝ නැති අය හිතන්නේ අපි විඳින දුකට එක ම විසඳුම දරුවන් ලැබීම කියලා. මමත් හිතුවේ එහෙමයි. ඉතින් මේ අවුරුදු හයට මම නොගිය දේවාලයක් නැහැ. නොකළ පූජාවක් නැහැ. අපි හම්බ කරපු සල්ලි හුඟක් වියදම් වුණා.

ඔය අතරේ මට ලක්විරු ගුවන් විදුලියේ ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබුණා. එදා තමයි මගේ ජීවිතය වෙනස් වූ දවස. මම එදා ඉඳලා ශ්‍රද්ධා රූපවාහිනියෙන්, ලක්විරු ගුවන් විදුලියෙන් ධර්ම දේශනා නිතර ශ්‍රවණය කළා. ජීවිතයට ලොකු සැහැල්ලුවක් ලැබුණා. ලොකු ශ්‍රද්ධාවක් තුනුරුවන් ගැන ඇති වුණා. මිථ්‍යා දෘෂ්ටි අත්හැරියා. ඒ නිසා ම ද මන්දා අපේ ආර්ථිකයත් හොඳ අතට හැරුණා. ගොඩක් පින්කම්වලට අපි ඔහොම සම්බන්ධ වුණා. ජීවිතේට එන ප්‍රශ්නවලට විසඳුම දරුවන් ලැබීම නො ව සසරින් එතෙර වීම බව හිතට දැනුනා.

දරුවන් ලබා ගත කළ ජීවිත කොපමණ ද? මට දුවෙක් නො වූ, පුතෙක් නො වූ කෙනෙක් සසරේ නැහැ. එහෙනම් දරුවන් නිසා අපේ ප්‍රශ්න විසඳී නැහැ. දරුවන් ඇති නැති කාටත් සසර දුක උරුමයි. මේවා මම නිතර කල්පනා කළා. නමුත් මම අංගුලිමාල මහරහතන් වහන්සේ ගැන අහලා ගොඩක් ශ්‍රද්ධාවෙන් සිටියේ. මම උදේ හවස පහන තියලා පිරිත් පැන් බොනවා. අංගුලිමාල පිරිතෙන් තමයි මම පිරිත් කර ගන්නේ. හිතේ පීඩාව නැති වුණා. නමුත් දරුවෙකු ලැබීමට කැමැත්ත තිබුණා. පුදුමය කියන්නේ මගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තා. ඒක වුණේ මෙහෙමයි. මං මුලින් හත් වතාව ගානේ පිරිත් කීවේ. වෙනසක් නෑ. මාසයක් ගිය තැන විසි එක් වතාව ගානේ පිරිත් කීවා. ඊ ළඟ මාසයේ දරුවෙකු පිළිසිඳ ගත්තා.

ඊළඟට ආව ප්‍රශ්නය තමයි දොස්තරලා කීවා, දරුවා ඉන්නේ ගර්භාෂයේ නෙමෙයි, පැලෝපීය නාළයේ කියලා. එතකොට දරුවෙක් විදිහට හැදෙන්න බෑ, කළලය වැඩෙන්න උත්සාහ දරද්දි නාළය පුපුරලා කළලයටත්, අම්මාටත් හානි වෙනවා. ඒ නිසා කළලය අරන් දාන්න ඕනේ කියලා දොස්තරලා කීවා. ඒකට ඔපරේෂන් කරන්න ඕනේ කීවා. මම ගොඩක් ඇඬුවා. මම කිව්වා, “එහෙම වෙන්න විදිහක් නෑ, මට මේ දරුවා ව ලැබුණේ සත්‍ය බලයෙන්, ධර්මය සත්‍යයක්.” කියලා. මම අංගුලිමාල මහරහතන් වහන්සේගේ තේජස ම සිහි කළා.

පසුව මගේ දරු ගැබේ ස්කෑන් එකක් කළා. මගේ දරුවා හොඳින්. කළලය එවිට ගර්භාෂයේ පිහිටලා තිබුණා. අපට කිසි කරදරයක් වුණේ නෑ. එතකොට මගේ කුසට මාස එකහමාරයි. දැන් මාස හතක් වෙනවා. කුස හොඳින් මෝරනවා. මම ධර්මයත්, මහරහතන් වහන්සේගේ ආනුභාවයත් විශ්වාස කරනවා. මම මවක් වුණේ තිසරණය නිසා. ඒ නිසා උදේ හවස අපේ ජීවිත තිසරණයට පූජා කරනවා. මට ඕනේ සත්පුරුෂ දරුවෙක්. පුතෙක් හෝ දුවෙක්. මේ ලිපිය කියවන ඔයාලා මටත්, මගේ බිළිඳාටත් ආශිර්වාද කරන්න, සියලු ආරක්ෂාව ලැබේවා! කියා.

මම මේ ගැන දරුවන් නැති අයට කීවා. එයාලා ඒ දේවල් විශ්වාසයෙන් කරන්නේ නෑ. කරන්නන් වාලේ තමයි ඉතින්. දෙවියන්ට තියෙන භක්තියක්වත් පිරිත්වලට නෑ. මට ඒ ගැන නම් පුදුමයි. ධර්මයෙන් හිත හදාගන්න ඕන. ජීවිතේට මුහුණ දෙන්න ඕන. සමහර ප්‍රශ්න විසඳෙන්නේ කාලයත් සමඟයි. කලබල වීම පීඩාවක් ගෙන දෙනවා. ස්වාමීන් වහන්සේලා කොච්චර අනුකම්පාවෙන් දරුවන් නැති අයට හිත හදාගන්න හා ඒ ගැටලු විසඳා ගන්න දහමින් උපකාර කරනව ද. මහාමේඝයට ලිපි ලියනවා, දේශනා පවත්වනවා, වැඩසටහන් පවත්වනවා, ඒවායේ උපකාර අපි ගන්න ඕන. කිසිම දෙයකින් ප්‍රශ්න විසඳෙන්නේ නැති නම් කර්මය දැඩි බව සිතලා හිත හදාගන්න ඕනේ. මමත් එහෙම හිතුවා. හිත නිදහස් වුණා. ඒ අතරේ තමයි මම මවක් වුණේ. මොන දෙයටත් හිතේ සතුට ඕනේ. මගේ මේ අදහස්වල වරදක් වේ නම් සමාවෙන්න ඕන.

මං බාරයක් වුණා මහා සෑයටත්, මහා බෝධියටත් දරුවා ගෙනවිත් පැදකුණු කොට පූජා කරනවා කියා. අනික මහමෙව්නාවට දරුවා ගෙනවිත් සඟරුවන දකින්නට සලස්වනවා කියලා මං භාර වුණා. අංගුලිමාල සෑය වන්දවන්නටත් මං භාර වුණා. ජීවිතෙ මොන ප්‍රශ්න වුණත් මට තිසරණය, සත්පුරුෂ ඇසුර අහිමි නොවේවා! යන්න මගේ ප්‍රාර්ථනය යි.

දොස්තරලාටත් වරදිද්දි මට වැරදුණේ නැහැ. අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ බොහෝ දෙනාගේ දුක් දුරු කරවනවා. උන්වහන්සේ නිසා පින්බර සිසු දරුවන් බිහි වුණා. ඔබ වහන්සේලා ඉක්මනින් නිවන් දකිත්වා! තවත් මවකට මේ තුළින් කුමන හෝ යහපතක් දැනේවි කියලා හිතලා තමයි මම මේ ලිපිය එවන්න හිතුවේ. ඒ නිසා සියලු දෙනාගේ මෙලොව පරලොව දුක් ගිනි නිවේවා!

සටහන – උපාසිකාවක්